SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ට් වැඩක් කරන්න පත්තුවුණහම ඒ වැඩේ ගොඩදාල දෙන්න පුළුවන් චරිතයක් එක්ක තමයි අද මම කතාබහ කරන්න හදන්නේ.

 

අපි එහෙම කියන්නේ මොකද දන්නව ද? මෙයා එහෙම ගොඩදාල දුන්නා කියල ඔප්පු කරන්න තියෙන හොඳම සාක්ෂිය තමයි, පසුගිය සතියේ නිමාව දුටු රයිගම් නිර්දේශිත ටෙලි සම්මාන උළෙල. අපේ කතානායකයා නිර්දේශ වෙන්නේ බැක්සයිඩ් හි නාරදගේ චරිතයට හොඳම නළුවා ලෙසින්. ඔය අතරේ මොහුගේ වෙනස්ම චිත්‍රපටයකුත් අපි නැරඹුවා. චිත්‍රපටයේ නම නෙළුම් කුලුන. පවුලේ ලොකු අයියා නියෝජනය කරමින් මාර වැඩක් තමයි කරන්නේ. ලංකාවේ සිනමාව, වේදිකාව ටෙලි නාට්‍ය යන අංශ තුනේම කැපී පෙනෙන දක්ෂතා පෙන්වන ප්‍රියන්ත සිරිකුමාර සමග තමයි මේ කතාබහ.

 

Priyantha2jpg

 

නෙළුම් කුළුණ නැවුම් වැඩක්
මම රඟපාන්න ආසාවෙන් ක්ෂේත්‍රයට ආපු කෙනෙක්

 

 

බැක්සයිඩ් හි ‘නාරද’ හොඳම නළුවාට නිර්දේශ වෙනවා නේද?

මම පසුගිය කාලයේ ටෙලි නාට්‍ය කරලා තිබුණේ නැහැ. ටිකක් පසුව හම්බවුණු හොඳ නිර්මාණයක් හැටියට ගත්තහම ‘නාරද’ට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

පිටපත අතට හම්බවෙනකොට හිතුවද ‘නාරද’ හොඳම නළුවාට නිර්දේශ වෙයි කියලා?

නැහැ. නැහැ. එහෙම හිතුණේ නම් නැහැ. නිර්දේශ වුණු අනෙකුත් නිර්මාණ මොනවද කියන්න මම දන්නෙත් නැහැ. තවත් නිර්මාණයක් එක්කනේ මේ ගැන හිතන්න ඕනේ. මට මේ වැඩේට කතා කළාට පස්සෙ ඒ වස්තුවිෂය ගැන පැහැදිලි කරපු මුල් අවස්ථාවේදීම මම ඒකට කැමැති වුණා. මේ ප්ලොට් එක හරහා කතා කරන මාතෘකාව ඇතුළෙ මිනිස්සු අතරට ගමන් කරන්න පුළුවන් හැකියාවක් තිබ්බා. ඒකත් එක්ක මම වැඩ කරනකොටම දැනගෙන හිටියා මේක ප්‍රේක්ෂකයන් අතරට අනිවාර්යයෙන්ම ගමන් කරනවා කියලා.

 

ප්‍රියන්ත සිරිකුමාර නාරදව දකින්නේ කොහොමද?

අද සමාජය ඇතුළෙ ගැහැනිය වගේම පිරිමියාටත් සමානවම සමාජයේ ආකල්පයන් එක්ක ගැටෙමින් ජීවත්වෙන්න සිද්ධ වෙනවනේ. එතකොට සමාජයට අහිතකර කාරණා හැටියට ගැහැනු හා පිරිමි දෙකොටසම එකවගේ සංකීර්ණතාවයක තමයි ජීවත්වෙන්නේ. මම නාරද හරහා දකින්නේ පිරිමියා තුළ තියෙන ඒ ස්වභාවයන් නාරදගේ චරිතය ඇතුළෙ ලියැවිලා තිබුණා.

 

නාරද හොඳම නළුවා වෙනවා ද කියලා බලන්න පුළුවන් රාත්‍රිය වෙනකොට ඔබ ලංකාවෙ නැහැ?

