රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ඉරණම පිළිබඳව ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානය හඬ නගමින් සිටියි.
අපේ රටේ දේශපාලඥයො බලය ගන්නකොට දහසක් බොරු පොරොන්දු දෙන එක අද ඊයෙක ඉදන් සිද්ධ වුනු දෙයක් නෙවෙයි. හැමදාම බලය තනා ගන්න, රජ වෙන්න අපේ රටේ පොඩි මිනිහව රැවටුවා. එදත් අදත් ඒකෙ වෙනසක් නෑ. ඒ වගේම තමයි රැවටෙන මිනිස්සුත් එදත් රැවටෙනවා, අදත් රැවටෙනවා. ඒකෙත් වෙනසක් නෑ. මේ දෙගොල්ලොම ඒ තැනදි නම් හරි අපූරුවට ගැලපෙනවා.
දැන් ප්‍රශ්නය බොරු පෙරොන්දුම නෙවෙයි. පහුගිය කාලෙ මේ රටට විදේශ විනිමය හොයල දීපු රට රස්සා කරපු අයව මේ ආණ්ඩුව හැඳින්නුවෙ රට විරුවො කියල. බලපු බලපු අත විරු නම්. රට විරුවො, රණ විරුවො, සුව විරුවො... මේක හැඳින්වීමකට වඩා ඇන්ඳීමක් කියල කිව්වොත් වඩාත්ම හරි. අපි ඉතිං ජාතියක් විදිහට ආරම්භ වෙච්ච දවසෙ ඉඳලම ‘ඇඳගත්ත’ අය නේ.
කොහොම උනත් තම පවුලෙ ජීවන බර දරන්න ගෙවල්වල වැඩ කරන්න ගියපු අපේ රටේ ගැහැණුන් ආයෙම තමන්ගෙ උපන් රටට ගෙන්න ගන්න හයියක් නැති විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේ ආයතන, විදේශ කටයුතු, කම්කරු වගේ අමාත්‍යාංශ අපේම රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් නඩත්තු කරන්නෙ අහවල් දේකටද කියල හිතෙන්නෙ මේව බැලුවහමයි. බලධාරීන්ට නම් ඇස් පේන්නෙවත් ඇරෙන්නෙවත් නෑ කියල දන්නව. ඒත් අඩුම තරමෙ සැරින් සැරේට ආණ්ඩු මාරු කරන්න කතිරෙ ගහන්න දුවන, තමන්ගෙ අල්ලපු ගෙදර හදිසියකට උදව්වට ඉන්න එකා එක්කත් පක්ෂ භේද හින්ද රණ්ඩු කරන ඔබට දැකගන්න මේව පලකරන්නම ඕන කියල හිතුවා.
මේ BBC සිංහල සේවයේ සරෝජ් පතිරණ කාන්තාරේ කඳවුරුවල ගාල් කරල ඉන්න අපිට විදේශ විනිමය හොයල දුන්න අපේ අම්මල, සහෝදරියො ගැන ලියපු කතාව. ස්තූතියි සරෝජ්!
සවුදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙසින් සේවය කිරීම පිණිස සිය මව ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනවිට තුෂාරි 16 හැවිරිදි තරුණියකි.
ඒ, 2019 මාර්තු මාසයේය.
එදා, මෙදා තුර ඇය මෙතෙක් සිය අම්මා, සුනේත්‍රා, දුටුවේ නැත.
සවුදි අරාබියට ළඟා වී මාස 7,8 කට පමණ පසුව 43 හැවිරිදි සුනේත්‍රා තමන් සේවය කළ නිවසින් පිටව ගියාය.
එවක් පටන් ඇය තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් 40 දෙනෙකු සමඟ රියාද් අගනුවර රැඳවුම් කඳවුරක රඳවනු ලැබ සිටී. ඔවුන් එහි මුහුණ දී සිටින ඉරණම, ඇම්නස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය මෑතදී නිකුත්කළ නිවේදනයකින් හෙළි කර තිබුණි.
"අම්මට වැඩි කාලයක් ඒ ගෙදර වැඩකරන්න ලැබුණේ නෑ. හැමදාම කරදර, හරියට පඩියක් දුන්නෙත් නෑ, කෑමක් දුන්නෙත් නෑ," තුෂාරි මා සමඟ වේදනාවෙන් කියා සිටියාය.
"දවසක් මුළු දවසම අම්මව බාත්රූම් එකට දාල වහල තියල."
හිරිහැර දරාගත නොහැකිව සුනේත්‍රා සියා හාම්පුතාගේ නිවසින් පැන ගිය නමුත්, නිවසින් පිට වූ මොහොතේම එරට නීතිය අනුව ඇය නීති විරෝධී සංක්‍රමණිකයෙකු බවට පත්වූවාය.
සවුදි අරාබියේ නීත්‍යානුකූල ලෙස රැඳි සිටීමට නම් හාම්පුතා සිය සංක්‍රමණික ගෘහ සේවක/සේවිකාවන්ට අනුග්‍රහය දැක්විය යුතුය.
