SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“අනුරගේ ආණ්ඩුව වැඩිකල් දුවන්නෑ. ඊළඟට එන්නේ නාමල්

ඔයා දැන් කොළඹ එන්න!”

- සන්නද්ධ අංශ ඔත්තුකාරයෙකුගෙන් එක්නැලිගොඩ නඩුවේ සාක්කිකාරයකුට

තර්ජනාත්මක පණිවිඩයක්!

 

 

යුක්තිය පසිඳලීමේ අධිකරණ ක්‍රියාදාමය

පවත්නා දේශපාලන බලඅධිකාරියේ පිළිබිඹුවක් ලෙස :

 

යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් බලයේ සිටින ආණ්ඩුවේ සැබෑ වුවමනාව, අභිලාශය සහ කැපවීම අධිකරණ ක්‍රියාවලිය තුළ ද පරාවර්තනය වන බවත්, එය ඒ අදාළ යුගයේ දී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට තීරණාත්මක බලපෑමක් කරන බවත් අපි නොයෙක් විට කියා ඇත්තෙමු‍.

මේ කාරණය නැවත වතාවක් සනාථ කරන බව දැනට පෙන්නුම් කරන අධිකරණ කටයුත්තක් පෙරේදා දිනයේ දී සිදුවිය.

 

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ඇසෙන මහාධිකරණ නඩුවේ පළමු චූදිතයා, එම නඩුවේ ම 4 වැනි සාක්ෂිකරුට තර්ජන හා බලපෑම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ, ලබන 25 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ සිද්ධිය යි ඒ‍.

 

 

ශම්මි කුමාරරත්නට එදිරිව ‘මුරලි’

 

මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති එක්නැලිගොඩ නඩුවේ පළමු චූදිතයා යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු වන ශම්මි කුමාරරත්න යි. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වන අවස්ථාවේ, ඔහු රැගෙන ගියාය යි දැන් හෙළිවී ඇති ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ එවකට අණදෙන නිලධාරියා යි.

 

ඔහු ගේ තර්ජනයට හා බලපෑමට ලක්ව ඇති බවට පැමිණිලිකර ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරු ඊච්චලම්පත්තු ප්‍රදේශයේ පදිංචි සුමතිපාල සුරේෂ් කුමාර් ය. ඔහු තවේන්ද්‍රන් ලෙසත් මුරලි ලෙසත් හැඳින්වේ. හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් වන ඔහු යුද්ධයේ අවසන් දිනවල හමුදාවට භාර වූ අතර, සාම ගිවිසුම පැවැති කාලයේ ජයලත් ජයවර්ධන ගේ මාර්ගයෙන් ඔහු ප්‍රගීත් හඳුනාගෙන සිටි බවත්, ප්‍රගීත් පැහැරගෙන යාමේ දී ඔත්තුකාර බලඇණි මේ පුද්ගලයා යොදාගත් බවත් හෙළිවෙමින් තිබේ.

 

සාක්ෂිකාර සුරේෂ් කුමාර් මෙම පැමිණිල්ල ඉදිරපත් කර ඇති බව සඳහන් වන්නේ 2024 දෙසැම්බර් 17 වැනිදා ය. මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකැරී ඇත්තේ අපරාධ වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක පොලිස් කොට්ඨාසය මඟිනි.

 

පැමිණිල්ල සිදුවන්නේ පසුගිය දෙසැම්බරයේ වුවත්, ඇත්ත වශයෙන් ම මේ තර්ජන සහ බලපෑම් එල්ලවන්නට පටන්ගෙන ඇත්තේ දැනට හෙළිදරව් වී ඇති අන්දමට අවම වශයෙන් 2020 පටන්, එනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම් කළ කාලයේ පටන් ය.

 

 

නීතිමය පිළිසරණ නොපතා තර්ජනයට යටත්වෙලා

 

එහෙත් ඒ මුළු කාලයේ ම මේ කියන සාක්ෂිකරුවා තමන්ට එල්ලවන තර්ජන හෝ බලපෑම් ගැන කිසිදු නීතිමය පිළිසරණක් පතා ඇති බවක් නොපෙනේ. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ ඒ තර්ජනවලට යටත්ව, තමන් ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරවලට සේම, අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 127 වැනි වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයාට ලබාදුන් ව්‍යවස්ථාපිත ප්‍රකාශයට ද පටහැනි ලෙස අධිකරණය ඉදිරියේ සාක්කි දීම යි.

 

ඒ පටහැනි සාක්ෂි හේතුවෙන් සුරේෂ් කුමාර් මෙම එක්නැලිගොඩ නඩුවට අගතිදායක සාක්ෂිකරුවකු ලෙස නම්කර, ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව වරක් අධිකරණයට දැනුම්දුන්නේ ය.

