SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1948 සි‍ට 1972 දක්වා

කලු සුද්දන්ගේ යුගය

 

ari 1

 

වසර 24ක කාලයක් මෙම යුගයට අයත් වේ. බණ්ඩාරනායකගෙන් අවසන් විය. මෙම කාලයේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයක් පැවතින. පක්ෂ ප්‍රමාණය ඉතා අඩුය. නව පක්ෂ බිහි විය. බ්‍රිතාන්‍ය සුදු පාලකයින්ගේ අවසරය සහිත ‘දේශීය වෙළඳ පංතිය’ ප්‍රධාන විය.  ඔවුන් ප්‍රභූන් ලෙස පෙනී සිටියෝ ය. 1972 ජනරජයක් බවට නම් කිරීම දක්වා පැවති යුගය මෙම කාලයට අයත් වේ. 

 

 

  • අගමැතිවරු 6ක් වාර 8ක් බලයට පැමිණියේ ය. පවුල් 4ක් වටා පාලන බලය එකතුවී තිබුනි.
  • පාලකයින් කණ්ඩායම් ගැහුණේ දේශපාලනය කළේ ‘ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ්’ මතවාද වලින් සහ ‘රට ජාතිය හා ආගම යන මතවාද වලින් වන අතර හොඳ හා නරක යනුවෙන් අදහසක් පැවතින.
  • නගර බිහි වෙමින් පැවතින, කුලය මත ඡන්ද පදනම තිබුනි. නැවත නැවත සිදු වන බල වෙනස්කම් අනුව වෘත්තාකාර ව කාලය ගත විය.
  • ආගම්, පංසල බලවත් වූ අතර හාමුදුරුවරු එක් දේශපාලන බලවේගයක් විය, පූජනීය දේවල් හා  භක්තිය මත දේශපාලනය කල යුතු විය. 
  • මහත්මා ගාන්ධි, මහ රැජින, ලෙනින් වර්ගයේ ආදර්ශයන් දේශපාලනයේ දී වන්දනීය විය.
  • බලය ලැබෙන මූලය වූයේ සිංහල බෞද්ධ මතවාදයයි.  වැඩිමහලු අයගෙන් මතවාදී දැනුම සමාජය තුල ගලා ගියේ ය.
  • රට ගමන් ගත යුතු නිවැරදි දිසාව පෙන්වීම සිදු කලේ රජු, අගමැති හෝ ප්‍රභූ පංති විසිනි. විදේශීය බලපෑම ඉතා අවම විය.  
  • තොරතුරු දැන ගත්තේ පත්තර හෝ මුද්‍රිත මාධ්‍යයෙන් පමණි. ලිඛිත අකුරු විශ්වාස කල අතර ආත්ම මූලික දැනුම ප්‍රධාන විය.
  • වීරයින් සිටියේ ය. වීරයින් දිවි දී හෝ රට දැය සමය බේරා ගැනීමට ඉදිරිපත් විය.
  • අධ්‍යාපනය පංසල් හා පල්ලි මගින් සිදු වූ අතර සුලු ප්‍රමාණයක් පැවති පාසල් හා විශ්ව විද්‍යාල වලින් ඉතිරි කොටස සිදු විය. අධ්‍යාපනය ගෞරවනීය දෙයකි.
  • පැරණි සමාජීය පිළිවෙළ තදින් පැවති යුගයකි. බොහෝ දෙනෙකු තවමත් ප්‍රජාතන්ත්‍රවාදය හෝ මහත්මා දේශපාලනය පැවති යුගය ලෙස හඳුනා ගන්නේ මේ යුගයයි.

 

 

1972 සි‍ට 1994 දක්වා

තනි පක්ෂ ආණ්ඩු යුගය

 

ari 2

 

 