ඒ අනුව සුනේත්‍රා අත්අඩංගුවට ගත් සවුදි පොලිසිය එවක් පටන් අගනුවර කඳවුරක රඳවා සිටින අතර, කෙදිනක හෝ ශ්‍රී ලංකා බලධාරීන් තමන් යළි සිය රට කැඳවා ගනු ඇතැයි ඇය ඇතුළු කාන්තාවෝ බලාපොරොත්තු දල්වා සිටිති.
දරුවන් සහ ගැබිණි මවුවරුන්
සවුදි අරාබියේ සංක්‍රමණික සේවක, සේවිකාවෝ
රැඳවුම් කඳවුරේ පවතින තත්ත්වය ගැන නිරන්තරයෙන් අසන්නට ලැබෙන විස්තර හේතුවෙන් තුෂාරි කල් ගෙවන්නේ දැඩි මානසික පීඩාවකිනි.
"අම්ම හරියට දෙයක් අපිට කියන්නේ නෑ. තනි කාමරේකලු 40 දෙනාම ඉන්නේ. 40 දෙනෙකුට තියා 10 දෙනෙකුටවත් එතන ඉඩ නෑ කියල එතන ඉන්න දෙතුන් දෙනෙක් මාත් එක්ක කිවුව.
"සමහර වෙලාවට කට්ටිය රණ්ඩු වෙනවලු ඉඩ මදි නිසා."
ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන පරිදි මාස 8 සිට 18 දක්වා වූ දරුවන් ද මවුවරුන් සමඟ එහි රඳවා සිටිති.
"එතන පොඩි ළමයි ඉන්නවා කියල අම්ම කිවුව. සමහරු බබාලා ලැබෙන්න ඉන්නවා කීව. වයසක අයත් ඉන්නවා," තුෂාරි පවසන්නීය.
"කාන්තාවන් තිදෙනෙකු සිය දරුවන් සමඟ රඳවා සිටින අතර, එක් කාන්තාවකට වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව විශ්වාස කෙරේ. ඔවුන්ට එරෙහි චෝදනා කවරේදැයි කිසිම කාන්තාවකට දැනුම් දී නොමැති අතර, ඔවුන්ට කිසිදු නීති සහයක් ද ලබා දී නැත," යනුවෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය නිවේදනයේ සඳහන් කරයි.
"මගේ යාලුවෝ ගණිකා වෘත්තියේ යෙදෙනවා රටට එන්න විදියක් නැතුව"
"සංචාරකයන්ට විතරක් දවස් හතකට පස්සේ රට පුරා ඇවිදින්න පුළුවන්"
'කිසි දෙයක් දන්නේ නෑ'
සවුදි අරාබියේ වෙසෙන මිලියන තුනකට අධික ගෘහ සේවක/සේවිකාවන්ට කම්කරු නීතිවල
රැකවරණය නොලැබෙන බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි
තමන් දිගින් දිගටම බලධාරීන්ගෙන් කළ ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මේ කාන්තාවන් පිරිස මුහුණ දී සිටින ඉරණම පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය දැනුවත් කළ බව රියාද් අගනුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන මොහිදීන් අන්සාර් මා සමඟ පැවසීය.
"විවිධ රටවලින් ආපු සංක්‍රමණික කාන්තාවෝ මේ කඳවුරේ ඉන්නවා, නමුත් අනිත් හැම රටකින්ම තානාපති නිලධාරීන් ඇවිල්ල එයාල ඉක්මණින් නිදහස් කරගෙන තමන්ගේ රටවලට පිටත්කරන්න කටයුතු කරනවා," යනුවෙන් පවසන මොහිදීන් අන්සාර්, "මේ මිනිස්සු මෙහෙම දිගටම රඳවාගන්න ඉඩදීලා තියෙන්නේ ශ්‍රී ලංකාව විතරයි," යනුවෙන් ද කියා සිටියේය.
කාන්තාවන් මුහුණ දී සිටින තත්ත්වය විමසීම පිණිස ඔහු වරින්වර කඳවුර වෙත ගිය ද, රැඳවියන් හමුවීමට ඔහුට අවසර නැත.
"අවට ලෝකේ සිද්ධවෙන කිසිම දෙයක් මේ කාන්තාවෝ දන්නේ නෑ," ඔහු බීබීසී ය සමඟ කියා සිටියේය.
"මේ මිනිස්සු මෙහෙම රඳවාගෙන ඉන්න සවුදි අරාබියට කිසිම වුවමනාවක් නෑ. මේ කාන්තාවෝ තවමත් මේ කඳවුරේ ඉන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති නිසා."
'ප්‍රමාදය කොරෝනා නිසා'
ඔවුන් යළි සියරට ගෙන්වා ගැනීම ප්‍රමාද වන්නේ කොරෝනා වෛරස වසංගතය හේතුවෙන්ය යන්න, අසනීපයෙන් ද පෙළෙන සිය බිරිඳ ඉක්මණින් යළි කැඳවා දෙන මෙන් තමන් කළ ඉල්ලීම්වලට බලධාරීන්ගේ නිරන්තර ප්‍රතිචාරය වූ බව රඳවා සිටින තවත් කාන්තාවකගේ සැමියා බීබීසී ය සමඟ කියා සිටියේය.
