SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් විසින්

සිය නිෂ්පාදනවල මිල ගණන් යළිත් වරක් ඉහළ දමා තිබේ. ඒ අනුව වෙළඳපොළේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 750 ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ද, බෝතල් භාගයක මිල රුපියල් 10කින් සහ පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 50කින් ද ඉහළ නංවා ඇත. ඊට අමතරව විස්කි සහ බ්‍රැන්ඩි බෝතලයක මිල රුපියල් 100කින් වැඩි කර ඇති අතර, මද්‍යසාර ප්‍රමාණය මත පදනම් වූ වෙනස් බදු ව්‍යූහයක් පවතින බැවින් වෙළඳපොළ තරගකාරීත්වය රැකගැනීමේ අරමුණින් බියර් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත.

 

 

Arrack prices to be increased | Sri Lanka News | Ada Derana | Truth First

 

 

මෙලෙස මත්පැන් සමාගම්වලට සිය අභිමතය පරිදි මිල තීරණය කිරීමට හැකි වී ඇත්තේ මත්පැන් සඳහා රජයේ පාලන මිලක් ක්‍රියාත්මක නොවන බැවිනි. අතීතයේදී මත්පැන් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වුවද, වර්තමානය වන විට එවැන්නක් නොමැති වීම නිසා නිෂ්පාදන පිරිවැය සහ බදු බර පාරිභෝගිකයා මත පැටවීමට සමාගම්වලට පූර්ණ නිදහස ලැබී තිබේ.

 

 

මෙම මිල නියාමනය නොවීම පිටුපස ඇති ප්‍රධානතම නීතිමය සාධකය වන්නේ, මත්පැන් යනු පාරිභෝගික සේවා යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නොසැලකීමයි. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 14, 18, 19 සහ 20 යන වගන්ති මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ නියම කිරීමේ බලය විෂයභාර අමාත්‍යවරයාට පවරා ඇත. එහෙත්, මත්පැන් යනු අහිතකර භාණ්ඩයක් (Demerit Good) වන බැවින් අතීතයේ නිකුත් කළ කිසිදු ගැසට් නිවේදනයක් මගින් එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර නැත. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියට මත්පැන් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ නීතිමය හැකියාවක් නොමැත.

 

 

Liquor prices increased | Sri Lanka News | Ada Derana | Truth First

 

 

අනෙක් අතට, මත්පැන් කර්මාන්තය නියාමනය කරන ප්‍රධාන ආයතනය වන සුරාබදු දෙපාර්තමේන්තුවටද අරක්කු සමාගම්වල මිල පාලනය කිරීමේ නීතිමය බලයක් හිමිව නැත. 1912 අංක 8 දරන සුරාබදු ආඥාපනතේ 3 වන වගන්තියට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික කාර්යභාරය වන්නේ බලපත්‍ර නිකුත් කිරීම, බදු ආදායම් එකතු කිරීම සහ නීති විරෝධී මත්පැන් මර්දනය කිරීම පමණි. 1979 දෙසැම්බර් 31 දිනැති අංක 70/1 දරන ගැසට් පත්‍රයේ පළ කළ අංක 666 දරන සුරාබදු නිවේදනය වැනි පැරණි චක්‍රලේඛ මගින් ප්‍රදර්ශිත මිලට අලෙවි කිරීම අනිවාර්ය කර තිබුණද, රාජ්‍ය මත්පැන් නිෂ්පාදනය පෞද්ගලීකරණය වීමත් සමග පෞද්ගලික සමාගම්වල මිල පාලනය කිරීමට සුරාබදු ආඥාපනත යටතේ සෘජු බලතල හිමිවන්නේ නැත.

 

 

මෙම ව්‍යවස්ථාපිත දුර්වලතාවය හේතුවෙන්, මිල පාලනය කිරීමට යාම දෙපාර්තමේන්තුවේ බලතල ඉක්මවා යාමක් (Ultra Vires) ලෙස අධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමේ අවදානමක් පවතී. එමෙන්ම මෙරට මත්පැන් වෙළඳපොළ සමාගම් කිහිපයක් විසින් පමණක් පාලනය කරන අල්පාධිකාරී ස්වභාවයක් ගැනීම නිසා, මිල තීරණය කිරීමේ ඒකාධිකාරී බලයක් එම සමාගම් සතු වී තිබේ.

 

 

රජය නිරන්තරයෙන් පනවන සුරාබදු සහ 18%ක් දක්වා ඉහළ නැංවූ වැට් බදු හේතුවෙන් සමාගම් අර්බුදයකට ලක්ව ඇති බව මෑතකදී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න සමග පැවති සාකච්ඡාවකදී සමාගම් ප්‍රධානීන් පෙන්වා දී ඇත. වසර දෙකක් පුරා සිය ගැටලුවලට විසඳුම් නොලැබීම නිසා ඇතැම් නිෂ්පාදන අංශ දැනටමත් ඉන්දියාව වැනි රටවලට ගෙන ගොස් ඇති බවත්, මින් ඉදිරියටත් විසඳුම් නොලැබුණහොත් රජයේ සුරාබදු ආදායම තවදුරටත් කඩා වැටෙනු ඇති බවත් ඔවුහු එහිදී දැඩිව අනතුරු අඟවා තිබේ.

 

 

Arrack - Wikipedia

 

 

මෙලෙස දේශීය කර්මාන්තශාලා විදේශගත වීම හරහා රජයේ බදු පදනම ක්ෂය වී විශාල ආදායමක් අහිමි වන අතර, දේශීය රැකියා සහ සැපයුම් දාමයන්ද බිඳ වැටේ. තවද, නීත්‍යානුකූල මත්පැන් මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් කසිප්පු වැනි නීති විරෝධී හා ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙත යොමු වීමේ බරපතළ සමාජීය හා සෞඛ්‍යමය අවදානමක් ද නිර්මාණය වී ඇති අතර එය මර්දනය කිරීමට අමතර පිරිවැයක් දැරීමට ද රජයට සිදුවේ.

 

 

 

මෙම අර්බුදයට විසඳුම් සෙවීම හුදෙක් එක් දෙපාර්තමේන්තුවකට පමණක් කළ හැක්කක් නොවේ. ඒ සඳහා 1912 තරම් පැරණි සුරාබදු ආඥාපනත වත්මන් නිදහස් වෙළඳපොළ ආර්ථික රටාවට ගැළපෙන සේ කඩිනමින් යාවත්කාලීන විය යුතුය. එමෙන්ම සුරාබදු කොමසාරිස්වරයා පොරොන්දු වූ පරිදි මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මත්පැන් නිෂ්පාදකයින් දේශීය වෙළඳපොළ තුළ රඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමත්, විනිවිදභාවයෙන් යුත් විද්‍යාත්මක මිල සූත්‍රයක් කඩිනමින් හඳුන්වා දීමත් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

 

නවතම ලිපි