ශ්රී ලංකාවේ අනාගත ආර්ථික ප්රතිපත්තිය, ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සමඟ වන ඉදිරි
වැඩපිළිවෙල සහ රටේ සංවර්ධන දිශානතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා වැදගත් හෙළිදරව්වක් සිදු කළේය. ඒ, කොළඹ ෂැංග්රි-ලා හෝටලයේදී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ආර්ථික සමුළුවට සහභාගී වෙමිනි. "වෙනස් වන ගෝලීය ආර්ථිකය තුළ ශ්රී ලංකාව ස්ථානගත කිරීම: ඔරොත්තු දීමේ හැකියාව, ප්රතිසංස්කරණ සහ ආර්ථික ප්රතිපත්තියේ අනාගතය" යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.
විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම, අපනයන පුළුල් කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ප්රවර්ධනය කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය. ශ්රී ලංකාවේ ආයෝජන විභවය ජාත්යන්තර ප්රජාවට ප්රදර්ශනය කිරීම සහ රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා රාජ්ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ විය.
රාජ්ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින්, ප්රතිපත්ති සම්පාදකයින්, ව්යාපාරික නායකයින් සහ ජාත්යන්තර ආයෝජකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී ආර්ථික ක්ෂේත්රයේ ප්රවීණයන් විසින් මතු කරන ලද ප්රශ්න සහ ඊට ජනාධිපතිවරයා ලබා දුන් සවිස්තරාත්මක පිළිතුරු පහතින් දැක්වේ.
ප්රශ්නය:
ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කර දරිද්රතාවය තුරන් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක වෙනවා. එසේම මිලියන 5කට ආසන්න පිරිසක් අස්වැසුම ප්රතිලාභ ලබනවා. මෙම පිරිස ආර්ථික ප්රවාහයට සම්බන්ධ කර ගන්නේ කෙසේද?
පිළිතුර:
අපගේ ප්රධානතම අභියෝගය වන්නේ ග්රාමීය දරිද්රතාවය තුරන් කිරීමයි. මෑතකදී ඉදිරිපත් කළ ලෝක බැංකු වාර්තාවකට අනුව ග්රාමීය දරිද්රතාවය 16.9% ක මට්ටමක පවතිනවා. මෙය ගොඩනැගිල්ලක් හෝ පාරක් හදනවා වගේ වසරකින් දෙකකින් අවසන් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා ඉලක්කගත, අඛණ්ඩ සැලැස්මක් සහිත වැඩපිළිවෙලක් අවශ්ය වෙනවා.
ඕනෑම රටක රජය විසින් රැකබලා ගත යුතු අවදානම් සහිත සමාජ කණ්ඩායමක් සිටිනවා. ඔවුන්ව බැහැර කළ නොහැකියි. සියලු දෙනාම ආර්ථික ප්රවාහයේ කොටස්කරුවන් බවට පත් වන්නේ නැහැ. එම සමාජ කණ්ඩායම කිසියම් සමාජ ආරක්ෂණ ජාලයක් හරහා රැකබලා ගත යුතුයි. දැන් අපට ඇති ගැටලුව වන්නේ මෙම සමාජ කණ්ඩායම ඉතා විශාල වීමයි. ග්රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට අපොහොසත් වීම ඊට ප්රධාන හේතුවක්.
ග්රාමීය ජනතාවට ඇත්තේ ඉතා සීමිත ආර්ථික අවස්ථා කිහිපයක් පමණයි. ඒ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය හෝ කුඩා සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යාමයි. එමනිසා දරිද්රතාවය පිටුදැකීමේ පළමු අභියෝගය වන්නේ ඔවුන් වෙනුවෙන් නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමයි. දිගු කලක් තිස්සේ අපේ කෘෂිකර්මාන්තය පැවතියේ වාණිජ ආර්ථිකයකට වඩා යැපුම් මට්ටමේ ආර්ථිකයක් ලෙසයි. එබැවින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන අතරම නව ආර්ථික අවස්ථා බිහි කළ යුතුයි.
ඔවුන් විසින්ම ආර්ථික අවස්ථා නිර්මාණය කර ගැනීමේදී ප්රාග්ධනය, නව තාක්ෂණය සහ වෙළඳපල නොමැතිකම විශාල බාධාවක් වුණා. ඒ නිසා එම අවශ්යතා සපුරාලීම අපගේ වගකීමක්. ප්රාග්ධනය නොමැති ග්රාමීය ව්යවසායකයින් සඳහා ඇප රහිත ණය ක්රමයක් අප මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. එම ණය ක්රමය හරහා මේ වන විට රුපියල් බිලියන 18කට ආසන්න මුදලක් ලබා දී නව ව්යවසායකයින් බිහි කර තිබෙනවා.
නව තාක්ෂණයද මීට අනුගත කළ යුතුයි. එසේම රජය විසින් උත්පාදනය කරන ධනය ග්රාමීය ජනතාව වෙත ගලා යාමට සැලැස්විය යුතුයි. ඒ සඳහා අපි උපායමාර්ග දෙකක් අනුගමනය කරනවා. ප්රධාන වශයෙන්ම ග්රාමීය සංවර්ධන මාවතක් අවශ්යයි. ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් කුඩා වැව් සහ ඇළ මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 35ක් වෙන් කර තිබෙනවා.
