දේශපාලකයන් තීන්දු තීරණ ගන්නා අතර, නිලධාරීන් ඒවා ක්‍රියාත්මක කරයි. ලාංකීය සමාජය
සැමදා පුරුදුව සිටින්නේ ඕනෑම මහා පරිමාණ වංචාවකදී හෝ පද්ධතිමය බිඳවැටීමකදී දේශපාලන අධිකාරියට පමණක් ඇඟිල්ල දිගු කර සියලු පාපකර්මයන් ඔවුන් පිට පැටවීමටය. එය පහසුය, සරලය.

එහෙත් පසුගියදා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දිගහැරුණු ප්‍රශ්නගත බාල හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් ඖෂධ වංචාවට අදාළ නඩු විභාගය දෙස නීතිමය හා විශ්ලේෂණාත්මක ඇසකින් බලන ඕනෑම අයෙකුට පෙනී යන තිත්ත ඇත්තක් තිබේ. එනම්, මෙරට ජනතාවගේ බදු මුදලින් වැටුප් හා වරප්‍රසාද ලබන, පරිපාලනයේ මුදුන්මල්කඩ බඳු ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය, විෂය දැනුමේ ඌනතාව සහ "අන්ධ විශ්වාසය" නමැති ලේබලයට මුවා වී වගකීමෙන් මිදීමේ කලාව විසින් සමස්ත රාජ්‍ය සේවයම කෙතරම් බිහිසුණු ප්‍රපාතයකටහෙළා ඇත්ද යන්නයි.
අධිකරණමය නෛතික සීමාවන්ට හා නඩු වාර්තාකරණ රීතීන්ට යටත්ව, එදින අධිකරණයේදී දිගහැරුණු හරස් ප්‍රශ්න විමසීම් ඔස්සේ රාජ්‍ය සේවයේ පිරිහීමේ ලක්ෂණ ගවේෂණය කිරීම මෙම ලිපියේ අරමුණයි.

"අපි ගොනු බැලුවේ නැහැ" – වගවීම පැහැර හැරීමේ නිලධාරීවාදී ස්වරූපය
රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී, විශේෂයෙන්ම මිනිස් ජීවිත හා සෘජුවම බැඳී පවතින හදිසි ඖෂධ මිලදී ගැනීමකදී, ඊට අදාළ ලිපිගොනු සහ ලේඛන සූක්ෂ්මව පරික්ෂා කිරීම කමිටු සාමාජිකයන්ගේ මූලිකම හා පරම වගකීමකි. එහෙත් මුදල් අමාත්‍යංශය නියෝජනය කරමින් හදිසි ප්‍රසම්පාදන කමිටුවට (HSEPPC) සහභාගී වූ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විත්ති පාර්ශවයේ නීතිඥ අමිත ආරියරත්න ගේ හරස් ප්‍රශ්න හමුවේ දුන් පිළිතුරෙන් සමස්ත පද්ධතියේම ඇති අලස බව හෙළිදරව් වේ.
නීතිඥ අමිත ආරියරත්න:
ගොනු පරික්ෂාවට බාධාවක් තිබුණේ නැද්ද?
සාක්ෂිකරු:
අපි ගොනු බැළුවේ නැහැ.
නීතිඥ අමිත ආරියරත්න:
මා අහන්නේ ඔබ ඉදිරියේ තිබියදී එම ගොනු පරික්ෂාවට බාධාවක් තිබුණේ නැද්ද කියලයි.
සාක්ෂිකරු:
නැහැ. ඇත්තටම තිබුණේ ගොනු නොවෙයි. ලේඛනයක්... ලොකු ගොනු තිබුණේ නැහැ.
මේ රටේ ඉහළම තනතුරු දැරූ, වරලත් ගණකාධිකාරීවරයෙකු ද වන නිලධාරියෙකු තමන් ඉදිරියේ තිබූ ලේඛන "පරික්ෂා කිරීමට බාධාවක් නොතිබියදීත්" ඒවා පරික්ෂා නොකළ බව අධිකරණය හමුවේ පිළිගැනීම සරල කරුණක් නොවේ. මෙය හුදෙක් කාර්යබහුලත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව, රාජ්‍ය යාන්ත්‍රණය තුළ මුල් බැසගෙන ඇති "ලැබෙන කොළයට අත්සන් තැබීමේ" යාන්ත්‍රික වගකීම් විරහිතභාවයයි.
කාලය මදි බව කීම: අඩුපාඩු වසාගැනීමේ දුර්වල නිදහසට කරුණු
ප්‍රසම්පාදන ක්‍රියාවලියක පවතින තොරතුරු ඌනතාවන් ප්‍රශ්න කිරීමට ඇති අයිතිය සහ වගකීම "කාලය මදි" යන පොදු නිදහසට කරුණ මත යටපත් කිරීමට නිලධාරීන් උත්සාහ කරන ආකාරය නීතිඥ අමිත ආරියරත්න මහතා කළ ප්‍රශ්න කිරීම් හමුවේ මනාව පැහැදිලි විය.
නීතිඥ:
කමිටුවේ කටයුතු කරද්දී යම් ලේඛනයක පවතින තොරතුරු ඌනතාවයක් තිබුණත් අවශ්‍ය පරිදි ප්‍රශ්න කළ හැකියි.
සාක්ෂිකරු:
ඔව් කාලය තමයි ප්‍රශ්නය.
නීතිඥ:
කාලය ගැන හිතා වගකීම් පැහැර හරින්න පුළුවන් ද?
සාක්ෂිකරු:
අපට ලොකු වගකීමක් තිබුණා ඖෂධ හිඟය පියවීම ගැන. ඒ නිසා ප්‍රධාන කාරණා තුන සළකා බැළුවා.
ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් පවතින අවස්ථාවක හදිසි ප්‍රසම්පාදනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය සැබෑවකි. එහෙත්, "හදිසිය" යන්න වගකීම් විරහිතභාවයට සහ නීතිමය පටිපාටීන් අත්හැරීමට බලපත්‍රයක් නොවේ. නීතිඥ රාහුල් ජයතිලක මෙහිදී තවත් වැදගත් නෛතික තර්කයක් මතු කළේය. සාක්ෂිකරු "කාලය මදි බව" අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දුන් ප්‍රකාශවල සඳහන් නොකර, පළමු වතාවට අධිකරණය ඉදිරියේ පවසන බවත්, එය සාක්ෂියේ පවතින විශාල ඌනතාවක් (Omission) බවත් නීතිඥවරයා හෙළි කළේය.
"අන්ධ විශ්වාසය" සහ අත්සනේ බරපතලකම නොදැනීම
රාජ්‍ය සේවයේ පිරිහීමේ හොඳම සහ බිහිසුණුම සාක්ෂිය හමුවන්නේ නීතිඥ රාහුල් ජයතිලක සහ සාක්ෂිකරු අතර ඇති වූ මෙම සංවාදය තුළිනි:
නීතිඥ රාහුල් ජයතිලක:
ඇයි අත්සන් කරන්නේ?
සාක්ෂිකරු:
අපි වග කියන බවට.
නීතිඥ රාහුල් ජයතිලක:
ඔබේ ගැලවීම පිණිස ලේඛන පරික්ෂා නොකල බව කියනවා.
සාක්ෂිකරු:
මට ඕන නම් ඉල්ලා බැලිය හැකිව තිබුණා. නමුත් මම එසේ කළේ නැහැ. අවිස්වාසයක් නැති නිසා.
මෙය ලාංකීය පරිපාලන ව්‍යුහයම සලිත කරවන ප්‍රකාශයකි. රාජ්‍ය නිලධාරියෙකු තීන්දු තීරණ ගත යුත්තේ සහ අත්සන් තැබිය යුත්තේ පුද්ගලික "විශ්වාසය" මත නොව, ලිඛිත සාක්ෂි, දත්ත සහ නීතිමය රාමුව මත පදනම්වය. "අවිශ්වාසයක් නැති නිසා බැලුවේ නැත" යන්න මිලියන ගණනක ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් පත් කළ කමිටු සාමාජිකයෙකුට කිසිසේත්ම අදාළ නොවන, වගකීම් විරහිත ප්‍රකාශයකි.
තමන් අත්සන් තබන ලේඛනයේ අන්තර්ගතය, ඊට අමුණා ඇති ඇමුණුම් (Annexures) තමන්ට ලැබුණේද නැද්ද යන්න පවා වග විභාගයකින් තොරව, "වෛද්‍ය ජයනාත් කාර්යාලයට පැමිණ එවෙලේම අත්සන් අරන් ගිය" නිසා අත්සන් තැබූ බව පැවසීමෙන් පෙනී යන්නේ ඉහළ නිලධාරීන් තමන් සතු බලතල සහ වගකීම් කෙතරම් සැහැල්ලුවෙන් සලකා ඇතිද යන්නයි.
