වසර 16කට පසු පැවැත්වෙන 'දළදා දැක්ම' සඳහා අධික ජනකායක් මහනුවර නගරයට ඒකරාශී වීමත් සමග
මහනුවර නගරයේ අධික තදබදයක් සහ කසළ කළමනාකරණය පිලිබඳ දැවැන්ත ගැටළුවක් මේ වන විට ගොඩ නැගී තිබේ.
මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තෙක් වන්දනාකරුවන්ට මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස අද උදෑසන (අප්‍රේල් 24) පවතී මාධ්‍ය හමුවකදී මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ය.
ඒත් සමග ම මේ වන විට මහනුවර නගරයේ උද්ගත වී ඇති තත්ත්වය සමබන්ධයෙන් බොහෝ දෙනෙකු සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබා ඇති අතර, එම ඡායාරූප සහ වීඩියෝවල විශාල වශයෙන් කැලිකසළ මහා මාර්ග අවට එකතු වී ඇති ආකාරය දැකගැනීමට හැකි ය.
පසුගිය අප්‍රේල් 18 වනදායින් ආරම්භ කෙරුණු 'දළදා දැක්ම' ආරම්භ කර මේ වන විට දින හයක් ගත වී ඇති අතර, මෙම ප්‍රදර්ශනය සඳහා බැතිමතුන් ලක්ෂ ගණනාවක් මහනුවර නගරයට මේ වන විට පැමිණ තිබේ.
'දළදා දැක්ම' ආරම්භයේ පටන් මේ දක්වා බෞද්ධ සැදැහවතුන් සඳහා විවිධ පහසුකම් ලබා දීම සිදුවූ අතර, විවිධ සංවිධාන, ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානවලින් සහ පුද්ගලයන් විසින් දන්සැල් ගණනාවක් ද පැවැත්වෙමින් තිබේ.
කසළ ගැටලුවට මහනගර සභාවේ සැලැස්ම කුමක් ද?
මෙලෙස නගරය පුරා ඇති කසළ ඉවත් කිරීම සඳහා මේ වන විට මහනුවර මහනගර සභාවේ සැලැස්ම කුමක්දැයි විමසීමට බීබීසී සිංහල විසින් මහනගර සභාවේ ප්‍රධාන ඉංජිනේරු ජල සහ අපජල, ඝන අපද්‍රව්‍ය අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක සම්බන්ධ කරගන්නා ලදී.
ඔහු පැවසුවේ අද දින, එනම් අප්‍රේල් 24 දින උදෑසන මේ සම්බන්ධයෙන් රැස්වීමක් පැවති බව ය.
එහිදී කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන කිහිපයක් සම්බන්ධ කරගැනීමට තීරණයක් ගෙන තිබේ.
"අද උදෑසන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. අම්පිටිය පාරේ රතු බෝක්කුවෙන් එහාට සෙමනේරිය දක්වා නගර සභාවට අයිති. එතනින් එහාට හාරිස්පත්තුව. ගඟබඩ කෝරලය ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය. ඒ කොටසේ දැන් සම්පූර්ණයෙන් පාර බ්ලොක් වෙලා තියෙන්නේ. කටුගස්තොට පාරෙත් බිං ගෙයින් පල්ලෙහා කොටසේ විශාල සෙනගක් ඉන්නවා දවස් දෙකක් තිස්සේ. මේ ටික තමයි දැනට ලොකුවට ම අවුල් වෙලා තියෙන්නේ," ඉංජිනේරුවරයා පෙන්වා දුන්නේ ය.
ඔහු පවසන්නේ තදබදය වැඩිවීම තත්ත්වය සංකීර්ණ කර ඇති බව ය.
"වාහන තදබදය වැඩියි, කුණු එකතු කරන්න යන්න විදිහක් නෑ, මිනිස්සු පාරෙත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ නිසා අද උදේ ආණ්ඩුකාරතුමා එක්ක සාකච්ඡාවක් තිබිලා තීන්දුවක් ගත්තා යුද හමුදාවයි පොලිසියයි මැදිහත් වෙලා සෙනග දෙපැත්තට කරලා හෑන්ඩ් බෙල්ට් [මිනිස් දම්වැලක් ආකාරයෙන්] දාලා පෝලිම නැවත හදන්න."
"දවසක් දෙකක් යයි මේ වැඩේ හරියටම පරිපාලනය වෙන්න," ඔහු පැවසුවේ ය.
