SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට කඩිනමින් යුක්තිය ඉටුකිරීම

ජාතික ජනබලවේග ආණ්ඩුවේද ප්‍රමුඛ පොරොන්දුවකි.

 

 

ඊට පෙර එවැනි පොරොන්දුවක් දුන්නේ 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුවය.

 

2009 ජනවාරි 8 වැනිදා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සිදු වූ මේ බිහිසුණු ඝාතනයට මෙසේ ආණ්ඩු මාරුවලින් පසුව යුක්තිය අපේක්ෂා කිරීමට සිදුවූයේ අපරාධයේ වගකීම එවක පැවැති රාජපක්ෂ පාලනයට එල්ල වූ බැවිනි.

 

එහෙත් නව ආණ්ඩුව යටතේ ද ජනමාධ්‍යට එරෙහි අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් දීම ලැසි ගමනින් යන බවට පසුගිය දිනවල චෝදනාවක් එල්ල විය.

 

මාධ්‍ය සංවිධාන හා සිවිල් සමාජය කොළඹ පුරා ‘කළු ජනවාරිය’ මැයෙන් සුපුරුදු විරෝධය තීව්‍ර කළේ ඒ අනුවය.

 

කළු ජනවාරියෙන් ආණ්ඩුවට විරෝධය පළ කරන අතරේම වූ සිදුවීමක් නිසා දැන් විරෝධයක සිට දැඩි කම්පන තත්ත්වයක් දක්වා ජනමාධ්‍ය සමාජයේ හැඟීම පරිවර්තනය වෙමින් තිබේ.

 

ඊට හේතු වී ඇත්තේ ඉකුත් ජනවාරි 27 වැනිදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන ලද ලිපියකි.

 

එම ලිපියෙන් කියැවෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් තිදෙනෙකුට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැන්වීමය.

 

මේ නිසා ඔවුන් නිදහස් කළ හැකි බවත් ඒ බව මහෙස්ත්‍රාත්වරයා වෙත දන්වා අධිකරණය ඊට ගත් ක්‍රියාමාර්ගය දින 14ක් ඇතුළත තමාට වාර්තා කළ යුතු බවත් නීතිපතිවරයා එහි සටහන් කර තිබේ.

 

මෙම ලිපිය සමාජ මාධ්‍යට නිකුත් වීම සමග නීතිපතිවරයා මෙන්ම ආණ්ඩුව ද ඉලක්ක කරගෙන දැඩි විවේචනයක් ජනමාධ්‍ය සමාජයෙන් මතු වූ අතර ඊට පිළිතුරු බඳින්නට ඊයේ(5) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්සට සිදුවිය.

 

එහිදී ඇමැතිවරයා පැවසුවේ නීතිපති නිර්දේශය ගැන ආණ්ඩුව අධ්‍යයනය කරමින් සිටින බවය.

 

එහෙත් මේ අවුල ගැන රටට නිවැරැදි පැහැදිලි කරගැනීමකට වූ අවස්ථාව ලබාදෙන්නට ආණ්ඩුව පැත්තෙන් සංයුක්ත තීන්දුවක් නැති බව ද එහිදීම පෙනුණි.

 

 

ඊට හේතුව නම් ජනමාධ්‍ය මෙන්ම සිවිල් සමාජය කම්පනය කළ මේ සිදුවීම ගැන කරුණු පැහැදිලි කරගැනීමට නීතිපතිවරයා ජනමාධ්‍යට සම්මුඛ කරන මෙන් ජනමාධ්‍යවේදීන් කළ ඉල්ලීමට ධනාත්මක පිළිතුරක් දීමට ජනමාධ්‍ය ඇමැතිවරයාට නොහැකිවීම නිසාය.

 

 

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූ 2009 සිට වසරවලින් ගණන් කළහොත් මේ දක්වා ඉතිහාසය වසර 16කි.

 

ඝාතන පරීක්ෂණ යටගැසීමට ගත් රාජ්‍යමය උත්සාහයක සිට මේ දක්වා එකී ඉතිහාසය ඉතා දීර්ඝය.

 

විමර්ශන නොමග යැවීම්, දේශපාලන මඩ කතා, මිහිදන් කළ සිරුර ගොඩගැනීමේ සිට පුද්ගල සිය දිවි නසාගැනීම් දක්වා අතුරු කතා රැසකින් එය සමන්විතය.

 

මේ නිසාම සාමාන්‍ය සමාජයට ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය ගැන ද ලොකු අවබෝධයක් නැත.

 

මේ නිසාම නීතිපතිවරයා නිදහස් කිරීමට නිර්දේශ කළ චරිත තුන ගැන ද දැනුවත්භාවයක් තිබිය හැක්කේ මද වශයෙනි.

 

එහෙත් අනෙක් අතට ජනමාධ්‍ය සමාජය තිගැස්සීමට තරම් නීතිපතිවරයාගේ නිර්දේශය බලපෑවේ ඇයිදැයි වටහාගතහැක්කේ ද මේ චූදිතයන් තිදෙනා කවුදැයි විමසීමෙනි.