ඔව් ගිය වසරේ ඉඳලා සුදානම් වුණ වේදිකා නාට්‍යයක් සඳහා යුරෝපා සංචාරයකට සහභාගි වෙනවා. ගයාන් කනිෂ්ක රාජපක්ෂගේ ‘මිස්ටර් ප්‍රසිඩන්ට්’ කියන වේදිකා නාට්‍යය. ඇත්තටම කනගාටුයි මම ගිය වසරේදීත් රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නළුවාට නිර්දේශ වෙලා හිටියා. ඊළඟ අවුරුද්දෙත් නිර්දේශවීම ගැන මට සතුටුයි. ඒ වුණාට මට අවසන් සම්මාන රාත්‍රියට ඉන්න වෙන්නේ නැහැ.

 

නෙළුම් කුළුණ ලොකු අයියාව දකින්නේ කොහොමද?

නෙළුම් කුළුණ චිත්‍රපටයත් නැවුම් වස්තුවිෂයක් හරහා ඉදිරිපත් කරනු ලබන චිත්‍රපටයක් විදිහටයි මම දකින්නේ.

ඉලංගෝ මේ මාතෘකාව ඇතුළෙ චිත්‍රපටයක් කරන්න තෝරාගැනීම ඇතුළේම ඉතාමත්ම ඉහළින් පිටපත තිබෙනවා. මම හිතනවා චිත්‍රපටය සෑහෙන දුරකට ඔසවා තබන පිටපතක්. නෙළුම් කුලුන තිරනාටකය වර්තමාන සමාජයේ අපි හොයන සැප සම්පත් වගේම අපි සම්පූර්ණ වෙන්න ගමන් කරන සමාජයක්, රටක් හැටියට සිහින තියෙන්නේ ඒ වගේ ඉහළ තැන්වලනේ. ඒ සමාජය ඇතුළෙ අපි දියුණුව කියලා හොයාගෙන යන අපි අනෙක් ජාතීන්ට වඩා උසස් හරි කියලා අපි සමාජයේ තෘප්තිමත් වගේ ජීවත්වෙන්නේ. ඒ සෑහීමකට පත්වීම තුළම උපදින සිනහව ඇතුළේ, අපේ ජීවිත ඇතුළේ ඛේදවාචකයකුත් ගමන් කරනවා කියන එක මේ චිත්‍රපටය හරහා සියුම්ව ගැබ්වෙලා තියෙනවා. සිනහව මූලිකව ගමන් කරන කතාන්දරයක් වුණාම ඒ ඇතුළෙ අපේ යම්කිසි දෝංකාරයකුත් තියෙනවා.

 

නෙළුම් කුළුණ පිටපත දැක්කහම මොකද හිතුණේ?

අපි නළු නිළියො හැටියට හැමෝම ආසයිනේ චිත්‍රපටයක් ඇතුළෙ සංකීර්ණ චරිතයක් නිර්මාණය කරන්න. ඉතිං ඒකට අවශ්‍ය අඩිතාලම අපිට හැම වෙලාවෙම හැම මොහොතකම ලැබෙන්නේ නැහැ. අපේ තෝරාගැනීම් ඇතුළෙ අඩු වැඩි වශයෙන් ඒකට සම්බන්ධ වෙන්න ආසයි. ඉතින් පිටපත බැලූ බැල්මට ඒකත් වැඩකළා. ඉතා හොඳ ප්‍රහසනයක් තිබුණා. ඒත් එක්කම ඉතා දැඩි මනෝභාවයන් එළියට ගන්න පුළුවන් සමාජයට ගෙනියන්න පුළුවන් වැඩක් කියලත් හිතුණා.

 

Priyantha3

 

 

පසුගිය දවස්වල පවත්වපු මාධ්‍ය දර්ශනයේදී ලැබුණු ප්‍රතිචාර එහෙම?