ප්රජාශක්ති ග්රාමීය වැඩසටහනට බිලියන 25ක් ද, මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ග්රාමීය මාර්ග සඳහා බිලියන 24ක් ද ඇතුළුව රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් සෘජුවම ග්රාමීය ජනතාව වෙත යොමු කර තිබෙනවා. අපගේ ආර්ථික උපායමාර්ගය වන්නේ ගමේ ජනතාව ගමේම රඳවා ගනිමින් සංවර්ධන ක්රියාවලියකට යොමු වීමයි.
ඒ අනුව 2027 අයවැය මගින් ගම සහ නගරය අතර කඩිනම් සන්නිවේදන ක්රමයක් සහ සංවර්ධිත මාර්ග පද්ධතියක් ඇති කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ග්රාමීය දරිද්රතාවයට විසඳුම් සෙවිය යුත්තේ මෙවැනි වැඩසටහන් හරහායි. මෙය අද විසඳුම් සෙවූ පමණින් හෙට පිළිතුරු ලැබෙන දෙයක් නොවෙයි. එය අඛණ්ඩ සැලැස්මක් සහිත දිගුකාලීන වැඩපිළිවෙලක්. අපි දැනටමත් එය ආරම්භ කර තිබෙනවා.
ප්රශ්නය:
ආයෝජනවලදී ව්යාපෘති අනුමත කිරීම් සඳහා ගතවන කාලය අඩු කරන්නේ කෙසේද?
පිළිතුර:
ඉදිරි අයවැය මගින් රුපියල් ට්රිලියන 2ක ප්රාග්ධන වියදමක් අප සැලසුම් කර තිබෙනවා. මෙය අතීතයට සාපේක්ෂව ඉතා විශාල වැඩිවීමක්. 2023 වසරේ රජය වෙන් කළ ප්රාග්ධන වියදම්වලින් 64%ක් ද, 2024 දී 54%ක් ද වැය කර තිබුණා. නමුත් මැතිවරණ සහ ස්වභාවික විපත් පැවති 2025 වසරේදී එය 76% දක්වා ඉහළ නැංවීමට අපට හැකි වුණා.
රාජ්ය යාන්ත්රණය නිරන්තරයෙන් දූෂණයට සම්බන්ධ වන බවට මානසිකත්වයක් අපේ රටේ පැවතුණා. එය වළක්වා ගැනීමට යැයි පවසමින් අතීතයේ පියවරෙන් පියවර ගෙන ආ නීති හේතුවෙන් අද කිසිදු කාර්යයක් කඩිනමින් කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. පැරණි ක්රමය සකස් කර තිබුණේ භාණ්ඩ මිලදී ගැනීමට පමණයි. නමුත් අද අප මිලදී ගන්නේ භාණ්ඩ පමණක් නොවෙයි. අපි මෘදුකාංග පද්ධති හරහා විසඳුම් මිලදී ගන්නවා. නමුත් එවැනි ක්රමයක් අපගේ ප්රසම්පාදන ක්රියාවලිය තුළ නැහැ.
එමනිසා එම විශේෂ ක්ෂේත්ර හඳුනාගෙන නව ප්රසම්පාදන ක්රියාපටිපාටියක් හඳුන්වා දීමට අප අපේක්ෂා කරනවා. එසේම පෙර පැවති ක්රමය අනුව ප්රසම්පාදන කටයුතු ආරම්භ වන්නේ අයවැය සම්මත වී ප්රතිපාදන වෙන් කිරීමෙන් පසුවයි. බොහෝ විට මෙම ප්රසම්පාදන කටයුතු අවසන් වන විට අගෝස්තු, සැප්තැම්බර් මාස උදා වෙනවා. නමුත් දැන් අපි එය විසඳා තිබෙනවා.
මුදල් වෙන් කර ඇති බවට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සහතික කළ වහාම ටෙන්ඩර් කැඳවීම සහ සැපයුම්කරුවන් තෝරාගැනීම ආරම්භ කළ හැකියි. උදාහරණයක් ලෙස කුරුණෑගල-ගලේවෙල අධිවේගී මාර්ගය දැක්විය හැකියි. ඒ අනුව බොහෝ දුරට ජනවාරි මාසය වන විට අදාළ ටෙන්ඩරය ප්රදානය කිරීමට අපි අපේක්ෂා කරනවා.
විද්යුත් ප්රසම්පාදන ක්රියාවලියට ද අප මාරු විය යුතුයි. ඊට අමතරව විශේෂඥ කුසලතා ඇති පුද්ගලයින් විශේෂ වැටුප් තලයක් යටතේ රාජ්ය සේවය තුළම රඳවා ගැනීමටද අප පියවර ගනිමින් සිටිනවා. ප්රාග්ධන වියදම් 100% කට ආසන්න අගයක් දක්වා ගෙන ආ හැක්කේ ඒ හරහායි.