වසර 22ක් අගමැතිවරු 4ක් මෙම යුගයේ බලයට පත් විය. රනිල්ගේ ප්‍රථම ධුර කාලයෙන් අවසන් විය. තනි පක්ෂ ආණ්ඩු පිහිට වූ යුගයකි. නොයෙකුත් අළුත් පක්ෂ වැඩි වෙමින් පැවතින. පියාගෙන්  පුතාට ලෙස මන්ත්‍රී කිරුළ හිමිකාරිත්වය ලැබුණේ ය.  පැරණි පවුලේ වැඩිමලාගේ අවසරය සහිත නාගරිකයින් හා නගර ඇසුරු කරන්නන්ගේ පංතිය ප්‍රධාන විය.  ඔවුහු තමන් “බිස්නස්මන්වරු“ ලෙස හඳුන්වා ගත්තේ ය. සාමාජිකයින් තනි පක්ෂයක් වටා ගොනු විය. පක්ෂ 40කට වඩා වැඩි විය. සියල්ලන් ම පැරණි සාමාජිකත්වය ට අනුව පක්ෂ ධූරාවලිය පිළිගත් යුගයකි. සුලු පක්ෂ විශාල ප්‍රමාණයක් හා ‘විශාල තනි පක්ෂ’ දෙකක් බිහි විය. අගමැති නමින් හැඳින්වූ පාලකයා ජනපති නමින් හැඳින්වූ අතර රාජ්‍ය පරිපාලනය සංකීර්ණ බවට පත් විය.

 

 

  • පැරණි පාලක පවුල් වල ඥාති පවුල් වලට පාලන බලය ගලා ගිය අතර නව පවුල් කීපයක් බලය සඳහා එකතුවී තිබුනි.
  • දේශීය විශ්ව විද්‍යාල හා ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල වල මතවාද දෙක ගැටීමෙන් රටේ චින්තනය ස්ථාන ගත විය.
  • මිනිසුන් කණ්ඩායම් ගැහුණේ සහ දේශපාලනය කළේ ජාතිවාදය, ඒකාධිපතිවාදය, රාජ්‍ය  හා ආගම, මාක්ස් ලෙනින් මතවාද වලින් වන අතර උතුරු දකුණු බෙදීම කැපී පෙණුනි.  තවමත් හොඳ හා නරක පිළිබඳ මතයක් පැවතින.
  • ප්‍රබල විපක්ෂයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදය යැයි සිතීය. රේඛීය ව කාලය ගත වූ අතර ප්‍රගතිය, සංවර්ධනය, උගතාගේ බුද්ධිය මත ගොඩ නැගුණේ ය.
  • ජනතාවට මග පෙන්වන අය බුද්ධිමතුන් මහාචාර්යයෝ ආචාර්යයෝ විය. ඔවුන් ආකර්ෂණීය ‘වචන’ යොදා ප්‍රතිපත්ති ප්‍රකාශන, වැඩසටහන්, පස් අවුරුදු සැලසුම් වැනි ක්‍රමවේද මගින් රටේ ආර්ථික දැක්ම සකස් කලේ ය.
  • ‘මිනිසුන් ගේ විඥානය’ ආගම්වලින් හා මිථ්‍යා දැනුම මත තීරණය විය. විශ්ව විද්‍යාලවල ඉගැන්වූයේ පැරණි දේ මිස නව දැනුම් පද්ධති බිහි නොවීය. 
  • පූජනීය දෙය රකින අය සිටියේ ය. හේතුඵලවාදය ප්‍රබල විය. ‘එය සත්‍ය බැවින් අපි එය කල යුතු ය’ යැයි සිතූ යුගයකි.  
  • නීතිය නැතහොත් මහා අනෙකා බලා සිටී යැයි ඒත්තු ගැන්වීම මගින් ජනතාව කීකරු කරන ලදී. ‍වීරයින් සිටි අතර ඔවුන් අනුගමනය කල අය ඡන්දදායකයෝ විය. ‍
  • වීරයින් වෙනුවට සර්ලා බිහි විය. සර් කිව්ව දේ ඇත්තක් යැයි ඒත්තු ගන්වන එක දේශපාලනය විය. බලය වපුරන වාක්‍ය වූයේ ‘ඔව් ඒක අහවලාගේ වාක්‍යයක්, මෙයාගේ අදහසක්, නිසා අපි ඒ අනුව ක්‍රියා කිරීමෙන් සැප වැඩි වේ’ යන්න යි.
  • මුද්‍රිත අකුරුවල බලය රේඩියෝ සහ රූපවාහිනී පැමිණීම මගින් වෙනස් විය.
  • කලාකරුවෝ සම්පූර්ණයෙන්ම වඳ වී ගිය යුගයකි.