ඇත්තටම මම ඒ වෙලාවෙ බැලුවේ දෙවැනි පාර. ඊට කලින් අපි මෙහි නිෂ්පාදක කණ්ඩායම සමගත් එක්වරක් නැරඹුවා. මාධ්‍ය දර්ශනය කියන්නේ මට පුද්ගලිකව ලොකු අත්දැකීමක්. මමත් විශාල ප්‍රමාණයක් නිර්මාණ කරල නැහැ. මට ලැබෙන අවස්ථාවන් අනුවනේ මම වැඩ කරන්නේ. එතැනදී මට විශාල සතුටක් ඇතිවුණා. මොකද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න විචාරකයො වගේම එම පිරිස හිතට දෙන දේ එහෙමම භාරගන්න සුදානම් නැහැ. ඔවුන් යම්කිසි විෂයයක් හරහා සිනමාව ගැන හිතන පළපුරුද්දක් ඇති පිරිසක්නේ. ඔවුන්ගෙන් එතැනදී දැනගන්න පුළුවන් මොකක්ද ප්‍රතිචාරය කියලා. හැමෝම වගේ චිත්‍රපටය නරඹලා සතුටට පත්වුණා. ඔවුන් වින්ද ඒ ප්‍රතිචාරය ඇතුළෙ විශාල සතුටක් තිබෙනවා.

 

ඉලංගෝ වගේ නවක අධ්‍යක්ෂවරයෙක් එක්ක මේ වැඩේ කරන්න බයක් හිතුණේ නැතිද?

මේ මොහොතේ ක්ෂේත්‍රයේ තරුණ අධ්‍යක්ෂවරු කියලා හඳුන්වන අය නවකයො නෙමෙයි. අලුතෙන්ම වැඩ කරන පිරිසක් වර්තමානයේ ඉන්නවා වෙන්න පුළුවන්. මේ වැඩ කරන පිරිස ඇවිල්ලා සෑහෙන කාලයක් ක්ෂේත්‍රය තුළ වැඩකරමින් ආපු අධ්‍යක්ෂවරු. තවත් එහෙම විශාල පිරිසක් ඉන්නවා.

 

ඒගොල්ලො චිත්‍රපට කරන්න ආසාවෙන් ඇවිල්ලා වෙනත් මාධ්‍යවල නියැළෙමින් කටයුතු කරනවා. විශේෂයෙන් වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ, සිනමා අධ්‍යක්ෂවරු වෙන්න ඉන්න අය ගොඩක් ඉන්නවා. වැඩේ තියෙන්නේ ඔවුන්ගේ මොකක් හරි නිර්මාණයක් එළියට ආවට පස්සේ තමයි වැඩේ පුළුල්ව හඳුනාගන්න පටන් ගන්නේ. ඔවුන් අලුත් අය කියලා හැඳින්වුවාට මේ විෂය ක්ෂේත්‍රයේ ඉතාම පළපුරුදු අය. ඉලංගෝ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මුල් කාලයේ ඉඳලා මට හම්බවුණා ඉලංගෝගේ වෙළෙඳ දැන්වීම්වල මම ගොඩක් කාලයක් වැඩ කළා. ඔහුගේ අධ්‍යක්ෂණ කාර්යය පිළිබඳව යම්කිසි හුරුවක් මට තිබුණා. ඔහුගේ කෙටි චිත්‍රපටයකටත් මාව සම්බන්ධ කරගත්තා. ඒ කෙටි චිත්‍රපටය හරහා ඉලංගෝ, ලෝකයේ තිබෙන සෑහෙන කෙටි චිත්‍රපට උළෙල රැසක් නියෝජනය කළා. ඒවායින් ඔහුට ඉහළ ප්‍රතිචාර වගේම සම්මානත් හම්බවුණා. ඊට පසුව තමයි නෙළුම් කුලුන චිත්‍රපටය නිර්මාණය වුණේ.

 

ජන අරගල, ආර්ථික අර්බුද මැද්දේ තමයි නෙළුම් කුලුන රූගත කිරීම් සිදුකළේ?