 

 

ගෝඨාට හෝ රනිල්ට අවශ්‍ය නොවූ යුක්තිය

 

එහෙත් ගෝඨාභය සමයේ මෙන්ම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු සමයේ ද ඒ අන්දමින් තර්ජනයට හා බලපෑමට යටත්ව සාක්ෂි වෙනස්කරමින් සිටි මේ සාක්ෂිකරු, දැන් වර්තමාන ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ තමන්ට තර්ජන හා බලපෑම් ඇති බවත්, තමන් අර පරස්පර සාක්ෂි ලබාදුන්නේ ඒ හේතුවෙන් බවත් පැමිණිලි කිරීමට ඉදිරිපත් වී සිටී.

 

යුක්තිය සම්බන්ධයෙන් බලයේ සිටින ආණ්ඩුවේ අභිලාශය අධිකරණ ක්‍රියාමාර්ගවලින් පිළිබිඹු වන බව අප කියන්නේ මෙවැනි හේතු නිසාවෙනි.

 

ගෝඨාට හෝ රනිල්ට ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන්නට කිසිදු අභිලාශයක්, වුවමනාවක් නොතිබූ බව මේ කියන සාක්ෂිකරුට පවා මැනවින් වැටහී තිබුණු බැවින්, ඔහු තමන්ට ආ තර්ජන හා බලපෑම්වලට යටත්ව තමන්ගේ ම සාක්ෂිවලට පටහැනිව අලුත් කතා ගොතන්නට ඇතැයි උපකල්පනය කළ හැක.

 

මේ කියන 2020 – 2024 අතර කාලය ද ලංකා දේශපාලනයේ අතිශය අවිනිශ්චිත වකවානුවක් වූ බවත්, එතෙක් අත්දැක තිබූ ශක්තිමත් කේන්ද්‍රීය රාජ්‍ය බලය බෙහෙවින් අස්ථාවර වී තිබූ බවත් සලකන කල්හි, මේ සාක්ෂිකරුගේ දුක්ගැනවිල්ල ඒ අස්ථාවර අවස්ථාවේ හෝ මතුපිටට කැඳවන්නට ඔහුට යම් ඉඩ ප්‍රස්ථාවක් තිබුණාය යි අපට උපකල්පනය කළ හැකි ය‍.

 

එහෙත් ඔහු ඊට හෝ උත්සාහයක් දරා නැති බව ය අප අත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ. රාජ්‍ය බලය සම්බන්ධයෙන් අස්ථාවරකම් තිබුණත්, ඔත්තු බලඇණිවල ග්‍රහණය ලිහිල් නොවී ඇතිබව ඇතැම් විට ඔහු ගණන් බලා තිබුණා වන්නටත් බැරි නැත.

 

එහෙත් ජාජබ ආණ්ඩුව පැමිණි පසු ඒ තර්ජන පිළිබඳව නීතිය හමුවේ පිළිසරණ ඉල්ලා සිටීමටත්, තමන්ගේ සාක්ෂි වෙනස් වූයේ ඒ තර්ජන හේතුවෙන් බව කියන්නටත් සාක්ෂිකරු පෙරට පැමිණ තිබෙන සෙයක් පෙනේ.

 

එහෙත් මෙහිදී අපගේ සැලකිල්ල යොමුවිය යුතු තවත් බරපතල තත්ත්වයක් තිබේ.

 

මේ ආණ්ඩු වෙනස තුළ ද සන්නද්ධ ඔත්තු බලඇණි ඇතුළු සන්නද්ධ අංශ අපරාධ කල්ලිවල බලපෑම තවමත් අඩපණ වී නැති ය යන භයානක සත්‍යය ය ඒ.

 

විශ්‍රාමික බ්‍රිගේඩියර් කුමාරරත්නට අදටත් සන්නද්ධ ඔත්තුකාර නිලධාරීන් ලවා තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවලට විවිධ පුද්ගලයන්ට බලපෑම් කිරීමේ හැකියාව තිබේ! මේ සිද්ධියේදී ම ‘බුද්ධි නිලධාරීන්’ වශයෙන් හැඳින්වෙන මංජුල, රමේෂ් සහ මොහොමඩ් යන අන්වර්ථ නම් ඇති තිදෙනකු මේ තර්ජනයට සම්බන්ධ වී ඇතත්, ඔවුන් කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත.

 

 

“කඩං වැටෙන අනුරගේ ආණ්ඩුව හා නාමල්ගේ ‘සිහින ආණ්ඩුව’

 

විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට වාර්තාකරන ලද තොරතුරු අනුව මෙයින් සතියකට පෙර, එනම් පසුගිය 06වැනිදා, මොහොමඩ් නමින් පෙනීසිටින කිසියම් යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් මේ සාක්ෂිකාර සුමතිපාල සුරේෂ් කුමාර්ට කර ඇත්තේ අතිශය බැරෑරුම් බලපෑමකි.