 

1994 සි‍ට 2015 දක්වා

සන්ධාන ආණ්ඩු යුගය

 

 

ari 3

 

 

වසර 22ක් මෙම යුගය පැවතුණේ ය. මහින්දගේ ප්‍රථම අගමැති ධුර කාලයෙන් අවසන් විය. බහු පක්ෂ එක් වූ සන්ධාන ආණ්ඩු ක්‍රමයකි. පක්ෂ බොහෝ ගණනක් පරිපාලනයට හවුල් විය. විදේශීය මතවාද වල සිට රාජාණ්ඩු මතවාද වෙනුවෙන් පවා නව දේශපාලන පක්ෂ බිහි විය. පියාගෙන්  පුතාට මාමාට නැන්දාට ආච්චිට පවා මන්ත්‍රී කිරුළ හිමිකාරිත්වය ලැබුණේ ය. දේශීය වෙළඳ පොල විසින් පක්ෂ පාලනය කරන ලදී. ‘නායකයාට ඇති පාක්ෂිකත්වය’ මත වාසිදායක ඇමතිකම් හා වැඩි පාලන බලයක් හිමි වීම තීන්දු විය.

 

 

නාගරික හා ග්‍රාමීය පරතරය කුඩා විය. ලඟ, දුර, ඈත ලෙස රට වෙන් වී තිබුනි. ජාතිවාදය පැහැදිලි විය. තවදුරටත් ජාතීන් මිශ්‍ර වීම නැවතුනි. මුදල් පරිපාලනය කරන්නන්ගේ පංතිය ප්‍රධාන විය. ඔවුන් තමන් “විදේශීය සම්බන්ධීකාරකයෝ “ ලෙස හඳුන්වා ගති. රටේ ප්‍රධාන පුද්ගලයා මත ආර්ථිකය වෙනස් විය. සාමාජිකයින් නැති පක්ෂ වඩා විශාල තනි පුද්ගලයෙක්  වටා ගොනු වී නව සන්ධාන සාදා ගති. සන්ධාන හා පක්ෂ සියල්ල ම ප්‍රයිවට් ලිමිටඩ් විය. පක්ෂයේ පැරණි සාමාජිකයා මැකී ගිය අතර පක්ෂ ධූරාවලිය වෙළඳපළ මගින් තීරණය විය. වඩා වැඩි සම්බන්ධතා ප්‍රමාණයක් හිමි පුද්ගලයා ධූරාවලියේ ඉහලට යාම පිළිගත් දේශපාලන යුගයකි. සමහර සුලු පක්ෂ විනාශ වූ අතර පක්ෂ සාමාජිකයින් ආධාරකරුවන් ලෙසත් හිතවතුන්, කාඩර්වරු ලෙසත් වෙනස් විය. විශාල පක්ෂ කුඩා වීම ආරම්භ විය.

 

