ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍යයේ උත්තරීතරම ආයතනය වන්නේ පාර්ලිමේන්තුවයි.
ඊට අනුව එය අතිශය ගරු කටයුතුම ස්ථානයයි.
එම ගරුත්වය රැකගැනීම සඳහා ඊට අදාළ සංකේත ගොන්නක් ද තිබේ. එනම්, සෙන්කෝලය (බොහෝ විට වටිනා ලෝහවලින් සාදා ඇති අතර ඒ, ඒ, රටවලට අදාලව සංකීර්ණ මෝස්තරවලින් සරසා ඇත), කතා නායකගේ සුවිශේෂී ඇඳුම, ඔහුගේ මිටිය, ආසනය සහ අසුන්ගන්නා ස්ථානය, ජාතික කොඩිය, මන්ත්‍රීවරුන්ගේ ඇඳුම්, ගොඩනැගිල්ලේම සුවිශේෂී ස්වභාවය, විශේෂ ඇඳුම් අඳින පාර්ලිමේන්තුවේ සේවකයින් වැනි සංකේතීය බිය ගැන්වීම් (මීට සමාන තත්වයක් ඇත්තේ අධිකරණ වලය) මෙන්ම සංස්කෘතික නියෝජනයන් ද ඒවා සතුව ඇත.
ඒ සියල්ල අගෞරවයට පාත්‍ර නොවිය යුතු සංකේත ලෙස සැලකේ. විශේෂයෙන්ම මේවා මෙසේ විය යුතු බව මේ අකාරයෙන් උගන්වනු ලබන්නේ පාසල්, විශ්ව විද්‍යාල තුලය. ඒ හැරුණු කොට ඒවා තහවුරු කරමින් ප්‍රචාරණය කරනු ලබන්නේ ජන මාධ්‍ය, පොත් පත් (නැවතත් මේ තහවුරු කිරීම් සිදුවන්නේ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ ආධිපත්‍ය තුල සහ මූලිකත්වයෙනි) ආදිය තුලිනි.
උදාහරණයකට, බෞද්ධ භික්ෂුවක් විසින් වරදක් කල පසුව සිංහල බෞද්ධයින් විසින් නිරන්තරයෙන් පවසන කාරණයක් වන්නේ චීවරයට ගරු කරණ බැවින් පහරදීමක් සිදු නොකරන බවය. බෞද්ධයින් පමණක් නොව අනෙකුත් ජගත් ආගම් සියල්ලම ද ක්‍රියාත්මක වනුයේ ඒවාට අදාළ එම සංකේත අතර අන්තර් සම්බන්ධයේ සුසන්ධිකරණය තුලයි. එනම් එම සංකේත අදාළ සමාජයේ අනෙකුත් සංකේත සමග සුසන්ධීකරණය වෙමින් එම ප්‍රජාවට අදාළ ලෝකය අර්ථවත් කරයි.
මිනිසුන් ආගමික චරිතයක් හෝ සංකල්ප සමග අනන්‍ය වන අතර එය ඔවුන් වෙත හිමිකම් කීම හෝ බහිශ්කරණය පිළිබඳව හැඟීම් ඇති කරයි. ඒ අතර ආගමික සංකේත ආශාවේ වස්තූන් ලෙස ක්‍රියා කළ හැකි අතර අවිඥානික ආශාවන් සහ ෆැන්ටසීන් අවුලුවයි.
ආගමික සංකේත දරා සිටිනා පුද්ගලයින් වැරදි විය හැකි හෝ වැරදි කල හැකි අතර සංකේත යනු ශුද්ධත්වයේ නියෝජනයයි. ප්‍රජාතන්ත්‍රවාදය ලොව සංස්ථාපනය කල ක්‍රිස්තියානින්ට අදාලව සලකන්නේ නම්, ක්‍රිස්තියානි ආගමික සංකේත වල ප්‍රධානතම නියෝජනයක් වන්නේ ශුද්ධ වූ පවුලයි. නමුත් එය කොතැනක හෝ සොයා ගත නොහැකිය. ඒ සැබෑවට පවතින්නේ වැරදි කරන, කුඩු කේඩු කම් ඇති, නිරන්තර අඩු පාඩු සහිත අශුද්ධ ලෞකික පවුල බැවිනි. එහෙත් සංකේත වලින් නියෝජනය වන ශුද්ධ වූ පූජකවරයා සහ පූජකවරයාගේ මේච්චල් කිරීමට යටත් වන සංකේත වලින් නියෝජනය වන ශුද්ධ වූ පවුල පවතිනුයේ සැබෑවට පවතින ලෞකික පවුල නිසා බව ෆොයාබක් පිළිබඳව තිසීස තුල මාක්ස් විසින් සඳහන් කොට ඇත.
