SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ

මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විමර්ශන ක්‍රියාවලිය දැඩි ලෙස ප්‍රශ්න කිරීමට විත්තියේ නීතිඥවරු සමත් වූහ. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි වෙත යොමු කළ හරස් ප්‍රශ්න හමුවේ පැමිණිල්ලේ විමර්ශනවල පවතින බරපතළ අඩුපාඩු රැසක් නිරාවරණය විය.

 

 

 ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව: සාක්ෂි මෙහෙයවීම හුදු දත්ත කියවීමකට සීමා වීද?

 

අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර සිය හරස් ප්‍රශ්න කිරීම් හරහා විත්තිකරු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දැඩිව ප්‍රශ්න කළේය. අධිකරණයට ඉදිරිපත් කළ ගොනු හතරෙන් කිසිදු ගොනුවක් කෙහෙළිය රඹුක්වැල්ල වෙත යොමු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව සාක්ෂිකරු එහිදී පිළිගත්තේය. 

 

 

නීතිඥවරයා: "එම සියලුම ගොනු දහවන චූදිත ගෙන් ලබා ගත් බවට ඔබ සඳහන් කළා.?"

සාක්ෂිකරු: "2023/12/19 ඒ අතරින් ගොනු දෙකක් ලබාගත් අතර අනික් ගොනු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව ලබා ගත්තා."

නීතිඥවරයා: "මේ එක ගොනුවක්වත් අටවන චූදිතට යොමු වූ බව අනාවරණය වුණාද ?"

සාක්ෂිකරු: "කැබිනට් සංදේශයට අදාළ ඇමුණුම් යොමු වූ බව අනාවරණය වුණා."

නීතිඥවරයා: "මෙම ගොනු 8 වන චූදිතට යොමු වූ බවක් අනාවරණය වුණාද ?"

සාක්ෂිකරු: "මෙම ගොනු යොමු වූ බව අනාවරණය වුණේ නෑ. එහෙත් කැබිනට් සංදේශය හා ඊට අදාළ ඇමුණුම් යොමු වූ බව අනාවරණය වුණා."

 

 කෙහෙළිය රඹුක්වැල්ලගේ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? තීරණය අප්‍රේල් 30 වැනිදා - BBC News සිංහල

 

 

එසේම 2024 පෙබරවාරි 02 දින ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා අත්අඩංගුවට ගැනීමට පෙර පැය 11ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ ඔහු සැකකරුවෙකු බව කල්තියා දැනුම් දීමකින් තොරව බවද අධිකරණයේදී හෙළි විය.

 

 

නීතිඥවරයා: "2024/02/02 දින රාත්‍රි 8ට අටවන චූදිත අත්අඩංගුවට ගත් බව ඔබ ප්‍රකාශ කළා."

සාක්ෂිකරු: "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී අත්අඩංගුවට ගැනීමක් සිදුකළා."

නීතිඥවරයා: "ඊට පෙර පැය 11ක් ඔහුගෙන් ප්‍රකාශ ගත් බව සඳහන් කළා."

සාක්ෂිකරු: "අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයන් ලබාගත්තා."

නීතිඥවරයා: "ඒ අවස්ථාවේදී ඔබ කිව්ව ද ඔහු සැකකරුවෙකු බව?"

සාක්ෂිකරු: "විමර්ශනයට අදාළව ප්‍රශ්න කළා. එහිදී ඒ බව කිව්වේ නෑ. 2023/10/10 ලේඛන පෙන්වා සටහන් කළා. කැබිනට් සංදේශය සහ විමර්ශනයේදී අනාවරණය කර ගත් කරුණු පෙන්වා ප්‍රකාශය සටහන් කර ගත්තා."

නීතිඥවරයා: "ඒ වන විට ඔහු අත් අඩංගුවේ නෙමෙයිනෙ හිටියේ? ප්‍රකාශ ගන්නා විට සැකකරුවෙක් නොවෙයි?"

සාක්ෂිකරු: "විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව අත්අඩංගුවට ගැනීමක් කළා."

නීතිඥවරයා: "ලේඛන පෙන්වා ප්‍රශ්න කළාද?"

සාක්ෂිකරු: "ඒ ලේඛන සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තමයි ප්‍රකාශය සටහන් කරගත්තේ. එම කරුණු පසුව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පැය 20 ට ඔහු අත්අඩංගුවට ගත්තා."

 

 

immunuglobulin_case_is_wrone.jpeg

 

 

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ එවකට නීතිපති සංජය රාජරත්නම් නිකුත් කළ බව කියන උපදෙස් ලිපියක් ප්‍රකාරව බව සාක්ෂිකරු පැවසුවද, අදාළ ලිපියේ අත්සන කාගේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊට දැඩි විරෝධය පළ කළාය. නීතිපතිවරයාගේ උපදෙස් ලබා දීමෙන් අනතුරුව අත්සන් යෙදීමක් පිළිබඳව ප්‍රශ්න කළ නොහැකි බව ඇයගේ ස්ථාවරය විය.