 

 

නිදහස් කරන්න යන චූදිතයන් තිදෙනා කවුද?

 

 

පිළිවෙලින් මේ තිදෙනා නම් යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් මේජර් ප්‍රේමානන්ද උදලාගම, ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල හා ගල්කිස්ස ප්‍රදේශය බාරව එවක නියෝජ්‍ය පොලිස්පති විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාරය.

 

මේ තිදෙනාගෙන් පළමුව අත්අඩංගුවට ගැනුණේ මෙහි පළමුව නම කියැවෙන යුද හමුදාවේ හිටපු මාණ්ඩලික සැරයන් මේජර් ප්‍රේමානන්ද උදලාගම නමැත්තාය. ඒ 2016 ජූලි 16 වැනිදාය.

 

එම අත්අඩංගුවට ගැනීමට පාර කැපුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

 

 

ලසන්ත ඝාතනයෙන් පසු දිනක තමන්ට තර්ජනය කළ පුද්ගලයා ඔහු බව ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා 2016 ජූලි 27 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනාගත්තේය.

 

 

රිවිර පුවත්පත් කර්තෘව සිටි උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ද මේ හමුදා සාමාජිකයා චෝදනා ලබා ඇති බව පොලිසිය අධිකරණය දැනුම් දුන්නේ ඒ අතරේය.

 

විමර්ශන අලුත් පාරක යද්දී ඉන් මාස කීපයක් ගතවන තැන 2016 සැප්තැම්බර් 27 වැනිදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර නව මරණ පරීක්ෂණය සඳහා ගොඩගැනිණි.

 

මෙසේ විමර්ශන පණ ගැන්වෙද්දී ඊට දින කීපයක ඇවෑමෙන් 2016 ඔක්තෝබර් 16 වැනිදා සිදු වූ සියදිවි නසාගැනීමක් යැයි කියන සිදුවීමක් ද විය.

 

එය විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකු ලියුමක් ලියා තබා සිදුකරගත් බව කී සිය දිවි නසාගැනීමකි.

 

ඔහුගේ ලිපියේ සඳහන් වූයේ “ලසන්ත ඝාතනය කළේ මම. එම නිසා මගේ යාළුවා වන උදලාගම වැරදි කරුවෙක් නොවෙයි. ඔහු නිදහස් කරන්න. මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න” යනුවෙනි.

 

එවක අපරාධ විමර්ශකයන් එය සැක කළේ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයේ සැබෑ සැකකරුවන් හඳුනාගැනීම නොමග යැවීමේ සිදුවීමක් හැටියටය.

 

 

ලසන්ත මරාදැමා ඇත්තේ වෙඩි තැබීමකින් නොව හිසට විශේෂ අවියකින් කළ පහරදීමකින් බව අධිකරණයේ අනාවරණය වූයේ ද ඉන් මාස කීපයකට පසුය.

 

 

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද ඒ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබූ අතර විමර්ශකයන් ඒ ගැන අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම දේශපාලන ලෝකය සසල කළේය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණයට පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව පවත්වාගෙන ගිය ඝාතන කල්ලි සිටි බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයේ සඳහන් බවයි.

 

2018 ආරම්භය වනවිට ඝාතන පරීක්ෂණයට අදාළව 950 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බවත් ඉන් 295 දෙනෙකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

 

නීතිපතිවරයා නිදහස් කරන්නැයි කියන දෙවැනි හා තෙවැනි චූදිතයන් අත්අඩංගුවට ගන්නේ මේ කාලයේදීය.

 

2018 පෙබරවාරි 2 වැනිදා ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි තිස්ස සුගතපාලත් පෙබරවාරි 14 වැනිදා නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාර ද අත්අඩංගුවට ගැනුණි.

 

ඔවුන් දෙදෙනාටම එල්ල වූ චෝදනාව වූයේ ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කිරීමය.

 

මේ වනවිට නව විමර්ශනය කෙලින්ම ඉලක්ක වී තිබුණේ ලසන්ත ඝාතන පරීක්ෂණ නොමග යැවීමේ චූදිතයන් වටාය.

 

ඝාතනය සිදුවන කාලයේ පොලිස්පතිව සිටි ජයන්ත වික්‍රමරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගත්තේ ද ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මෙම ඝාතන පරීක්ෂණ පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කළේද මීට සමාන්තරවය.

 

විමර්ශකයන්ගේ ඉල්ලීම පිට මෙම නිලධාරින් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය නියෝග කළේය.

 

කෙසේ වෙතත් තිස්ස සුගතපාල හා ප්‍රසන්න නානායක්කාර යන පොලිස් නිලධාරින් දෙදෙනාට 2018 ජූලි මාසයේ ඇප නියම වූ අතර ඉන් මාස දෙකක් ගත්වෙද්දී අපරාධ විමර්ශනය ද කණපිට හැරිණි.