විෂය දැනුමේ දුර්වලතාවය සහ තාක්ෂණික කමිටුවල නිරුවත
ඖෂධ වැනි අතිශය තාක්ෂණික සහ විද්‍යාත්මක විෂයකදී, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. එහෙත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත නාවාන කළ හරස් ප්‍රශ්න විමසීමේදී හෙළි වූයේ මෙම ප්‍රසම්පාදන තීරණ පිටුපස කිසිදු විශේෂඥ වෛද්‍යවරයෙකු සිට නොමැති බවයි.
නීතිඥ ප්‍රියන්ත නාවාන:
මේ ටෙක් කමිටුවේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවාද?
සාක්ෂිකරු:
විශේෂඥ වෛද්‍යවරුන් නැහැ.
නීතිඥ ප්‍රියන්ත නාවාන:
මේ ප්‍රසම්පාදන තීරණයේ දී අගැයීමට ඇතුළත් දත්ත සහිත වගුවක් තිබෙනවා. ඒ අනුව මේ ඖෂධයට සාම්පල සැපයුව ද?
සාක්ෂිකරු:
නැහැ සාම්පල තියෙනව ද කියල වත් අහල නැහැ.
ඖෂධයක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට සාම්පලයක් (Sample) ලබාගෙන තිබේදැයි විමසා බැලීමටවත් උත්සුක නොවන, විශේෂඥ ඖෂධවේදීන් හෝ වෛද්‍යවරුන් නොමැති කමිටුවකින් බාල ඖෂධ මිස වෙනත් කුමක් බලාපොරොත්තු විය හැකිද? රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් තමන්ට විෂය පථය පිළිබඳ දැනුමක් නොමැති නම්, ඊට අදාළ විශේෂඥ උපදෙස් ලබා ගැනීමට බැඳී සිටී. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ අගැයීම් කමිටු වාර්තා "අන්ධභාවයෙන්" අනුමත කිරීම පමණි.
භාවිතයන් සහ අත්දැකීම් වැරදි ලෙස යොදාගැනීම
කොවිඩ් වසංගත සමයේ පැවති හදිසි මාර්ගෝපදේශ සහ එහිදී ලබාගත් "අත්දැකීම්" සාමාන්‍ය තත්ත්වයන් යටතේදී ද අවභාවිත කිරීමට නිලධාරීන් පෙළඹී ඇති බව නඩු විභාගයේදී පෙනී ගිය තවත් කරුණකි. 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රසම්පාදන තීරණ ගැනීමට කොවිඩ් සමයේ අත්දැකීම් උපකාරී වූ බව සාක්ෂිකරු පිළිගනී. වසංගත සමයක පවතින සුවිශේෂී ලිහිල් නෛතික වටපිටාව, සාමාන්‍ය කාල පරිච්ඡේදයකදී දූෂිත ජාවාරම්කරුවන්ට පාර කැපීම සඳහා මෙවලමක් කර ගැනීමට නිලධාරීන්ගේ මෙම "වැරදි භාවිතයන්" හේතු වී තිබේ.
ආයතන සංග්‍රහය (Establishment Code) ප්‍රකාරව, රාජ්‍ය නිලධාරියෙකුගේ අනවධානය සහ නොසලකිල්ල යනු සේවයෙන් නෙරපා හැරීමට මෙන්ම දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි. නීතිඥ ප්‍රියන්ත නාවාන පෙන්වා දුන් පරිදි, එවැනි නිලධාරීන් සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත් කරයි.
දේශපාලන සෙවනැලිවලට යටින් දිවෙන නිලධාරීවාදී වංචාව
මෙම මහාධිකරණ නඩු විභාග සටහන හුදෙක් එක් නඩුවක සාක්ෂි විභාගයක් පමණක් නොවේ. එය සමස්ත ලාංකීය රාජ්‍ය සේවයේම පිරිහීම පෙන්වන එක්ස්-රේ (X-ray) වාර්තාවකි. දේශපාලකයන් වැරදි කිරීමට උපදෙස් දුන්නද, ඊට අවනත නොවන බව පවසන නිලධාරීන්, අවසානයේදී තමන්ගේම "නොසලකිල්ල", "ලිපිගොනු පරික්ෂා නොකිරීම" සහ "අන්ධ විශ්වාසය" තුළින් දූෂිත ජාවාරම්කරුවන්ට ජනතා බදු මුදල් මෙන්ම මිනිස් ජීවිත සූරාකෑමට අවස්ථාව සලසා දී ඇත.
සමාජයක් ලෙස අප දේශපාලකයන් දෙසට පමණක් ඇඟිල්ල දිගු කර බලා සිටින තාක්, සුදුවතින් සැරසී, සිවිල් පරිපාලනයේ ඉහළ පුටුවල වැජඹෙමින්, කිසිදු වගවීමකින් තොරව ලේඛනවලට අත්සන් තබන මෙවැනි වගකීම් විරහිත රාජ්‍ය නිලධාරීන් තවදුරටත් මෙවැනි විනාශයන්ට පාර කපනු ඇත. රාජ්‍ය සේවයේ පද්ධතිමය වෙනසක් සහ දැඩි වගවීමක් පිළිබඳ නීතිමය ප්‍රතිසංස්කරණ නොලැබෙන්නේ නම්, බදු ගෙවන ජනතාවට ඉතිරි වන්නේ "අත්සන් තැබූ" ව්‍යාජ ලේඛන සහ "බාල ඖෂධ" පමණි.

ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාග සටහන
2026/05/21
නඩු විභාගය පැවැත්වෙන ස්ථානය: ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය
විනිසුරු මඩුල්ල:
-
ප්‍රියන්ත ලියනගේ මහතා (සභාපති)
-
විරාජ් වීරසූරිය මහතා
-
තිලකරත්න බණ්ඩාර මහතා
නඩුවේ පසුබිම සහ චෝදනා
2022 සැප්තැම්බර් 2 වනදාත් 2023 සැප්තැම්බර් 4 වනදාත් අතර කාලය තුළ කොළඹ දී "රිටොක්සිමැබ්" (Rituximab) සහ "හියුමන් ඉමියුනොග්ලොබියුලින්" (Human Immunoglobulin) යන ඖෂධ ව්‍යාජ ලෙස සකසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදී රුපියල් 144,293,357.32 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
නම් කර ඇති විත්තිකරුවන්
-
සුදත් ජානක ප්‍රනාන්දු (අයිසොලෙස් ෆාමා හිමිකරු)
-
වෛද්‍ය කපිල වික්‍රමනායක (ඖෂධ සැපයීම් අංශයේ අධ්‍යක්ෂ)
-
පීස් දේවශාන්තිනි සොලමන්ස් (වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ)
-
මරක්කල මානගේ නිරාන් ධනංජය (වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී)
-
මහ මදාච්චි වසන්ත කුමාර (එම ඒකකයේ තොග පාලක නිලධාරි)
-
සීමා හේවගේ ජනක චන්ද්‍රගුප්ත (එවකට හිටපු සෞඛ්‍ය ලේකම්)
-
හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් (සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්)
-
කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල (හිටපු සෞඛ්‍ය අමාත්‍ය)
-
බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත් (ඖෂධ සැපයුම් ඒකකයේ වෛද්‍ය නිලධාරි)
-
රත්නායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක (ඖෂධ නියාමන හා සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම්)
-
අරඹෙගෙදර තුසිත සුදර්ශන (වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ)
-
වෛද්‍ය විජිත් ගුණසේකර (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට ප්‍රධාන විධායක නිලධාරි)
මූලික නිවේදන සහ අධිකරණ තීන්දු
නඩු විභාගය ආරම්භයේ දීම තෙවන විත්තිකාර පීස් දේවශාන්තිනි සොලමන්ස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන විනිසුරු මඩුල්ල වෙත දන්වා සිටියේ තම සේවා දායිකාව සහ ඇයගේ දියණිය ඩෙංගු රෝගයෙන් පෙළෙන බවයි. නඩු විභාගය අතරතුර ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අධිකරණයෙන් නික්ම යාමට අවසර ඉල්ලා සිටි අතර, වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත විනිසුරු මඩුල්ල ඇයට පිටත්ව යාමට අවසර ලබා දුන්නේය.
