SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මෑතකදී කොළඹ පැවති ‘Read with Ranil’ හමුවේදී තරුණ පරපුර සමඟ රනිල් වික්‍රමසිංහ සිය ඊනියා “දාර්ශනික” අදහස් බෙදා ගත්තේය.

නායකත්වයට විශේෂ සූදානමක් අවශ්‍ය නොවන බවත්, ඕනෑම මොහොතක ඊට මුහුණ දීමට සූදානම්ව සිටිය යුතු බවත් ඔහුගේ දර්ශනය බව එමගින් කීවේය. ඔබ ඊට සූදානම් නැතිනම්, මේ ක්‍රීඩාවෙන් ඉවත් විය යුතු බව ඔහු අවධාරණය කළේය. තමා කියවූ පොත්පත්, මුණගැසුණු පුද්ගලයන්, ලැබූ සතුට මෙන්ම කඳුළ ද තම චරිතය හැඩගැස්වූ ආකාරය ඔහු එහිදී විස්තර කළේය.

 

 

 

එහෙත් අප මෙහි කතාකරන්නේ ඔහුගේ එම ප්‍රවෘත්තියක් ලෙස මතුපිටින් පෙනෙන මෙම හරවත් යැයි හැඟෙන සංවාදය පිටුපස සැබැවින්ම සැඟව ඇත්තේ කුමක්ද යන්නය.

 

 

රනිල් වික්‍රමසිංහ යනු ස්වභාවයෙන්ම සාර්ථක වූ හෝ දේශපාලනික ඥානයෙන් පරිපූර්ණ වූ නායකයෙකු යන්න හුදු දෘෂ්ටිවාදී මායාවකි. ගාලුමුවදොර අරගලය සහ ගෝඨාභය රාජපක්ෂගේ පරිපාලනමය අසමත් වීම යන ඓතිහාසික අහඹුව නොවුණි නම්, මේ කපේදී ඔහුට කිසි දිනෙක ජනාධිපති පුටුවට ළඟා වීමට නොහැකි වනු ඇති බව අවිවාදිත සත්‍යයකි.

 

 

එබැවින්, ඔහු අර්බුදය සඳහාම පෙර සූදානමින් සිටි දෛවෝපගත ගැලවුම්කරුවෙකු ලෙස තමාම හුවා දැක්වීම දේශපාලන යථාර්ථයෙන් මුළුමනින්ම බැහැර වූවකි. අර්බූධයට පෙර සූදානම් වන්නට රනිල් තමාට බලය තිබූ ගෝඨාභය පත්වීමට පෙර කාලය තුළ ඔහු සිදුකළානම් 2020 අරගලයක්ද සිදු නොවනු ඇත.

 

 

 

"බුද්ධිය පැමිණෙන්නේ මනසින් නම්, මනස යනු කුමක්ද?"

'Read with Ranil' වැනි වැඩසටහන් හරහා ඔහු සැබැවින්ම සිදු කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම අපහසු නැත. අතීතයේදී ඔහුගේ ජනප්‍රිය 'මානවම්ම' රජු කතාව මෙන්ම, මෙහිදීද ඔහු උත්සාහ කරන්නේ සිය ‘දැනුම-කුසලතාව-පන්තිය සහ බලය’ ප්‍රදර්ශනය කිරීම සඳහා සකස් කරගත් පාඨයන් සමාජගත කිරීමයි.

 

 

මෙවැනි වේදිකාවන්හිදී "රනිල්ව කියවීම" සඳහා මුලින්ම සාකච්ඡාවට බඳුන් විය යුත්තේ, "ඔහු සාර්ථක දේශපාලකයෙකු නොවන්නේ ඇයි?" යන මූලික පැනයයි. අඩුම තරමින් ජීවිතය ගෙවා අවසන් මොහොතේ හෝ ඔහු තමාට සාර්ථක ජනතා දේශපාලකයෙකු වීමට නොහැකි වූයේ ඇයිද යන සත්‍යය අවබෝධ කරගත යුතුව ඇත. එසේ නොවුණහොත්, ඔහු මිය යන්නේද තමා පරමාදර්ශී දේශපාලකයෙකුය යන හිස් මිථ්‍යාව දිගටම කර තබාගෙනය.

 

 

සිය බුද්ධිමය ආධිපත්‍යය තහවුරු කිරීමේ අරමුණින්, "බුද්ධිය පැමිණෙන්නේ මනසින් නම්, මනස යනු කුමක්ද?" යනුවෙන් අසමින් රනිල් ධම්මපදයේ පළමු ගාථාව දෙසට ප්‍රේක්ෂකයා යොමු කරයි. "මනෝ පුබ්බංගමා ධම්මා" (මනස පෙරටු වෙයි) හරහා පුද්ගලයාට ස්වාධීන කර්තෘත්වයක් ලබා දෙන බව සැබෑවකි. එහෙත්, මෙම ප්‍රකාශය ලැකානියානු කියවීමක් හරහා ඉතා පහසුවෙන් හා තාර්කිකව ඛණ්ඩනය කළ හැකිය.

 

ලැකානියානු විග්‍රහයට අනුව මනස යනු ස්වාධීන, පූර්ව-පවතින කේන්ද්‍රයක් නොවේ. එය හුදෙක් ව්‍යුහයන් විසින් නිර්මාණය කරන ලද හිඩැසකි (Lack). මනසට හෝ විඥානයට පෙර සැමවිටම 'භාෂාව' (Language) පවතී. දරුවෙකු උපදින්නටත් පෙර ඔහුට නමක්, ජාතියක්, ආගමක් සහ සංස්කෘතියක් සමාජය විසින් ලබා දී ඇත. මෙය සංකේතීය තලය (Symbolic Order) ලෙස හැඳින්වේ. අප සිතනවා යැයි අපට හැඟුණද, සැබැවින්ම සිදුවන්නේ අප හරහා භාෂාව කතා කිරීමයි.

 

 

එබැවින්, පෙරටු වන්නේ මනස නොව සංඥාකාරක (Signifiers) ය. මනස යනු භාෂාවේ සහ සංකේතීය ලෝකයේ ප්‍රතිඵලයක් පමණක් වන විට, යථාර්ථය නිර්මාණය කරනවා යැයි අප සිතන මනස සැබැවින්ම නිර්මාණය වී ඇත්තේ ඊට පෙර පැවති භාෂාව, දෘෂ්ටිවාදය සහ 'මහා අනෙකාගේ' (Big Other) ආශාවන්ගේ එකතුවකිනි. රනිල් උත්සාහ කරන්නේ මෙම මනස පිළිබඳ න්‍යාය භාවිත කරමින්, තමාට බලය ලබා දුන් ව්‍යුහගත දේශපාලන යථාර්ථය වසන් කිරීමටයි.

 

 

විචාරාත්මක බුද්ධිය යනු මනසේ උත්තරීතර බව වර්ණනා කිරීම හෝ කෘත්‍රිම දේශපාලන ප්‍රතිරූපයක් සැමරීම නොව, මනස නමැති එම මායාවේ ව්‍යුහය කියවා ගැනීමයි.

 

අවසන් අර්ථයෙන් ගත් කල, සැබෑ "රනිල් කියැවීම" යනු ඔහුගේ අසාර්ථක දේශපාලන භාවිතාව වසා ගැනීමට යොදාගන්නා දෘෂ්ටිවාදී ආවරණ සහ බුද්ධිමය ප්‍රදර්ශනකාමීත්වය තාර්කිකව ඛණ්ඩනය කිරීම විනා අන් කවරක්ද?