ප්රශ්නය:
මෑතකදී රේගු නීති, කම්කරු නීති, රාජ්ය-පෞද්ගලික හවුල්කාරීත්ව නීති සහ රාජ්ය ව්යවසාය කළමනාකරණ නීති ගැන කතාබහට ලක් වුණා නේද?
පිළිතුර:
රාජ්ය ව්යවසාය (SOE) සම්බන්ධ නීතිය තව සති දෙකකින් පමණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඉන්පසු එය කඩිනමින් ගැසට් කළ හැකියි. රාජ්ය-පෞද්ගලික හවුල්කාරීත්ව නීතිය මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කර නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. නීතිපතිවරයාගේ නිර්දේශ මත එහි ඉදිරි කටයුතු සිදු කළ හැකියි.
අපගේ කම්කරු නීති විවිධ ස්වරූපයේ පනත් 12කට පමණ බෙදී පවතිනවා. දැනටමත් ඒ සඳහා පනතක් සකස් කර තිබෙනවා. එයට යම් කාලයක් ගත වුවද ඉතා ඉක්මනින් එය යළි සමාලෝචනය කරනවා. එසේම රේගු ආඥාපනත සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලය සහ රේගු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ අදහස් පිළිබඳව දීර්ඝ කාලයකට පසු එකඟතාවයකට පැමිණීමට අපට හැකි වී තිබෙනවා.
වඩාත් සුදුසුම යෝජනාව වන්නේ රේගු ආඥාපනත සංශෝධනය කිරීමයි. ඒ සඳහා වන යෝජනා මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇතැයි මා සිතනවා. ඔවුන් එය කඩිනමින් සකස් කර ඉදිරිපත් කරනු ඇති. බොහෝ දුරට ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මෙම සියලුම පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකියි.
ප්රශ්නය:
සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් කලාපීය රටවල ප්රවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම ගැන අප කතා කරනවා. අපගේ ප්රසම්පාදන ක්රියාවලිය ඊට බලපාන බවක් ඔබ පවසනවාද? ඒ සඳහා මේ මුදල් වෙන් කළ නොහැකිද?

පිළිතුර:
ඔව්. අප ප්රවර්ධන සැලැස්මක් මිලදී ගන්නේ කෙසේද? අපගේ ප්රසම්පාදන ක්රමවේදයට අනුව මේසයක් මිලදී ගත හැකියි. නමුත් ප්රවර්ධන ප්රචාරක වැඩසටහනක් යනු කුමක්ද? එය අදහසක්. අපි අදහසක් මිලදී ගන්නේ කෙසේද? ඒ අනුව අපගේ ප්රසම්පාදන ක්රමවේදය වෙනස් විය යුතුයි.
අතීතයේ එසේ සිදු කළ බව කෙනෙකුට කිව හැකියි. එසේ කළේ කෙසේද? එක් ආයතනයක් හොඳයි කියා තෝරා ගැනීමෙන් අනෙක් ආයතනය තෝරා නොගැනීම සිදු වෙනවා. මෙය මනින්නේ කවුද? කොතැනින්ද? මෙම ප්රවර්ධන කටයුතු සඳහා දැන් වසර එකහමාරක පමණ සිට උත්සාහ කරමින් සිටිනවා. සංචාරක අධිකාරිය පවසන්නේ ජනවාරි මාසයේදී ටෙන්ඩර් කැඳවන බවයි.
ඊට අමතරව අධිකාරිය විසින් රටවල් පහක කුඩා පරිමාණයේ ප්රවර්ධන ව්යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඊටත් අමතරව සංචාරක ක්ෂේත්රයේ නියැලී සිටින ව්යාපාරික සංවිධාන විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ද පවතිනවා. අප ඒ පිළිබඳව ද සොයා බලමින් සිටිනවා. ඔවුන් මෙවර ගෙන එන සංචාරකයින් ප්රමාණයට වඩා යම් ප්රතිශතයකින් වැඩි සංචාරකයින් පිරිසක් ගෙන එන්නේ නම්, එම ඉලක්කය ඉක්මවා ගෙන එන සංචාරකයින් සඳහා ගෙවීමක් කිරීමට ඉදිරි අයවැයෙන් ශ්රී ලංකා සංචාරක අධිකාරියට මුදල් වෙන් කරනු ලබනවා.
ප්රශ්නය:
රජය පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. බැටරි ගබඩා ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරන බවක් ද පෙනෙනවා. මීට පෞද්ගලික අංශය මෙන්ම වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති ද සම්බන්ධ විය යුතුයි කියා අප විශ්වාස කරනවා. ඉදිරියේදී ගෙවීම් ක්රමවේදයේ සංශෝධන බලාපොරොත්තු විය හැකිද? එසේම සම්ප්රේෂණ ජාලය දියුණු කිරීම ගැන අදහස කුමක්ද?