සාක්ෂි විභාගය: හරස් ප්‍රශ්න විමසීම
සාක්ෂිකරු: පට්ටිය ආරච්චිලාගේ සුසන්ත අතුල කුමාර මහතා (මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් - තෙවන දිනටත් සාක්ෂි දීම)
01. විත්ති පාර්ශවයේ නීතිඥ අමිත ආරියරත්න මහතා කළ හරස් ප්‍රශ්න විමසීම
-
නීතිඥ අමිත ආරියරත්න: HSEPPC කමිටුව ආරම්භයේ දී ලිපිගොනු ලැබිල තිබුණ ද?
-
සාක්ෂිකරු: නැහැ. ලැබී තිබුණේ නැහැ. නමුත් ඔක්තෝබර් 18 වැනිදා ගෙනත් තිබුණා.
-
නීතිඥ අමිත ආරියරත්න: සාකච්ඡා කලා නේ.
-
සාක්ෂිකරු: සාකච්ඡා කරන වෙලාවේ එකට හිඳ සාකච්ඡා කළේ.
-
නීතිඥ: ගොනු පරික්ෂාවට බාධාවක් තිබුණේ නැද්ද?
-
සාක්ෂිකරු: අපි ගොනු බැළුවේ නැහැ.
-
නීතිඥ: මා අහන්නේ ඔබ ඉදිරියේ තිබියදී එම ගොනු පරික්ෂාවට බාධාවක් තිබුණේ නැද්ද කියලයි.
-
සාක්ෂිකරු: නැහැ. ඇත්තටම තිබුණේ ගොනු නොවෙයි. ලේඛනයක්. පසුව තවත් ලොකු ලේඛනයක් ගෙනාවා. ඒ අනුව ලේඛන දෙකක් පමණයි තිබුණේ. ලොකු ගොනු තිබුණේ නැහැ.
-
නීතිඥ: ඔබට කමිටුවට ලිඛිත පත්වීමක් ලැබිල තිබුණ ද?
-
සාක්ෂිකරු: ඔව් ලැබිල තිබුණා.
-
නීතිඥ: ඔබ කමිටුවට සහභාගි වුණේ මුදල් අමාත්‍යංශ්‍ය නියෝජනය කරමින් නේද?
-
සාක්ෂිකරු: මාව නම් කළේ මුදල් අමාත්‍යංශය.
-
නීතිඥ: තාක්ෂණ කමිටුවේ අනුමැතියට යටත්ව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නේද මේ ඖෂධ සම්බන්ධ කටයුත්ත කෙරුණේ?
-
සාක්ෂිකරු: අපි එද්දි ඒ යටතේ තමයි මිල දී ගැනීම් කරන බව දන්වලා තිබුණේ.
-
නීතිඥ: ඖෂධ ප්‍රසම්පාදනයේ දී ආනයනික ඉන්දියානු ඖෂධ ලංකාවට ආනයනය කිරීමයි සිදුවිය යුතුය තිබුණේ.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය යටතේ තිබුණේ?
-
සාක්ෂිකරු: ඒ ගැන මට අදහසක් නැහැ.
-
නීතිඥ: ඖෂධ සැපයිම දැඩි අධීක්ෂණයක් යටතේ තිබුණා.
-
සාක්ෂිකරු: එහෙම දැනීමක් නැහැ.
-
නීතිඥ: එහි තිබුණු අධීක්ෂණ භාවය නිසා ඖෂධ ගුණාත්මක භාවයකින් ලැබෙන්න තිබුණා.
-
සාක්ෂිකරු: ඔව් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහතිකය සහිතව ලබාගත හැකිව තිබුණා.
-
නීතිඥ: ඖෂධයක ගුණාක්මක භාවය, මිල සහ කාලය මත පදනම්ව ඖෂධ ගෙන්වන බව කලින් ඔබ කීවා. ඖෂධ නියාමන අධිකාරියේ සහතිකය ලැබීමට ලියකියවිලි විශාල ප්‍රමාණයක් දිය යුතුයි.
-
සාක්ෂිකරු: මම දන්නේ නැහැ.
-
නීතිඥ: එම සහතිකය නැතිව ඖෂධ ගේන්න තාක්ෂණ කමිටුව ඉඩ දුන්නේ නැහැ.
-
සාක්ෂිකරු: එහෙම තමයි කියන්නේ.
-
නීතිඥ: කමිටුවේ කටයුතු කරද්දී යම් ලේඛනයක පවතින තොරතුරු ඌනතාවයක් තිබුණත් අවශ්‍ය පරිදි ප්‍රශ්න කළ හැකියි.
-
සාක්ෂිකරු: ඔව් කාලය තමයි ප්‍රශ්නය.
-
නීතිඥ: කාලය ගැන හිතා වගකීම් පැහැර හරින්න පුළුවන් ද?
-
සාක්ෂිකරු: අපට ලොකු වගකීමක් තිබුණා ඖෂධ හිඟය පියවීම ගැන. ඒ නිසා ප්‍රධාන කාරණා තුන සළකා බැළුවා.
-
නීතිඥ: සැපයිය යුතු සමහර ඖෂධවල තොග ශූන්‍ය වී ඇතැයි දැනගත්තා ද?
-
සාක්ෂිකරු: ඔව් වෛද්‍ය ජයනාත් කිව්වා ශුන්‍ය වන ඖෂධ ගැන. ඒවා හදිසියි කීවා.
-
නීතිඥ: ඒ තොරතුරු ගන්නේ ප්‍රොන්ටො පද්ධතිය හරහා කියල ඔබ දන්නව ද?
-
සාක්ෂිකරු: ඒ ගැන දන්නේ නැහැ ස්වාමිනි.
-
නීතිඥ: අගැයීම් කමිටුව පත් කිරීම ගැන ඔබ මොනවද දන්නේ?
-
සාක්ෂිකරු: මම එන්න පෙර ඒ කමිටුව පත් කර තිබුණා. ඒ හැර වෙන දෙයක් දන්නේ නැහැ.
02. නවවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක කළ හරස් ප්‍රශ්න විමසීම
-
නීතිඥ රාහුල් ජයතිලක: ඔබ විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරියෙක්. ඊට පෙර අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්. එම තනතුරට සුදුසුකම් සපුරා තිබෙනවා. ඒ් වගේම ඔබ වරලත් ගණකාධිකාරි වරයෙක්. ඔබට ගණකාධිකරණය ගැන දැනුමකුත් තිබෙනවා.
-
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි.
-
නීතිඥ රාහුල් ජයතිලක: ඔබ විශේෂඥ කමිටුවලත් සිටියා ද?
-
සාක්ෂිකරු: විශේෂඥ කමිටු කිව්වේ.
-
නීතිඥ: ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂඥ කමිටුව වැනි කමිටුවල. ප්‍රසම්පාදන තාක්ෂණ අගැයීම් කමිටුව වැනි කමිටුවල?
-
සාක්ෂිකරු: මතකයක් නැහැ ස්වාමීනි.
-
නීතිඥ: ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රසම්පාදන මණ්ඩලය?
-
සාක්ෂිකරු: තාක්ෂණ කමිටුවක් ද ප්‍රසම්පාදන කමිටුවක් ද මතක නැහැ ස්වාමීනි.
-
නීතිඥ: ඔබ කටයුතු කර ඇති ආයතන හෝ මණ්ඩල ගැන කියන්න.
-
සාක්ෂිකරු: වරාය අධිකාරිය, ගොඩනගිලි දෙපාර්තමේන්තුව, සිලෝන් ඇග්‍රො, පිඟන් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනවල ඉඳල තියෙනවා ස්වාමීනි.
-
නීතිඥ: එම තැන්වල දී වගකීම හා වගකීම කාටද?
-
සාක්ෂිකරු: ශ්‍රී ලංකා රජයට ස්වාමීනි.
-
නීතිඥ: රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ තිබු වගකීම කුමක් ද?
-
සාක්ෂිකරු: රාජ්‍ය ව්‍යාපාර කාර්ය මණ්ඩල, ගිණුම් කටයුතු ආදිය සොයා බැලුවා. අදාල අංශ ගැන පමණක් තීරණ ගත හැකියි. ඒ්වා නොපිරිහෙළා ඉටු කලා.
-
නීතිඥ: ඔබට ඇති වගකීම බලතල වෙනත් කෙනෙකුට භාර දුන්න ද?
-
සාක්ෂිකරු: නැහැ ස්වාමිනි එහෙම කරන්නේ නැහැ.
-
නීතිඥ: වාර්තා කිරීම් ගැන හොයල බලනව ද නැත්නම් වෙනත් නිලධාරියෙකුට භාර දෙනව ද?
-
සාක්ෂිකරු: අදාල නිලධාරියා වගකීමෙන් බැඳෙනවා ස්වාමිනි. සැකයක් ඇත්නම් බලනවා.
-
නීතිඥ: සැක නැත්නම් බලන්නේ නැද්ද? සේවකයන් විශ්වාස කරනවා ද?
