පැරණි පරම්පරාවේ සංකේතාත්මක චරිතවල (Icons) චරිතාපදාන සිනමාවට නැගීම
මෑත කාලීනව ලංකාවේ බිහිවූ ජනප්‍රියම ප්රවණතාවකි. ලෝකයේ බොහෝ රටවල මෙය සාර්ථක නිර්මාණ ප්‍රවණතාවක් ලෙස ක්‍රියාත්මක වුවද, ලංකාවේදී අප දුටුවේ සමාජයේ ජනාදරය දිනාගත් විශිෂ්ට චරිතවල සැබෑව වසන් කර, ඒවාට වෙනස්ම වූ ව්‍යාජ අනන්‍යතාවන් ආරෝපණය කරන්නට ගොස් එම 'අයිකන්' පවා විනාශ වී යන ආකාරයයි. තිරයේ මවන සුරංගනා ප්රතිරූප සහ සැබෑ ජීවිතය අතර ගැටුමෙන් අවසානයේ සිනමාහලෙන් පිටත ෆේස්බුක් වෝලයේ දිගහැරෙන්නේ, උපේක්ෂා නුවන්ශ්‍රීනි පහත සටහන් කර ඇති ආකාරයේ 'ගත වෙව්ලන' නිර්මාණ රසයකි.
'එදා රෑ' චිත්‍රපටයේ දෙවන කොටස වන 'ගත වෙව්ලනවා' මේ වන විට රනිල් මල්ලවාරච්චිගේ වෝලයේ තිරගත වෙමින් පවතී. හැබැයි මට අනුව 'එදා රෑ' චිත්‍රපටයට වඩා 'ගත වෙව්ලනවා' චිත්‍රපටයෙන් මිල්ටන්ගේ සැබෑ ජීවිතය මනා සේ ප්‍රතිනිර්මාණය වී තිබේ. කොටින්ම රනිල් මල්ලවාරච්චිගේ අධ්‍යක්ෂණය කොච්චර උත්කෘෂ්ටද යත් මිල්ටන් දැන් හැමිල්ටන් වී තිබේ. ප්‍රශ්නයකට ඇත්තේ එකදු සිංදුවක් නැති ඒ චිත්‍රපටයේ ඇත්තේ සටන් ජවනිකා පමණක් වීමය.
'එදා රෑ' චිත්‍රපටය ගැන මට තිබුණු විවේචනය වූයේ එහි මිල්ටන්ගේ සැබෑ ජීවිතය නිසි ලෙස ප්‍රතිනිර්මාණය වී නොතිබීමයි. ලංකාවේ කලාකරුවෝ නැත; ඉන්නේ ව්‍යාපාරිකයෝය. ජයන්ත ධර්මදාසට ස්තුති කර 'එදා රෑ' පටන් ගන්නකොටම "පුදනකොටම කාපි යකා" යන්න මගේ ටිකිරි මොළේට නම් එවෙලේම සිග්නල් ආවේය. ක්ලැරන්ස් ගැන උන්දාගේ බිරිඳ කිව්වේද අමු බොරුය. ලංකාවම දන්නා සමහර කතන්දර ගෙදර උන්දා දන්නේ නැත. එහෙම සන්නිවේදන දුර්වලතා ඇති ගෑනුන් නම් සක්වළ ගලෙත් ඇත්තේ නැත.
ඔය අනුන්ගේ ජීවිතවල කුණු හොයන චිත්‍රපටවල රිසර්ච් කරගන්නට ඕනෑ නම් රජයේ කන්තෝරුවල නෝනලා කීප දෙනෙක් සම්බන්ධ කර දෙන්න පුළුවන්ය; වැඩේ ටක්කෙටම කරනවාය. කොටින්ම කියනවා නම් කලින් දා කාපු කෑමෙන් නොදිරවා ආමාශයේ ඉතිරි වූ ආහාර කැබලිවල සයිස් එක පවා උන් දන්නවාය. එහෙමත් නැත්නම් බයෝ පික්චරයට තෝරා ගන්නා කලාකරුවාගේ පවුලේ අය ෆේස්බුක් වලියකට පටලැවිය යුතුය. නියමම කතාව එන්නේ එවිටය.
'ගත වෙව්ලනවා' චිත්‍රපටය තිරගත වීමත් සමඟ 'එදා රෑ' සෙට් එකේ රෙද්ද ගැලවී ගියේය. මක්නිසාද යත් උන්දැලා පෙන්වූ මිල්ටන්ගේ කතාව සහ මිල්ටන්ගේ පුතා දැන් පෙන්වන තාත්තාගේ කතාව යනු දෙකකි. මේ වලියට වඩා පෙන්ඩින් වලිය තියෙන්නේ ලතා සහ ජෝති චිත්‍රපට දෙක තිරගත වූ පසුවය. 'ලතා' චිත්‍රපටයේ ජෝති සහ ලතා මාර අධ්‍යාත්මික යාළුවන් ලෙස නිරූපණය කරද්දී, 'ජෝති' චිත්‍රපටය කරන අපේ සංජීව පුෂ්පකුමාර මේ දෙන්නා යොදා දඩ සෙක්ස් සීන් හත අටක් දමා 'දැවෙන විහඟුන්' ගණයේ එකක් හැදුවොත් මොනායින් මොනා වේවිදැයි හිතා ගන්නටත් බැරිය. එකක දෙන්නා යහළුවන්ය; අනෙක් ෆිලුමේ වෙන මගුලකි. ප්‍රේක්ෂකයා වන අප අන්දකයිප්පු කෑ බළලුන් මෙන් අතරමං වෙනවාය. ඊට පස්සේ වෙන්නේ දරුවන්ගේ සදාචාර කලාපයට හදි හූනියං වැදී මේකේ මරා ගැනීමයි.
