ස්පාටකස් සාමූහිකය විසින් රචිත "නගුට අකුලාගත් ආණ්ඩුව" නමැති පහත ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ,
විපක්ෂයේ දේශපාලන හැසිරීම් සහ මතවාදී අර්බුද හමුවේ වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳවයි. 'ජාතිය', 'ආගම' සහ 'සංස්කෘතිය' වැනි පැරණි දේශපාලන හැඟවුම්කාරකයන්හි බලය මේ වන විට සමාජය තුළ බිඳවැටී තිබුණද, ආණ්ඩුව ඊට අනවශ්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීමට යාමෙන් යළිත් එම පැරණි දේශපාලන කඳවුරුවලටම වලංගුභාවයක් ලබා දෙන ආකාරය මෙහිදී මනෝවිශ්ලේෂණාත්මක හා දේශපාලනික න්‍යායන් ඇසුරින් විග්‍රහ කර ඇත.
නගුට අකුලාගත් ආණ්ඩුව - (ස්පාටකස් ලිපි)
වත්මන් ආණ්ඩුව තවමත් සිතනුයේ නාමල් වැනි අය "පෙරහැරේ කාවඩි නවත්වල අපේ හාමුදුරුවනේ" යැයි පැවසූ විට එකල සිදු වූ ආකාරයෙන්ම සමාජය විසින් එය පිළිගන්නා බවය. ජවිපෙ එසේ සිතනුයේ දෘෂ්ටිවාදය සහ කතිකාව පිළිබඳව අවබෝධයක් නොමැතිකම හේතුවෙනි.
කෙටියෙන් පවසන්නේ නම් දැන් රාජපක්ෂලා ඔය කතා කිව්වට වලංගු නැහැ (ඉදිරියේදී නැවත එහෙම ගොඩනගන්න නොහැකියි කියා මින් අදහස් කරන්නේ නැහැ). නැවත රාජපක්ෂලා හට වලංගුභාවයක් ගොඩනගා දෙන්නේ මේ ආණ්ඩුව විසිනි.
සමාජයක කතිකාවක් පවතින්නේ "ස්වාමි හැඟවුම්කාරක" (master signifiers) වටා ය. "ජාතිය", "ආගම", "පෙරහැර", "සංස්කෘතිය" යනු ලාංකීය ධනවාදය ක්‍රියාත්මක කිරීම සඳහා රාජපක්ෂලා අතීතයේදී තමන්ගේ දේශපාලන කතිකාව ගොඩනැගීමට භාවිතා කළ ප්‍රධාන සංකේතක වේ. දෘෂ්ටිවාදයක් ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ගේ අලෙවි කළ නොහැකි අවිඥානිකව පවතින "දෘෂ්ටිවාදී ෆැන්ටසිය" (Ideological fantasy) සමඟ මෙම හැඟවුම්කාරක යාවෙන විටයි (මේ පිළිබඳව අපගේ වෙබ් අඩවියේ ඇති ලිපි වල දීර්ඝ පැහැදිලි කිරීම් තිබේ). එනම්, අර්ථය ගොඩනැගෙන්නේ ඒ ආකාරයෙනි.
විශේෂයෙන්ම රාජපක්ෂ යුගයේදී මෙන්ම ඊට පෙර ද මෙම වචන (හැඟවුම්කාරක) සමාජය තුළ "මැහුම් ලක්ෂ්‍යයක්" (point de capiton) ලෙස ක්‍රියා කරමින් සමාජ කැමැත්ත එකට අමුණා තැබීය. නමුත් අද වන විට එම දෘෂ්ටිවාදී ෆැන්ටසිය බිඳ වැටී ඇත. එම නිසා දැන් එම වචනම ("ජාතිය", "ආගම", "පෙරහැර", "සංස්කෘතිය") කීවද, ඒවාට පැරණි සංකේතීය බලය (symbolic efficiency) නොමැත. ආණ්ඩුව එම වෙනස තේරුම් නොගන්නේ නම්, ඔවුන් දෘෂ්ටිවාදය යනු හුදෙක් සිරස්තල හෝ වචන සමුච්චයක් ලෙස වටහා ගන්නා "යාන්ත්‍රික" වැරදි වැටහීමක පසුවේ.