  • අගමැතිවරු 6 ක්  සිරිමා, චන්ද්‍රිකා, මහින්ද, රත්නසිරි, ජයරත්න හා රනිල් මෙම කාලයේ තට්ටු මාරු විය. පැරණි පාලක පවුල් හා වෙනත් පවුල් කීපයක් පාලන බලයට එකතු විය.
  • විද්‍යුත් මාධ්‍යවලට අවශ්‍ය පරිදි චින්තනය ස්ථාන ගත විය. එක් එක් පවුල්වල චින්තන මතවාද ගැටීමෙන් ජාතික මතවාද හැඩ ගැසුණේ ය. 
  • තරුණයින් අනාගතය හොඳ වේ යැයි බලා සිටි යුගයකි. තරුණ අය ‘අරයා වගේ වෙන්න  හෝ මෙයා වගේ පොරක් වෙන්න’ ආසාවෙන් සිටි කාලයකි. ප්‍රතිරූප වීරයින්ට දර්ශනය  සැපයූ රස්තියාදු කාර ටියුෂන් ගුරුවරු අධ්‍යාපනයේ ආධිපත්‍ය දැරීය.
  • අහසින් දැනුම ගලා ආවේ ය. මාධ්‍යවල නිෂ්පාදකයෝ සහ අධ්‍යක්ෂකයෝ  දැනුම ලබා දුන් අතර සන්දර්ශකයා ඡායා වීරයෙකුගේ භූමිකාව රඟ දැක්වීය.  ‘සවනින් දකින්න එවිට පෙනේවි’ යැයි ඔවුන් දේශනා කලෝය.
  • සියල්ලෝ ම පාරිභෝජකයෝ නිසා කිසි දෙයක් ඉතුරු නොවන බවත් සියල්ල විකිණිය හැකි බවත් ඔවුන් ඉගැන්වීය. තවදුරටත් හොඳ හා නරක නො පැවතින.
  • ඇඩ්වටයිසින් හා මාධ්‍ය කළමනාකරුවන් විශ්වවිද්‍යාලවල ගුරුවරු බවට පත් විය. පැරණි දෙය ඇදහීම ලැජ්ජාවට කරුණක් නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් විය. එය හුදෙක් ම සහතික ලබා ගැනීමේ රාජ්‍ය ආයතනය බවට පත් විය.
  • විශ්වවිද්‍යාලවල ගුරුවරු ‘ඔව් ඔයා ලත් එහෙම කරන්න ඒක සාර්ථක වේවි’ නැතහොත් ‘අපිත් විනෝද වෙමු. එ්ක තමයි අපටත් කල හැකි එකම දෙය’ යැයි මතවාදය ඉගැන්වීය.
  • මිනිසුන් විශාල ප්‍රමාණයෙන් දෙවිවරු පල්ලි පන්සල් හා ආගමික ශුද්ධාත්ම පසුපස යමින් සෑම දෙයක් ම සාපේක්ෂයි යැයි කීය. සෑම දෙනෙක් ම සියලු ම දේ ඇදහුවේ ය.
  • ‘වීරයා වෙනුවට තරු’ බිහි කරන ලදී. ආශාව බිහි කරන තරු ලඟ සිට සෙල්ෆි ගැනීම යුගයේ විලාසිතාව විය.
  • මම ඒක නිවුස් වල දුටුවා එනිසා එය සත්‍යය බව මම දන්නවා යැයි සෑම දෙනා ම කීවේ ය. එනිසා සජීවී විකාශවල බලය පැතිරුණි. දෘශ්‍යමාන සිදුවීම විශ්වාස කලේය, තිරය පසුපස දේශපාලනය කළේ විශ්වාසවන්ත දන්නා හඳුනන අය සමග පමණි.
  • ඡන්දය ද එක් “ඉවෙන්ට්“ එකක් පමණක් විය. රූපයෙන් ලස්සන නායකයාට ඡන්දය දුන්නේ ය. සෑම දෙයක් ම වාසනාවක් හෝ අවාසනාව පිළිබඳ විශ්වාසයක ට පෙරලුනි.
  • කැත හෝ ලස්සන නැති විය. සියල්ල ලස්සන විය. හොඳ නරක නැත. එක හොඳක් තවත් හොඳක්  අතර වෙනසක් පමණක් බිහි විය. ශරීරය විලාසිතාව බවටත් පූජනීය දෙය බවටත් පත් විය.
  • සෑම දෙනාට ම දැනුම තිබේ. බොරු හා මංඤ්ඤංවාද රට පුරාම පැතිර ගියේ ය. සියල්ලන් ම එය සත්‍ය යැයි සිතන බැවින් අපිත් එය සත්‍ය යැයි සිතූ යුගයකි.
  • ප්‍රජාතන්ත්‍රවාදය මිථ්‍යා ප්‍රබන්ධයක් බවත් බලය පමණක් ම දේශපාලනය බවට විශ්වාස කල නමුත් විපක්ෂයක් තිබුණාට කමක් නැත යැයි සිතීය.
  • ප්‍රගතිය, සංවර්ධනය, උගතාගේ බුද්ධිය මෙන් ම සාම්ප්‍රදායික දැනුම පිළිබඳ විශ්වාසය නැති විය ඕනෑම පුද්ගලයෙකුට බලය ලබාගත හැකි විය.
  • ජනතාවට මග පෙන්වන අය විනෝදකාමී සංදර්ශකයින් විය. ඔවුන් ආකර්ෂණීය රූප හා ශබ්ද යොදා ලොකු ලොකු ප්‍රෝග්‍රෑම් කලෝය. ඒ අනුව රටේ දැක්ම සකස් කලේ ය.