පිළිතුර:
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කිලිනොච්චියේ සිට හබරණ දක්වා අධි බලැති සම්ප්රේෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ශ්රී ලංකා රජය අපේක්ෂා කරනවා. ඊට අමතරව පුත්තලම-වාරියපොළ, හබරණ-වේයන්ගොඩ වැනි තවත් සම්ප්රේෂණ පද්ධති කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. ඒවා පෞද්ගලික අංශය හරහා ඉදි කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
මෙතෙක් ශ්රී ලංකාවේ පැවති සියලුම සම්ප්රේෂණ පද්ධති ඉදි කළේ විදුලිබල මණ්ඩලය විසින්. එම සම්ප්රේෂණ පද්ධති සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විදුලි රැහැන් මාර්ග (grid lines) හතරක් දැනටමත් තෝරාගෙන තිබෙනවා. ඉතා ඉක්මනින් ඒවා ටෙන්ඩර් කරමු. එවිට පෞද්ගලික අංශයට සම්ප්රේෂණ පද්ධතියට සම්බන්ධ විය හැකියි.
අප බලශක්ති ක්ෂේත්රය කෙරෙහි අවධානය යොමු කිරීමේදී, බලශක්තියේ ස්ථාවරත්වය සහ අඛණ්ඩතාවය මෙන්ම ඒ සඳහා වැය වන පිරිවැය කෙරෙහි ද අවධානය යොමු කරනවා. අපගේ බලශක්ති ප්රතිපත්තිය ගොඩනැගී ඇත්තේ මෙම කරුණු දෙක මතයි. ස්ථාවර මිලදී ගැනීමේ ගාස්තු ක්රමය (feed-in tariff) ටෙන්ඩර් ක්රමවේදයක් නොවෙයි. එහිදී අප විදුලිය මිලදී ගන්නේ මහජන උපයෝගිතා කොමිසම විසින් හඳුන්වා දුන් වටිනාකමකටයි.
නමුත් බලශක්තිය මිලදී ගැනීමේ පිරිවැය අඩු කිරීමේ දෙවන උපායමාර්ගය සැලකීමේදී එම ක්රමය වැරදියි. එලෙස නිශ්චිත වටිනාකමකට මිලදී ගන්නවාට වඩා විවෘත තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් හරහා යාමෙන් අපට වඩාත් ලාභදායී ලෙස එය ලබා ගත හැකියි. උදාහරණයක් ලෙස, අප රජය භාර ගන්නා විට මන්නාරමේ විදුලිබල ව්යාපෘතියක් තිබුණා. එහි එක් ඒකකයක් ඇමරිකානු ශත 8.22 කට ගැනීමට අප එකඟ වී තිබුණා.
අප එම සමාගම සමඟ සාකච්ඡා කර ඩොලර් 5ට (ශත 5ට) වඩා අඩුවෙන් ලබා දෙන්නේ නම් සූදානම් බව දැනුම් දුන්නා. නමුත් ඔවුන් එම මුදලට නොපැමිණි නිසා එම ගිවිසුම බිඳ වැටුණා. ඉන්පසු අප මෙගාවොට් 50 බැගින් වූ ටෙන්ඩර් දෙකක් කැඳෙව්වා. පළමු මෙගාවොට් 50 අපට ඇමරිකානු ශත 3.96 කට ලැබුණා. දෙවන ටෙන්ඩරයේ මෙගාවොට් 50 අපට ලැබුණේ ඇමරිකානු ශත 3.74 කටයි. අපට වැඩි ලාභයක් ගෙන දෙන්නේ මෙම තරඟකාරිත්වයයි.
අපගේ රජය පුනර්ජනනීය බලශක්තියට එරෙහි රජයක් බවට මතයක් තිබුණා. අප රජය භාර ගන්නා විට සමස්ත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1400ක් වුණා. නමුත් මෙම වසර දෙක ඇතුළත නව මෙගාවොට් 1500ක් උත්පාදනය කර තිබෙනවා. තවත් මෙගාවොට් 1100ක් සඳහා අප ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ අනුව අපගේ රජය යටතේ සූර්ය බලශක්තියෙන් නව මෙගාවොට් 2600ක් උත්පාදනය කෙරෙනවා.
පුනර්ජනනීය බලශක්තියේ ඇති අනෙක් පැත්ත නම් ඒ සඳහා විශාල ඉඩක් වැය වීමයි. අප වැනි කුඩා රටකට ඒ තරම් විශාල භූමි ප්රමාණයක් යොදවන්නේද යන්න පිළිබඳ ගැටලුවක් පවතිනවා. ඒ නිසයි ජලාශ ආශ්රිත පාවෙන සූර්ය පැනල පද්ධති පිළිබඳ අදහසට අනුව ඉබ්බන්කටුව වැවේ මෙගාවොට් 5ක ව්යාපෘතියක් ආරම්භ කළේ. අක්කර 1000ක ජලාශයෙන් අපට වැය වූයේ අක්කර 10ක් පමණයි. එනම් 1%ක්. ඉන් අපේ ගොඩබිම යටපත් වන්නේ නැහැ.
