පීඩිත ජනතාව මත වැට් සහ බදු බර පටවමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 695ක
ණය මුදලක් ලබාගැනීමට රජය දණගසමින් සිටින මොහොතක, මෙරට ප්‍රභූ මූල්‍ය ජාලයන් කිසිදු බාධාවකින් තොරව ඩොලර් මිලියන 85ක් (රුපියල් බිලියන 25ක්) "හුළං" ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පන්නා ඇත. මෙය හුදෙක් නීතියේ සිදුරකින් රිංගා යාමක් හෝ අහම්බෙන් සිදුවූ "පද්ධතියේ දෝෂයක්" නොවේ. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය, මහ බැංකුව, ගිණුම්කරණ සමාගම් සහ වාණිජ බැංකු මාෆියාව එක්ව සූක්ෂ්මව සැලසුම් කළ ව්‍යුහාත්මක ආර්ථික ඝාතනයකි.
පවතින ධනවාදී ආර්ථික ව්‍යුහය සකස් වී ඇත්තේම නිර්ධන පන්තියේ ශ්‍රමය සූරාකෑමටත්, ඉහළ පැලැන්තියේ ප්‍රාග්ධනයට කිසිදු බාධාවකින් තොරව දේශසීමා හරහා පලා යාමට ඉඩ සැලසීමටත් බව මෙම මහා බැංකු මංකොල්ලයෙන් මනාව සනාථ වේ.

මේ මහා මංකොල්ලයේ කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ ජාතික සංවර්ධන බැංකුවයි (NDB).
'නෙක්ස්ට් ජෙන්' නම් මාස හයකින් අතුරුදන් වන ව්‍යාජ සමාගමක් හරහා රුපියල් බිලියන 12.89ක් රටින් පිටවෙද්දී, බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති සහ ඉහළ කළමනාකාරීත්වය නිද්‍රාශීලීව සිටියේ කෙසේද?
ඊටත් වඩා බරපතළ කාරණය නම්, ලොව පිළිගත් ජාත්‍යන්තර විගණන සමාගමක් වන 'අර්නස්ට් ඇන්ඩ් යන්ග්' (EY) ආයතනය බැංකුවේ අභ්‍යන්තර ගිණුම්වල සිදුවූ මෙම 400%ක අසාමාන්‍ය මුදල් සැරිසැරීම නොදැක්කා සේ සිටීමයි.
මෙය හුදෙක් වෘත්තීය නොසැලකිල්ලක්ද, නැතහොත් ඉහළ පෙළේ දේශපාලන සහ මූල්‍ය හස්තයන්ගේ බලපෑමට යටත් වී හිතාමතාම ඇස් කන් පියාගැනීමක්ද යන්න සමාජය හමුවේ විවෘතව ප්‍රශ්න කළ යුතුව ඇත.
මෙහි සැබෑ දේශපාලන ආවරණය සපයන්නේ කවුරුන්ද යන්න වඩාත් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය දෙස බැලූ විටය.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF), මහ භාණ්ඩාගාරය සහ මහ බැංකුව මැදිහත් වී මෙම අපරාධකරුවන්ට එරෙහි අපරාධ විමර්ශන හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට නිදහස් නීතිඥ සංසදය එල්ල කරන චෝදනාව කිසිසේත් සුළුකොට තැකිය නොහැක.
නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ පාරේ යන සාමාන්‍ය මිනිසාට පමණක් බවත්, "සුදු කරපටි අපරාධකරුවන්ට" සහ ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන්ට පාර්ලිමේන්තු කමිටු හරහා නිල නොවන රැකවරණය ලැබෙන බවත් මේ හරහා මොනවට ඔප්පු වේ. මහ බැංකුව ඇහැරෙන්නේ ඩොලර් ටික රටින් පැනගිය පසුවය.
අනෙක් පසින්, 'ඒවයි ඉන්වෙස්ට්මන්ට්ස්' හරහා සිදුවූ ඩොලර් මිලියන 43ක මුදල් විශුද්ධිකරණයෙන් හෙළිවන්නේ මෙරට අඳුරු මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඊනියා ගෞරවනීය වාණිජ බැංකු පද්ධතිය අතර ඇති නොබිඳිය හැකි ඓන්ද්‍රීය සබඳතාවයයි. මහ පාරේ කුඩු විකුණන සල්ලි අවසානයේ කොමර්ෂල් සහ යුනියන් වැනි ප්‍රධාන පෙළේ බැංකු හරහා කිසිදු භාණ්ඩයක් නොමැතිව "කඩදාසිවලට පමණක් සීමා වූ" ආනයන ලෙස ඩොලර් බවට පරිවර්තනය වී රටින් පිටවන්නේ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේද පූර්ණ ආශිර්වාදයෙන් බව පැහැදිලිය.

දින 180ක රේගු සහන කාලය යනු මෙරට ආනයනකරුවන්ට දුන් පහසුකමක් නොව, ජාත්‍යන්තර කළු සල්ලි ජාලයන්ට රටේ ධනය සූරාගෙන යාමට නිල වශයෙන් සකසා දුන් කදිම 'පසුපස දොරටුවක්' බව දැන්වත් අප තේරුම් ගත යුතුය.
වර්තමාන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 ජූනි මස ගෙන ආ නව ආනයන හා අපනයන රෙගුලාසි සහ මුදල් විශුද්ධිකරණ පනතට ගෙන ආ සංශෝධන යම් තරමක ධනාත්මක පියවරක් වුවද, පවතින දැවැන්ත දේශපාලනාර්ථික අර්බුදයට එය හුදෙක් ප්ලාස්ටරයක් ඇලවීමක් පමණි. කොතරම් දැඩි රෙගුලාසි ගෙන ආවත්, මූල්‍ය අපරාධ මාස හයක් ඇතුළත විභාග කර අවසන් කරන විශේෂිත කඩිනම් අධිකරණයක් ස්ථාපිත නොකරන තාක් කල් සහ රේගුවේ ASYCUDA පද්ධතිය බැංකු සමඟ තත්‍ය කාලීනව (Real-time) බද්ධ නොකරන තාක් කල් ප්‍රතිඵලයක් නැත.
දූෂිත දේශපාලනඥයන්ට, ඊට අනුබල දෙන බැංකුකරුවන්ට සහ විගණකවරුන්ට එරෙහිව දේපළ රාජසන්තක කිරීමේ දැඩි ක්‍රියාමාර්ග නොමැතිව, හුදෙක් චක්‍රලේඛ මගින් පමණක් මේ මහා පරිමාණ පන්තිමය සූරාකෑම කිසිදිනෙක නතර කළ නොහැක. පද්ධතිය වෙනස් කළ යුත්තේ කඩදාසි මත නොව, එහි ව්‍යුහාත්මක අත්තිවාරමෙනි.
#සමාරා පරණවිතාන

