- රනිල්ට බැරිවූ දේ කිරීමට අනුරට ශක්තිය තියෙනවා
- මෙතෙක් කල් නොදත් එකඟතාවයක්
- නව දිල්ලියෙන් අනතුරු ඇඟවීමක්
- හිටපු විදේශ ලේකම් රවිනාත වෙනත් මතයක
ඉන්දියානු-චීන බල ව්‍යාපෘති තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි අර්බුදකාරී තත්ත්වය හිටපු අධීකරණ අමාත්‍යවරයකු වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ පසුගියදා අපූරුවට විග්‍රහ කළේය.
ශ්‍රී ලංකාවේ බෙල්ලට තොණ්ඩුවක් වැටී ඇති බවත් එහි එක් කොනක් චීනය ක්‍රියාත්මක කර ඇති ‘එක් මාවතක්-එක තීරයක්‘ (Belt and Road Initiative) ව්‍යාපෘතිය විසින් අල්ලා ගෙන ඇති අතර, එහි අනෙක් කෙළවර ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රමුඛය’ (Neighbourhood First Poilicy) යන ව්‍යාපෘතිය විසින් අල්ලා ගෙන ඇති බව ජනාධීපති නීතිඥ රාජපක්ෂ අවධාරණය කළේය.
පිළිවෙලින් වසර 2013 සහ 2014 ආරම්භ වූ චීන සහ ඉන්දීය ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාවට ගැලවිල්ලක් නැත. බංකොලොත් ශ්‍රී ලංකාවට එම දෙපාර්ශ්වයම කිසිසේත්ම මගහැරීමට නොහැකිය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන පිළිවෙත අතිශය ආක්‍රමණකාරී බවත් ඊට තමන් එරෙහි වන බවත් චීන ක්‍රියාමාර්ගය ආපසු හැරවීමට අනාගත රජයක් විසින් පියවර ගනු ලබන බවටත් ඔහු කළ ප්‍රකාශය ආන්දෝලනාත්මකය. වසර 2022 ජනවාරි මාසයේ අරගලය ආරම්භ වීමට මාස තුනකට ආසන්න කාලයකට පෙර කළ එම ප්‍රකාශයෙන් වසර 5 කට පසුව අනුර කුමාර දිසානායක ජනාධීපතිවරයා ‘එක් මාවතක් – එක තීරයක්‘ ව්‍යාපෘතිය සමග ශ්‍රී ලංකාව සිටින බව නැවතත් නිල වශයෙන් ලෝකයට කියා ඇත.
විශ්‍රාමික නියෝජ්‍ය ශ්‍රී ලංකා මහා බැංකු අධීපතිවරයකු වූ ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ආර්ථිකය නැතහොත් බංකොලොත් රටේ ආර්ථික දිශාව සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක් කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය.
වසර 35 කට වඩා වැඩි කාලයක් එම ආයතනයට සේවය කර 2009 දී විශ්‍රාම ගිය විජේවර්ධන පසුගිය කාලය තුළ රටේ ආර්ථික ගමන් මග සම්බන්ධයෙන් තීරණාත්මක සහ සංවේදී අදහස් පළ කර ඇත. මහජනතාවගේ ගෞරවයට පාත්‍රවී ඇති එතුමාව ආර්ථික විශේෂඥයකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙස හඳුන්වාදීමේ වරදක් නොමැත.
අනුර කුමාර දිසානායක ජනාධීපතිවරයා ආර්ථික සහ භූ දේශපාලනික වශයෙන් ඉතාමත් වැදගත් ඉන්දියාවේ (2024 දෙසැම්බර්) සහ චීනයේ (2025 ජනවාරි) කළ නිල සංචාරවලින් පසුව ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් නව සාකච්ඡාවක් ඇතිවී ඇත. ශ්‍රී ලංකාව ගොඩනැගීමට නම් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාලනය යටතේ විප්ලවීය ආර්ථික වර්ධනයක් හිමිකර ගෙන ඇති ඉන්දියාව සමග එකතු විය යුතු බවට ආචාර්ය විජේවර්ධන පසුගියදා අවධාරණය කළේය. ඉන්දියාව හැර ශ්‍රී ලංකාවට වෙන මාර්ගයක් නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. එය ආන්දෝලානාත්මක ප්‍රකාශයකි.