දැන් අපි රන්දෙණිගල ව්යාපෘතිය ආරම්භ කර තිබෙනවා. මොරගහකන්ද, සමනලවැව, චන්ද්රිකාවැව වැනි තෝරාගත් ජලාශ කිහිපයක පාවෙන සූර්ය පැනල පද්ධති සඳහා යාමට අප අපේක්ෂා කරනවා. සූර්ය බලශක්තියේදී දිවා කාලයේ උත්පාදන ධාරිතාව ඉහළ යන බැවින් අප රාත්රී කාලයේ භාවිතය සඳහා එය ගබඩා කර තැබිය යුතුයි. ඒ සඳහා අපි මේ වන විට මෙගාවොට් 160ක ටෙන්ඩරයක් කැඳවා තිබෙනවා.
අපි මෙගාවොට් 250ක බැටරි ද ටෙන්ඩර් කළා. එය මේ වන විට ඇගයීමට ලක්වෙමින් පවතිනවා. දැනට ලැබී ඇති තොරතුරු අනුව පළමු මෙගාවොට් 160ට සාපේක්ෂව මෙම මෙගාවොට් 250ක ටෙන්ඩරය හරහා මිල ගණන් වල 10% ක පමණ අඩුවීමක් දක්නට ලැබෙන බව සතුටින් ප්රකාශ කරනවා. මීළඟට දැනට පවතින සූර්ය බලශක්ති හිමිකරුවන් වෙත තවත් මෙගාවොට් 150ක් ටෙන්ඩර් කිරීමට අප අපේක්ෂා කරනවා.
මේ වන විට සමස්ත උත්පාදන ධාරිතාවෙන් 69%ක්ම පුනර්ජනනීය ධාරිතාවක්. පසුගිය දින හතර පුරාවටම විදුලිය උත්පාදනය සඳහා අප ඩීසල් ලීටරයක් හෝ භාවිතා කර නැහැ. එමනිසා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය කරා යන මෙම ගමන ඉතා සාර්ථකයි. අඛණ්ඩ බලශක්ති සැපයුමක් මෙන්ම සාධාරණ මිලකට බලශක්තිය සැපයීම අපගේ අපේක්ෂාවයි.
ප්රශ්නය:
සිංගප්පූරුව වැනි රටක දළ ජාතික නිෂ්පාදිතයට වරාය ආදායමෙන් 7%-8% ක පමණ දායකත්වයක් ලැබෙනවා. නමුත් ශ්රී ලංකාවේ එය තවමත් 2%-3% ක මට්ටමක පවතින්නේ ඇයි?

පිළිතුර:
අපගේ ආර්ථික උපායමාර්ගයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන්නේ වරායයි. දැනට වරාය අධිකාරිය සතුව පවතින නැගෙනහිර පර්යන්තය හසුරුවන්නේ කන්ටේනර් මිලියන 0.5ක පමණ ප්රමාණයක්. නමුත් නැගෙනහිර පර්යන්තයට කන්ටේනර් මිලියන 3.2ක් හැසිරවීමේ ධාරිතාවක් පවතිනවා. දිනෙන් දින අප මෙම සම්පතෙන් උපරිම ප්රයෝජන ගන්නේ නැහැ.
නැගෙනහිර පර්යන්තය හැසිරවීමේ කාර්යය රජයට පමණක් තනිවම කළ හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා පර්යන්තයේ අයිතිය රජය සතුව තබා ගනිමින් කළමනාකරණය සඳහා සමාගමක් පිහිටුවා එහි කොටස් පෞද්ගලික ආයෝජකයින්ට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය සඳහා ගෝලීය වශයෙන් බලවත් නැව් සමාගම් කිහිපයක් සාකච්ඡා කරමින් සිටිනවා.
මීළඟට බටහිර පර්යන්තයේ දෙවන අදියරයි. එහි දියකඩනය ඉදි කළ යුතුව තිබෙනවා. දැන් ඒ සඳහා ඩොලර් බිලියන 1.4ක් වැය වෙනවා. එම පිරිවැය දරා බටහිර පර්යන්තයේ දියකඩනය ඉදි කළහොත් එහි ද කන්ටේනර් මිලියන 3.2ක මෙහෙයුම් කළ හැකියි. එළඹෙන අයවැයෙන් මෙහි මූලික අධ්යයන කටයුතු සඳහා ප්රතිපාදන වෙන් කෙරෙනවා.
ආසියානු සංවර්ධන බැංකුව මගින් දැනටමත් ශක්යතා අධ්යයන වාර්තාව සකස් කරමින් පවතිනවා. මෙම දෙසැම්බර් වන විට අතුරු වාර්තාවක් ද ලබන අප්රේල් වන විට සම්පූර්ණ වාර්තාව ද ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පර්යන්ත පද්ධතිය සංවර්ධනය කිරීමට අප අපේක්ෂා කරනවා.