 

2015 සිට  අද දක්වා

තනි පුද්ගල ආණ්ඩු යුගය

 

 

ari 4

මේ යුගය අද අප ජීවත් වන කාලයයි. මහින්දගේ ජනපති කාලය අවසන් වීමෙන් පසුව ආරම්භ වූ යුගය යි. මෙම වත්මන් යුගයේ පවතින්නේ පුද්ගල බල හවුලක ආණ්ඩු ක්‍රමයකි. පක්ෂ ද්විතීයික වී තනි තනි පුද්ගලයන් මූලික වී රාජ්‍ය පාලනයට එක් වී ඇත. නීත්‍යනුකූල දේශපාලන පක්ෂ 66 ලියාපදිංචි වී ඇත.

 

 

මෙම යුගයේ ඉන්දීය හා විදේශීය මතවාද ප්‍රබල වේ. ඉන්දීය හා විදේශීය මතවාද වෙනුවෙන් දේශපාලන පක්ෂ පවා බිහි විය. මන්ත්‍රී කිරුළ හිමිකාරිත්වය විදේශීය ඒජන්තයින් ගේ බලපෑමෙන් සිදු විය. ඉන්දීය හා විදේශ වෙළඳ පොල විසින් දේශීය පක්ෂ පාලනය කරයි. වාසිදායක ඇමතිකම් හා වැඩි පාලන බලයක් හිමි වීම මගේ මිනිස්සු මත තීරණය විය. නාගරික හා ග්‍රාමීය පරතරය නැති විය. ජාතිවාදය ජාත්‍යන්තරවාදයක් බවට වෙනස් වී ඇත. ඉහල නිලතල දරන පුද්ගලයෝ, නිලධාරීන්, රාජ්‍ය ආයතන පාලකයෝ, පොලිසිය, හමුදා නිලධාරීන්, හෝ කුඩා ලිපි කරුවන්ගේ සිට පියන් දක්වා සියල්ලෝ ම දේශපාලන බලවතුන් වී ඇත.

 

 

නැවත සකස් කල නො හැකි ලෙස ජාතීන් අනුව භූමිය වෙන් වී ඇත. සැලසුම් සහගත බොරු පැවසීම මගින් පරිපාලනය වෙනස් කල හැකි වූ යුගයකි. විදේශීය ඒජන්තයින් ගේ පංතිය ප්‍රධාන විය. “විදේශීය සම්බන්ධීකාරකයෝ" සියලු ම ආයතන පරිපාලනය හසුරුවති. රටේ ප්‍රධාන පුද්ගලයා දුර්වල අයෙකු වීම  අනිවාර්‍ය කර ඇත. ආර්ථිකය වේගවත් කල නො හැක. එයට ඉන්දියන් අවසරය ලබාගත යුතු වේ.  

 

පක්ෂවල සාමාජිකයින් නැත. තනි පුද්ගලයෙක්  වටා ගොනු වීම වෙනුවට ‘පරිපාලන බලය වටා’ ඡන්ද හිමි පුද්ගලයෝ ගොනු වී ඇත. සියලු ම පක්ෂ ප්‍රොප්රයිටර් පක්ෂ වේ. පැරණි අළුත් පක්ෂ සාමාජිකත්ව ක්‍රමය හා පක්ෂ ධූරාවලියක් නැත. ජාත්‍යන්තර සංවිධාන දේශීය බල ධූරාවලියේ ඉහළ ම ස්ථාන පරිපාලනය කරන යුගයකි.

 

සියලු ම පක්ෂ කුඩා පක්ෂ පමණි. කිසිදු තනි පක්ෂයකට තවදුරටත් පාලන බලය තනිව ම බුක්ති විඳීමට ලැබෙන්නේ නැත. ලංකාවේ තවදුරටත් තනි පක්ෂයකට පමණක් අයත් ස්ථීර සාමාජිකයින් නැත. ආධාරකරුවන්, හිතවතුන්, හා ‘වෘත්තිය දේශපාලනය’ කරන තනි තනි පුද්ගලයෝ රාජ්‍ය පාලනයට එක් වෙති.

 

විශාල තනි පක්ෂ පවා ක්ෂය වී ඇති යුගයකි. පැරණි පාලක පවුල්  ‘දුරස්ථ බලපෑම් කණ්ඩායම්’ ලෙස ක්‍රියා කරති. පංති පරතරය නැත. පුද්ගලික අදහස් මගින් ජාතික මතවාද නියෝජනය කරයි.