 

“එල්ටීටීඊ බුද්ධිඅංශ නායකු වන විනයාගම් මන්නාරමට ඇවිත් ඉන්නවා, වරායෙන් ආයුධ ගෙනත් තිබෙන බව දන්නවාද, අනුරගේ ආණ්ඩුව වැඩිකල් තියෙන්නේ නෑ, ඊළඟ නායකයා වන්නේ නාමල් රාජපක්ෂ හරි විජේවීරගේ පුතා හරි. මට එල්ටීටීඊ එකෙන් තර්ජන තියෙනවා, කොළඹ ඇවිල්ලා මා සමඟ ඉන්න,” (උසාවියට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේ ඇති අදාළ කොටස, පැටලිලි සහගත භාවය මඟහැරවීම සඳහා සුළු සංශෝධනයකට භාජනය කළ පසු)

 

මෙයින් අනුමාන කළහැක්කේ මේ කියන ඔත්තුඅංශ සාමාජිකයා මේ සාක්ෂිකරු කොළඹ ගෙන්වාගැනීමට උත්සාහ දරා ඇති බව ය. පසුගිය අප්‍රල් මාසයේ එක්නැලිගොඩ නඩුව කැඳවුණු අවස්ථාවේ මේ සාක්ෂිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතීඥවරයා කියාසිටියේ, සාක්ෂිකරු කලින් පරස්පර සාක්ෂි ලබාදුන්නේ බලපෑමට යටත්ව බවත්, දැන් ඔහු සත්‍යය පැවසීමට සූදානම් බවත් ය.

 

ඒ අනුව ඉහත ඇමතුමෙන් මේ සාක්ෂිකරු කොළඹට කැඳවාගැනීමට අදාළ ඔත්තුඅංශ සාමාජිකයන් උත්සාහ කළේ නම්, ඒ ඔහු නිහඬ කිරීමේ, ඇතැම්විට අතුරුදහන් කිරීමේ පවා අරමුණෙන්ය යි සාධාරණ ලෙස සැකකළ හැකි ය.

 

මේ තර්ජනය සිදුකිරීමට භාවිත කර ඇති 076 xxxx108 දුරකතන අංකය ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් රාජකාරි කටයුතු සඳහා භාවිතා කිරීමට බ්‍රිගේඩියර් ශම්මි කුමාරරත්නට නිල වශයෙන් භාර දී ඇති දුරකතන අංකය බව විමර්ශනවල දී තහවුරු වී තිබේ. එසේනම්, 2023 ජූලි මස සිට විශ්‍රාම ගොස් සිටියදීත් මේ පුද්ගලයා රාජකාරි දුරකතනය මේ දක්වා භාවිත කරන්නේද යන ගැටලුව ද පැනනඟී.

 

 

‘පාතාල රාජ්‍යයක’ සෙවණැලි?

 

මේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයා විසින්මත්, තමන් යටතේ එවකට සිටි විවිධ නිලධාරීන් මඟිනුත් අදාළ සාක්ෂිකරුට දීර්ඝ වශයෙන් දුරකතන ඇමතුම් ලබාදෙමින්, යම් යම් ස්ථානවලට පැමිණෙන ලෙසට දැනුම් දෙමින්, ඔහු හමුවෙමින් ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවට සාක්ෂි ලබාදීම වළක්වාලීමේ අරමුණින් විවිධාකාර තර්ජන හා බලපෑම් සිදුකර ඇති බව වාර්තා වේ. මේ බලපෑම් 2024 ජනාධිපතිවරණය පැවැති සමයේ ද සිදුව තිබේ.

 

විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකුට එදා තමන් යටතේ සිටි නිලධාරීන් යොදවා අදටත් සාක්ෂිකරුවන්ට තර්ජනය කරන්නට හැකිනම් තත්ත්වය කොතරම් බැරෑරුම්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. මේ පුද්ගලයාට එවැනි හැකියාවක් ඇතිනම්, ඔහුට ඉහළින් සිටිමින් විවිධ ඔත්තුකාර බලඇණි විවිධ අපරාධ සඳහා මෙහෙයවූ පුද්ගලයන්ට අදටත් එම ඔත්තු බලඇණි සේම අපරාධ සහායක සන්නද්ධ කල්ලි කණ්ඩායම් මත පැවැත්විය හැකි රහසිගත ආධිපත්‍යය ගැන සුපරික්ෂාකාරීව සිතාබැලිය යුතු ය.

 

මෙය පැහැදිළිව ම රාජ්‍යයට බැහැරින් පවත්නා පාතාලගත රාජ්‍යයක අක්මුල් නොවන්නේය යි සිතීම අනුවනකමකි.

 

@Sanath Balasooriya 

නවතම ලිපි