 

ඊට බලපෑවේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී රනිල් දේශපාලන විරසකයයි.

 

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සිටියදීම මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය පිරිනමමින් කෙරුණු ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදුවූයේ මේ කාලයේය.

 

අපේක්ෂා කළ පරිද්දෙන්ම 2018 ඔක්තෝබරයේ සිදු වූ මේ දේශපාලන කුමන්ත්‍රණයේ අතුරු ඵලයක් ලෙසින් ලසන්ත ඝාතන විමර්ශන යළි යටපත් විය.

 

“උඹත් මැරුම් කන්නද හදන්නේ ”

 

ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි තිස්ස සුගතපාල යනු ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූ ස්ථානයේ විමර්ශන ආරම්භ කළ ප්‍රධාන චරිතයකි.

 

වික්‍රමතුංග මහතාගේ සටහන් පොතේ තිබූ වාහන අංක සොයාගෙන නඩු භාණ්ඩ කුවිතාංසි ලේඛණයට අංක 154/09 යටතේ සටහන් පොත ඇතුළත් කරනු ලැබුවේ ද ඔහු විසිනි.

 

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අණින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර හමුවට යාමට සිදුවන්නේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා (උප පොලිස් පරීක්ෂක) අදාළ වාහන ලුහුබඳින්නට යාමේදීය.

 

“මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසේගේ සටහනුයි නෝට් පොතයි මට දීපන්.”

 

ලසන්තගේ සටහන් පොත ඉල්ලා නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකවරයාට තග දමා තිබුණේ එසේය.

 

එහිදී උපපොලිස් පරීක්ෂකවරයා කර තිබුණේ බල අපරාධ සටහන් පොතේ අදාළ පිටුවල මෙන්ම ලසන්තගේ නෝට් පොතේ මුල් සහ අවසන් පිටුවල ඡායා පිටපත් ගෙන ඒවා සඟවා තබා මුල් පිටපත් පමණක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දීමය.

 

රජයට එල්ල වූ බලපෑම හමුවේ 2009 නොවැම්බර් 25 වැනි දා ලසන්ත ඝාතන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ ද ඒ යටතේ පරීක්ෂණ කෙරුණේ මාස තුනක් වැනි කෙටි කාලයකි.

 

ඉන්පසු අයාලේ ගිය පරීක්ෂණවලට නැවත පණ ලැබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලුණු 2015 වසරේදීය.

එදා උප පොලිස් පරීක්ෂක සුගතපාල සටහන් දැමූ පොලිස් බල අපරාධ තොරතුරු පොතෙන් ඉරා ගත් පිටුවල ඡායාපිටපත් වසර නවයකට පසු රහස් පොලිසිය සොයා ගත්තේ ඒ අනුවය.

 

ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකගේ නිවසේ සඟවා තිබියදීය.

 

මෙසේ අපරාධයේ සැඟ වූ කතාව දිගෑරෙද්දී අනාවරණය වූ තවත් කරුණක් ද විය.

 

එනම්, සැබෑ අපරාධකරුවන් හා එය කිසියම් දිනෙක සොයන්නට කවර පාලනයක් යටතේ හෝ උත්සාහ කළහොත් විමර්ශන නොමග යැවීම සඳහා කළ තවත් ඝාතන කතාවකි.

 

වැදගත්ම කරුණ වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ඇතුළු පිරිස සාක්ෂි වසන් කළ බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව අධිකරණයට කරුණු වාර්තා කර තිබීමය.

 

නීතිපති පාරින්ද රණසිංහ පසුගිය ජනවාරි 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපිය ජනමාධ්‍ය සමාජයේත් ලසන්ත ඝාතනයට යුක්තිය ඉල්ලූවන්ගේත් කම්පනයට හේතු වන්නේ ඒ නිසාය.

 

මේ චූදිතයන් තිදෙනාට ද එල්ල වී ඇති චෝදනාව වන්නේ සාක්ෂි වසන් කිරීමය. එහි අර්ථය නම් තවමත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවෙක් නැති බවය.

 

ඉතින් ඒ අපරාධකරුවන් සොයා යන ගමනේදී අත පත් කුරුල්ලන් ද නිදහස් කිරීම සරල නැත.

 

අඩුම තරමින් මෙවැනි පියවරක් බලයට පත් නව ආණ්ඩුවට මෙන්ම ජනවරමට කරන බලපෑම නීතිපති නොදන්නේ යැයි අපි නොසිතමු.

 

ජනමාධ්‍යට එරෙහි අපරාධ ලැයිස්තුවේ ඉහළින්ම ඇති මෙවැනි බිහිසුණු පරිච්ඡේදයක් වාක්‍ය කීපයක ලියුමකින් අවසන් කිරීමක් වේ නම් එය ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් ද වනු ඇත.

 

 

@ බිඟුන් මේනක ගමගේ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ලිපි