 

 

එකොළොස්වන විත්තිකරු වන වෛද්‍ය තුසිත සුදර්ශන සම්බන්ධයෙන් ගොඩනගා ඇති චෝදනාවල පදනමද නීතිඥ අමිත ආරියරත්න විසින් ප්‍රබල ලෙස ප්‍රශ්න කරනු ලැබීය. පශ්චාත් උපාධියක් සඳහා නිත්‍යානුකූලව අනුමත වසර දෙකක නිවාඩු මත එක්සත් රාජධානිය බලා ගොස් සිටි ඔහු, විමර්ශන පිළිබඳව දැනගත් පසු සිය අධ්‍යයන කාලය අවසන් වීමටත් මාස දාහතරකට පෙර තම පෞද්ගලික වියදමින් යළි ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

 

 Systemic Failures on Trial: Inside the Substandard Medicine Case - Harideshaya.lk

 

 

ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් නිශ්චිත රාජකාරී ලැයිස්තුවක් විමර්ශකයින් සොයාගෙන නොතිබීම මෙහිදී දැඩි දෝෂදර්ශනයකට ලක්විය. 2007 වසරේ නිකුත් කළ පැරණි රාජකාරි ලැයිස්තුවක් පදනම් කරගෙන විමර්ශන සිදුකර ඇති බවත්, අදාළ නිලධාරියා එම රාජකාරි ලැයිස්තුව භාරගෙන අත්සන් කර ඇති බවට කිසිදු සාක්ෂියක් විමර්ශනයේදී අනාවරණය වී නොමැති බවත් සාක්ෂිකරුට පිළිගැනීමට සිදුවිය.

 

 

විමර්ශනයේදී තෝරාගත් පුද්ගලයින්ගේ පමණක් දුරකථන වාර්තා පරීක්ෂා කර ඇති බවට විත්තිය දැඩි චෝදනාවක් එල්ල කළේය. අංක 7 ගබඩාවේ තොග පාලක නිලධාරී ප්‍රියන්ත කස්තුරිසිංහ සහ පළමු වන විත්තිකරු අතර දුරකථන ඇමතුම් 163ක් හුවමාරු වී තිබියදීත්, ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් කර නොතිබීම විත්තියේ දැඩි ප්‍රහාරයට ලක්විය. ඔහු විදේශගතව සිටීම නිසා එම විමර්ශනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවූ බව සාක්ෂිකරු සඳහන් කළේය.

 

 

ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් පරිගණක පද්ධතියට තොරතුරු ඇතුළත් කළ සතිශ් කුමාර නමැත්තාගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට අපොහොසත් වී තිබුණේ ඔහුද විදේශගතව සිටින බව පවසමිනි. මෙලෙස තීරණාත්මක නිලධාරීන් මගහරිමින් සිදුකළ විමර්ශනයේ සාධාරණත්වය නීතිඥවරයා ප්‍රශ්න කළේය.

 

 Leading Manampitiya Sand & Constuction Material Supplier - Manampitiya Sand

 

 

නීතිඥවරයා: "පසුගිය දවස්වල පිළිකා රෝහලට ඖෂධ නෑ කියලා ප්‍රධාන ධාරාවේ නිවුස්වල ගියා ඔබ ඒ බව දන්නවාද?"

සාක්ෂිකරු: "නිවුස් බලන්න වෙලාවක් නෑ."

නීතිඥවරයා: "ඔබ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිව්ස් බලන්නේ නෑ කියලද? පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ 125ක් ශුන්‍යයි හැට පහක් අතිශයින්ම හිඟයි කියා ඔබ දන්නේ නැද්ද?"

සාක්ෂිකරු: "දන්නෙ නෑ ස්වාමීනී"

නීතිඥවරයා: "ඔබ විමර්ශනයක්නේ කළේ. විමර්ශනයකදී සෑම කරුණක් ගැනම අවධානය යොමු කළ යුතුයි. එසේ නොකළොත් අසාධාරණයක් වෙන්න පුළුවන්."

සාක්ෂිකරු: "එසේය ස්වාමීනි."

 

 

හරස් ප්‍රශ්න කිරීම් අවසානයේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැගූ ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු කියා සිටියේ, අදාළ ඖෂධවලින් සංකූලතා වාර්තා වී තිබියදීත් 2023 සැප්තැම්බර් වන විට සැපයුම්කරුට මිලියන 44ක මුදලක් ගෙවා ඇති බවයි. එහෙත් හදිසි ප්‍රසම්පාදනයක් යටතේ මෙම ඖෂධ මිලදී ගැනීමේ සැබෑ අවශ්‍යතාවක් තිබූ බවට කිසිදු කරුණක් විමර්ශනයේදී අනාවරණය වී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

වෛද්‍ය මාෆියාවේ නෛතික විච්ඡේදනය: ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව හෙළි කරන පරිපාලන  යන්ත්‍රණයේ 'වෙස්මුහුණ'

 

 

අතිවිශාල රාජකාරි ප්‍රමාණයක් සිදුකරන ඉහළ නිලධාරීන් පිළිබඳව සිදුකළ මෙම සංකීර්ණ විමර්ශනය, හුදෙක් ප්‍රවාදක කරුණු මත ගොඩනැගූ එකක් බව විත්තිය අවධාරණය කළේය. එය දුර්වල, නොමග යවන සුළු තොරතුරු බහුල, අසම්පූර්ණ විමර්ශනයක් බවත්, එමගින් විත්තිකරුවන් දැඩි අගතියකට පත්ව ඇති බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රබල ලෙස යෝජනා කළහ. සාක්ෂිකරු එම චෝදනා ප්‍රතික්ෂේප කළද, හරස් ප්‍රශ්න කිරීම් හරහා පැමිණිල්ලේ සාක්ෂිවල පවතින දුර්වලතා රැසක් අධිකරණය හමුවේ මනාව නිරාවරණය විය.

 

 

# නයෝමි සුබ්‍රමනියම්

(ලිපියේ මූලාශ්‍රය - ද ලීඩර් අධිකරණ වාර්තාව)

නවතම ලිපි