 

  • විද්‍යුත් මාධ්‍යවල බලය අන්තර් ජාලයේ දැනුම මගින් ආක්‍රමණය කල අතර මුලු සමාජය ම මනස් ගාත මත පදනම් වී ඇත. 
  • මාධ්‍ය විසින් එක් රැයකින් ජනප්‍රිය කරවන ප්‍රතිරූප වලින් තරුණ අයගේ  වීරයා සකස් වී ඇත. අරයා මාරයි, මෙයා හරී කියුට්, පට්ට ආතල් බුවා, මැක්සා පොර, වැනි අය බිහි වී ඇත. ස්වීට් වොයිස් එකකින් සිංදු කියන, අද පමණයි සිතන, වර්තමානය අදහන, තරුණයෝ පොලිස් හිරිහැර, සමලිංගික හා ගණිකා අයිතිවාසිකම් සඳහා ජීවිතය පූජා කිරීමට ඉදිරිපත් වී ඇත.
  • ටියුෂන් ගුරුවරු, ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල යුත්තේ කෙසේ ද යන්න ගැන උපදෙස් දෙන චින්තකයෝ වී ඇත.
  • ඉන්දියානු දාර්ශනිකයෝ ‘රජය’ බිස්නස් වැඩක් බවට පත් කර ඇත. වෙළඳාම  පහසුවෙන් කල හැකි මෙවලමක් බවට රාජ්‍ය බලය ඌනනය කර ඇත. අපේ රට ළඟ ඉඳ ගෙන චීනය එක්ක වෙළඳාම් කල නො හැකි බව ඉන්දියන් මහත්වරු පවසති.
  • අධික මමත්වය, ආගමික හා ජාතික අන්තවාද, ඉන්දියාවෙන් සපයක මෝඩි වර්ගයේ ආදර්ශයන් වන්දනීය වේ. තමන් විසින් ම ‘මම හරි හොඳ’ යැයි මාධ්‍ය වල පවසති. සියල්ලෝ ම ඔහු හොඳ බවට එකඟ වී හොඳ වීම සත්‍යයක් බවට දිවුරා පොරොන්දු වේ.
  • අන්තර්ජාලය දේශපාලනය තීන්දු කරයි. ඇනොනිමස් ඡන්දදායකයෝ බිහි වී ඇත. සියල්ලන් ම පළමු පැයේ දී ම අනුගාමිකයෝ  වී ඇත. ‘අනිත් අයත් එහෙම කරනවා ඔයත් එහෙම කරන්න’ යන පණිවුඩය ෆෝන් එකට මෙසේජ් එකකින් ලැබී ඇත.  මේ ඒ අනුව ක්‍රියා කරන මහජන යුගයකි.
  • ‘මානව හිමිකම් හෝ පරිසරය රැකීම’ එකම ආගම බවට පත්වී ඇත. සියලු ම පන්සල්, පල්ලි, පූජකයින් හා ආගමික නායකයින් ‘මානව හිමිකම් බණ දේශනා’ කරමින් සිටිති.
  • කලාකරුවෝ ද, හිරකරුවෝ ද, සිවිල් සමාජය ද, සනීපාරක්ෂක කම්කරුවෝ ද, සිල්ලර කඩ කාරයෝ ද, මහාචාර්යවරු ද, හමුදා සෙබළු ද, විදේශීය සංචාරකයෝ ද, සිංදු කියන මිනිස්සු ද, බෝක්කු උඩ ගංජා බොන මිනිස්සු ද, මහා නායක වහන්සේලා ද, පූජක ප්‍රසාදනීන් වහන්සේලා ද ඇතුළු සියල්ලෝ ම එකම බුද්ධි මට්ටමක බව පෙන්වීය. ඔවුන් ද දේශපාලකයෝ ය.
  • එක් අයකුට අත් දැකීම් විශාල ගණනක් නිරන්තරයෙන් සොයා ගත හැක. වර්චුවල් මිනිසුන් ඇසුරු කිරීම සාමාන්‍ය ඇසුරක් බවට පත් වී ඇත. මිනිස්කම හා මානුෂික දහම් සයිබර් ලෝකය තුළ පවතින බව විශ්වාස කරති. තමන් ම තමන්ගේ වෙළඳ දැන්වීම සාදා ගනී. සත්‍යය මං නෙට් එකේ දැක්කා. ඒඅයි ටොප්, අන්තර් ජාලය මාරයි, ඒක දෘශ්‍යමාන සත්‍ය අත්දැකීමක් වේ. සිදුවීම්, තොරතුරු, දැනුම, පෙම්වතිය, මව පියා, ආදරය, ඇතුළුව මිනිස් අවශ්‍යතා සියල්ල ෆේස් බුකියේ ඇත.