-
සාක්ෂිකරු: රාජ්‍ය ව්‍යාපාර විශාල ගණනක් තියෙනවා. ඒ සියල්ලේම සියලු දේ සොයන්න බැහැ. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩල හා ප්‍රධානීන් පත් කර තියෙනවා.
-
නීතිඥ: ඔබ ඔබේ වගකීම දන්නව ද?
-
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
-
නීතිඥ: ඔබෙන් අවසර ඉල්ලන ලේඛන ඇවිත් තිබෙනවද?
-
සාක්ෂිකරු: ඔව් අවශ්‍යනම් බලනවා. අත්සන් කරනවා.
-
නීතිඥ: ඇයි අත්සන් කරන්නේ?
-
සාක්ෂිකරු: අපි වග කියන බවට.
-
නීතිඥ: ඔබ කොවිඩ් හදිසි ප්‍රසම්පාදන කමිටුවේ කටයුතු කළා.
-
සාක්ෂිකරු: එසේය ස්වාමීනි.
-
නීතිඥ: මේ කමිටුවේ කටයුතු කරද්දී බැලුවේ අයිතම වශයෙන් ද?
-
සාක්ෂිකරු: ඔව්. වෙලාවත් එක්ක ඔක්කොම බලන්න බැහැ.
-
නීතිඥ: වෙලාව මදි කියා ඔබ හැමවෙලේම කියනවා. අධිකරණය හැර වෙනත් තැන්වලත් කියා තිබෙනවද?
-
සාක්ෂිකරු: ඔව් අවස්ථාව ලැබුණ තැන්වල කියා තිබෙනවා.
-
නීතිඥ: කොහේ දීද?
-
සාක්ෂිකරු: තැන් මතක නැහැ.
-
නීතිඥ: අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කිව්ව ද?
-
සාක්ෂිකරු: අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇසූ දේවල්වලට උත්තර දුන්නා.
-
නීතිඥ: කාලය මදි බව කිව්ව ද?
-
සාක්ෂිකරු: වටපිටාව ගැන කියනවා පමණයි.
-
නීතිඥ: මම යෝජනා කරනවා මේ කාලය මදි බව කියන්නේ පළමු වතාවටයි. ඔබ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශවල කොතැනකවත් කිව්වේ නැහැ.
-
සාක්ෂිකරු: කිව්වද කියල මට මතක නැහැ.
-
(නීතිඥවරයා විසින් කාලය මදි යන්න ඌනතාවයක් ලෙස මෙහිදී අධිකරණයට පෙන්වා දෙන ලදී.)
-
නීතිඥ: කොවිඩ් ප්‍රසම්පාදන කමිටුවේ කටයුතු කරද්දී වගකීම් මොනවාද?
-
සාක්ෂිකරු: ගයිඩ්ලයින් එකේ තිබුණු හැම දෙයක්ම මිල දී ගැනීම්.
-
නීතිඥ: ඒ වගකීම් මොනවගේ ද?
-
සාක්ෂිකරු: අවශ්‍ය සැපයුම්කරුවන් මිල ගණන් කැඳවා අනුමත කිරීමේ වගකීම.
-
නීතිඥ: කමිටුවල දී අවශ්‍ය ලේඛන බැලිය හැකි ද?
-
සාක්ෂිකරු: ඔව් ස්වාමිනි.
-
නීතිඥ: හදිසි මිල දී ගැනීම්වල ප්‍රසම්පාදන කටයුතු වල දී ඒ සම්බන්ධව ලේඛන පරික්ෂාවට බාධා තිබුණා.
-
සාක්ෂිකරු: ඉක්මණින් කටයුතු කිරීමේ උවමනාව තිබුණා. කමිටු පිහිටුවල තියෙන්නේ ඒකටයි කියන වගකීමෙන් අපි බැඳෙනවා. ඒ ගැන අවබෝධයෙන් ඉන්නවා.
-
නීතිඥ: මේ HSEPC කමිටුවේ තවත් සාමාජිකයින් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් හා කටයුතු කරද්දී තීරණ ලබාදීමේ අවස්ථාවන් හිදී විරෝධතා දැක්වූ අවස්ථා තිබේ ද?
-
සාක්ෂිකරු: නැත ස්වාමිනි.
-
නීතිඥ: කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්න දත්ත ලැබුණ ද?
-
සාක්ෂිකරු: පළමු වතාවට ගියා නම් තොරතුරු ලබාගන්නවා. බලන්නේ අවිස්වාස නැත්නම් අපි බලන්නේ නැහැ.
-
නීතිඥ: මම යෝජනා කරනවා 13, 18, 25 දින තුනේම සියලුම ලේඛන ඉදිරිපත් කර තිබුණා කියා.
-
සාක්ෂිකරු: ලේඛනයක විශේෂ අවශ්‍යතාවයක් දැක්කේ නැහැ.
-
නීතිඥ: ඔබට තිබුණු විනය පරික්ෂණය කුමක් ද? කුමන වසරේ ද?
-
සාක්ෂිකරු: 2023 වසරේ. මට චෝදනා පත්‍රයක් ලැබුණා.
-
නීතිඥ: 2023 දෙසැම්බර් 5 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශයේ දී සියලුම ලේඛන ලැබුණේ නැහැ කිව්ව ද?
-
සාක්ෂිකරු: මතක නැහැ.
-
නීතිඥ: කිසිම අවස්ථාවක සීඅයිඩියට කියා නැහැ සියලුම ලේඛන නිවැරදිව ලැබුණෙ නැහැ කියා.
-
සාක්ෂිකරු: එහෙම කියන්න අවශ්‍යතාවයක් වුණේ නැහැ.
-
(සාක්ෂිකරු සීඅයිඩියට ප්‍රසම්පාදන ලේඛන ලැබුණේ නැති බව පවසා නොමැති නිසා එම කාරණය නීතිඥවරයා විසින් ඌණතාවක් ලෙස අධිකරණයට පෙන්වා දෙන ලදී.)
-
නීතිඥ: කමිටුව රැස්වීමේ දී අදාල සාකච්ඡා කරගෙන ඇවිත් තිබුණා කියා කීවා ද?
-
සාක්ෂිකරු: මම එහෙම කිව්වේ නැහැ.
-
නීතිඥ: ඔබ දිගින් දිගටම කිව්වා අදාල සැපයුම් ගැන කිව්වා කියා. මම යෝජනා කරනවා සියලු ලිපි ලේඛන වෛද්‍ය ජයනාත් බුත්පිටිය මගින් ඉදිරිපත් කලා කියා.
-
සාක්ෂිකරු: පළමු අවස්ථාවේ අතින් ලියූ කොළ ආවා.
-
නීතිඥ: ප්‍රසම්පාදන කමිටුවේ අනෙක් සාමාජිකයෝ කවුද?
-
සාක්ෂිකරු: චන්ද්‍රගුප්ත මහතා, වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය ජයනාත් ඇතුළු නිලධාරින් හිටියා.
-
නීතිඥ: ඒ අය හඳුනාගත හැකි ද?
-
සාක්ෂිකරු: හරියට මතක නැහැ.
-
නීතිඥ: කොවිඩ් ප්‍රසම්පාදනය පටන් ගන්න කලින් පුහුණුවක් දුන්න ද?
-
සාක්ෂිකරු: මතක නැහැ.
-
නීතිඥ: සංවර්ධන නිලධාරින්ට?
-
සාක්ෂිකරු: කණ්ඩායමක් හිටියා කීදෙනෙක් ද මතක නැහැ. ජයනාත් මහතා ඇතුළු පිරිසක් හිටියා.
-
නීතිඥ: රැස්වීම තිබුණු ආකාරය කියන්න.
-
සාක්ෂිකරු: ලොකු කාමරයක්. මෙහි ලොකු මේසයක් තිබුණා.
-
නීතිඥ: එහි සභාපති ලෙස ඉඳගත්තේ එවකට ලේකම් චන්ද්‍රගුප්ත?
-
සාක්ෂිකරු: ඉස්සරහ වාඩි වුණේ රත්නායක මහතා, දකුණු පැත්තේ ජයනාත් මහතා.
-
නීතිඥ: පිටුපසත් පුටු තිබුණ ද?
-
සාක්ෂිකරු: මතක නැහැ.
-
නීතිඥ: සැපයුම්කරුවන් ඇවිත් හිටි බව කීවා.
-
සාක්ෂිකරු: ඔව්. ඔවුන් සමග සාකච්ඡා කළා. සමහර අවස්ථාවල දුරකතනයෙනුත් සාකච්ඡා කළා.