සමාජ යථාර්ථය ගොඩනැගෙන්නේ භාෂාව, සංකේත සහ සංස්කෘතික ව්‍යවහාරයන් මගිනි.
භාෂාව සහ සමාජ ව්‍යුහයන් තුලට ඇතුල් වී වර්ධනය වීමත් සමඟ සංකේත රටාව අප විසින් භාරගැනීම සිදු වේ. එසේම ඒ සමගින් පූර්ව භාෂාමය පරිකල්පන රටාවෙන් මාරුවීමක් සනිටුහන් වේ. ඉන් පසු අපගේ අනන්‍යතා, ආශාවන් සහ ලෝකය පිළිබඳ අවබෝධය හැඩගස්වන මූලික ක්ෂේත්‍රයක් වන්නේ සංකේත රටාවයි. සංකේත රටාව තුළ, හැඟවුම්කාරක (වචන, සංකේත, රූප) වෙනත් හැඟවුම්කාරක සමඟ ඇති සබඳතා හරහා අර්ථය සහ ක්‍රියාකාරීත්වය ගෙන යයි. මෙය අර්ථාන්විතකරණයේ දාමයක් නිර්මාණය කරයි. එහිදී අර්ථය නිරන්තරයෙන් කල් දමන අතර කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම ස්ථාවර නොවේ. එබැවින් මෙය දිගින් දිගටම අර්ථකතනයන් සඳහා විවෘතව පවතී. විමුක්ති දේශපාලනයට ඉඩ විවර කරන ස්ථානය පවතින්නේ මෙන්න මේ විවෘතභාවය තුලය. නමුත් පවතින අර්තාන්විතකරන දාමයට අදාළ සමාජ ව්‍යුහයන්ට හානි වන අර්ථකතනයන් සඳහා ඒවායේ මුර බල්ලන් කිසි විටකත් ඉඩ ලබා නොදේ. ලාල් කාන්තා විසින් එවැනි අර්ථකතනයක් සිදු නොකළ ද ඔහු සමාජ-ආයතනික ව්‍යුහයන්ට අදාලව ඇති අර්ථය පිළිනොගන්නා ස්ථාවරයක් (මාක්ස්වාදී ස්ථාවරය තුල) ප්‍රකට කොට ඇත. එනම්, 2022 වසරේ ලංකාවේ ඇති වූ සමාජ නැගිටීම එම ආයතනික ව්‍යුහයන්ගේ මුදුන්මල්කඩට එරෙහිව යොමු කිරීමට උත්සාහ දැරූ බවත්, එසේ නමුත් එය අසාර්ථක වූ බවත් පැවසීමයි. දැන් ප්‍රශ්නය ඇතිව ඇත්තේ ඒ වෙනුවෙනි. එනම් පාර්ලිමේන්තුව යනු කිසි ලෙසකින් අත නොතැබිය යුතු ස්ථානයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බැවින් එය අත්පත්කොට ගැනීම සඳහා ජනයා මෙහෙයවීම මරණ දණ්ඩනය හිමි විය යුතු වරදක් බවය.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සංස්ථාපනය කිරීමට පෙර ද පාර්ලිමේන්තුව වැනිම අධිකාරීත්ව ව්‍යුහයන් ලෝකයේ ක්‍රියාත්මකව පැවති අතර ඒවා ද ක්‍රියාත්මක වූයේ ඉහතින් සඳහන් කල අර්ථයන්ට සමාන අර්ථයන් තුලය. කෙටියෙන් පවසන්නේ නම්, ප්‍රධාන වෙනසකට ඇත්තේ වර්තමාන අධිකාරීත්ව ව්‍යුහය අර්ථවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නම් ස්වාමි හැඟවුම්කාරකය මතින් වීම සහ තාර්කික දැනුවත් පුරවැසියා (ලිබරල් මනුෂ්‍යය ආත්මය) යනුවෙන් කෙනෙකු සිටින්නේය සහ ඔහුගේ නියෝජනය පාර්ලිමේන්තුව තුල ඇතැයි යන ව්‍යාජය නඩත්තු කිරීමයි.
