SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යහපත් දිශානතියකට රැගෙන යෑමේ අරමුණින් ජනාධිපති

අනුර කුමාර දිසානායක විසින් එරාන්ගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කළේ මහත් බලාරොත්තු ඇතිවය. නමුත් අද වන විට එම විශ්වාසය හුදු සිහිනයක් මෙන්ම හිස් පුස්සක් බවට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත.

 

 

මේ සියල්ල දෙස බලන විට නැගෙන ප්‍රධානතම ගැටලුව වන්නේ, ජනාධිපතිවරයාට මෙම භාරදූර කාර්යය පැවරීමට එරාන් හැරෙන්නට වෙනත් සුදුසු කිසිවෙකුත් සිටියේම නැද්ද යන්නයි. මේ සිදුවෙමින් පවතින්නේ අතීතයේ ක්‍රිකට් විනාශ කළා යැයි චෝදනා ලැබූ පරිපාලනය වෙනුවට, තවත් එක් 'ශම්මි' කෙනෙකු බිහිකිරීමේ ක්‍රියාවලියක්ද යන සාධාරණ සැකය දැන් මතු වී තිබේ.

 

 

අද මාධ්‍ය විසින් අනාවරණය කළ තොරතුරු මෙම සැකය තවදුරටත් තහවුරු කරයි. ඒ අනුව, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ආශිර්වාදය මත පත් කළ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු සතුව ක්‍රිකට් ඇකඩමි දෙකක්ම පවතින බව හෙළි වී ඇත. මෙය බරපතල සදාචාරාත්මක සහ නීතිමය ගැටලුවකි.

 

 

2025.05.21 දිනැති අංක 2437/24 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, තේරීම් කමිටු සාමාජිකයෙකුට පුහුණු කිරීම් කටයුතු සමඟ සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වීමට නීතියෙන් අවසර නැත. එසේ තිබියදීත්, අයැදුම්පත්‍රයේ අසත්‍ය තොරතුරු සපයා හෝ නීතිය නවා හෝ මෙම පුද්ගලයා තේරීම් කමිටුවට රිංගාගත්තේ කෙසේද යන්න බලධාරීන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි.

 

 

වඩාත් කණගාටුදායක කරුණ නම්, මෙම ඇකඩමි කිසිවක් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය යටතේ හෝ නිසි පරිදි ලියාපදිංචි කර නොතිබීමයි. ඉකුත් දා කොළඹ ක්‍රීඩාංගණයකදී 17 හැවිරිදි ක්‍රීඩකයෙකු සහ සේවකයෙකු අතර ඇති වූ ගැටුමකින් සේවකයා මියයෑමේ අවාසනාවන්ත සිදුවීම පිටුපසින් අනාවරණය වූයේද, අදාළ ක්‍රීඩකයා පුහුණුව ලබා ඇත්තේ වෙනත් අයෙකුගේ නමින් පවත්වාගෙන යන මෙම තේරීම් කමිටු සාමාජිකයාගේම ඇකඩමියක බවයි.

 

 

වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී, තේරීම් කමිටු සාමාජිකයෙකුගේම ඇකඩමියක පුහුණුව ලබන ක්‍රීඩකයෙකුට ලැබෙන අනියම් වාසිය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත. මෙය පැහැදිලිවම ළබැඳියාවන් පිළිබඳ බරපතල ගැටලුවකි (Conflict of Interest). ‘අරුණ’ පුවත්පත සිදුකළ සොයාබැලීමකදී, ඇකඩමියට ළමුන් ඇතුළත් කිරීමට නම් කෙළින්ම අදාළ තේරීම් කමිටු සාමාජිකයාටම කතා කරන ලෙස ලැබුණු උපදෙස් මගින් මෙම දූෂිත ජාලය මනාව පැහැදිලි වෙයි.

 

 

 

මේ වන විට සමස්ත ක්‍රිකට් පරිවර්තන ක්‍රියාවලියම කොළඹ එක්තරා ප්‍රභූ ක්‍රීඩා සමාජයක් කේන්ද්‍ර කරගනිමින්, ඔවුනොවුන්ගේ හිතවතුන්ට වරදාන සහ වරප්‍රසාද බෙදාදෙන තිප්පොළක් බවට පත්ව ඇති බවට රාවයක් පැතිර යමින් තිබේ. අදාළ තේරීම් කමිටු සාමාජිකයාද මෙම ක්‍රීඩා සමාජය සමඟ දැඩි සබඳතා පවත්වන්නෙකි.

 

 

 

මෙම ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්වූ වහාම කළ පළමු කාර්යය වූයේ, 2027 දක්වා නිල කාලයක් තිබූ පැරණි තේරීම් කමිටුව නීති විරෝධී ලෙස ඉවත් කිරීමයි. ඔවුන් නඩු මගට යාම වැළැක්වීම සඳහා මහජන මුදලින් රුපියල් ලක්ෂ 100කට වැඩි මුදලක් වන්දි ලෙස ගෙවීමටද මෙම පරිවර්තන කමිටුව කටයුතු කළේය.

 

 

 

රටේ ක්‍රිකට් ක්‍රීඩාව සුද්ධ පවිත්‍ර කිරීමට පැමිණි "ක්‍රිකට් පරිවර්තන කමිටුව" අද වන විට ක්‍රීඩා පනතේ රෙගුලාසි තුට්ටුවකට මායිම් නොකරන තත්ත්වයකට පත්ව ඇත. ජනාධිපතිවරයා වහාම මැදිහත් වී මෙම දූෂිත ක්‍රියාවලිය නතර නොකළහොත්, සිදුවන්නේ ක්‍රිකට් වලට යහපත් පරිවර්තනයක් වීම නොව, ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ආගාධයටම පරිවර්තනය වීම පමණි.

 

නවතම ලිපි