සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපීය නාල අවහිර කර මව්වරුන් වඳභාවයට පත්කළේයැ යි චෝදනා ලැබූ
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් පිළිබඳ කතාබහ යළි අලුත් වී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න අත්අඩංගුවට ගැනීමත් සමගය.
එදා වෛද්‍ය සාෆිට එරෙහිව චෝදනා එල්ලකරන්නට ඔහුගෙන් ප්‍රතිකාර ලද කාන්තාවන් සිය ගණනක් ඉදිරිපත් විය. අද විශේෂඥ වෛද්‍ය මහේෂිට එරෙහිව චෝදනා ගෙන එන්නටත් එවැනිම ප්‍රතිකාර ලද රෝගීන් ඉදිරිපත්ව ඇත.
වසර 4ක් පුරා බන්ධනාගාරගතව දඩුවම් විඳි වෛද්‍ය සාෆිට එරෙහිව එදා ද යම් කොටසක් දේශපාලනිකව මෙන්ම වෘත්තීය විරසකභාවයද ඇතුලත්ව ඇතිකළ මතවාදය රැල්ලක් මෙන් ජන සමාජය පුරා පැතිර ගිය අතර වරද සහ නිවැරද්ද තේරුම් ගැනිමට නොහැකි තරම් ඒ මෙහෙයුම එදා බලවත් විය.
කෙසේ හෝ වසර හතරකට පසු වෛද්‍ය සාෆි නිදොස් කොට නිදහස් වූ පසු එකී රැල්ලම නැවත සාෆි වෙනුවෙන් එම පාර්ශ්වයේ සිටගනිමින් පාපොච්ඡාරණයන් කරන්නට ද ඉදිරිපත් විය.
එහෙත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම දරුවන්ට ඒ වනවිට බරපතල සමාජ තුවාල ඇතිකර තිබුනි.
එවැනි ඉතිහාස අත්දැකීම් ඇති රටක් විශේෂඥ වෛද්‍ය මහේෂි සම්බන්ධයෙනුත් වේගයෙන් රැල්ලට හසුව ඇති අතර වරද සහ චෝදනා සනාථ කරගැනීමටත් පෙර සමාජ මාධ්‍ය වේදිකාව සුපුරුදු පරිදි නඩු අසා තීන්දු තීරණ ලබාදී හමාරය. එදා ජාතිවාදී දේශපාලන විසින් සිදුකළ හානිය මෙවර සමාජ මාධ්‍ය යොදාගනිමින් සිදුකිරීමට මෙහි සැඟව සිටින පාර්ශ්වය කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ලවෙමින් ඇත.
මේ අතර වෛද්‍ය මහේෂිගේ 21 හැවිරිදි දියණිය ඉලක්ක කරගෙනද මෙම විරෝධතාවන් ආරම්භ වී ඇතැයි ද එහි ආරම්භයක් ලෙස එම දියණිය විසින් විමර්ශන නිලධාරීන්ට මරණ තර්ජන කළ බවට අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග ට දැනුම් දී ඇති බවත් කතාබහට ලක්ව තිබේ.
තම මවට ඇප දෙන්නැයි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මගින් මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී 21 වියැති තරුණ දියණිය විසින් මරණ තර්ජනය කළේයැයි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටි ආරච්චි අධිකරණයට කියා තිබේ.
තමාට සිටි එකම සමීපතමයා ලෙස තම මව අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම දියණිය අනෙකෙකුට මරණ තර්ජනය කිරීම කෙසේ වෙතත් ඇය සිය දිවි නසා ගන්නා තත්වයට මේ වනවිට පත්ව ඇතැයි අසන්නට ලැබේ.
කෙසේ වුවද මෙවැනි අවස්ථාවන්හිදී සමාජයෙන් තනිවුන ගැහැණු දරුවන් ගේ මානසිකත්වය තව තවත් දූෂිත රැල්ලටම යට කිරීමට එරෙහිව නැගී සිටින්නට හැකියාව ඇති රාජ්‍ය ආයතන පවා නෑසූකන්වලා සිටීම ඛේදවාචකයකි.
සාෆීට මෙන්ම මහේෂිටත් වරද පිළිබඳ නීතිය සහ යුක්තිය ඉටුවන්නට, තීන්දුව ලබාදීමට කල්ගත වනු ඇති අතර ඒ අතරතුර අප කරනා කියනා දෑහි වගකීම ගන්නේ කවරෙක්ද?
@සමාරා පරණවිතාන
වෛද්‍ය මහේෂිගේ දියණිය සම්බන්ධව පැන නැගී ඇති චෝදනාවන් පිළිබඳව රටේ රාල ලියා ඇති සටහන පහතින් පළවේ.