-
නීතිඥ: 2023 දෙසැම්බර් 5 සීඅයිඩියට දුන් ප්‍රකාශයේ සැපයුම්කරුවන් ඇවිත් සිටි බව නොකී බවට මම යෝජනා කරනවා.
-
සාක්ෂිකරු: ඔය වචනවලින්ම කිව්ව ද කියල නම් මට අමතකයි.
-
නීතිඥ: දුරකතනයෙනුත් අදාල නිගෝෂියේෂන් කලා ද?
-
සාක්ෂිකරු: පැමිණ නැත්නම් තෝරාගත් අයෙක් අපි කමිටුව වශයෙන් දුරකතනයෙන් කතා කර තිබෙනවා. බොහෝ වෙලාවට කතා කරන්නේ මම.
-
නීතිඥ: ඔබ කමිටු සාමාජිකයෙක්. ප්‍රධාන තිදෙනාගෙන් අයෙක්. විශේෂ කරුණු ගැන සටහන් තබාගත්තාද?
-
සාක්ෂිකරු: මම පරික්ෂා කළේ නැහැ.
-
නීතිඥ: සාමුහික තීන්දු ගන්නේ ප්‍රධාන තිදෙනා ද?
-
සාක්ෂිකරු: තීන්දු ගැනීමේ වගකීම වෙනත් කාටවත් පවරන්නේ නැහැ. අපි කමිටුවේ ප්‍රධාන සාමාජිකයින් අතරයි එය සිදුවන්නේ.
-
නීතිඥ: තීන්දු ගැනීමට වෙන හේතු ගැන සැළකිලිමත් වෙනවාද? (මෙහිදී පැ. 259 ලේඛනය පෙන්වයි) මෙම ලේඛනය මතකද?
-
සාක්ෂිකරු: ඔව්. අපි වගකීම භාරගනිමින් අත්සන් කළ ලේඛනය. අපේ ඍජු දැනීම සම්බන්ධව ක්‍රියාපටිපාටිය වගකීම් අරන් අත්සන් කළ එකක්.
-
නීතිඥ: සත්‍ය නිසාද?
-
සාක්ෂිකරු: සත්‍ය බවට විශ්වාස නිසා. අපි රාජ්‍ය සේවයට එද්දි පොරොන්දු දී තිබෙනවා. අපි එද්දි දැනුවත් වී සිටි කරුණු නිසා ඉලක්කම් ගැන අවබෝධයක් නැතත් වගකීම් මතින් බැඳිසිටිනවා.
-
නීතිඥ: 1.4 හි ඇති වෛද්‍ය සැපයුම් ඒ්කකය ගැන මතක ද?
-
සාක්ෂිකරු: මට මතක නැහැ.
-
නීතිඥ: 1.6 හි ඇමුණුමක් තියෙනවා.
-
සාක්ෂිකරු: එය ලැබුණේ නැහැ. කැබිනට් පේපර් එකක් දානවා කී නිසා අත්සන් කළා.
-
නීතිඥ: ලේඛනයකට අත්සන් කරන්නේ වගකීම දරාගෙන නේද?
-
සාක්ෂිකරු: මට විශ්වාසයි බොරුවක් කියල නැහැ කියා.
-
නීතිඥ: හැම එකකටම ඒ විශ්වාසය තියෙනව ද?
-
සාක්ෂිකරු: අපි මිල ප්‍රමාණය හා ක්‍රයිටීරියා හදල තියෙන නිසා බය නැතිව අත්සන් කළා. හදිසිභාවය ප්‍රධානයි. ඒ නිසා සැපයුම්කරුවන්ට අවස්ථාව දුන්නා. ආපු ලංසුවල මිල ගණන්, කෙටිකාලයකින් ගෙන්වා දෙන්න පුළුවන් ද බලලා ආදි නිර්දේශ බලලයි අපි තීන්දු ගන්නේ.
-
නීතිඥ: ලිපි ලේඛන අතට අරන් බලන්න බාධාවක් තියෙනවා ද?
-
සාක්ෂිකරු: සමහර විට ඒවාත් බලනවා.
-
නීතිඥ: ඔබ කියන්නේ සමරි ෂීට් බලනවා වගේම ලංසු ලේඛනත් පරික්ෂා කරනවා කියල ද?
-
සාක්ෂිකරු: නැහැ ස්වාමිනි.
-
නීතිඥ: මම යෝජනා කරනවා අදාල බෙහෙත්වලට අදාල ලිපි ලේඛන කමිටුවට භාර දීල තිබුණා කියලා.
-
සාක්ෂිකරු: මම පිළිගන්නේ නැහැ.
-
නීතිඥ: ඒවා ඔබ ලඟ තබාගෙන දවස් කිහිපයකින් අත්සන් කර දුන්නා.
-
සාක්ෂිකරු: නැහැ වෛද්‍ය ජයනාත් පැමිණ අත්සන් ලබාගෙන එවෙලෙම අරන් ගියා.
-
නීතිඥ: ඔබ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට 2023 දෙසැම්බර් 5 සහ 2024 නොවැම්බර් 1 යන දෙදින දුන් ප්‍රකාශවලින් පැ. 259 ලේඛනයට අත්සන් ගන්න වෛද්‍ය ජයනාත් ආ බව කීවා.
-
සාක්ෂිකරු: ඔව් මම කිව්වා.
-
නීතිඥ: ඔබ පළමුවරට කියන්නේ වෛද්‍ය ජයනාත් කාර්යාලයට ආ බව.
-
සාක්ෂිකරු: අනිවාර්යයෙන් ආවා.
-
(නීතිඥවරයා විසින් වෛද්‍ය ජයනාත් කාර්යාලයට ආ බව කීම ඌනතාවයක් ලෙස මෙහිදී පෙන්වා දෙන ලදී.)
-
නීතිඥ: ඔබ මේ ලේඛනය දින දෙකක් තබාගත් බවට මම යෝජනා කරනවා.
-
සාක්ෂිකරු: නැහැ, ඇවිත් අත්සන් කර අරන් ගියා.
-
නීතිඥ: ගොනුවේ පැ. 261 ලේඛනය බලන්න. මෙහි අත්සන් කලාද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: ඒ අත්සන් කළේ ප්‍රසම්පාදන කටයුතුවලට තීරණ දෙන්න සෑහීමකට පත්වුණා ද?
-
සාක්ෂිකරු: ඔව්. දත්තවල නිවැරදි භාවයක් තියෙනවා කියා සිතනවා.
-
නීතිඥ: ලැබුණු දත්ත තහවුරු කරගන්න තැනක් තිබුණ ද?
-
සාක්ෂිකරු: නැහැ ස්වාමිනි. ඒවැනි ලේඛන තහවුරු කරන්න ලේඛන ලැබුණේ නැහැ.
-
නීතිඥ: ඔබට ලැබුණු තොරතුරු සම්බන්ධ නිරවද්‍යතාව තවදුරට බලන්න ක්‍රමයක් තිබුණ ද?
-
සාක්ෂිකරු: නැහැ.
-
නීතිඥ: ජයනාත් බුත්පිටිය පැමිණ අත්සන් ගත් බව කීවා. සීඅයිඩී යට ප්‍රකාශ දුන් දින දෙකේ ඒ බව කීවා ද?
-
සාක්ෂිකරු: මට මතක හැටියට කීවා.
-
නීතිඥ: ඒ කාරණාව කියල නැහැ කියා මා යෝජනා කරනවා.
-
සාක්ෂිකරු: ඇහුව නම් කියල ඇති.
-
(නීතිඥවරයා විසින් අත්සන ගන්න ජයනාත් ආ බව කීම ඌණතාවයක් ලෙස ප්‍රකාශ කරන ලදී.)
-
සාක්ෂිකරු: ඔහු ආ බව මට මතකයි.
-
නීතිඥ: පැ 261 හි 2 පිටුවේ හා 5 පිටුවේ ඇති ඇමුණුම් ඔබට ලැබුණ බව මම යෝජනා කරනවා.
-
සාක්ෂිකරු: මට ලැබුණේ ඇමුණුම් දෙකයි.
අධිකරණයේ අවධානයට යොමු වූ කරුණ: පැ 261 සහ පැ 259 ලේඛනවලට අත්සන් ලබාගැනීමට 9 වන චූදිත කාර්යාලයට පැමිණ ඇති බව පළමු ප්‍රකාශයේ පවසා නැතත් දෙවන ප්‍රකාශයේ අවධානයට යොමු කර ඇති බව අධිකරණයේ අවධානයට යොමු වේ. ඒ අනුව මෙහි ඌනතා නිශ්චය කරගැනීමට පමණක් එනම් නඩු විභාග කිරීම සදහා සාක්ෂීකරුවන් දුන් ප්‍රකාශය පරික්ෂා කරනු ලබයි. දෙවන ප්‍රකාශයේ පැ 259 සහ පැ 261 ලේඛන 9 චූදිත කාර්යාලයට රැගෙන විත් ඇති බව හා කමිටු වාර්තාවට අත්සන් ලබාගෙන ඇත.