![]()
ලංකාවේ ඉන්නේ අඳුරේ පව් කරන දනාය. එළිපිට සත්‍ය ඉක්මවා ගිය සත්‍ය ඔය කිසිම කෙනෙක්ගේ බයෝ පික්චරයට ගන්නට හැකියාවක් නැත. 'රාජිණියේ' චිත්‍රපටයත් හරියට කළා නම් වැඩිහිටියන්ට පමණක්ය. කලාව කියන්නේ 'මෙත්මල් පිබිදේවා' ගණයේ 'සිරිමත් මගෙ සකි'ලා ඉන්න කලාපයක් නොවේය; කලා කෘතිද එසේය. නමුත් කලාව ව්‍යාපාරික වස්තූන් වූ විට දඩබ්බර වැඩ කරන්නට බැරිය. මන්ද තමා ආදරය කරන තරුවගේ ඇත්ත පිළිගැනීමට ප්‍රේක්ෂකයා සූදානම් නැත. අමරදේවගේ චරිතය ඇත්තටම බයෝ පික්චර් එකකට කළා නම් 60ට වැඩි ලේබලයෙන් පෙන්වන්නට වෙනවාය. එහෙම ඇත්ත පෙන්නුවා නම් සසිරිබර ලන්තේ වැසියන් තම ෆැන්ටසිය කුඩු වීමේ වේදනාවෙන් පෙළෙනවාය.
මවා ගත් ප්රතිරූප නැතිව එළිපිට ජීවත් වීමටත් කන්ෆිඩන්ටුවක් තිබිය යුතුය. එහෙව් ඕපන් මනුස්සයෙකුට මා දන්නේ එකම එක්කෙනෙකි; ඒ සුනිල් පෙරේරාය. අනෙක් සේරම ඉතින් පවුලේ අයගේ ෆික්ෂන්ය. කොහොම වුණත් බයෝ පික්චර් ගාය දැන්වත් සුව වන්නේ නම් ඒක මහත් සැනසීමක්ය. නැත්නම් ඕක ඉවර වෙන්නේ 'දෙවනි ඉණිමේ' අනුහස්ගේ බයෝග්රැෆියත් කොළාට පසුය. මියා කලීෆා, ජොනී සීන්ස් වගේ පොරකගේ බයෝ පික් එකක් ලියන්නට ආවොත් මං එකෙන්ම භාර ගන්නවාය. රෙද්දෙන් ඇත්ත වහගෙන ඉන්නා උන්දැලා ගැන නං ලොවෙත් ලියන්නට බැරිය. අන්තිමේ වෙන්නේ පවුලේ උන් රෙදි ලිහා ගත් පසු අපට ඇඩ්රස් නැති වීමය.
ලෝකයේ බයෝ පික් අතරින් ෆ්‍රෙඩීගේ චරිතය ඇසුරෙන් කළ 'බොහීමියන් රැප්සඩි' ඉතාම ඉහළින් තැබිය හැකි චිත්‍රපටයකි. මාලන් බ්රැන්ඩෝ වරක් කියා තිබුණේ තමන්ගේ ජීවිත කතාව යැයි කියා එක එකා හිතළු ලියූ බැවින් තමාම තමාගේ කතාව ලියූ බවකි. ඔහුම ලියූ ජීවන අන්දරයේ තම ජීවිතයේ අඳුරු කලාප පවා ලියන්නට තරම් ඔහු නිර්භීත විය. එබඳු මිනිසුන් මේ දූපතේ නැත. ලංකාවේ සෙලිබ්‍රිටිලා නැත; ඉන්නේ සෙලවෙන බෙටිය. ඒ නිසා එව්වා එහේ මෙහේ චලනය නොකොට තියෙන විදිහටම තියෙන්න දෙන්නට ඕනෑය. නැත්නම් වන්නේ 'ගත වෙව්ලනවා' වැනි චිත්‍රපට තිරගත වී හත්පොළේ ගාගෙන ගඳ ගැසීමයි.
මේ අලකළංචි මැද්දේ ආණ්ඩුවෙන් ගෙවල් ගාණේ ගිනි නිවන ගැජට් හයි කරන්න හිතූ එක හොඳය. පළවෙනියෙන්ම ජෝතිගේ සහ ලතාගේ ගෙවල්වල ඕක හයි කරන එක වඩා ආරක්ෂිතය. ලතාගේ චිත්‍රපටය කෙසේ වෙතත් ජෝති ගැන චිත්‍රපට කරන දෙන්නාම ෂුවර් නැත. කරනවා නම් හොඳම බයෝපික් එක කරන්න කතාව ඇත්තේ අනූෂා සොනාලිටය. හැබැයි ඒ චිත්‍රපටය සුනිල් ෆොන්සේකා නිෂ්පාදනය කළොත් ඒත් හුචස් ය... ඒක ජැක්සොන්ද ඉන්නම ඕනෑ පිල්මුවකි.
කෙසේ වෙතත් 'එදා රෑ' චිත්‍රපටයේ නොදුටු මිල්ටන්ව නොමිලේම අපට දැක බලා ගන්නට සැලැස්වූ 'ගත වෙව්ලනවා' චිත්‍රපටයේ අධ්යක්ෂ රනිල් මල්ලවාරච්චිට මගේ ප්‍රණාමය!
- උපේක්ෂා නුවන්ශ්‍රීනි
(Upeksha Nuwansreeni ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

