කුහකත්වය හෙළිදරව් වීම
අප අසන ප්‍රශ්න තේරුම් ගෙන කුහකත්වයෙන් තොරව තම අවංක අදහස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය වෙත අපගේ කෘතඥතාවය පල කල යුත්තේ වෙන කිසිවක් නිසා නොව අප අසන ප්‍රශ්නවලට මෙතරම් විවෘතභාවයකින් යුතුව වෙන කිසිවෙකුත් පිළිතුරු ලබා දී නොමැති බැවිනි.
අදාළ ලිපියේ සබැඳිය: https://slleader.lk/life-style/8694-2023-11-10-18-36-39
සැබෑව වසා දමන ව්‍යාජ වක්‍රොර්තී, විකාරසහගත ආර්ථික විද්‍යා න්‍යායන් ගෙනහැර දක්වමින් (අප අසන ප්‍රශ්න වලට ඒවා ගෙනහැර දක්වීමෙන් ඵලක් නොමැති බව ඔහු හොඳින් අවබෝධ කොටගෙන ඇත) ව්‍යාකූලතාවයන් තුල මගහැර නොගොස් ජාතික රාජ්‍යයන්ගේ සැබෑ ක්‍රියාකාරීත්වය පිළිගෙන තිබීම පැසසුමට ලක් කල යුත්තේ ආර්ථිකවාදීන්, ප්‍රජාතන්ත්‍රවාදීන්, ලිබරල්වාදීන්, වාමාංශිකන් හෝ ඒ සියලුවාදයන් එකට කැටි කොටගත් සියලු දෙනා ලැජ්ජාවට පත් විය යුතු පිළිතුරක් ඔහු වෙතින් ලැබී ඇති බැවිනි.
ඔහුට අනුව ධනවාදය නරක බව ඔහු හොඳින් දනී. ධනවාදය පමණක් නොව වෙනත් නරක දේවල් ද නරක බව දැන දැන අප ඒවා ඉතා කැමැත්තෙන්, ඉතසිතින් ඒවා වැළඳගෙන, ඒවාම සිදු කරමින් සිටී. ඇත්තටම, අප සියලු දෙනා එසේය. එවිට ඔහුගේ තීරණාත්මක ප්‍රශ්නය වන්නේ අප එසේ අනෙකුත් සියලු නරක වැඩ ඉත සිතින් යුතුව, මහත් ගිජුභාවයකින් වැළඳගෙන ඇති තත්වයක් තුල ධනවාදය පමණක් ප්‍රතික්ෂේප කල යුත්තේ ඇයි ද යන්නයි.
අනුරුද්ධ මෙසේ පවසයි: "අපි ඕනේ තරම් නරක දේවල් කරනවා නේ අපේ වාසියට. මේකත් එහෙම තමයි බලන්න ඕනේ. අනිත් රටවල් විනාශ වුණාට කමක් නෑනේ අපිට මොකක් හරි හම්බ වෙනවනම්. මම ඉතින් ජාතිකවාදියෙක් නේ. ඒ නිසා අනික් රටවල් ගැන මම එතරම් දුක් වෙන්නේ නෑ."
පසුගිය දිනක ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ද මීට සමාන ප්‍රකාශයක් සිදු කරන ලදී (ඒ තමන් සිතනුයේ තම රටේ මිනිසුන් ගැන පමණක් බවත්, තමන් කටයුතු කරනුයේ තම රාජ්‍යයේ අභිවුර්ධිය වෙනුවෙන් පමණක් බවත්, යම් හෙයකින් තම රාජ්‍ය ආර්ථික හෝ වෙනයම් ආකාරයකින් අර්බුධයට ගමන්කරන්නේ නම් තම රටේ මිනිසුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට පසු බට නොවන බවත්ය).
ධනවාදයේ රාජ්‍යයන් තුල මිනිසුන් අතර සබඳතා සහ රාජ්‍යයන් අතර සබඳතා සමාන ආකාරයකින් ක්‍රියාත්මක වේ. අනුරුද්ධ පිළිගෙන ඇත්තේ එයයි. නමුත් ඔහු එය සාධාරණිකරණය කොට ගන්නේ තමන් ජාතිකවාදියෙකි (ජාතිවාදියෙකි) යන ස්ථාවරය තුලය (අනෙකුත් අය ජාතිකවාදය හෝ ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් දැඩි වර්ගවාදීන් බවට පත්ව ඇත).
ධනවාදය තුල පිළිගැනීමට ලක්ව ඇති ප්‍රධාන කාරණය වන්නේ මිනිස් සුවිශේෂීතා ඇති බවයි. එනම් වාර්ගික සුවිශේෂතා මෙන්ම මිනිසුන් වශයෙන් ඔවුන්ගේ එකිනෙකා අතර වටිනාකම් සහ ඒ තුලින් වන පන්තිමය තත්වය මෙන්ම ප්‍රභූත්වය තීරණය විය යුත්තේ දක්ෂතාවය මතය යන්න තහවුරු වීම තුලය (දක්ෂතාවයේ දූරවලියක් විසින් සියල්ල තීරණය කල යුතු බව පිළිගැනීමට ලක්වීම). මේ තත්වයට මග පාදන්නේ අධ්‍යාපනයයි. එම "මානවවාදී" ප්‍රවේශය මේ වන විට ඉතාම ඉහලින් පිළිගෙන ඇති කණ්ඩායම වන්නේ චම්පික රණවක ප්‍රමුඛ හෙලරුමයේ උරුමක්කරුවන්ය.