සමාජ යථාර්ථය යනු පූර්වයෙන් පවතින වාස්තවික අස්ථිත්වයක් නොව විශේෂිත සංස්කෘතියක් තුළ හැඟවුම්කාරක සහ ස්ථාපිත සංකේතාත්මක ව්‍යුහයන් සමඟ අප මුණගැසීමේ නිෂ්පාදනයකි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යන්න සැලකුවහොත්, ඉංග්‍රීසින් විසින් ලොව යටත් කරගැනීමට පෙර ලෝකයටම පොදු වූ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ ලෝකයක් නොපැවතුනි.
එබැවින් ඉහත කෙටියෙන් විස්තර කල මෙම පර්යාලෝකනය අපක්ෂපාතී, වාස්තවික යථාර්ථයක් පිළිබඳ සංකල්පයට අභියෝග කරයි. ලෝකය පිළිබඳ අපගේ අවබෝධය සැමවිටම මැදිහත්ව ඇත්තේ අප පදිංචිව සිටිනා භාෂාව සහ සංස්කෘතික රාමු මගිනි (සංකේත රටාව). පෙර පැවති සමාජයන්හි ආධිපත්‍ය හෙබ වූ ආගමික පූජකයින් කලාක් මෙන්ම අද දවසේ විශ්ව විද්‍යාල ප්‍රජාව ද සැමවිටම සැදී පැහැදී සිටිනුයේ එම සංකේත රටාව ආරක්ෂා කිරීම සඳහාය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල අචාර්යවරුන්, නීතිඥයින්, ජන මාධ්‍ය වේදීන්, උගත් මධ්‍යම පාන්තිකයින් ඇතුළු බහුතර උගතුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලාල්ට එරෙහිව නැගී සිටිනුයේ එබැවිනි. එවිට අඩු තරමින් පාසල් හෝ ගොස් ඇති බහුතර ජනයා ද ලාල්ට එරෙහි වීම පිළිබඳව පුදුම සහගත නොවිය යුතුය. එනම්, උදාහරණයකට සෙංකෝලය සැලකුවහොත්, පාසල් තුල සෙංකෝලය පිළිබඳව උගන්වයි. එය අර්ථවත් කරයි. ඒ අනුව පුරවැසියා යනු සෙංකෝලයේ උත්තරීත්වය භාරගත් "වහලෙකි". එවිට එය අනුල්ලන්ඝනීය උත්තරීතත්වයකි.
සමාජ ව්‍යවහාරයන්, චාරිත්‍ර වාරිත්‍ර-පූජා විධීන් සහ ආඛ්‍යාන අපගේ සංජානන සහ අත්දැකීම් වලට බලපෑම් කරමින් ආධිපත්‍යයක සංකේත රටාව හැඩගැස්වීමට සහ ශක්තිමත් කිරීමට දායක වේ. එබැවින් ලාල්ට එරෙහිව නැගී සිටින්නන් මිස ලාල්ට පක්ෂපාතව අදහස් පළකරන්නන් දැකිය නොහැකිය.
ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇති සෙංකෝලය තනා ඇති තැනැත්තා මිය යාමට පෙර සෙංකෝලය දැකීමේ අශාවෙන් පසුව තිබේ. ඒ අනුව විශේෂ අවසරයකින් ඔහුට සෙංකෝලය දැක බලා ගැනීමේ අවස්තාව සලසා දී තිබුණි. එහිදී ඔහු එයට ඉතා අශාවෙන් දබරැඟිල්ල පමණක් තබා එක් වරක් ස්පර්ශ කරන ලදී (සෙංකෝලය නිර්මාණය කර ඇත්‌තේ, කළුවර යෂ්‌ටියකින් සහ රිදියෙන්, කැරට් 18 රනින් සහ නිල් මැණික් වලින් එය අලංකාර කිරීමෙනි). නමුත් එය නිර්මාණය කල තැනැත්තාම එයට බිය වන්නේ ඇයි?
@ස්පාර්ටකස් ලිපි