"කුණු ප්‍රශ්නය සඳහා අද තීන්දුවක් ගත්තා රතු බෝක්කුවෙන් එහාට, වෙනත් පළාත් පාලන ආයතන දෙකක් මැදිහත් කරන්න. ඒ කියන්නේ කඩුගන්නාවයි, උඩු නුවරයි. බිං ගෙයින් පහළට හාරිස්පත්තුව සහ පාත දුම්බර ප්‍රාදේශීය සභා මැදිහත් කරලා කුණු අදින්නත්, නගර සභාව ඉතුරු මැද කොටස සම්පුර්ණයෙන් කරන්නත් තීරණයක් ගත්තා,"
ඔහු කසල එකතු කිරීමේ සැලසුම විස්තර කළේ ය.
"අද වෙද්දී දන්සල් 600ක් තියෙනවා, ඒවා කාලා සියලුම කුණු දන්නේ පාරට. ඇත්තටම විශාල ජනතාව ප්‍රමාණයක් එක්ක කසළ වැඩි වෙන එක අහන්න දෙයක් නොවෙයි."
මේ වන විට යම් කණ්ඩායම් ස්වේච්ඡාවෙන් පිරිසිදු කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී ඇතැයි ඉංජිනේරු නාමල් දිසානායක පැවසුවේ ය.
"දැන් ප්‍රදේශයේ ජනතාව, ව්‍යාපාරිකයෝ සහ විවිධ සංවිධානත් සම්බන්ධ වෙලා තියෙනවා කුණු අස් කරන වැඩේට. මේ විදිහට ගියොත් අම්පිටිය කොටස පිරිසිදු කරගන්න පුළුවන්. දැන් ජනතාව එන එක නවත්වාගන්න තමයි ඕනේ. මොකද තවත් සෙනග ආවොත් දරාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. කසළ කළමනාකරණය ප්‍රශ්නය අදින් පස්සේ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා,"
ඔහු පවසයි.
"සෙනග පාරේ එකතුවෙලා ඉන්නකොට කිසිම දෙයක් කරගන්න බෑ. කුණු ටික ගන්න යන්න විදිහක් නෑ. වාහනවලට යන්න විදිහක් නෑ. කසළ අංගනයට ගිහින් ඒවා දන්නා යන්න ලොකු වෙලාවක් යනවා. සෙනඟ පරිපාලනය වෙලා නැති නිසා වාහන හසුරුවා ගන්න බැරි වෙලා තියෙනවා."
'නගර සභාවට මේක තනියම කරගන්න අමාරුයි, ලක්ෂ තුන හතරක සෙනගක් දැන් ඉන්නවා පාරේ මේ වෙද්දී. දවසකට 50,000කට 60,000කට තමයි වැඳ පුදාගන්න පුළුවන් වෙන්නේ. ඉතිරිවෙලා තියෙන දවස් ටිකේ ප්‍රදර්ශනය සඳහා දැන් මේ ඉන්න සෙනග ප්‍රමාණවත්. තව ආවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා.'
'තවත් සෙනග අවොත් ලොකු අර්බුදයක් වෙනවා'
ඉංජිනේරුවරයා පෙන්වා දෙන්නේ තවදුරටත් වන්දනාකරුවන් මහනුවර නගරයට පැමිණියහොත් තත්ත්වය පාලනය කරගැනීමට මහ නගර සභාවට අපහසු වන බව ය.
"නගර සභාවට මේක තනියම කරගන්න අමාරුයි, ලක්ෂ තුන හතරක සෙනගක් දැන් ඉන්නවා පාරේ මේ වෙද්දී. දවසකට 50,000කට 60,000කට තමයි වැඳ පුදාගන්න පුළුවන් වෙන්නේ. ඉතිරිවෙලා තියෙන දවස් ටිකේ ප්‍රදර්ශනය සඳහා දැන් මේ ඉන්න සෙනඟ ප්‍රමාණවත්. තව ආවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා,"
ඔහු පෙන්වා දෙයි.
ඔහු පැවසුවේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් යටිතල පහසුකම් සැපයීම විශාල අර්බුදයකට යන බව ය.
"එහෙම වුණොත් හැමෝටම දැන් දෙන සේවාවන් දීගන්න බැරිවෙලා යනවා. වැසිකිළි පහසුකම්, දන්සල්, සෞඛ්‍ය පහසුකම් සියල්ල අඩාල වෙනවා සෙනග වැඩි වුණොත්."
මේ වන විට යම් කණ්ඩායම් ස්වේච්ඡාවෙන් පිරිසිදු කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී ඇතැයි ඉංජිනේරු නාමල් දිසානායක පැවසුවේ ය.