මෝදි තුන්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පසුගිය වසරේදීය. වසර 2014 සිට බලයේ සිටින දැඩි මතධාරී භාරතීය ජනතා පක්ෂයේ නායකයා ඉන්දියාව නව තලයකට ඔසවා තැබූ බව ලෝකයම පිළිගෙන ඇත. ඉන්දීය නායකයාගේ ‘අසල්වැසියා ප්‍රමුඛය’ සහ සාගර දැක්ම/ SAGAR (Security and Growth for All in the Region) යන ව්‍යාපෘති තුළ ශ්‍රී ලංකාව ස්ථානගත වී ඇත.
ඉන්දියාව සමග කටයුතු කිරීමේදී දිසානායක ජනාධීපතිවරයා නිවැරදි මාවතක බව පැවසූ විජේවර්ධන රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය සහ ජනාධීපති ලෙස සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ ඉන්දියාව සමග ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ( Economic and Technology Co-operation Agreement/ECTA) සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ඇරැඹීමට දෙරට නායකයින් ගනු ලැබූ තීරණය වර්ණනා කළේය.
මීට පෙර සර්ව ආවරණිත ආර්ථික සහභාගිත්වය පිළිබඳ ගිවිසුම (Comprehensive Economic Partnership Agreement/CEPA ) ලෙස හැඳින්වූ යෝජනාවලිය 2016 ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ලෙස නම් කළ නමුත් එම ක්‍රියාවලිය පූර්ණත්වයට පත්කිරීමට එජාප නායක වික්‍රමසිංහට ධෛර්යය නොතිබූ බවට ආචාර්ය වික්‍ෂෙවර්ධන චෝදනා කළේය.
නෙක්සස් රිසර්ච් (Nexus Research) නමැති බුද්ධීමණ්ඩලය විසින් කොළඹදී සංවිධානය කර තිබූ සාකච්ඡාවකදී මෙම අදහස් දැක්වීම සිදුවිය. නෙක්සස් රිසර්ච් කණ්ඩායම වසර ගණනාවක් අක්‍රියව තිබිණි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) සහ ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවේ නියෝජනය කළ මහාචාර්ය චරිත හේරත් (සභාපති) සහ කරු පරණවිතාන (අධ්‍යක්ෂක) නායකත්වයෙන් එම ව්‍යාපෘතිය නැවත දියත් කිරීමට සමගාමීව පැවැත්වූ සාකච්ඡාවේදී අවධානය ඉන්දු-ලංකා සම්බන්ධතාවලට යොමුවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2020-2024) පාර්ලිමේන්තුවේදී නියෝජනය කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී හේරත් පසුගිය වසරේ පැවැත්වූ මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් (සජබ) ඉදිරිපත් විය. එම උත්සාහය අසාර්ථක විය. පාඨලී චම්පික රණවකගේ එක්සත් ජනරජ පෙරමුණ සහ සජබ අතර අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා එම පක්ෂය මහ ඡන්දයට තරග කළේ නැත.
එම සාකච්ඡාවේදී ප්‍රධාන අදහස් දැක්වීම් දෙකක් විය. ආචාර්ය විජේවර්ධනට අමතරව නීති සහ ආරක්ෂක අධ්‍යන කේන්ද්‍රයේ (Center for Law and Security Studies ) විධායක අධ්‍යක්ෂක නිලන්තන් නිරුතන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ස්ථිර වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් පෙළ ගැසිය යුතු බවට විශ්වාසයෙන් අදහස් දැක්වීය. ඔවුන් දෙදෙනාම එකම ස්ථාවරයක සිට අදහස් ප්‍රකාශ කළ බව පැහැදිලිය.
ආචාර්ය විජේවර්ධන Daily Mirror පුවත්පතට ජනවාරි 27, 2025 වන දින ලිවූ ලිපියකින් ඔවුන් දෙදෙනා එක ස්ථාවරයක සිට ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ආර්ථික-දේශපාලන-ආරක්ෂක-සමාජීය සම්බන්ධතාවයක් ගොඩනඟා ගත යුතු බවට කරුණු දැක්වූ බවට අවධාරණය කර ඇත.