-
නීතිඥ: ඔබ මූලික සාක්ෂියේ දී වෛද්‍ය ජයනාත් SPC වලට ප්‍රසම්පාදන කරන්න බැරි බව කීවාද?
-
සාක්ෂිකරු: SPC යනුවෙන් නම් කළා යැයි මට මතක hැහැ.
-
නීතිඥ: පැ. 72 ගොනුවේ 259 ලේඛනයේ 53 පිටුවේ 2/25 ට අවධානය යොමු කරන්න. හියුමන් ඉමියුනොග්ලොබියුලින් සඳහා ඔබේ අත්සන යෙදුවා ද?
-
සාක්ෂිකරු: ඔව්. 22500 ක් ඒකක එම බෙහෙතින් අයිසොලෙක් බයෝ ෆාමා වෙතින් මිල දී ගන්නට කියා.
-
නීතිඥ: ඔබ කොතැනකවත් ලංකාවේ නිෂ්පාදන සපයන්න කියා කියල නැහැ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වන්නයි නිර්දේශ දුන්නේ. එම තීරණය වෙනස් කළා ද?
-
සාක්ෂිකරු: නැත ස්වාමීනි. එය සාමුහික තීරණයක්.
-
නීතිඥ: මේ තොරතුරු හා දත්ත මත WR එකට යටත්ව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වන්න මිස ලංකාවේ නිපදවන්න තීරණය කරල නැහැ.
-
සාක්ෂිකරු: එසේය ස්වාමිනි.
-
නීතිඥ: ඒක දත්ත මත පදනම්ව ගත් තීරණයක්.
-
සාක්ෂිකරු: ලංකාවේ හදන්න කවුරුවත් කීවේ නැහැ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගන්නයි තීරණය වුණේ.
-
නීතිඥ: මම යෝජනා කරනවා කමිටු තීරණ ගැනිමට ප්‍රසම්පාදන ඒකකය විසින් ප්‍රසම්පාදන දැන්වීම ඉදිරිපත් කලා කියලා.
-
සාක්ෂිකරු: නැහැ දැන්වීම ඉදිරිපත් කළේ නැහැ.
-
නීතිඥ: අගැයුම් කමිටුවේ වාර්තාව ඉදිරිපත් වුණා ද?
-
සාක්ෂිකරු: ඉදිරිපත් වුණා.
-
නීතිඥ: කමිටුවට වාර්තා ඉල්ලා බැලීමට බාධා තිබුණා ද?
-
සාක්ෂිකරු: නැහැ.
-
නීතිඥ: කමිටු සාමාජිකයෙක් ලෙස සෞඛ්‍ය ලේකම් විසින් ලංසු කැඳවන මෙන් කිව්වේ නැද්ද?
-
සාක්ෂිකරු: එසේ කටයුතු යොදා ඇති බව වෛද්‍ය ජයනාත් කිව්වා.
-
නීතිඥ: මම යෝජනා කරනවා නිසි දැනුම් දීමක් කලා කියලා.
-
සාක්ෂිකරු: සමහර විට ෆෝන් එකෙන් කියනවා. නමුත් මේ ගැන එතනට ගියාමයි දැනගත්තේ.
-
නීතිඥ: ලිඛිත දැනුම් දීමක් අවශ්‍ය ද ලංසු කැඳවීමට?
-
සාක්ෂිකරු: අවසානයේ එකඟ වෙනවා මිස ලේඛන හදා අපට ඉදිරිපත් කරන්නේ නැහැ.
-
නීතිඥ: මෙම නඩුවට පාදක ප්‍රසම්පාදන කමිටුවට ලංසු කැඳවන්න කලින් ඔබ ලංසු ගැන දැනුවත් කළාය කියා මම යෝජනා කරනවා. දෙසැම්බර් 5 අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශයට ඇතුළත් කරුණුවලට වඩා තොරතුරු දෙවන ප්‍රකාශයේ ප්‍රකාශ කර තිබෙනවාය කියා කිව්වොත්?
-
සාක්ෂිකරු: ප්‍රකාශ කරන්න ඇති ස්වාමිනි.
-
නීතිඥ: මෙම ප්‍රකාශ දෙක අතර කාලයේ විනය පරික්ෂණය සිද්ධ වුණේ.
-
සාක්ෂිකරු: මම විශ්‍රාම යන්න ආසන්නයේ විනය පරික්ෂණය පැවැත්වුණේ. ඒ නිසා මම ඒ කරුණ පිළිගන්නේ නැහැ.
-
නීතිඥ: ඔබ නිසි ලෙස ලේඛන පරික්ෂා කර තීරණවලට එළැඹුණා කියා සිතනවා.
-
සාක්ෂිකරු: නැහැ ස්වාමිනි.
-
නීතිඥ: බිය නිසා එහෙම කියනවා නේද?
-
සාක්ෂිකරු: බිය විය යුතු නැහැ.
-
නීතිඥ: මේ සිද්ධිය ගැන විනය පරික්ෂණයේ ඇහුවද?
-
සාක්ෂිකරු: මේ කරුණු නෙවෙයි එතන දි ඇහුවේ.
-
නීතිඥ: ඒ ලේඛන වලින් අලුත් කරුණු දැනගත්ත ද?
-
සාක්ෂිකරු: අලුත් කරුණු විදියට දැනගන්න තිබුණා.
-
නීතිඥ: ඔබේ ගැලවීම පිණිස ලේඛන පරික්ෂා නොකල බව කියනවා.
-
සාක්ෂිකරු: මට ඕන නම් ඉල්ලා බැලිය හැකිව තිබුණා. නමුත් මම එසේ කළේ නැහැ. අවිස්වාසයක් නැති නිසා.
නවවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත නාවාන කළ හරස් ප්‍රශ්න විමසීම
-
නීතිඥ ප්‍රියන්ත නාවාන: ඔබට මේ රටේ රාජ්‍ය ආයතන ගණනාවක් පිළීබඳ විශාල වගකීමක් පැවරි තිබුණා. එය ඉටු කිරිමේ දී නිසි අවධානය සැළකිල්ල යොමු කල යුතුයි නේද?
-
සාක්ෂිකරු: ඔව් ස්වාමිනි.
-
නීතිඥ ප්‍රියන්ත නාවාන: රාජ්‍ය නිලධාරියෙකු ගේ සැලකිල්ල ගැන ඔබ දන්නවා ද? අනවධානය හා නොසලකිල්ල නෙරපා හරින්නට හේතුවක් වෙනවා. ආයතන සංග්‍රහයේ ද ඒ බව සඳහන්.
-
සාක්ෂිකරු: ඔව් ස්වාමිනි.
-
නීතිඥ: එසේ කරන නිලධාරියෙක් එයින් රාජ්‍ය සේවය අපකීර්තියට පත් කරන බවයි සැළකෙන්නේ.
-
සාක්ෂිකරු: එසේය ස්වාමිනි.
-
නීතිඥ: ඒවා දඬුවම් ලැබිය හැකි වැරදි.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: අවධානය හා සැළකිල්ල කියන්නේ තමන් කරන සියලු කටයුතු වල දී සියලු කරුණු සළකා බලා තීරණ ගැනීමයි. එහෙම නේද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්ව සිටිය දී 2021 දී කොවිඩ් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ කමිටුවේ කටයුතු කරනු ලැබුවා.
-
සාක්ෂිකරු: එහෙමයි.
-
නීතිඥ: එය සැකසුවේ මුදල් අමාත්‍යංශය මගින්. ඒ ගැන ඔබ දන්නවා.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: මෙහි අනෙක් සාමාජිකයන් වුණේ සෞඛ්‍ය ලේකම් හා ඖෂධ සංස්ථා සභාපති.
-
සාක්ෂිකරු: ඔව් දිගටම එහෙමයි.
-
නීතිඥ: ඔබ මේ කමිටුවේ මුල් අස්තිතියේ සිට කමිටුව අවසන් කරන තෙක් සිටියා.
-
සාක්ෂිකරු: ඔව් ස්වාමිනි.
-
නීතිඥ: කොවිඩ් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වාර්තාවලටත් දේශනවලටත් සහභාගි වුණා.
-
සාක්ෂිකරු: ඔව් මෙහි දී හරියාකාරව මධ්‍යස්ථව කටයුතු කළා.