'දිනකට කසළ ටොන් 15ක්'
මෙලෙස ජනතාව වර්ගීකරණයකින් තොරව තැන්වල කසළ බැහැර කිරීම හේතුවෙන් නගර සභාවෙන් මෙතෙක් පවත්වාගෙන ආ කසල වර්ගීකරණය කර බැහැර කිරීමට ද බාධා ඇති වී ඇතැයි ඉංජිනේරුවරයා පෙන්වා දුන්නේ ය.
"අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ අපි අවසන් කසළ අංගනයට මිශ්‍ර කසළ දාන්නේ නෑ. අපි වර්ගීකරණය කරලා තමයි කසළ බැහැර කරන්නේ. මේ විදිහට අපි අවුරුදු එකහමාරක් විතර කරගෙන ගියා. මේ නිසා පහුගිය දවස් ටිකේ ටවුම මැද අපි දවසට ටොන් දෙක තුනක් වර්ගීකරණය කළා කම්කරුවෝ යොදවලා,"
ඔහු පැවසුවේ ය.
එහිදී බීබීසී සිංහල විමසා සිටියේ මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා මහ නගර සභාවට පෙර සූදානමක් තිබුණේ ද යන්නයි. මෙහිදී ඉංජිනේරුවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය.
"දන්ත ධාතූන් වහන්සේගේ ප්‍රදර්ශනයට අපට රජයේ ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනෙන් ඩස්ට්බින් 450ක් ඒ කියන්නේ එක වර්ගයකින් 150ක් ගානේ ලැබුණා. ඒවා අපි ස්ථානගත කළේ කසළ වර්ගීකරණය කරන්න. නමුත් මිනිස්සු ඔක්කොම කුණු දැම්මේ කලවමේ,"
ඔහු පැවසුවේ ය.
"මහජනතාව කසල කළමනාකරණය සඳහා කිසිම සහයෝගයක් ලබා දුන්නේ නෑ. යම් දුරක් මේ කසළ බඳුන් අතර තියෙනවා. නමුත් මේ අව අයට කුණු වර්ගීකරණය කරලා පුරුද්දක් නැති නිසා කලවම් කුණු මල්ලක් ඩස්ට්බින් එකට විසි කරනවා. ටික ටික ඉස්සරහට යනකොට පොලිතින් ඔක්කොම පාරට දානවා. කාපු බීපුවා ඔක්කොම පාරට දානවා,"
යැයි පවසමින් ඔහු පෙන්වා දුන්නේ මේ නිසා කසළ වර්ගීකරණය සඳහා වෙන ම කම්කරුවන් යෙදවීමට ද සිදුව ඇති බව ය.
"මේ කලවම් කුණු වෙන් කරන්න අපි දිවා රාත්‍රී පය 24ම වැඩ කරන්නන 10 දෙනෙක් යොදවලා තියෙනවා."
මේ වන විට දිනකට කසළ ටොන් 15ක් එනම්, කිලෝග්‍රෑම් 15,000ක් මෙම ප්‍රදේශ ආශ්‍රිතව එකතු වූ බව ඉංජිනේරුවරයා පෙන්වා දුන්නේ ය.
"ඊයේ වෙද්දී දවසට ටොන් 15ක් විතර කුණු එකතු කළා. මේ ඔක්කොම කලවම් කුණු. මේ දන්ත ධාතූන් වහන්සේගේ ප්‍රදර්ශනය ආශ්‍රිතව පමණක් එකතුවුණු කුණු ප්‍රමාණය. සාමාන්‍යයෙන් දවසට ටොන් 80ක් කුණු එකතු වෙනවා මහනුවර නගරයේ. මේ ටොන් 15 ඊට අමතරව එකතුවුණු ඒවා. ඒ ටොන් 15 කියන්නේ එකතු කරගන්න පුළුවන්වුණු ප්‍රමාණය විතරයි."
මේ වන විට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ මහනුවර නගරය ආශ්‍රිත සනීපාරක්ෂාව පවත්වා ගැනීමටත් නගරය පිරිසිදු කිරීමටත් "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනක් ද ක්‍රියාත්මක වන බව ය.
මේ වන විට මහ නුවර නගරයට තවත් වන්දනාකරුවන් පැමිණීම වැළක්වීම සඳහා වන්දනාකරුවන් වෙනුවෙන් යොදා තුබූ විශේෂ දුම්රිය සේවාව මේ වන විට නවත්වා ඇති අතර, විශේෂ බස් රථ සේවාව ද සීමා කර තිබේ.
@BBC