මීළඟට, වරායෙන් සිදු කරන්නේ බහාලුම් හුවමාරු කිරීම පමණක්ද? වරාය ලොජිස්ටික් මධ්යස්ථානයක් (logistics center) ලෙස සංවර්ධනය කළ හැකියි. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම දිගු කාලයක් තිස්සේ විශාල ගැටලු මතු කර තිබුණා. දැන් එම සියලු ගැටලු අවසන් වී ඇති අතර සමාගම්වලට අදාළ වන්දි මුදල් ගෙවා එය අවසන් කිරීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
වරාය තුළ පවතින බහාලුම් තදබදය අවම කිරීම සඳහා කෙරවලපිටියේ අක්කර 150ක අංගණයක් ඉදි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා. නැව්වලට තෙල් සැපයීමේදී (bunkering) අය කරන බදු සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතිනවා. අප ඒ ගැන ද සලකා බලමින් සිටින අතර ඉදිරි අයවැයෙන් ඊට සහනයක් ලබා දීමට අපේක්ෂා කරනවා.
ප්රශ්නය:
නව කර්මාන්ත යටතට ගැනෙන big data, AI වැනි ක්ෂේත්රවල වාර්ෂිකව රාජ්ය හා පෞද්ගලික විශ්වවිද්යාලවලින් 17,000ක් පමණ එක් වුවද ප්රමාණවත් රැකියා නොමැති වීම විශාල ගැටලුවක්. තාක්ෂණික ක්ෂේත්රය අප ඉදිරියට ගෙන යන්නේ කෙසේද?
පිළිතුර:
සැබෑ ගැටලුව වන්නේ අප නිර්මාණය කරන මෙම නිපුණතා ශ්රම බලකාය සිටින්නේ කිනම් මට්ටමකද යන්නයි. ඔවුන් සිටින්නේ මධ්යම මට්ටමේයි. රැකියා අර්බුදය මතු වී ඇත්තේ එතැනයි. අප ඊට වඩා ඉහළ මට්ටමකට ගමන් කරන්නේ නම් රැකියා අවස්ථා තවදුරටත් පුළුල් වෙනවා. රාජ්ය අංශයෙන් ද රැකියා අවස්ථා විශාල වශයෙන් පුළුල් වෙනවා. ව්යාපාරික ක්ෂේත්රය ගත් විට දේශීය කර්මාන්තවලට ද නිපුණතා සහිත පුද්ගලයින්ගේ අවශ්යතාවයක් තිබෙනවා.
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධි පුහුණු මධ්යස්ථානයක් (AI center) පිහිටුවීමට අප අවධානය යොමු කර තිබෙනවා. සිංගප්පූරුව සමඟ එක්ව එය ස්ථාපිත කිරීමටයි අප අපේක්ෂා කරන්නේ. ඊට අදාළ කැබිනට් පත්රිකාව ලබන සතියේදී සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. මෙම කුසලතාව තවදුරටත් ඉහළට ඔසවා තබමින් වර්තමාන අර්බුදවලට විසඳුම් සෙවිය යුතු බව අපගේ විශ්වාසයයි.
එසේම, BPO වැනි ආයතන හරහා මාර්ගගත රැකියා (online working) රටාවන් තවදුරටත් පුළුල් කරමින් ජාත්යන්තර අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ හරහා පිළිතුරු ලබා ගත හැකියි. උපාධි පාඨමාලා පවා මීට වඩා ඉහළ මට්ටමකට යා යුතුයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය විශාල ලෙස සංවර්ධනය වී තිබුණද, අපට අවශ්ය නිපුණතාවයෙන් යුත් උපාධිධාරීන් නිර්මාණය කිරීමට අප අපොහොසත් වී තිබෙනවා. ඒ නිසා අපගේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තවත් ස්තර දෙක තුනකින් ඉහළට ගෙන යා යුතුයි.
ප්රශ්නය:
ජනාධිපතිතුමනි, මැදපෙරදිග අර්බුදයත් සමඟ දැනට ඩීසල් සඳහා සහනාධාරයක් ලබා දෙනවා. මෙම යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් වසර දෙකක් හෝ මෙම සහනාධාරය ලබා දෙනවාද? නැතහොත් ඉලක්කගත ආර්ථික උත්තේජනයක් වෙත අප මාරු වෙනවාද?
පිළිතුර:
මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු අපගේ ප්රධානතම අභියෝගය වූයේ ඉන්ධන, විදුලිය සහ ගෑස් ඇතුළු බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමයි. ලෝකයේ බොහෝ රටවල සමාජ නොසන්සුන්තාවන් නිර්මාණය වෙද්දී, අප එම අඛණ්ඩතාව සාර්ථකව තහවුරු කළා. මෙම යුද්ධය කොපමණ කාලයක් ඇදී යනු ඇත්දැයි කිසිදු දර්ශකයකින් පුරෝකථනය කළ නොහැකියි.
දැවැන්ත ආර්ථික අර්බුදයකින් සහ ව්යාපාර බිඳවැටීමකින් පසු යළි නැගී සිටින අපේ ආර්ථිකයට සහ සමාජ ජීවිතයට තවත් විශාල කම්පනයක් දරාගත නොහැකි නිසයි අප ව්යුහාත්මක සහනාධාර පැකේජයක් ලබා දුන්නේ. එහි ප්රතිඵලයක් ලෙස පළමු කාර්තුවේදී 5.2% ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට අපට හැකි වුණා.
