ඇබී සහ බ්‍රිටනි (Abby and Brittany) දැන් ගුරුවරුන්.
එක සිරුරක් මත හිස් දෙකක් තිබීමෙන් පමණයි ඔවුන් දෙදෙනෙකු වන්නේ. 1990 මාර්තු 7 වන දින එම උපත සිදුවුනේ බද්ධ නිවුන් දරුවන් (Conjoined Twins) හැටියට.
බොහෝ විට ශල්‍යකර්මවලින් මෙවැනි දරුවන් වෙන් කළ හැකි නමුත් මෙහි ඇති අවධානම නිසා ඇබී සහ බ්‍රිට්නිගේ දෙමාපියන් එවැනි සැත්කමකට එකඟ වූයේ නැහැ.
දෙදෙනාගේ අභ්‍යන්තර ශරීර අවයම දෙදෙනාම බෙදාහදා ගෙනයි ජීවත් වන්නේ. දෙන්නාගෙන් අයෙක් එක් අතක් සහ එක් පාදයක් පාලනය කරනවා. ඇවිදීමේදී වගේම සිය මෝටර් රථය පැදවීමේදී එකිනෙකාට විශාල සහයෝගයක් අවශ්‍ය වෙනවා. කන බොන, අඳින පළඳින, නිදන විදිය කළමනාකරණය කර ගන්නවා.
ඇබී සහ බ්‍රිටනි හැදී වැඩුණේ අමෙරිකාවේ මිනසෝටාහිදි. 2008 වසරේදී Mayer Lutheran High School හි පාසල් අධ්‍යාපනයෙන් පසු ඔවුන් ආර්ඩන් හිල්ස්හි බේතල් විශ්ව විද්‍යාලයට (Bethel University) ඇතුළත් වූ අතර 2012 වසරේදී උපාධිධාරිනියන් බවට පත්වනවා.
අද වන විට, ඇබී සහ බ්‍රිටනි නිව් බ්‍රයිටන්හි හතරවන සහ පස්වන ශ්‍රේණිවල සිසුන්ට ගණිතය විෂය උගන්වනවා. යෞවන වියේ පසුවන, අපූර්වත්වයක් සහිත මේ දෙපළට සිසුන් ඉමහත් සේ ආදරය කරනවා.
ඇබී සහ බ්‍රිටනිට වෙන වෙනම උපාධි මෙන්ම ඉගැන්වීම් බලපත්‍ර දෙකක් තිබුණත්, ඔවුන් තවමත් ලබා ගන්නේ එක් වැටුපක් පමණයි.
බද්ධව සිටීමෙන් ඔවුන්ට අත්විඳින්න සිදුවන දේ වගේම අපට නිශ්චය කළ හැකි බොහෝ දේද තිබෙනවා. කවරක් වුවත් වෙනස් ලෙස නොසලැකීමේ හුරුවක් ඇති රටක ඔවුන් සතුටින් දිවි ගෙවනවා.
මේ වගේ සිදුවීමක් අත්දකින විට අපේ රටේ යම් ශාරීරික අඩුපාඩුවක්, ආබාධයක් ඇති අයෙකුට එය නොසලකා නිසි තැන ලැබෙනවාද යන්න ගැන නිතැතින් සිහිපත් වෙනවා. යම් යම් අවස්ථා නිර්මාණය වී තිබුණත් හෑම තැනම එහෙම නැහැ. මතකයට නැගෙන උදාහරණක් දෙකක් තිබෙනවා.
මීට දශක දෙකකටත් පෙර කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ඉහළම පංති සමාර්ථයක් ගත් සුගත් වසන්ත සිල්වා ආචාර්ය මණ්ඩලයට බඳවා ගෙන තිබුණේ නැහැ. ඒකට හේතු වෙලා තිබුණේ ඔහුගේ දෑස් නොපෙනීම. කුඩා කාලයේ බෝලයක් ඇසේ වැදීමෙන් ඔහුගේ දෑස් අන්ධ වී තිබුණා. බොහෝ දේ දරාගත හැකි මනුස්සයෙක් වුණු සුගත් අයියා මේවන විට සමාජ සේවා දෙපාර්ත්තමේන්තුවේ සේවය කරන බව තමයි මා දන්නේ.
අනෙක් කෙනා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතින් පීඨයේ මිට වසර දහයකට පමණ පෙර ඉගෙනගත් සහෝදරියක්. මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් ඇයගේ අතක වැලමිටෙන් පහළ කපා දමන්න සිදුවුණා. මා දන්නා පරිදි ඇයට හුරු වම් අතේ අඩුව නිසා ඇය බොහෝ අසාධාරණකම්වලට (Discrimination) මුහුණ දී තිබෙනවා.
විශ්ව විද්‍යාලයේදි විභාගවලට පෙනීසිටීමෙදී වගේම පරිපාලන සේවා විභාගය ලිවීමට අමතර කාලයක් ඉල්ලා සිටියත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඇයට එම අවස්ථාව ලැබී නැහැ. රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමෙදි වුවත් ඇයට මේ ගැටළුව ඇති බව තමයි මා දන්නේ.
ආබාධයක් හෝ වෙනත් ශාරීරික අපහසුතාවක් ඇති අය පුද්ගලිකව බොහෝ දේ අත්කරගෙන සිටියත් සමාජය වගේම ලංකාවේ වගකිව යුතු තැන්ද තවමත් සමහර විට පෙනී සිටින්නේ නැහැ.
ඇබී සහ බ්‍රිට්නි වගේ සියලු දෙනාගේ අනාගත උත්සාහයන් වෙනුවෙන් අපි සුබ පතමු..!