හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති
මුදල් විශුද්ධිකරණ නඩුව මේ දිනවල කොළඹ මහාධිකරණයේ විභාග වෙයි. එහිදී සාක්ෂි කූඩුවට නැගුණු පැමිණිල්ලේ 16 වන සාක්ෂිකරු සිය පෙර ප්‍රකාශ වෙනස් කරමින් විවෘත අධිකරණයේදී බොරු සාක්ෂි ලබා දුන්නේය.
ඔහුට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇත. මෙය මෙරට අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයකි.
විශේෂයෙන්ම දේශපාලනික හා මූල්‍ය බලපෑම් සහිත ඉහළ පෙළේ නඩුකරයන්හිදී සාක්ෂිකරුවන් හැසිරවීම පිළිබඳ බරපතළ සංවාදයක් මේ හරහා නිර්මාණය වී තිබේ.
'ඩේසි ආච්චි' නම් නියෝජිත හිමිකාරිත්වය
මෙම නඩුව ගොනු කර ඇත්තේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය.
නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස මාසිකව රුපියල් 73,000ක පමණ වැටුපක් ලැබූ යෝෂිත රාජපක්ෂ, රුපියල් මිලියන 73කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කැබලි පහක් මිලදී ගැනීම ඊට පදනම් විය.
විමර්ශනවලදී හෙළි වූයේ මෙම අතිවිශාල වත්කම්වල සැබෑ හිමිකාරිත්වය සැඟවීමට ඔහුගේ මවගේ මිත්තණිය වන 'ඩේසි ෆොරස්ට්' හෙවත් 'ඩේසි ආච්චි' නියෝජිතයකු (Proxy) ලෙස යොදාගෙන ඇති බවයි.
විශ්‍රාමික රෝහල් සේවිකාවක හා ගුරුවරියක වූ ඇයට රුපියල් මිලියන 350ක් වටිනා නිවසක් හෝ මෙතරම් ඉඩම් මිලදී ගැනීමට නීත්‍යනුකූල ආදායමක් තිබුණේ නැත.
ඇය කියා සිටියේ "නොදන්නා පුද්ගලයෙකු දුන් මැණික් මල්ලක් විකිණීමෙන්" මේ මුදල් ඉපැයූ බවයි. නමුත් එය සාක්ෂි මගින් තහවුරු කිරීමට විත්තිය අසමත් විය.
සාක්ෂි කූඩුවේ ඇස්බැන්දුම සහ 'අහිතකර සාක්ෂිකරු'
රත්මලාන ඉඩමේ ඔප්පුවක් දේපළ වෙළඳාම් ව්‍යාපාරික පාලිත ගමගේ සන්තකයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබිණි.
හිටපු ජනාධිපතිවරයා එය තමාට දුන් බව ඔහු මීට පෙර පොලිසියට පවසා තිබුණද, සාක්ෂි කූඩුවට නැගුණු පසු ඔහු එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.
තමා පොලිසියට දුන් මුල් ප්‍රකාශ අසත්‍ය බවට පසුව තෙවන ප්‍රකාශයක් දුන් බව ඔහු අධිකරණයේදී පිළිගත්තේය.
මේ තත්ත්වය හමුවේ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙන්වා දුන්නේ, සාක්ෂිකරු හිතාමතාම යුක්තිය පසිඳලීමට බාධා කරන බවයි.
ඒ අනුව, සාක්ෂි ආඥාපනතේ 154 වන වගන්තිය යටතේ ඔහුව "පැමිණිල්ලට අහිතකර සාක්ෂිකරුවකු" (Adverse Witness) ලෙස ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග කටයුතු කළේය.
ඉන්පසු පැමිණිල්ලටම ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවසර හිමි විය.
බොරු සාක්ෂියට එරෙහි 449 වගන්තියේ කඩුව
මෙම පරස්පරතා හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 වන වගන්තිය යටතේ සාක්ෂිකරුට එරෙහිව පියවර ගන්නා බව නීතිපතිවරයා දැනුම් දුන්නේය.