රටේ අරගලයක් තිබෙනවා, තෙල් ප්‍රශ්නය උපරිමයෙන් තිබෙනවා. අපිට යන්න එන්න විදිහක් නැහැ. ඒ අවස්ථාවේම තමයි මේක පටන් ගත්තේ. කොච්චර ප්‍රශ්න මැද්දෙ වුණත් නියමිත ක්‍රියාවලියක අපි වැඩ කළා. හැබැයි ටිකක් අඩු කාලයකින් අපි මේ වැඩේ ඉවර කළා. සංකීර්ණ ප්‍රශ්න මැද්දෙ නෙළුම් කුලුන රූගත කිරීම් සිදුකළාට අපි කාටවත් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ.

 

ප්‍රියන්ත සිරිකුමාර ක්ෂේත්‍රයට එන්නේ වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහට. කෝ ඒ වේෂ නිරූපණ ශිල්පියා?

මම ඇක්ට් කරන්න ආශාවෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. කෙටි නාට්‍ය, දිගු නාට්‍යවල වගේම යෞවන නාට්‍ය උළෙලවල වැඩ කළා. රාජ්‍ය නාට්‍ය උළෙලට සම්බන්ධ වෙලා 1990 විතර ‘රඟහල’ කියලා නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ කාලෙ ආරියවංශ ධම්මගේ, ජයලාල් රෝහණ, ඇන්ටනී ජයලත් යන අයගේ නාට්‍යවල රඟපෑවා.

මම පූර්ණකාලීනව මේ විෂයයට වැඩ කරන්න තීරණය කරලා තිබුණා.

 

මීට කලින් රැකියාවක් එහෙම කරලා තිබුණ ද?

මීට කලින් මම රැකියාවකට උත්සාහ කරලා තිබුණේ නැහැ. මම උත්සාහ කරලා තිබුණා විවිධ රැකියා කරන්න. විදෙස්ගත වෙන්නත් අදහසක් තිබුණා. හැබැයි අන්තිමේ කලාවේ නතර වුණා.

 

එතකොට ගම් පළාත, පාසල් එහෙම ගියේ?

මම ඉපදුණේ හැටන්වල. ඉස්කෝලෙ ගියේ හැටන්වල ජෝන් බොස්කෝ විද්‍යාලයට. මම ආපහු කිරිල්ලවල වෑබඩ කියන ගමේ පදිංචියට එනවා. ඊට පසුව වෑබඩ කනිෂ්ඨ විද්‍යාලයටත්, වෑබඩ මහා විද්‍යාලයටත් යනවා ඊට පසුව රාජසිංහ විද්‍යාලයටත් යනවා මගේ සහෝදරියන්ගේ උදව් ඇතිව තමයි නාට්‍යවලට සම්බන්ධ වුණේ.

 

ඔබ ළඟ හිටපු වේෂ නිරූපණ ශිල්පියාට මොකද වුණේ?

ආරම්භයේදීම මට හොඳ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න හම්බවුණා. හොඳ අධ්‍යක්ෂවරු හඳුනාගත්තා. හොඳ පිටපත් රචකයො හරහා හොඳ නිර්මාණ හම්බවුණා. වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහට සෑහෙන දුරට පදනමක් තිබුණා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තිබෙන අර්බුදකාරී තත්ත්වයන් හමුවේ නිර්මාණශීලී කාර්යයන් ඒවායේ පවත්වාගෙන යන්න අසීරුතාවයන් මතුවෙමින් පවතිනකොටම හිතුණා රඟපෑමටත් එන්න ඕනෑ කියලා. මම වේෂ නිරූපණ ශිල්පියෙක් හැටියට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය විතරක් ඉතුරු කරගෙන අනෙක් ක්‍ෂේත්‍රවලින් ටිකක් විතර ඈත් වුණා. මම ආසාවෙන් කරපු විෂය වුණු රඟපෑමට ආපහු යොමුවෙන්නත් වුමනාවක් තිබුණා. හැබැයි අදටත් මම වේදිකාව වගේ දේවල්වල වැඩකරනවා. මට වේෂ නිරූපණය කරන්න චිත්‍රපටයකට එහෙමත් කතා කරලා තිබෙනවා.

 

ඔබ වේෂ නිරූපණය කරපු නිර්මාණ ගැනත් කතා කළොත්?