-
නීතිඥ: මේ ප්‍රසම්පාදනය මුදල් හා සම්බන්ධ නිසා විශේෂයි. හරියාකාරව කටයුතු කිරීම විශේෂයි.
-
සාක්ෂිකරු: ඔව් මම අවධානය යොමු කළා.
-
නීතිඥ: ඔබ සාක්ෂි දුන්නා 10/20 ලේඛනය සම්බන්ධයෙන්. මෙහි ඔබේ අත්සන තිබෙනවා ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: ඒ අනුව මේවා ඔබේ ප්‍රසම්පාදන තීරණ?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: මේ කමිටුවේ සම්බන්ධීකරණ කටයුතු කරන ලද්දේ කවුද?
-
සාක්ෂිකරු: නවාවි මහතා.
-
නීතිඥ: ඔහු ලේඛන හදන්න, දැනුවත් කරන්න, සම්බන්ධීකරණය කරන්න කටයුතු කළා.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: එවැනි ලේඛන විශාල වශයෙන් හදන්න අවශ්‍යයි.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: එම ලේඛන ඉදිරිපත් වුණාම සළකා බැලීම්වලට යටත්ව තීරණ ගන්නවා.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණ කමිටුවේ වෛද්‍ය අතපත්තු, හා තවත් දෙදෙනෙක් ද සොලමන්ස් මහත්මිය ද නවාවි මහතා ද සහභාගි වී තිබෙනවා 10/28 ඖෂධය සදහා අනුමැතිය දීමට. එය සාමුහික තීරණයක් ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: සෝඩියම් වැල්පරේට් (Sodium Valproate) පෙති මිල දී ගැනීම සඳහා දුන් ප්‍රදානයක් තියෙනවා. එය දුන්නේ කාටද?
-
සාක්ෂිකරු: යාඩන් ඉන්ටනැෂනල්.
-
නීතිඥ: ඔබ කලින් සාම්පල් කතාවක් කිව්වා. යාඩන් සමාගම දුන්නා ද සාම්පල්?
-
සාක්ෂිකරු: නැහැ.
-
නීතිඥ: සාම්පල් ඉදිරිපත් නොකල යාඩන් ඉන්ටනැෂනල් වෙත ඇණවුම් දුන්නා. එම තීරණ ගැනීමේ දී මිල ගැන කතා කරන විට අඩුම කාලයකින් ඖෂධ ගෙන එන්න පොරොන්දු වීම හේතුවෙන් එම ප්‍රදානය කළා විය හැකි ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: අංක 12 සම්බන්ධව බලද්දී සමාගමට සැපයූ තොරතුරු මත මේ ප්‍රදානය දී තිබෙනවා. අංක 12 යටතේ ALSO යනුවෙන් සටහනක් යොදා ඇති සටහන බලන්න. මෙහි ලංසුකරු කවුද?
-
සාක්ෂිකරු: මෙහි කියා ඇත්තේ යාඩෙන් සමාගම බවයි.
-
නීතිඥ: මෙම තීරණය කමිටුව මගින් සාමුහිකව ගෙන ඇත්ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: 10/17 ට අවධානය යොමු කරන්න. මෙයත් හදිසි ප්‍රසම්පාදන කමිටුව ගත් තීරණයක් ද?
-
සාක්ෂිකරු: ඔව් අත්සන් තිබෙනවා ඒ බවට.
-
නීතිඥ: පයිතොමෙනඩියොන් (Phytomenadione) එන්නත් ඒකක 25000ක් ගන්න අනුමැතිය දී තිබෙනවා.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: මේ ටෙක් කමිටුවේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවාද?
-
සාක්ෂිකරු: විශේෂඥ වෛද්‍යවරුන් නැහැ.
-
නීතිඥ: මේ ප්‍රසම්පාදන තීරණයේ දී අගැයීමට ඇතුළත් දත්ත සහිත වගුවක් තිබෙනවා. ඒ අනුව මේ ඖෂධයට සාම්පල සැපයුව ද?
-
සාක්ෂිකරු: නැහැ සාම්පල තියෙනව ද කියල වත් අහල නැහැ.
-
නීතිඥ: මේ අනුව 10/17 සහ 10/20 සිට 28 දක්වා ලේඛනවල සඳහන් ප්‍රසම්පාදනයට සහය වීමට අගැයීම් කිරිමට වෛද්‍යවරු සිටියා ද?
-
සාක්ෂිකරු: ඔව් ඒ්ත් විශේෂඥ වෛද්‍යවරු හිටියේ නැහැ.
-
නීතිඥ: ඒ වගුවේ තොරතුරුත් සළකා බලලා ද අනුමැතිය දුන්නේ?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: සාම්පල් ලබාගැනීම හෝ සාම්පල් අදාල තොරතුරු ලබා ගැනීම් සටහන් වන්නේ නැද්ද? නවාවි මහතා කළ ඖෂධ 66 ක සම්පාදන ගැන පෙර ඔබ කීවා. ඒ අතර ඇති ඖෂධ අතර මෙම ඖෂධත් තිබෙන බව පිළිගන්නව ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: නවාවි මහතා සමග ප්‍රසම්පාදනය කළ ඖෂධ 66 ම සම්බන්ධව මේ වගේ අගැයීමක් කළා ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: මේ ප්‍රසම්පාදන තීරණ ගනු ලැබුයේ 2022 ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ දීද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: ඔබෙන් කවුරු හරි ඉල්ලීමක් කළා ද මේවා දෙන්න මේවා එපා කියා.
-
සාක්ෂිකරු: නැහැ.
-
නීතිඥ: එම ඖෂධ 66ට අදාල ප්‍රසම්පාදනයේ දී කොවිඩ් සම්පාදන ක්‍රියාවලිය තුළ පැවැති අත්දැකීම් උපකාර වුණා ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි ප්‍රසම්පාදන සදහා ඔබෙන් විමසුවා ද? ඒ ප්‍රසම්පාදනය 2022 ඔක්තෝබර් 13, 18, 25 යන දිනවල මේ ඖෂධ 66ට අදාලව ලද අත්දැකීම් උපකාර වුණා ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: 2022 දී ප්‍රසම්පාදන තීරණ ගැනීමට සම්බන්ධවන විට ප්‍රසම්පාදනයට අවශ්‍ය කාරණා අදාල දත්ත උපකාර වුණා ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: සෞඛ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතුවල දී අවස්ථා කීයක දී සහභාගි වුණා ද?
-
සාක්ෂිකරු: 20කට 30කට පමණ.
-
නීතිඥ: මේ ප්‍රසම්පාදන තීරණයේ දී ඔබ මේ කෙටි අත්සන් හා පූර්ණ අත්සන තබා ඒකඟතාව පළ කර තිබෙනවා. සාමුහික තීරණයක් ලෙස පැ. 259 පෙන්වා දිය හැකියි.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: මෙහි අනෙක් නිලධාරින් ලෙස 12 දෙනෙක් ඉන්නවා. එයින් 10 වන චූදිත ලෙස හඳුනාගත් වෛද්‍ය රත්නායකත් ඉන්නවා.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: වැරදි උපදෙස් දුන්න ද නැත්නම් බලපෑම් කළා ද?
-
සාක්ෂිකරු: නැහැ. එhෙම කළත් අවනත වෙන්නෙත් නැහැ.
-
නීතිඥ: මේ ලේඛනයේ ප්‍රසම්පාදන තීරණ ගැනීම සඳහා අගැයීම් කමිටුවේ තීරණ යොදාගත්තා කියන පිටු අංක 151 ඇමුණුම 2 කියා වෙබ් තුළ ප්‍රසම්පාදනය කර තිබෙනවා. ඔක්තෝබර් 6, 7, 10, 11, 12, 13 දිනවල අදාල ඖෂධ වලට අදාල අගැයීම් තිබෙනවා. එහි නිර්දේශත් තිබෙනවා.
-
සාක්ෂිකරු: ඔව්. තීරණ ගැනීමේ දී භාවිතා කළේ මේක තමයි. නිර්දේශ බලන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ප්‍රසම්පාදන කමිටුව ඉදිරියට ගියා.
-
නීතිඥ: ප්‍රසම්පාදන කමිටුව ඉතා ප්‍රබලයි.
-
සාක්ෂිකරු: ඔව්. 7500 ක් රෙකමදාරු කළ ඖෂධය 22500 ක් ගන්න තීරණය කලා. නිර්දේශය ආ පමණින් තීරණය වුණා. කරුණු බලලා ගත්තා.
-
නීතිඥ: මෙවැනි අවම ලංසුවට තීරණය වුණ තවත් අවස්ථා තිබෙනවා. පිටු අංක 62 හි ඔබේ නිර්දේශ මත ප්‍රසම්පාදනයට කටයුතු කළ අවස්ථා කොපමණ තිබෙනවා ද?
