ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය
තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ සවස නිකුත් කර ඇත.
පසුගිය අප්‍රේල් දෙවන දින අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක අන්‍යෝනය තීරුබදු පැනවීමක් සිදුකළ අතර එය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණි.
එම සහන කාලය ඊයේ (09) දිනයෙන් අවසන් වු අතර ඒ අනුව අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි 30%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබු 44%ක තීරුබද්ද 30%ක් දක්වා අඩු කිරීම ධනාත්මක ප්‍රවේශයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පෙන්වාදෙන්නේ ලැයිස්තුගත කර ඇති සියලු රටවල් අතරින් විශාලතම තීරුබදු අඩු කිරීම සිදුකර ඇත්තේ ශ්‍රි ලංකාවට බවය.
මෙය දෙරට අතර ද්වීපාර්ශවික සබඳතාවල සහ රාජතාන්ත්‍රික මැදිහත්වීමේ ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 6ක් සඳහා ඊයේ දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව තීරුබදු පැනවීම සිදුකළ අතර ඒ අනුව ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30%ක තීරුබදු පැනවීමක් සිදුකරනු ලැබීය.
ඊයේ සවස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කරන ලද ලිපියක ධවල මන්දිරය පැවසුවේ, මෙම පියවර මගින් ශ්‍රී ලංකාව සමඟ පුළුල් වෙළඳ පරතරයක් තිබියදීත්, ශ්‍රී ලංකාව සමඟ දිගටම කටයුතු කිරීමට එක්සත් ජනපදය දරන අභිප්‍රාය පිළිබිඹු වන බවයි.
"මෙම ලිපිය ඔබට එවීමට ලැබීම මට මහත් ගෞරවයක්. මන්ද එය අපගේ වෙළඳ සම්බන්ධතාවයේ ශක්තිය හා කැපවීම පෙන්නුම් කරන අතර, ඔබේ ශ්‍රේෂ්ඨ රට සමඟ සැලකිය යුතු වෙළඳ හිඟයක් තිබියදීත්, ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ දිගටම කටයුතු කිරීමට එකඟ වී ඇත " ලිපියේ සඳහන් විය.
"2025 අගෝස්තු 1 වන දින සිට, සියලුම ආංශික තීරුබදු වලින් වෙන්ව, එක්සත් ජනපදයට යවන ඕනෑම සහ සියලුම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා අපි ශ්‍රී ලංකාවෙන් සියයට 30 ක තීරුබද්දක් පමණක් අය කරන්නෙමු. ඉහළ තීරුබදු මග හැරීම සඳහා ප්‍රතිනැව්ගත කරන ලද භාණ්ඩ එම ඉහළ තීරුබදුවට යටත් වනු ඇත."
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇති වෙළඳ හිඟයේ විෂමතාවය තුරන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා සියයට 30 ක සංඛ්‍යාව බෙහෙවින් අඩු බව "කරුණාකර තේරුම් ගන්න" යැයි ජනාධිපති ට්‍රම්ප් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකාව තම තීරුබදු ඉහළ දැමීමට පියවර ගතහොත්, එම ප්‍රතිශතයම දැනට පවතින 30% බද්දට එකතු කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
"කිසියම් හේතුවක් නිසා ඔබ ඔබේ ගාස්තු වැඩි කිරීමට තීරණය කළහොත්, ඔබ ඒවා වැඩි කිරීමට තෝරා ගන්නා සංඛ්‍යාව කුමක් වුවත්, එය අප අය කරන සියයට 30 ට එකතු කරනු ලැබේ."
එක්සත් ජනපද භාණ්ඩාගාරයට අනුව, එක්සත් ජනපදය සමඟ සැලකිය යුතු වෙළඳ පරිමාවක් වාර්තා කරන අතරම ඉහළ තීරුබදු පවත්වා ගන්නා රටවල් සමූහයකට ශ්‍රී ලංකාව ද ඇතුළත් වේ. මුදල් හැසිරවීම සහ වෙළඳ බාධක ඇතුළුව ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට අය කරන තීරුබදු සියයට 88 කි.
බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් ලෙසත් අමෙරිකාව විසින් තීරුබදු පැනවීම සිදුකර තිබේ.
ඊට අමතරව පසුගිය සදුදා දිනයේ ද රටවල් 14කට අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව තිරුබදු ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මේ අතර බ්‍රසීලයට 50%ක තීරුබද්දක් පැනවීමට අදහස් කර ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.