ගොඩක් චිත්‍රපටවල වැඩ කරන්න හම්බවුණේ නැහැ. අමරනාත් ජයතිලකගේ ‘යක්ෂාවේෂය’ චිත්‍රපටයේ සත්‍යජිත් මාඉටිපේගේ ‘බොරදිය පොකුණ’ සහ අනුරුද්ධ ජයසිංහගේ ‘බෝම්බ සහ රෝස’ යන චිත්‍රපටවල වැඩ කළා. එතකොටම තමයි ආපහු රඟපෑම පැත්තට චේන්ජ් එකක් ගන්න ඕනෑ කියලත් හිතුවේ.

 

තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ ඔබේ රංගනය ගැන වගේම ඔබ ගැනත් කතාබහ කළා. කොහොමද එය ඔබේ ජීවිතයට බලාපෑවේ?

ඒ චරිතය විශේෂ චරිතයක් හැටියට ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය වුණා. ලොක්කයියා මටත් සුවිශේෂී චරිතයක්. ඒ පිටපත ඇතුළෙ ඒ චරිතය සාර්ථකව නිර්මාණය කරලා තිබුණා. රොෂාන්ගේ අධ්‍යක්ෂණය ඇතුළෙ මට වැඩ කරන්න හම්බවුණා. තණමල්විල කොල්ලෙක් හි ලොක්කයියාගේ චරිතයට මම අදටත් ආසා කරනවා.

 

ටෙලිනාට්‍ය තෝරාබේරා ගැනීමක් ඇතිවද මේ ගමන යන්නේ?

අනිවාර්යයෙන්ම තෝරාබේරා ගැනීමක් තිබෙනවා. ඒක ටිකක් සංකීර්ණයි. තෝරාබේරා ගැනීම ඇතුළෙ අපිට ගොඩක් වැඩ අතහරින්නත් වෙනවා. ඒවගේ අසීරුතාවක් ඇතුළෙ කොහොම හරි ඒ තියෙන ඒවා යම්කිසි තෝරාගැනීමකට යමින් සහ උත්සාහ කරමින් මේ ගමන යන්නේ. අනෙක් රටවල් එක්ක ගත්තහම අපිට හොඳ ටෙලි නාට්‍ය කලාවක් තිබෙන රටක්. ගොඩක් රටවල් ගත්තහම රූපවාහිනි කලාව කියන එක සම්පූර්ණයෙන්ම අයින්වෙලා තියෙන්නේ. ලංකාවේ මේතරම් දුරට හරි රූපවාහිනිය හරහා කලාව රසවිඳින්න ඉතුරුවෙලා තියෙන එක ගැන අපි අතීතයේ ඉඳලා ආපු එකේ ප්‍රතිඵලයක් හැටියටයි මම දකින්නේ. නමුත් වර්තමානයේ අසීරුතා තියෙනවා, අවිනිශ්චිතතාවයන් තිබෙනවා. නිර්මාණකරුවකුගේ නිර්මාණයට නිෂ්පාදකවරයෙක් සල්ලි වියදම් කරද්දී ඒව ඇතුළෙ අපිට කොච්චර දුරකට නිදහසේ නිර්මාණකරණයේ නියැළීමට ආර්ථික ගැටලු ඇතුළෙ හැකියාවක් තිබෙනවද කියන ගැටලුව. ඉතිං ඒවගේ ගැටලු ඇතුළෙ තමයි මේ ක්ෂේත්‍රය ගමන් කරන්නේ. ඒ ඇරෙන්න ටෙලි නාට්‍ය කලාව හොඳ මාධ්‍යයක් හැටියට තවමත් ඉතුරුවෙලා තිබෙනවා.

 

පවුලේ විස්තර එහෙම?

බිරිඳ නිරෝමි පීරිස්. මට දුවල දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නියැළිලා දැන් වෘත්තියක යෙදෙනවා. පොඩි දුව උසස්පෙළට ලෑස්ති වෙනවා. දෙන්නම කලාවටත් කැමැතියි. මගේ බිරිඳත් කලාව පිළිබඳ ලොකු අවබෝධයක ඉන්නවා.

 

@දිනේෂ් විතාන
ඡායාරූප : උපුල් නිශාන්ත

dinamina

නවතම ලිපි