මහේෂිගේ දියණිය කාගේ ඉළක්කයක්ද?(රටේ රාල)
දැනට අත්අඩංගුවේ පසුවෙන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ප්‍රශ්නය රටේ රාළ දිගටම කතා කළා. මහේෂිට එරෙහිව එල්ලවෙලා තියෙන්නේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සදහා අවශ්‍ය අයිතම දෙකක් මහේෂිට හිතවත් ආයතනයකින් ලබාගැනීමට නිර්දේශ කිරීමෙන් රෝගීන්ට පාඩුවක් සිදුකිරීම සහ මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් මියගිය රෝගීන්ට සැත්කම් කළාය කියන චෝදනාවයි.
මේ ගැන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම් විභාගයක් පැවැත්වෙන හින්දා ඊට අදාලව යුක්තිය ඉෂ්ඨවෙන බවට විශ්වාසයක් පැමිණිලිකාර පාර්ශවයට වගේම විත්තිකාර පාර්ශවයටත් තියාගන්න පුළවන්. ඒ වගේම මහේෂිගේ ප්‍රශ්නය මේ වෙනකොටත් සමාජය ඇතුලේ ලොකු ආන්දෝලනයක් නිර්මාණය කරපු සිද්ධියක් බවට පත්වෙලා හමාරයි.ඒ නිසාම මේ නඩුකරය ගැන සමාජය තුලත් විශාල සංවේදීභාවයක් තියනවා.
ඒ වගේම මහේෂී අත්අඩංගුවට පත්වීම හරහා එයා සේවය කරපු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඇතිවෙලා තියන නොසන්සුන්තාවය ගැනත් රටේ රාළ කතා කළා. මහේෂි අත්අඩංගුවට පත්වුන ජූනි 17 වෙනිදා එයා විසින් සැත්කමක් කරපු ලෙඩා ජූනි 22 වෙනිදා ජ'පුර රෝහලේ දැඩි සත්කාර ඒකකයක් තුල මියගියා. ඒ වගේම මහේෂි සේවය කරපු ස්නායු වාට්ටුව තාවකාලිකව වහලා දාලා ඒ රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරු කරලා යවලා තියනවා.
එතනදී ඒ රෝගීන් වගේම කොළඹ අදාල වාට්ටුවේ රෝගීන් පත්වෙන අපහසුතාවය ගැනත් රෝහල් කාර්යමණ්ඩලය පත්වෙන අපහසුතාවය ගැනත් රටේ රාළ කතා කළා. ඇත්තටම ඊයේ (04) වෙනකොට ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් අතර විශාල නොසන්සුන්තාවයක් ගොඩනැගිලා තිබුණා. අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නැතිව ශල්‍යකර්ම කරන්න බැරි බව දන්වමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් උන කෞශල්‍ය කරුණාරත්න (Consultant orthopedic surgeon) ඉල්ලා අස්වෙලා තිබුණා.
ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවලා තියන බවත් වාර්තා වුනා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාහිරින් ඖෂධ ලබාගැනීම සඳහා නව නිර්ණායක නිල වශයෙන් නිකුත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක කරනවා කියලයි වෛද්‍යවරු කියන්නේ. බාහිරින් ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට ඇතිවන නීතිමය ගැටලු හේතුවෙන් මේ විදිහට බාහිරින් ඖෂධ නියම කිරීමෙන් එයාලා වැළකිලා ඉන්නවලු.
මේ සියලු තත්ත්වය ඇතිවෙන්නේ මහේෂි විජේරත්න අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කළාට පස්සේ.තමන්ටත් හිරේ යන්න බෑ කියමින් තමයි මේ වෛද්‍යවරු බාහිරින් බෙහෙත් ගේන්න අවශ්‍ය බෙහෙත් තුන්ඩු දෙන්නේ නැත්තේ. ඇත්තටම මේ තත්වය හමුවේ ලොකුම අසාධාරණ වෙන්නේ රෝගීන්ටයි. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් මේ වගකීම භාර අරගෙන රෝගීන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න ඕනි.මේ අතර මහේෂිගේ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නැවත කැඳවලා තිබුණා.
එතනදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මහේෂිගේ ඇප ඉල්ලීමට විරෝධය පළ කරලා තිබුණා.මහේෂිගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන්න කියලා විත්තියේ නීතිඥවරුන්ට අධිකරණ විසින් නියෝග කරලා තිබුණා. ඒ වගේම අධිකරණ භූමියේදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකාවට මහේෂිගේ දුව මරණ තර්ජන කළා කියලා එයා කෙසෙල්වත්ත පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබුණා.