  • වීරයින් නැත. වීරයින් මරා දමන ලදී. අවසන් දෙදෙනා ඔබත් මාත් වසර කීපයකට පෙර අවසන් වරට දැක්කෙමු. දැන් සැවොම වීරයින් ය. ඔබගේ වීරයා ඔබ ම හදා ගන්න යැයි ආඥාවක් සැමට ම ලැබී ඇත. පරිගණක ගේම් වීරයෝ, නාසා වීරයෝ, එෆ්බීඅයි වීරයෝ, රෙස්ලින් වීරයෝ, චේ, විට්ගන්ස්ටයින්, විජේවීර, සමන්, චමිලා, මාලා, සෝමසිරි, බට්ටි, කොන්ඩයා, සිරිදාස, ආමි සාන්ත, පොට්ට නව්ෆර්, ඇතුළු සියලු දෙනා ම වීරයින් බවට පත්වී ඇත. ඔබ අකමැති දුෂ්ටයා මියගිය ද ඔහුත් බොහෝ දෙනෙකුගේ වීරයෙකි.
  • මගේ ශරීරය මලේ මුහුන මගේ සිතේ සිටින ‘මට’ වඩා පියකරු ය. මේ යුගයේ ‘මගේ සිතේ සිටින මම’ ෆේස් බුක් එකේ තිබෙන පින්තූරය වැනිය.
  • සියල්ලෝ ම මාධ්‍ය නිෂ්පාදකයෝ සහ අධ්‍යක්ෂකයෝ ය. සන්දර්ශකයා තමන් ම ය. සියල්ලෝ ම පාරිභෝජකයෝ ය. පංසල් පල්ලි කෝවිල් පවා ලාභ අලාභ ගණනය කර වාර්ෂික වාර්තා සකස් කරති.  
  • විශ්ව විද්‍යාලවල ගුරුවරු නිරුවත් සන්දර්ශකයෝ ය, නැතහොත් නැට්ටුවන් ය. අන්තර්ජාල නිසා විශ්වවිද්‍යාල සහතික කිසිවෙක් විශ්වාස නො කරන නමුත් රැකියා වෙළඳ පල පාලනය කිරීම සඳහා, රජය එය විශාල වෙහෙසක් ගෙන පවත්වා ගෙන යයි.
  • කරදර, මිනීමැරුම්, අපරාධ, දූෂණ, අනතුරු, අසරණකම, දුප්පත්කම, ලෙඩ රෝග සමග සෙල්ෆි ගැනීම විලාසිතාව බවට පත් වී ඇත. ප්‍රේමයේ හැඩය නිරුවතයි. සෙක්සි ශරීරය වන්දනීය වේ. ලිංගික අවයව අතිපූජනීය දෙය වේ.
  • අයිඑම්ෆ් සහ ජිනීවා ප්‍රජාතන්ත්‍රවාදය දේශීයකරණය කිරීම දේශපාලනය බවට පත්වී ඇත. සාමූහික බොරු මගින් රට, ජාතිය,  ආගම, රජය නිර්වචනය කර වෙනස් කල හැකි බව ඔප්පු කර පෙන්වූ යුගයකි.

 

 

සැලකිය යුතුයි... මෙම කරුණු ඔප්පු කර පෙන්වීම විද්‍යාවට අදාළ නැත. මේ සඳහා ඇති හොඳ ම සාක්ෂිය ඔබගේ ම ජීවිතයයි. එසේම මෙහි යුද්ධය ගැන කිසිවක් සඳහන් නොවන නිසා මෙම ලිපිය නීත්‍යනුකූල බව දිවුරා ශපථ කර සිටිමි. නමුත් අනාගත රජයක හැඩ රුව ඔබ ම අනුමාන කර එහි ඔබගේ ස්ථානය අද ම වෙන් කරවා ගන්න.

 

ආශ්‍රිත ලිපි හා ද්‍රව්‍ය

Michel Foucault - The Order of Things

www.unp.lk/

www.slelections.gov.lk

 

@කරුණාදාස සිරිමාන්න

 

නවතම ලිපි