මුල් මාස පහ තුළ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක සහ පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබා දීමට රුපියල් බිලියන 60ක් වැය කළා. තත්ත්වය යළිත් උත්සන්න වූ බැවින් ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස දක්වා ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් ලබා දෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 41ක් වැය කෙරෙනවා.
මෙම සහනාධාරය කෘෂිකර්මාන්තයට යොදාගන්නා ට්රැක්ටරයට හෝ පාන් බෙදාහරින වෙළෙන්දා වැනි ඉලක්කගත ජනතාව වෙත යා යුතුයි. නමුත් සෘජු දත්ත පද්ධතියක ඇති දුර්වලතාවය හේතුවෙන් අපට සමස්ත සහනාධාරයක් ලබා දීමට සිදු වුණා. ඉදිරියේදී දුරකථන සමාගම් සමඟ සාකච්ඡා කර ඉලක්කගත ජනතාවට පමණක් සහනාධාරය ලබා දීමේ ක්රමවේදයක් සකස් කිරීමට අප පියවර ගන්නවා.
තරඟකාරිත්වයට ආරාධනා කළ ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දෙන මිලට ඉන්ධන ලබා දීමට පෞද්ගලික සමාගම් ක්රියා කර නැහැ. සංස්ථාව රුපියල් බිලියන 28ක ලාභයක් ලබමින් එම ලාභයෙන් කොටසක් ජනතාවට සහනයක් ලෙස ලබා දීමට සූදානම් වන විට, පෞද්ගලික සමාගම් තෙල් ගබඩාවල තබාගෙන බෙදාහැරීම සීමා කර තිබෙනවා. ඩීසල් ලීටරයකට රුපියල් 132ක මිල පරතරයක් ජනතාව මත පැටවීම සාධාරණ නැහැ.
ප්රශ්නය:
රජය ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) වැඩසටහනේ අවසන් මාස හයට එළඹී තිබෙනවා. ණය ප්රතිව්යුහගත කිරීමෙන් පසු මෙම වැඩසටහනට යාමෙන් බොහෝ වාසි සැලසී තිබෙනවා. නමුත් ඉදිරියේදී නව IMF වැඩසටහනකට යාම සම්බන්ධයෙන් රජයේ අදහස කුමක්ද?
පිළිතුර:
ශ්රේණිගත කිරීම්වලින් අප ඉහළට පැමිණියද විදේශ සංචිත අපේක්ෂිත මට්ටමට තවමත් වර්ධනය කරගත යුතුව තිබෙනවා. මෙම සාධක සම්පූර්ණ කරගත හැකි නම් අපට ඉදිරියට යා හැකියි. කෙසේ වෙතත්, ලෝකයේ පවතින අවිනිශ්චිතතාවය හමුවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 4042ක් වුණා. නමුත් මෙම වසරේ මුල් මාස අට තුළ පමණක් එය ඩොලර් මිලියන 4082ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම ප්රවණතාවයට අනුව වසර අවසානයේදී ඉන්ධන සඳහා ඩොලර් බිලියන 6ක් පමණ වැය වනු ඇති අතර එය ආර්ථිකයට දැරීමට සිදුවන විශාල අභියෝගයක්. ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සමඟ පැවති මූලික සිව් අවුරුදු විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ ප්රධාන අරමුණ වූයේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමයි. මේ වන විට එම ස්ථාවරත්වය සාර්ථකව අත්පත් කරගෙන තිබෙනවා.
මීළඟ පියවර වන්නේ එම ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමයි. එම වර්ධනය උදෙසා නව ගිවිසුමකට එළඹිය හැකි නම්, ඒ සඳහා අප සූදානම්. රජයේ ආර්ථික දැක්ම සහ IMF ගිවිසුම් අතර විශාල පරස්පරතාවයක් නොතිබූ බැවින්, ගැටුමකින් තොරව වැඩසටහනේ වසර 4 සාර්ථකව නිම කිරීමට අපට හැකි වුණා.
මුදල් අමාත්යාංශය සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු ආර්ථික ක්ෂේත්රයේ විද්වතුන් පිරිසක් අනාගත වැඩපිළිවෙල කෙසේ විය යුතුද යන්න පිළිබඳව මේ වන විටත් සාකච්ඡා කරමින් සිටිනවා. ඉතිරි මාස හය තුළ බාහිර ආර්ථික කම්පනයන් ද සැලකිල්ලට ගනිමින් සුදුසු තීරණයකට එළඹීමට නියමිතයි.
ප්රශ්නය:
මෙහි විදේශීය ආයෝජකයින්, දේශීය සහ විදේශීය තානාපතිවරුන්, අපගේ ව්යාපාරික ප්රජාව, වාණිජ මණ්ඩල සාමාජිකයින් සහ රාජ්ය නිලධාරීන් විශාල පිරිසක් සිටිනවා. අප වෙත ලබා දෙන ඔබේ අවසන් පණිවිඩය කුමක්ද?