මෙම ලියුම්කරු ද එම අවස්ථාවට නෙක්සස් රිසර්ච් ආරාධනයෙන් සහභාගි වූ අතර ආචාර්ය විජේවර්ධන සහ නිරුතන් විනාඩි 30 බැගින් කළ අදහස් දැක්වීම දෙරට අතර වහාම ආර්ථික-දේශපාලනික-ආරක්ෂක-සමාජීය බැඳීමක කාලීන අවශ්‍යතාවය අවධාරණය කළේය. One-Text-Initiative ලෙස හැඳින්වෙන කණ්ඩායම ද මෙම වැඩසටහන සමග සම්බන්ධ විය. එම ආයතනය නියෝජනය කළේ සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලකයි.
ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී ඉතාමත් තීරණාත්මක අවස්ථාවකදී චීනය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට අවශ්‍ය වෙඩිබලය සැපයීම ප්‍රමාද බවට විශ්‍රාමික මහ බැංකු නිලධාරියා කළ චෝදනාව අතිශයින්ම බරපතලය. අදාළ ප්‍රකාශය වඩාත් සංවේදී වීමට හේතුව එම කාලය තුළ ආචාර්ය විජේවර්ධන විශ්‍රාමිකයකු නොවූ නිසයි. එලෙස චීනයට චෝදනා කළ ආර්ථික විශේෂඥයා එම අතිශය තීරණාත්මක මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ණය පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබාගැනීමට ඉන්දියාව කළ බලපෑම අවධාරණය කළේය. අරගලය තුළ සහ එයින් පසුව ඇති වූ තත්ත්වය තුළ ඉන්දියාව ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 සහනයට අවධානය යොමු කළේය.
කෙසේ වෙතත් දිගු කාලීන ඉන්දු-ලංකා ධීවර අර්බුදය අවධානයට ලක් නොකර දෙරට අතර සම්බන්ධතා සාකච්ඡා කළ නොහැකිය. නමුත් ප්‍රධාන කථිකයින් දෙදෙනාම එම අර්බුදය පිළිබඳව කිසිදු සඳහනක් කළේ නැත. විශේෂයෙන්ම නොනවත්වා සිදුකරන ඉන්දීය ධීවර ආක්‍රමණය උතුරු පළාතේ ධීවර ප්‍රජාවට දැඩි බලපෑමක් එල්ල ඇත. දකුණු ඉන්දියානු ධීවර බෝට්ටු සමූහය ශ්‍රී ලංකා මුහුදු සීමාව දිගින් දිගටම උල්ලංඝනය කිරීම වැළැක්වීමේ වගකීම ඉන්දීය ආණ්ඩුව සතුය. එය අමුතුවෙන් කිව යුතු නැත.
ඇත්තවශයෙන්ම දෙරට අතර සම්බන්ධතා යහපත් මට්ටමින් පවත්වාගැනීමට ගැනීමට ඇති ප්‍රධානතම බාධාවක් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පතට ගිජු දකුණු ඉන්දීය ධීවර ප්‍රජාවයි. පසුගිය 27 වැනි දින රාත්‍රියේ ඩෙල්ෆ්ට් දූපතට /වැල්වැටිතුරේට නුදුරින් ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත වී සිටි දකුණු ඉන්දීය යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේදී ධීවරයන් කලහකාරී ලෙස හැසුරුණු බවට නාවික හමුදාව චෝදනා කර ඇත. එම සිද්ධීයේදී ධීවරයන් දෙදෙනෙකුට සුළු තුවාල සිදු වූ බවට නාවික හමුදාව ප්‍රකාශ කළ අතර ඉන්දියාව තුවාල වූ ගණන 5 ලෙස සඳහන් කළේය. ඉන්දියානු ප්‍රකාශය අනුව එම පස් දෙනාගෙන් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇත.
