දශකයකටත් එහා ගිය ලංකාවේ වකුගඩු ජාවාරම දැන් ප්‍රකට කුඩු ජාවාරම තරමටම
ඔඩු දුවමින් තිබේ. රටට මහා පිළිලයක් වූ කුඩු ජාවාරම මෙහෙයවන මහ මොළකරුවන් බොහොමයක් එය මෙහෙය වන්නේ විදේශ රටවල සැගවී සිට ය. එලෙසම ඉතා වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින වකුගඩු ජාවාරම ද හෙට දවසේ මෙහෙය වන්නේ මෙරට සිට නොව, විදේශ රටවල වාසය කරමින් විය හැකි ය.
මා එසේ සදහන් කළේ දැනට ලංකාවේ මේ කෲර ජාවාරම කරන එක් මහ මොළකාර වෛද්‍ය වෘත්තිකයකු සිය දරු පවුල සමග විදේශගත වීමට සූදානමින් සිටින හෙයිනි.
- එක වකුගඩුවක විකුණුම් මිල රු මිලියන :40 ක් , 50 ක් ගැණුම් මිල උපරිම රු :ලක්ෂ 05 ක් 06 ක්..!
- ජාවාරමේ මුල් පුරුකක් දරු පවුල සමග රටින් බැහැර වීමේ සූදානමක.....!
ශ්‍රී ලංකාවේ වකුගඩු ජාවාරම ගැන තොරතුරු මුල්වරට අනාවරණය වන්නේ 2012 , 2013 වර්ෂවලය. එදා සිට අද දක්වා මේ ජාවාරම ගැන වරින්වර චාමර අමරසූරිය , නිමන්ති රණසිංහ , ඒමන්ති මාරඹේ සහ බීබීසී සංදේශයේ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් විසින් කොතෙකුත් කරුණු හෙළිදරව් කර තිබේ. එහෙත් ඒ කිසිවකට රටේ සෞඛය බලධාරීන් හරිහමන් විමර්ශනයක් පවත්වා අපරාධ කරුවන්ට දඩුවම් කර නොමැත. අද දවසවන විට වකුගඩු ජාවාරම මෙතරම් දුරට ව්‍යාප්තවී ඇත්තේ ද ඒ නොතකා හැරීම නිසා ය.
- පරිත්‍යාග වේසයෙන් දිළිඳු ජනයා ගෙන් ගලවන වකුගඩුවකට රුපියල් මිලියන තිහ හතළිහක්...!
- විකිණුම්කරුට උපරිම ලක්ෂ පහක් හයක්....!
මිනිස් අවයව බද්ධ කිරීමේ නෛතික අවසරය මෙරට ස්ථාපිත කර ඇත්තේ 1985 වර්ෂයේ දීය. ඒ යම් අවයවයක ඇතිවන රෝගී තත්වයන් ගෙන් ජීවිත බේරා ගැනීමේ උත්කෘෂ්ට පරමාර්ථ පෙරදැරි කර ගෙනය. එහෙත් අවාසනාවකට කල්යත්ම මේ මේ වටිනා මෙහෙය සහ ගෞරවණීය වෛද්‍ය සේවාව පවා අවමානයට ලක්කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඉපැයීමේ ම්ලේච්ඡ ජාවාරමක් කර ගැනීමට ඇතැමුන් ක්‍රියා කරන්නට පටන් ගැණුනි.
එවැනි ජාවාරම්වලට ලබා ගන්නා මිනිස් අවයව විකිණීම , මිලට ගැනීම සහ ඊට පහසුකම් සැපයීම නීති විරෝධී බවට පත්කරමින් 1987 දී අඊක 49 දරන පනතින් නීති සම්පාදනය කර තිබේ. එහෙත් කිසිදු සංශෝධනයකට භාජනය නොවූ එහි දඩුවම් ලෙස අදත් ක්‍රියාත්මක වන්නේ එවැනි අපරාධයකට වැරදිකරු වුවහොත් , වසර දෙකකට නොඅඩු සිරදඩුවමකි. එය අදට අනුව හාස්‍යජනක දඩුවමකි.