අර්ථය නිපදවෙන්නේ පූර්වයෙන් නොව පරාක්‍රීය (පසු-සම්බන්ධිතව/retroactively) ලෙසය. එනම්, ප්‍රකාශයක් කළ සැණින් එහි බලය තීරණය වන්නේ නැත. ඊට සමාජයෙන් හෝ පවතින බල ව්‍යුහයෙන් ලැබෙන ප්‍රතිචාරය මගින් එම ප්‍රකාශයට අර්ථයක් සහ බලයක් "පසුපසට ගොස්" ආරෝපණය වේ.
නාමල් කතා පවත්වන්නේ මහින්ද අනුගමනය කරමිනි. ලාංකිකයාගේ වර්තමාන 'ප්‍රමෝදයට' (jouissance) අදාළ ෆැන්ටසීන් සඳහා තවමත් වලංගුව පවතින්නේ ජවිපෙ විසින් ගොඩනැගූ වංචා, දූෂණ, අක්‍රමිකතාවලින් තොර, හොරුන්, අපරාධකරුවන් සහ ඒවාට අනුබලදෙන්නන් අල්ලා සිරගත කරන, සුදුස්සාට සුදුසු තැන ලබා දීමෙන් රට සිංගප්පූරුවක් කරගත හැකිය යන කතිකාවයි. ඒ අනුව, නාමල් වෙතින් නිකුත් වන හැඟවුම්කාරක සඳහා ස්වයංක්‍රීය සමාජ බලයක් නොමැත.
නමුත්, දෙවුන්දර කාවඩි අර්බුදය නිර්මාණය කරනුයේ ද රාජපක්ෂලා ප්‍රමුඛ විපක්ෂ බලවේගය විසිනි. වත්මන් ආණ්ඩුව ඒ දේවල් සම්බන්ධයෙන් ඕනෑවට වඩා භීතියට පත්වෙමින් ඒවාට උත්තර දෙමින්, ඒ වටා තමන්ගේ දේශපාලන කතිකාව ගොඩනගන විට, ආණ්ඩුව විසින්ම පරාක්‍රීය ලෙස (පසු-සම්බන්ධිතව) එම හැඟවුම්කාරක සඳහා නැවතත් රාජපක්ෂලාගේ අර්ථය තුළින් බලය සහ වලංගුභාවය ලබා දෙයි.
ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණේ මහජන ආරක්ෂක ඇමති, අමාත්‍යාංශ ලේකම්, පොලිස්පති ඇතුළු විශාල නිලධාරීන් පිරිසක් මාතරට ගෙන්වීම නොවේ. එසේ ගෙන්වා ඒ සඳහා විශාල බරක් යෙදීමෙන් සිදු වූයේ මත්ද්‍රව්‍ය ගෙන කාවඩි නටන පාතාලයන් හට විශාල අනන්‍යතාවයක් සහ බලයක් හිමිකර දීමයි.
( ලිපියේ සබැඳිය: https://www.facebook.com/share/p/1GGQXAkT2S/).
කළ යුතුව තිබුණේ මෙම කාවඩි කණ්ඩායම් පිළිබඳව පොලිස් විමර්ශන සිදුකොට ඔවුනට නීතිය ක්‍රියාත්මක කිරීම වුවත් (එසේ කළේ නම් සාමාන්‍ය ජනයාගෙන් අති බහුතරය එම ක්‍රියාව අනුමත කරනු ඇත), මේ ආකාරයෙන් ආණ්ඩුව ඔවුනට යටත් වීම තුළ සිදු වූයේ "ඔන්න ආණ්ඩුව අපිට බයයි" යන්න තහවුරු වීමයි. එහි වාසිය රාජපක්ෂලා ප්‍රමුඛ විපක්ෂයට හිමි වේ.
මහා මැතිවරණයට පසුව පළ කළ මීට අදාළ ලිපියක සබැඳිය:
https://www.facebook.com/share/v/1EP9VH3eNz/
# ස්පාටකස් ලිපි