එම සිද්ධියට අදාළව ඉන්දියාව ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇත. නවදිල්ලියේ සිටින වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරිය ප්‍රියංගා වික්‍රමසිංහ විදේශ අමාත්‍යාංශයට කැඳවීමෙන් පසුව ඉන්දියාව අවධාරණය කළේ මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් ශ්‍රී ලංකා නාවික හමුදාව බලය පාවිච්චි නොකළ යුතු බවයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මීට අදාළව ඇතිකර ගෙන ඇති එකඟතාවයන් දැඩිව අනුගමනය කළ යුතු බවට ඉන්දියාව දැඩිව අවධාරණය කර ඇත.
ඇත්තවශයෙන්ම මෙය නව ප්‍රවෘත්තියකි. ඉන්දියාව සඳහන් කර ඇති මෙම එකඟතා මොනවාද? මෙම එකඟතා ඇති කර ගෙන ඇත්තේ කුමන ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන්ද? මීට පෙර කිසිම අවස්ථාවක ඉන්දියාව ශ්‍රී ලංකා නාවික හමුදාව මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් බලය පාවිච්චි නොකිරීමට එකඟවූ බවට ප්‍රකාශ කර නැත.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ආරක්ෂක අමාත්‍යාංශය ජනවාරි 29 වන දින හදිසියේ කැඳවූ මාධ්‍ය සාකච්ජාවකදී නාවික හමුදාව නීත්‍යනුකූලව ක්‍රියා කළ බව අවධාරණය කළේය. එම ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා නිරීක්ෂණයට යෑමේදී, නාවික හමුදා යාත්‍රා මගින් නිකුත් කළ නීත්‍යනුකූල නියෝගයන්ට අවනත නොවී, තවදුරටත් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම යාත්‍රාව වෙත නාවික හමුදා භට කණ්ඩායමක් ගොඩ බැස්සවීමට කටයුතු සිදුකර ඇති අතර, එහිදි නාවික හමුදා භටපිරිස් එම යාත්‍රාව වෙත ගොඩවීම වළක්වාලමින් රාජකාරියට බාධා පමුණුවා ඇත.
එම අවස්ථාවේ නාවික හමුදා භටයින් ඉන්දීය යාත්‍රාවට ගොඩවීමට විරුද්ධත්වය දක්වමින් ආක්‍රමණශීලි අන්දමින් එම ධීවර යාත්‍රාව හසුරවමින් ඉන්දීය ධීවරයින් පිරිස කලහකාරීව හැසිරී ඇති අතර, එම ධීවරයින් පිරිස එක්ව ආක්‍රමණශිලී අයුරින් පහරදීමට ද තැත්කර ඇත. එහිදී, නාවික හමුදා නිලධාරීන්ගේ ජීවිතයට අවදානමක් ඇති කරමින්, නාවික හමුදා නිලධාරියකු සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට තැත්කර ඇති අතර, එම අවස්ථාවේ එම ගිනි අවිය ක්‍රියාත්මක වීම නිසා ධීවරයින් දෙදෙනකු හට සුළු තුවාල සිදු වී ඇත.
මෙරට මුහුදු තීරය උල්ලංඝනය කරමින් මත්ස්‍ය සම්පත අනවසරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීමත්, නාවික හමුදා නිලධාරීන්ගේ අණට අවනත නොවීම නිසාත්, ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ඔවුන් දෙදෙනා අවධාරණය කළේය.
ජනතාවට සත්‍ය දැනගැනීමට අයිතියක් ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේදී කන්කසන්තුරේ මුහුදේ අනවසර ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇතිවූ සිද්ධියකදී විශේෂ යාත්‍රා බලගණයේ සාමාජිකයකු මරණයට පත්විය. ඒ 2024 ජුනි මාසයේදීය. එවැනි සිද්ධියක් පසුබිමේ මොනයම්ම තත්ත්වයක් තුළදීවත් බලය පාවිච්චි කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට නොමැති බව යෝජනා කිරීම/ එකඟ වීම තේරුම් ගත නොහැකිය. ශ්‍රී ලංකාව එලෙස පොරොන්දු වූයේ නැතිනම් ඉන්දීය ප්‍රකාශය අසත්‍යය. ‘අසල්වැසියා ප්‍රමුඛය’ ව්‍යාපෘතිය යටතේ එලෙස සිදුවිය නොහැක.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2024 දෙසැම්බර් 15-17 අතර ඉන්දියාවේ කළ සංචාරයේදී ඉන්දීය ධීවර ප්‍රජාව ශ්‍රී ලංකා මුහුදේ කරන අකටයුතුකම් පිළිබඳව ප්‍රකාශ කළේය. නමුත් ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත අතර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව පෙළීම නතර කිරීමට කලාපීය බලවතා සූදානම් නැත.