-
සාක්ෂිකරු: 62, 63, 65, 69, 71, 72, 73, 74, 75, අදාල ඖෂධ අවම මිල හා WR තිබෙනවා. 62 පිටුවේ අවම ලංසුකරුට ඖෂධ 10 ක් ප්‍රදානය කර තිබෙනවා.
-
නීතිඥ: (සාක්ෂිකරුට 58 පිටුව පෙන්වයි) මෙහි අවම ලංසුවට WR සහිතව කොපමණ ඖෂධ තිබෙනවා ද?
-
සාක්ෂිකරු: 135, 136, 137, 139, 141, 142, 143, 144, 145, 146 යන අංකයැති ඖෂධ තිබෙනවා.
-
නීතිඥ: පිටු අංක 59 බලන්න. 2/250 ට අදාල ඖෂධ තිබෙනව ද?
-
සාක්ෂිකරු: තිබෙනවා. 91, 96, 97, 98, 101, 102, 103, 107 අංකයැති ඖෂධ. ඖෂධ අධිකාරියේ අවසර ඇති අවම ලංසුව ඇති ඖෂධ මේවායි.
-
නීතිඥ: මෙවැනි අවස්ථා රාශියක් ඇති බව පිළිගන්නව ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: 83 ගොනුව පිටු අංකය 67 බලන්න. පැ 261 ලෙස ලකුණු කර ඇති මේ ලේඛනය කමිටුව ගත් තීරණ බව පිළිගන්නව ද?
-
සාක්ෂිකරු: ඔව් ස්වාමිනි.
-
නීතිඥ: මේ අවස්ථාවට වෛද්‍ය රත්නායක හා වෛද්‍ය නවාවි සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් තීරණවලට මැදිහත් වුණා ද?
-
සාක්ෂිකරු: නැහැ ස්වමීනි.
-
නීතිඥ: ඔවුන් ඉල්ලන්නේ වැරදි දෙයක් කරන්න කියා ද?
-
සාක්ෂිකරු: නැහැ ස්වාමිනි.
-
නීතිඥ: අගැයුම් කමිටු නිර්දේශ මේ ගොනුවේ ඇතුළත් වෙනවාද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: ප්‍රසම්පාදන තීරණ දෙන්න ලේඛන සළකා බැලූ අවස්ථාවේ වෛද්‍යවරු දෙදෙනෙක්, ඖෂධවේදය හා සම්බන්ධ නිලධාරියෙක් සහ අභ්‍යන්තර විගණකවරයාත් ඉඳලා තියෙනවා.
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: මේ අවස්ථාවේ ප්‍රසම්පාදන තීරණ 30/35 පිටුවල ඇතුළත් වේද?
-
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
-
නීතිඥ: ඖෂධවලට අදාල තීරණ 83 ගොනුවේ 30 පිටුවෙහි බලන්න. රිටොක්සිමැබ් මෙහි සඳහන් වේද? එහි ප්‍රදානය දී තිබෙන්නේ අයිසොලෙස් ෆාමා සමාගමට නේද?
-
සාක්ෂිකරු: ඔව් අඩුම මිල සහ සහතිකය සහිත සමාගමට දීල තියෙන්නේ.
-
නීතිඥ: යොමු අංක 99 හි දැක්වෙන ඖෂධය කුමක්ද?
-
සාක්ෂිකරු: රිටොක්සිමැබ් එන්නත.
-
නීතිඥ: මෙහි නිර්දේශය සම්බන්ධ හදිසි ප්‍රසම්පාදනයක් සිදුවුණා ද?
-
සාක්ෂිකරු: මේ තීන්දුවට ඇවිත් තිබෙන්නේ කමිටුව වශයෙන් ප්‍රසම්පාදන අවස්ථා සළකා බලා කමිටුව ගත් තීරණයක් වශයෙන්.
-
නීතිඥ: දෙවනුවට මිල අඩු WR සහතිකය සහිත ඖෂධය වන පිටු අංක 30 යටතේ අංක 4 හි සඳහන් ඖෂධය බලන්න.
-
සාක්ෂිකරු: ඔව් එයත් අඩුම මිල හා WR සහතිකයට යටත්.
-
නීතිඥ: මේ අතරේ තුන්වැනියට අඩු ලංසු හා ඇති ඖෂධය ගන්න ප්‍රසම්පාදන කමිටුව තීරණය කරනවා. එය අන්ධානුකරණයෙන් අනුමත කළා ද?
-
සාක්ෂිකරු: අගැයීම් කරද්දී ලැබෙන නිර්දේශය අප හොඳින් විමසා බලා අත්සන් කර ඇති.
-
නීතිඥ: ඔබේ නිර්දේශ ඇතුළත් ලේඛනයේ 92 පිටුවේ අංක 68 යටතේ ක්ලෝරයිඩ් සෝඩියම් (Sodium Chloride) නමැති ඖෂධය බලන්න. අයිසොලෙස් ෆාමා වෙත අඩුම ලංසුව WR සහිතව දෙන්න තීරණය කරල තියෙනව ද?
-
සාක්ෂිකරු: මෙහි දක්වා නැහැ.
-
නීතිඥ: ඔබ ඔක්තෝබර් 25 දුන් නිර්දේශ ලෙස බලන්න. පිටු අංක 30/35 මෙහි තිබෙනව ද?
-
සාක්ෂිකරු: ඒකෙ නැහැ.
-
නීතිඥ: ක්ලෝරයිඩ් සෝඩියම් සම්බන්ධ ප්‍රදානයක් දෙන්න තීරණය කර නැහැ. තොග ආවා නම් නොදෙන අවස්ථා තිබුණා නේ. අගැයීම් කමිටුව නිර්දේශ කළත් දෙන්න.
-
සාක්ෂිකරු: ලීස්ට් එකේ නැහැ.
-
නීතිඥ: තොග ආවා නම් නොදෙන අවස්ථා තිබුණත් අගැයීම් කමිටුවේ නිර්දේශ ඇති 97 පිටුවේ අංක 93 යටතේ ඇති ඩොසිටැක්සෙල් (Docetaxel) එන්නත බලන්න. ඔබ නිර්දේශ කර තිබේද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: ප්‍රසම්පාදන තීරණවල මේ ඖෂධයට අදාල තීරණ තිබේ ද?
-
සාක්ෂිකරු: නැහැ.
-
නීතිඥ: ඇවිත් නැත්නම් ප්‍රශ්න කරන්න තිබුණා නේද?
-
සාක්ෂිකරු: ලියවිලි තිබුණා නම් විමසන්න තිබුණා. ප්‍රසම්පාදන තීරණ ඇතුළත් වෙලා නැහැ.
-
නීතිඥ: 93 ගොනුවේ Dry Factor VII 1000 mg සම්බන්ධ නිර්දේශයක් තිබේ ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: මිල ගණන්වලට යටත්ව එය දෙන්න නිර්දේශ කළා ද?
-
සාක්ෂිකරු: ඔව්.
-
නීතිඥ: බලන්න එයට අයිසොලෙක් ෆාමා වෙත නිර්දේශයක් තිබේද කියා?
-
සාක්ෂිකරු: නැහැ.
-
නීතිඥ: එකම ලංසුකරු ප්‍රසම්පාදන කමිටුවේ නැති බවයි ඔබ කියන්නේ.
-
සාක්ෂිකරු: අගැයීම් වාර්තාව තිබුණේ වෛද්‍ය ජයනාත් ලඟ.
-
නීතිඥ: 2023 ප්‍රසම්පාදන කමිටුවක් ලෙස ගත් තීරණ අතර ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් යන ඖෂධ තිබුණා.
-
සාක්ෂිකරු: ඒවාත් නැහැ.
-
නීතිඥ: 72 ගොනුවේ 62 පිටුව බලන්න. එහි පී 1/52 වශයෙන් හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත කාටද දීල තියෙන්නේ?
-
සාක්ෂිකරු: ඒ බී සී ෆාමා, එකම ලංසුකරු WR සහිත.
-
නීතිඥ: පී 1/53 හියුමන් ඉමියුනොග්ලොබියුලින් කාටද ප්‍රසම්පාදන කමිටුව දීල තියෙන්නේ?
-
සාක්ෂිකරු: ඒ බී සී ෆාමා එකට, WR සහිතව.
-
නීතිඥ: ප්‍රසම්පාදන සම්බන්ධව ප්‍රසම්පාදන කොමිසමට පැමිණිල්ලක් කළා ද?
-
සාක්ෂිකරු: නැහැ.
නඩු විභාගය අවසානය: වැඩිදුර සාක්ෂි විභාගය 22 වන දිනට කල් තැබිණි.