පිළිතුර:
රට තුළ අවශ්ය විනිවිදභාවය ගොඩනැගීම අපගේ පළමු පියවරයි. දෙවනුව ආයෝජන සහ ව්යාපාරික ආරක්ෂාව වෙනුවෙන් අවශ්ය නීති රීති පැනවීම සැලකිය යුතු අවසන් අදියරකට පැමිණ තිබෙනවා. එසේම ආයෝජන සඳහා අවශ්ය යටිතල පහසුකම් ද අප සංවර්ධනය කරමින් සිටිනවා. රජය වෙත පැවරී ඇති කාර්යයන් වන්නේ විනිවිදභාවය ඇති කිරීම, නීති රීති පැනවීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි. එමනිසා අපේ කොටස අප ඉටු කරනවා, ඔබේ කොටස ඔබ ඉටු කරන්න.
පසුගිය කාලයේ සරල කළ එකතු කළ අගය මත බද්ද (S-VAT) ඉවත් කිරීම සම්බන්ධයෙන් යම් සැකයක් සහ ප්රශ්න කිරීම් පැවතුණා. කෙසේ වෙතත්, S-VAT හරහා මසකට රුපියල් බිලියන 10ක කාන්දුවක් සිදුවෙමින් පැවති අතර, එය සාර්ථකව පාලනය කිරීමට හැකි වී තිබෙනවා.
ශ්රී ලංකාව තුළ විදේශ ආයෝජන සහ විශාල ජාත්යන්තර සමාගම් සමඟ සාර්ථකව අන්තර් සම්බන්ධ විය හැකි ශක්තිමත් දේශීය ව්යාපාරික කණ්ඩායමක් සහ ව්යවසායකයින් පිරිසක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. අපගේ අයවැය මගින් ද ඒ කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ග්රාමීය ප්රදේශවලට යන්නේ නම්, ඉඩම් සහ ඇතැම් සේවාවන් සඳහා සහනදායී ක්රමවේදයක් ලබා දීමට අප සූදානම්.
එසේම, වරාය, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය, පෝට් සිටි (Port City) සහ සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්ර රැසක යටිතල පහසුකම් වර්ධනය වෙමින් නව ආර්ථික අවස්ථා නිර්මාණය වෙමින් පවතිනවා. ඔබ සියලු දෙනාම කිසිදු බියකින් තොරව ආයෝජනය කරන්න. ඒ සඳහා අවශ්ය ආරක්ෂාව සහ විශ්වාසය අප ලබා දෙනවා. අවසාන වශයෙන් ඔබෙන් කරන ඉල්ලීම එයයි.

ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම හරහා ඩිජිටල්කරණය, කෘත්රිම බුද්ධිය, වරාය සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්තිය වැනි නවීන ගෝලීය ප්රවණතා සමඟ රටේ ආර්ථිකය බද්ධ කිරීමේ රජයේ සූදානම පිළිබඳව යම් පැහැදිලි චිත්රයක් ආයෝජකයින්ට ලබා දුන්නද, වත්මන් ආර්ථික ගමන්මඟ සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරු විචාරයක නිරත වීම සමාජයක් ලෙස අත්යවශ්ය වේ.
විශේෂයෙන්ම ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වන ඉදිරි සාකච්ඡා සාර්ථක කර ගනිමින් ආර්ථික වර්ධනයක් කරා පියනැගීමට රජය අපේක්ෂා සහගත වුවත්, සැබැවින්ම මෙය IMF වැඩපිළිවෙළ සමඟ තවදුරටත් ඉදිරියට යා යුතුද නැද්ද යන්න පිළිබඳව තීරණාත්මක ලෙස සිතා බැලිය යුතු සංවේදී මොහොතකි. මන්දයත්, එම වැඩපිළිවෙළේ දැඩි කොන්දේසි හමුවේ මේ වන විටත් සමස්ත ජනතාව අසීමිත බදු බරකින් සහ ජීවන වියදමකින් අතිශය පීඩාවට පත්ව සිටින බැවිනි.
එබැවින්, හුදු ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සංඛ්යා දත්තවලින් ඔබ්බට ගොස්, අපගේ සාම්ප්රදායික පරිභෝජන රටාවන් සහ යැපුම් සම්ප්රදායන් යහපත් අතට පරිවර්තනය කරගනිමින්, සැබෑ ලෙසම රටට උචිත දේශීය ආර්ථික ක්රමයක් ස්ථාපිත කිරීමේ දැවැන්ත අභියෝගය රජය හමුවේ පවතී. අතිමහත් ජනවරමක් සහිතව බලයට පත් වූ වත්මන් ආණ්ඩුව, හුදෙක් සම්ප්රදායික ගෝලීය මූල්ය න්යායපත්රයන්ට පමණක් කොටු නොවී, පීඩිත ජනතාවගේ බදු බර ලිහිල් කෙරෙන එමෙන්ම රටේ සැබෑ ශක්යතාවයන්ට ගැළපෙන නව ආර්ථික ගමන්මඟක් නිර්මාණය කිරීම වෙනුවෙන් දැන් ඊට සුදුසු නිර්භීත පියවර ගත යුතුව ඇත.
(මූලාශ්ර සාකච්ඡා සටහන - ඩේලි මිරර් )