උතුරු -නැගෙනහිර පළාත් දෙකම ඉහළින්ම මහා මැතිවරණයේදී ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයට (ජාජබ) ද්‍රවිඩ ධීවර ප්‍රජාවට වෙන අසාධාරණය ඉදිරියේ නිහඬව සිටිය නොහැක. මහ මැතිවරණයේදී ජාජබ ජනාධිපතිවරණයටත් වඩා හොඳ ප්‍රතිපල උතුරු සහ නැගෙනහිර පළාත්වල ලබා ගැනීමට සමත් විය.
එම පළාත් දෙකේ දෙවන ස්ථානයට පත්වූ ඉලංකෙයි තමිල් අරසු කඩ්චි පක්ෂයටද මුනිවත රැකිය නොහැක. උතුරු සහ නැගෙනහිර මුහුදේ ඉන්දීය ධීවරයින් නොනවත්වා කරන ආක්‍රමණය ජාතික ගැටලුවකි. ශ්‍රී ලංකාවටම අභියෝගයකි. අවාසනාවකට පාර්ලිමේන්තුව තුළ හෝ එයින් පිටත ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවන්නේ නැත. පාර්ලිමේන්තුවේ අද්විතීය 2/3 බලයක් හිමි ජාජබ සහ ආසන 40 හිමි සජබට ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් යම්කිසි එකඟතාවයකට ඒමට කිසිදු අවශ්‍යතාවයක් නැත. පොල්, සහල් සහ ලුණු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් හඬක් නැගීමට තිබෙන උනන්දුව ඉන්දීය ධීවර ආක්‍රමණය ගැන නොමැත. ඊට හේතුව එම ප්‍රශ්නය ජාතික අර්බුදයක් වුවත් කිසිදු පක්ෂයකට තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට උදව් නොවන හෙයිනි.
නෙක්සස් රිසර්ච් වැඩසටහනේදී මෙම ලියුම්කරු ඉන්දියාව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේදී ශ්‍රී ලංකාව ද්‍රවිඩ ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් කළ ආකාරය සිහියේ තබාගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. එලෙසම යෝජිත ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් දෙසැම්බර් 16, 2024 නිකුත් කළ ඉන්දු-ලංකා ඒකාබද්ධ ප්‍රකාශය සහ එදිනම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයේ පරස්පරතාවය පෙන්වා දුන් අතර ඒ අතරින් අප නිවැරදි කුමක්දැයි යන ප්‍රශ්නය නිලන්තන් නිරුතන්ට යොමු කළේය. ඔහුගේ ස්ථාවරය වූයේ ඒකාබද්ධ ප්‍රකාශය දෙපාර්ශ්වයම පිළිගත යුතු බවයි.
අග්‍රාමාත්‍ය මෝදි කළ ප්‍රකාශය අනුව ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් ගිවිසුමක අවශ්‍යතාව තමන් සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හඳුනාගෙන ඇති අතර ඉක්මනින් ඊට අත්සන් කිරීමට තීරණය කර ඇත. නමුත් ඒකාබද්ධ ප්‍රකාශය අනුව දෙපාර්ශ්වය ඒ සම්බන්ධව විමසා බැලීමට කටයුතු කිරීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අවධානය භූ දේශපාලනය තුළ රට මුහුණ දෙන අතිශය තීරණාත්මක සහ අර්බුදකාරී තත්ත්වයට යොමු විය යුතුය. නමුත් කිසිදු දේශපාලන පක්ෂයකට එවැනි ක්‍රියාමාර්ගයකට එළැඹීමට අවංක උත්සාහයක් නොමැත. රට බංකොලොත් කිරීමට අඩු වැඩි වශයෙන් වගකිවයුතු පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට නිවැරදි මාර්ගයට ඒමට උනන්දුවක් නැත. තවමත් සිල්ලර දේශපාලන යෙදෙති.
@ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
ඉරිදා දිවයින