මානවවාදයේ කේන්ද්‍රය වන්නේ “මිනිස් ස්වභාවය” යනුවෙන් මූලික සාරයක් මත පදනම්වීම වන අතර එය “මනුෂ්‍යත්වය”සහ “මනුෂ්‍ය වර්ගයා” පිළිබඳ වියුක්තනයකි. මෙනයින් මානවවාදය යනු ද දේවවාදයේම තවත් ස්වරුපයක් ලෙස සැලකිය හැකිය. එනම් දෙවියන් වෙනුවට එවැනිම තවත් ආකෘතියක් තෝරා ගැනීමකි.
නීට්ස්ශේ ප්‍රකාශ කළ පරිදි 19 වන සියවසේ දී දෙවියන්ගේ මරණය ප්‍රකාශයට පත් වූ අතර 20 වන සියවසේ දී ප්‍රති-මානවවාදය විසින් “මිනිසාගේ” මරණය ප්‍රකාශයට පත් කරන ලදී. නිට්ශ්ශේට අනුව මානවවාදය යනු දෙවවාදයේම ලෞකික ස්වරූපය වේ. 18වන සියවසෙහි අග භාගෙහි සහ 19 වන සියවසෙහි මුල් භාගයෙහි මානවවාදය පිළිබඳ දර්ශනය බුද්ධිප්‍රබෝධී යුගයේ මුල් ගලක් විය. එසේ වුවත් මේ සඳහා පදනම සකස් වනුයේ පුනුරුදයෙනි. මානවවාදයෙහි විශ්වාසය වුයේ "මනුෂ්‍යත්වය" යනුවෙන් සර්වව්‍යාපී සදාචාර මධ්‍යක් ඇති බව සහ එනයින් සියලු ම මිනිසුන් නිසර්ගයෙන් ම නිදහස් සහ සමාන වේ යන්නයි. මිනිසුන්ට අදාළ සුවිශේෂීත්වය නිදහසේ ඉස්මතුවීමට මගහෙලි කරන පදනම එය බව ඔවුන් විසින් සැලකීය. ලිබරල් මානවවාදීන්ගේ පදනම වූයේ එයයි. රූසෝ සහ කාන්ට් යන ලිබරල් මානවවාදීන්ට අනුව “තර්ක බුද්ධියේ” (reason) විශ්වීය නීතිය ඕනෑම ආකාරයක ප්‍රජා පීඩනයන් වෙතින් සම්පූර්ණ විමුක්තිය කරා මග පෙන්වනු ඇත (කෙසේ නමුත් කාන්ට් දෙවියන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නො කළේ ය).
මෙම ලිබරල්-මානවවාදී අදහස් අභියෝගයට ලක්වන්නේ තරුණ කාල් මාක්ස් වෙතින්ය. විමුක්තිය පිළිබඳ “මානව අයිතීන්” මූර්තිමත් වන මෙම දේශපාලන ව්‍යාපෘතිය ඔහු විසින් අභියෝගයට ලක් කරන ලදී (මාක්ස්ගේ ආරම්භයම අයිතීන්ට එරෙහි වීම වුවද අද දවසේ “මාක්ස්වාදීන්ගේ” ප්‍රධානතම කාර්ය වී ඇත්තේ මානව අයිතවාසිකම් වෙනුවෙන් “පෙනී සිටීමය”).
ලිබරල් මානවවාදය මගින් මූර්තිමත් වන්නේ පුද්ගලභාවය අහෝසිවීමට එරෙහිවීමක් බව මාක්ස් සිතයි. මාක්ස් මේ පිළිබඳ ව සඳහන් කළ ආකාරයට, ධනවාදය යටතේ ආත්මාර්ථකාමී තනි පුද්ගලයෝ නිරන්තරයෙන් එකිනෙකා සමග ගැටුමක වෙති (අනුරුද්ධ එම තත්වය ස්වභාවික බව පිළිගනී). එබැවින් මාක්ස්ට අනුව, අයිතීන් හෝ නීතීන් අවශ්‍යය වන්නේ මොවුන් එකිනෙකාගෙන් ආරක්ෂා කිරීම සඳහාය. එම නිසා මාක්ස්ට අනුව නියම මානව විමුක්තිය ලඟා කරගත හැකි වන්නේ කොම්යුනිස්ට් සමාජයක් කරා ගමන් කිරීමෙනි. එනම් පුද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීමෙනි. මාක්ස්ට අනුව මනුෂ්‍යත්වය යනු යථාමය නොවන (සැබවින් නො පවතින) වියුක්තනයකි (දෙවියන් මෙන්).
කෙසේ නමුත් අද වන විට මාක්ස්ගේ ස්ථාවරයේ වාමාංශිකන් පවා නොමැත. ඉහත මාක්ස්ගේ අදහස විහිළු සේ සලකා බැහැර කරන තත්වයක් උදා වී ඇත. එවැනි කාලයක අනුරුද්ධගේ ප්‍රකාශය තුලින් වඩාත්ම අභියෝගයට ලක්වන්නේ ධනවාදය තුල සියලු ගොඩනැංවීම් (අධ්‍යාපනය, විද්‍යාව, ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍යත්වය වැනි සියල්ල අපවිත්‍ර වී ඇත්තේ ප්‍රාග්ධන තර්කනය නිසා බව පිළිගැනීම) පිළිගනිමින් රනිල්ට බැන බැන සිටිනා මෝඩ වාමාංශිකයින්ය.
@spartacus.lk