"මම විදේශ රැකියා එකට කිවුව. බත්තරමුල්ල කාර්යාලයට පැමිණිලි කළා. ජනාධිපති කාර්යාලයටත් ලියුමක් දැම්ම," වතුකරයේ වෙසෙන ජයප්‍රගාෂ් මා සමඟ පැවසීය.
"හැමෝගෙම උත්තරේ කොරෝනා, කොරෝනා."
"නේපාලේ, ඉන්දියාවේ, මැලේසියාවේ, ඉන්දුනීසියාවේ අය හැමෝම එනවලු. ලංකාවේ අයට විතරක් කොරෝනා," ඔහු පවසන්නේ වේදනාව සහ කෝපය මුසු ස්වරයකිනි.
ජයප්‍රගාෂ් විස්තර කරන අතර ඔහුගේ සොහොයුරිය, පාර්වතී, ද දුරකතනයට සම්බන්ධ වූවාය.
"එයාට කෑම එහෙම නැතිලු. උෂ්ණෙට ලේ යනවලු. මම හංගන්න ඕන නෑනේ මහත්තයා, එයාට අර්ශස් අමාරුව. වාඩිවෙලා ඉන්නත් බැරිලු, නැගිටල ඉන්නත් බැරිලු," පාර්වතී විස්තර කළාය.
රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳව සවුදි බලධාරීන් සමඟ
සාකච්ඡා කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි
ඇම්නස්ටි ජාත්‍යන්තරය නගන චෝදනා ගැන සවුදි අරාබිය මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැත.
මේ අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය වෙත පවසා තිබුණේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳව සවුදි බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවය. ඉතා ඉක්මණින් ඔවුන් යළි සිය රට කැඳවා ගැනීම පිණිස පියවර ගන්නා බව ද ඇමතිවරයා පවසා තිබුණි.
එහෙත් ඒ සඳහා කෙතරම් කාලයක් ගතවනු ඇති දැයි ඇමතිවරයා සඳහන් කර නොතිබිණ.
අම්මා මිය ගිහින්
දෙවසරකට පෙරාතුව සුනේත්‍රා විදේශගත වූයේ, තුෂාරි සහ අනෙක් දියණියන් දෙදෙනා රැක බලාගන්නා මෙන් සිය මවට භාරකරමිනි.
"අපි ලෑලි ගහපු ගේක ඉන්නේ. තාත්තගේ වකුගඩුවක් දිය වෙලා. රස්සාවක් කරන්න බෑ," තුෂාරි පවසන්නීය.
සුනේත්‍රා විදේශගතව සිටින අතරවාරයේ, මේ වසරේ පෙබරවාරි 11 වෙනි දින ඇයගේ මව මෙලොව හැර ගියාය.
"අම්ම ගෑණු ළමයි තුන් දෙනා ආත්තම්මට භාර දීල ගියේ. දැන් ආත්තම්මත් නෑ, තාත්තට පොඩි කුලී වැඩක් ලැබුණත් යන්න විදියකුත් නෑ.
"අම්ම දැන් බලාගෙන ඉන්නේ ආත්තම්මාගේ තුන් මාසේ දානෙටවත් ගෙදර එන්න ලැබේවිද කියල."
ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ, ශ්‍රී ලාංකික කාන්තාවන් මුහුණ දී සිටින ඉරණම මගින් සවුදි අරාබියේ සේවය කරන සංක්‍රමණික ගෘහ සේවිකාවන් ගේ තත්ත්වය මොනවට පිළිබිඹු කෙරෙන බවය.
"මෑතදී සිදුකරන ලද කම්කරු නීති ප්‍රතිසංස්කරණවලට ගෘහ සේවක/සේවිකාවෝ අයත් නොවන බැවින් ඔවුන්ට තවමත් සිය හාම්පුතාගේ අවසරයකින් තොරව රටින් පිටවිය නොහැකිවීම හමුවේ තවදුරටත් ඔවුහු සිය හිමිකම් අහිමිවීමේ අවදානමට මුහුණ දී සිටින," බව ද නිවේදනයේ දැක්වේ.
ආත්තම්මා මෙලොව හැරයාමත් සමඟ තුෂාරි, සිය සොහොයුරියන්ගේ අලුත් "අම්මා" සහ ඔවුන් රැක බලාගන්නිය බවට පත්වූවාය.
දැන් ඇයට රැකියාවකට පවා නිවසින් බැහැරවිය නොහැකිය.
"මම අපොස සාපෙළ කරලා, කැඩෙට් කෝස් එකක් කරල දැන් ගෙදර ඉන්නේ," තුෂාරි බීබීසී ය සමඟ කියා සිටියාය.
"නේවි එකට යන්න හිතාගෙන හිටියේ. ඒත් දැන් ඉතින් නංගිලා දෙන්නයි, තාත්තයි බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා."
(අනන්‍යතාව ආරක්ෂා කිරීම පිණිස රඳවා සිටින කාන්තාවන්ගේ සහ පවුලේ සාමාජිකයන්ගේ නම් වෙනස්කරන ලදි)
උපුටාගැනීම - BBC