ඒ සම්බන්ධව මහේෂිගේ දුව කුරුදුවත්ත පොලීසියට කට උත්තරයක් දුන්න බව මහේෂිගේ නීතිඥවරුන් ප්‍රකාශ කළා. තමන්ගේ අම්මාට සිරගත උනොත් තමනුත් මැරෙනවා කියලා කියපු කතාව වරදවා වටහාගෙන හෝ එහෙමත් නැත්තං ද්වේශ සහගතව පැමිණිලි කරලා කියලයි එයාලා කියන්නේ. තමන් එහෙම ප්‍රකාශයක් නොකල බව තමයි ඒ දුව කියන්නේ.මහේෂිගේ දුව සම්බන්ධව මේ හා සමාන කතාවක් පහුගිය සතියෙත් මධ්‍යවල වර්තාකරලා තිබුණා.ඒ තමන්ගේ අම්මා බලන්න බන්ධනාගාරයට ගිය වෙලාවේ බන්ධනාගාර නිලධාරීන් " හෙරක් " බල්ලන්න එන්න එපා කියලා එයාට කියලා තිබුණා කියලයි.
මේ කතාවල ඇත්ත බොරු මොනවා උනත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැනත්,අල්ලස් කොමිසම ගැනත් මේ රටේ ජනතාවට හොඳ අවබෝධයක් තියනවා. ඇත්තටම රටේ ජනතාවට විශ්වාස කරන්න පුළුවන් අද ලංකාවේ තියන එකම ආයතනය අධිකරණය විතරයි. කොහොම උනත් දෙමව්පියන් අත්අඩංගුවට පත්වුනාට පස්සේ දරුවන්ගේ මානසික මට්ටම බොහෝ දුරට ව්‍යාකූල වෙනවා සහ අන්ත අසරණ වෙනවා. එයාලා අනවශ්‍ය ලෙස පීඩාවට පත් කලොත් බොහෝම නරක අන්තවලට පවා ඇදිලා යන්න පුළුවන්. ඇයත් ඒ උත්සාහය අවස්ථා කීපයකදී දරපු අප කණගාටුවෙන් උනත් ලියන්න සිද්ධ වෙනවා.
ඒක නිසා මේ සම්බන්ධව කතා කිරීමේදී පවා මේ දරුවාගේ මානසික මට්ටම ගැන හිතන්න කියලා ඇයවත් විත්තිකාරයෙක් කරන්න හදන සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලනවා.
රටේ රාළට ඒ අද්දැකීම තියනවා.රටේ රාළ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විදිහට ඉන්නකොට විමල් දවස් 87 කට රක්ෂිත බන්ධනාගාර ගත කළා. එදා විමල්ගේ දුව වින්ඳ මානසික කම්පණ ඉතා බරපතල එකක්. එදා විමල් අත්අඩංගුවේ ඉන්දැද්දී විමල්ගේ බිරිඳ දරුවන් ළඟ හිටියා. හැබැයි මෙතනදී මහේෂිගේ දරුවාගේ තත්වය ඊට වඩා ගොඩක් වෙනස්. එයාගේ රැකවරණයට කියලා හිටලා තියෙන්නේ මහේෂි විතරයි.
එයත් අත්අඩංගුවට පත්වුනාට පස්සේ 21 හැවිරිදි ගැහැණු දරුවෙක් පත්වෙන මානසික අසහනය සහ අනෙක් අපහසුතාව ගැන ඔයාලට හිතාගන්න බැරිකමක් නෑ. මේ වගේ දරුවෙකුට මානුෂීය වෙන්න කාටවත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඇත්තටම මෙතනදී තවත් දරුවෙක් මතක් කරන්න ඕනි. ඒ තමයි වෛද්‍ය ෂාෆිගේ දියණිය. එයත් මේ කට්ටම කෑවා. මේ අපහාසම වින්දා. අද ඇය රටේ රාළ දන්න විදිහට වෛද්‍ය ශිෂ්‍යාවක්. ඒකයි රටේ රාළ කියන්නේ මහේෂී ගැන නිවැරදි තින්දුව අධිකරණයෙන් දෙයි. එතකන් මේ දරුවා ඇරස්ට් කරන්න එපා.
ඇත්තටම මේ සියල්ලෙන්ම කියන්නේ වෙන මොකවත් නෙවෙයි අපේ සමාජ සංස්ථාව කඩාගෙන වැටිලා තියන තරමයි. මහේෂිගේ සිද්ධියෙන් පස්සේ ජයවර්ධනපුර රෝහලේ විතරක් නෙවෙයි සමස්ථ වෛද්‍ය ක්ෂේත්‍රයේ නොසන්සුන්තාවයක් ඇතිවෙලා තියනවා. විශේෂයෙන්ම රජයේ රෝහල් පද්ධතිය ඇතුලේ මේ තත්වය උග්‍ර අතට හැරෙමින් තියනවා. රෝහල්වල දැඩි බෙහෙත් භිඟයක් තියනවා. රෝගීන්ට බෙහෙත් නියම කරද්දී රෝහලේ නැති බෙහෙත් පිටතින් ගන්න නිර්දේශ කරන්න වෛද්‍යවරු දැඩි බියක් සහ මැලිකමක් දක්වනවා. තමන්ටත් හිරේ යන්න වෙයිද කියන බය එයලට තියෙනවා.
@ රටේ රාළ