ආර්ථික ද්‍රරිද්‍රතාව දඩමීමා කර ගනිමින් , දිළිඳු පවුල්වල සාමාජිකයන් ඉලක්ක කර මේ ජාවාරම ක්‍රියාත්මකවන අතර පළමුව තැරැව්කරුවන් හරහා ගොදුරු සොයා ගනී. මේ වූ කලී සුවිශාල වටිනාකමක් ඇති සත් ක්‍රියාවක් බවටත් , එකී සත් ක්‍රියාවට දෙන ලක්ෂ පහක හයක තුටු පඩුරක් ලෙසත් හගවා නීතියට හසුවූ විට හුදු පරිත්‍යාගයක් පමණක් බවට අවශ්‍ය ලේඛනවලට අත්සන් ලබා ගනී. එහෙත් එලෙස ලබා ගන්නා වකුගඩු , අවශ්‍යතා ඇති දේශීය විදේශීය දානපතියන්ට මිලියන තිහට හතළිහට විකිණීම ජාවාරමේ තරමයි. මේ ජාවාරමේ වැඩිම ගොදුරු බවට පත්ව ඇත්තේ තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ය.
- කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ....!
වකුගඩු එකතු කිරීමේ ඉහත ජාවාරමේ නිතර වූවන්ගේ තැරැව්කරුවන් විශේෂයෙන් ගාල්ල කරාපිටිය, මාතර, යාපනය වැනි රෝහල්වල සැරි සරන අතර බොහෝවිට සිය ඥාතින් සමග සායනවලට එන තරුණ පිරිස් වකුගඩු පරිත්‍යාගයට ගොදුරු කර ගනිමින් සිටී. ඉන්පසු ජාවාරමට සම්බන්ධ වෛද්‍ය වෘත්තිකයන් කිහිප දෙනා විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මේ ශල්‍යකර්ම සිදුකරන බවට කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට පවා යම් දැනුවත් තිබේ.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය වසර දෙක තුනකට පෙර මේ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එහෙත් එකී විමර්ශන ගැඹුරින් සිදුකර ජාවාරමේ අපරාධ කරුවන් නීතියේ රැහනට හසුකර ගෙන නැත. ඒ දේශපාලන හෝ වෙනත් බලවේගයක බලපෑමකට යටත්වද යන්න ලියුම්කරු නොදනී. පසුගිය ආණ්ඩු සමයේ කොළඹ මධ්‍යම ලේ බැංකුවේ ලේ විකිණු දේශපාලකයන්ට මේ ජාවාරමට වුව සහාය නොදී සිටීමේ විශ්වාසයක් නැත.
වත්මන් සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාත් මේ ජාවාරම ගැන රජය පිහිටු වීමට පෙර වහා නතර කළ යුතු මිනිස් අවයව ජාවාරම ගැන යහපත් තැනක සිට අදහස් පළකර තිබුණි. දැන් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධරයෝ වී සිටිති. එහෙයින්, වහා ක්‍රියාත්මකවී මේ සහාසික අපරාධයට තිත තැබිය යුතු ය.
ඔවුන් වහා ක්‍රියාත්මක වන්නේ නම් , මේ ජාවාරම පිළිබඳ සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමට වෛද්‍ය වෘත්තිකයන්ම කිහිප දෙනෙක් සූදානමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම තොරතුරුවල රහස්‍ය භාවය රැකීම පමණි. ඒ ඔවුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙනි. අද දවසේ කුඩු ජාවාරමට සිදුකරන මරා ගැනීම්, ඇතැහවිට ඉන්දියාවේ සිදුවන අයුරින් එවැනි මරා ගැනීම් දක්වා වර්ධනය වීමටත් නොහැකියාවක් නොමැත.
@පෝද්දල ජයන්ත