විවෘත අධිකරණයේදී බොරු සාක්ෂි දෙන පුද්ගලයින්ට එරෙහිව සාරාංශිකව නඩු විභාග කර දඬුවම් පැමිණවීමට 449(1) වගන්තියෙන් මහාධිකරණයට බලය ඇත.
ස්වාභාවික යුක්ති මූලධර්මවලට අනුව, ප්‍රධාන නඩුව අවසානයේදී සාක්ෂිකරුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට අවවාද කළ විනිසුරුවරයා, ඔහුව රුපියල් මිලියන 2ක පුද්ගලික ඇප මත මුදා හැරියේය.
සතුරු සාක්ෂි පරයන ස්වාධීන සාක්ෂි
පාලිත ගමගේ සතුරු වුවද, එදිනම සාක්ෂි දුන් දෙහිවල ඉඩමේ සම-හිමිකාරියන් වූ අයිරින් සිල්වා සහ වයලට් ප්‍රනාන්දුගේ සාක්ෂි හරහා විත්තිකරුගේ සැබෑ භූමිකාව හෙළි විය.
ඉඩම් මිලදී ගැනීමේ සාකච්ඡා යෝෂිත රාජපක්ෂ විසින් පෞද්ගලිකවම මෙහෙයවා තිබිණි. මුදල් ගෙවීම් සහ ඔප්පු අත්සන් කිරීම සිදුව තිබුණේ නාමල් රාජපක්ෂගේ කාර්යාලයේදීය.
තමන් ඉඩම විකුණුවේ යෝෂිත රාජපක්ෂට බවත්, 'ඩේසි ෆොරස්ට්' නමැත්තියක් කිසිදු අවස්ථාවක එහි නොසිටි බවත් ඔවුහු දිවුරා ප්‍රකාශ කළහ.
නීතිවිරෝධී වත්කම් සැඟවීමට තෙවන පාර්ශ්වයක් යොදාගැනීමේ අපරාධ චේතනාව (Mens Rea) සහ ක්‍රියාව එමගින් මනාව සනාථ විය.
ප්‍රමාදය සහ දේශපාලන බලය
මෙම සිදුවීම මෙරට නීති පද්ධතියේ ඇති ව්‍යුහාත්මක දුර්වලතා රැසක් නිරාවරණය කරයි.
2015 සහ 2016 වසරවල ඇරඹි විමර්ශනවල සාක්ෂි විභාග කෙරෙන්නේ වසර 10කට පමණ පසුවය. මේ සාධකය තුළ සාක්ෂිකරුවන් දේශපාලන බලපෑම්වලට ගොදුරු වීම හෝ ඔවුන්ගේ මතකය බොඳ වීම අනිවාර්යයෙන්ම සිදුවෙයි.
ප්‍රභූ දේශපාලන බලයක් හිමි විත්තිකරුවන් සම්බන්ධ නඩුවලදී සාමාන්‍ය සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය අතිශය දුර්වලය.
මෙයට ඇති ප්‍රායෝගිකම විසඳුම වන්නේ විමර්ශන අදියරේදීම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 165 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සාක්ෂි සටහන් කරගැනීමයි.
සාක්ෂි කූඩුව තුළ සත්‍ය යටපත් කිරීමට දරන මෙවැනි උත්සාහයන්ට එරෙහිව නීතිපතිවරයා ගත් මෙම තීරණය ඉතා වැදගත්ය.
එය මූල්‍ය අපරාධ නඩු විභාගයන්හි විනිවිදභාවය සුරැකීමට මෙන්ම, ඉදිරි නඩුකරයන්හිදී සාක්ෂිකරුවන් හිතාමතා පෙරළීම වැළැක්වීමට ද ප්‍රබල නෛතික පූර්වාදර්ශයක් වනු ඇත.

