වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකු වන ආර්.ඒ.ජයවීර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය සම්බන්ධයෙන් ලියැවී ඇති
“නව යුගයක පිවිසුම් මග - ආණ්ඩු ක්‍රම වෙනස” කෘතියේ සම්පාදකයාය.
ඔහු ලංකාවේ ආණ්ඩුකරණය හා ආර්ථිකය පිළිබඳ ඉමහත් උනන්දුවක් දක්වමින් ඒ පිළිබඳ සිය හැකියාවන් ගේ සහාය ලබාදීමට කටයුතු කරන වෘත්තිකයෙකි.
අද(11) ලංකාදීප පුවත්පතේ පළව ඇති පහත ලිපිය මගින් ඔහු මෙවර පාර්ලිමේන්තුවට යැවිය යුතු වන්නේ කිනම් ආකාරයේ නියෝජිතයින්ද යන්න ගැන විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.
- ප්‍රීතිමත් ජනතාවකගේ වාසභූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකින්නෝ කවරහුද?
- සමත් වී ඇති විභාගද, ආචාර්ය-මහාචාර්ය පදවි ඨානාන්තරද බලා රැලි නංවන්නෝ
- අපට පායන හිරු වෙනුවෙන් විදේශීය ආයෝජකයින්ට මුදල් ගෙවීම
- ඔරලෝසු කටු බලහත්කාරයෙන් කරකැවීම
- අයි.එම්.එෆ්. කසාදය කටුගා දැමීම හා ණය උගුලෙන් ගැලවීම
- ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම යනු ශුභසාධන දීමනා නොව අසමත් රාජ්‍යයක් විසින් ගෙවන වන්දියක්
- "අපායට බියෙන් මත්පැන් නොබිව් මට - උපායෙන් පොවා යළි මා ගෙන සතුට"
- 1948න් පසුව සිදුවෙමින් පවතින බ්‍රවුන්රිග්ගේ දෙවන ආක්‍රමණය
- අප වැටී සිටින තත්ත්වය නව යටත්විජිත වාදය බව දකින්නට හැකි වන්නෝ
- 21 වන සියවසේ කැප්පෙටිපොළ මහ නිලමේ කොහිද?
නොවැම්බර් 14 දා අපේ රටේ ව්‍යවස්ථාදායකය තෝරා ගැනෙන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ. අපේ රට ප්‍රීතිමත් ජනතාවකගේ වාස භූමිය වන සුව පහසු රටක් බවට පත් කිරීමේ කාර්යභාරය හා වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. එක් රටක් යැයි කීවද එසේ කියන්නට බැරි තරමට සමාජ-ආර්ථික-සංස්කෘතික විෂමතා පවතින අපේ රට, සැමට සුව පහසු රටක් බවට පරිවර්තනය කිරීම ඉබේම සිදුවන්නක් නොවේ. ලිබරල් ආර්ථික දේශනාවේ සඳහන් වන්නේ පොහොසතුන් පොහොසත්වීමේ ක්‍රියාවලියේදී පහලට ඇද වැටෙන දේවල් අහුලා ගන්නා දුප්පතුන්ද ටිකෙන් ටික ඉහළට නැගීම ස්වයංකාරීව සිදුවෙන බවයි. ‘පොහොසතුන් තව කෙතරම් පොහොසත් උවත් කමක් නෑ. හැබැයි දුප්පතුන්ට නම් තවත් දුප්පත් වන්නට දෙන්න බෑ’ යන ප්‍රලාප කියැවෙන්නේ ලිබරල් අර්ථක්‍රමයෙන් බවුතීස්ම වූ විටය. ‘ලිබරල් දේශනාවෙන් ජනතාවගේ විමුක්තිය සලසා ගැනීම, ශ්‍රී ලංකාවේදී නම් මහ පොළවේ යතාර්ථයක් නොවන්නේය’ යන දැක්මේ පිහිටා රට ගොඩ නැඟීමේ සැලසුම් සකස් කරන්නේ නම් පමණකි, අපට ප්‍රීතිමත් ජනතාවකගේ වාස භූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාවක් දැක ගතහැකි වන්නේ.
මෙම සැබෑ යතාර්ථය තුලනාත්මකව විමසා බලා තීරණ ගැනීමට හැකියාව හා උවමනාව ඇති, මහ පොළවේ පය තබාගෙන සිටින දේශපාලනඥයින් තෝරා බේරා ගෙන පාර්ලිමේන්තුවට යවන්නෝ ප්‍රීතිමත් ජනතාවකගේ වාස භූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය.
මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් තමන්ගේ සියලුම ප්‍රශ්න භාර ගන්නට ඉදිරිපත් වන ගැලවුම්කාරයෙකු හෝ කොන්ත්‍රාත්කාරයෙකු නොසෙවිය යුතුය. දේශපාලනඥයාට කළ හැකි වැඩ හා නොකළ හැකි වැඩ තෝරා බේරා ගත යුතුය, තම තමන්ගේ වගකීම අවබෝධ කර ගත යුතුය, මහජනයා නිරතුරුවම විමසිල්ලෙන් සිටිය යුතුය, අයුක්තියට හා අසාධාරණයට එරෙහිව නැගී සිටිය යුතුය, රාජ්‍ය පාලනයට මැදිහත් විය යුතුය.
ලංකා ඉතිහාසයේ පළමු වරට වැඩිම පක්ෂ සංඛාවක් ඉදිරිපත් වූයේ 1960 මාර්තු මාසයේ මැතිවරණයටය. අදත් එවැනිම තත්ත්වයක් ඇති වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන දේශපාලන පක්ෂ ගණන 27 කි. ස්වාධීන කණ්ඩායම් ගණන 19 කි. 1935 – 70 ගණන්වලදී දේශපාලන පක්‍ෂයක් ඇති වූයේත්, බෙදී වෙන් වී ගියේත්, කිසියම් දේශපාලන ආර්ථික හා සාමාජික දර්ශනයක් උඩය. අද එය එසේ නොවන බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ ප්‍රශ්න යතාර්ථවාදීව විග්‍රහ කර තිබෙන්නාවූද, විසඳුම් ඉදිරිපත් කර තිබෙන්නාවූද, ලිපි ලේඛන හා පොත්පත් පල කර තිබෙන්නාවූද දේශපාලනඥයින් කී දෙනෙක් අපට සිටිත්ද? 1944 බෝගම්බර සිරගෙදර සිටියදී ජාතික වැදගත් කමකින් යුක්ත “නිදහස් අධ්‍යාපනය අවශ්‍ය ඇයි (The case for free education)” යන ප්‍රකාශණය සකස් කළ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වැනි දේශපාලනඥයින් කී දෙනෙකු අපට සිටිත්ද?
ඉරණම විසඳෙන තීන්දුව
කවර දේශපාලන හා ආර්ථික තීරණයක වුව ද, හරි වැරැද්ද හෝ උචිත අනුචිත බව අවසානයේ දී විනිශ්චය කරන්නේ පොත්වල දකින්නට ලැබෙන සිද්ධාන්තවලින් නොව එම තීරණයෙන් යම් බලපෑමකට නතු වන මහජනයා විසිනි. තීරණාත්මක දර්ශකය වන්නේ මහජනයාගේ දිවි පැවැත්ම වඩාත් විශිෂ්ට මට්ටමකට පත් කළේ ද නැද්ද යන්න යි. එම නිසා පළමුපෙළ විනිශ්චයකරුවන් වන්නේ මහජනයා ය. ඔවූහු තම තීන්දුව මැතිවරණයකදී ප්‍රකාශයට පත් කරති. සෑම තරාතිරමකම ජනතාව ඇසුරු කරන, වැඩිම දෙනාගේ කැමැත්ත බලාපොරොත්තු වන, මැතිවරණවලට ඉදිරිපත් වන දේශපාලනඥයා, ජන සමාජයට බලපාන ප්‍රශ්නවල විවිධ පැති සාකච්ඡා කිරීමෙන් පසු අවසන් තීරණය ගැනීමට ඉතා ම සුදුසු පුද්ගලයා වන්නේ මේ නිසාය.
දේශපාලනඥයකු/පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට කිසියම් අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය ද? දේශපාලනඥයින්ගේ හොර-බොරු-වංචා-දූෂණ සියල්ලට හේතුව අධ්‍යාපන සුදුසුකම් නැති පිරිසක් පාර්ලිමේන්තුවට ගොස් සිටීම යැයි ඇතැමෙක් කියති. මෙය සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. අධ්‍යාපන සුදුසුකම් වලින් කෙළපැමිණි පුද්ගලයින් අතින් ද අවකල්ක්‍රියා සිදුවී තිබේ. ඔවුන් අතින් සිදුවන අවකල්ක්‍රියාවන්හි බරපතළකම වැඩිය.
සමත් වී තිබෙන විභාග හා ආචාර්ය මහාචාර්ය පදවි තානාන්තර දේශපාලනඥයකු වීමට ඒකායන සුදුසුකමක් නොවන්නේය. නුසුදුසු කමක්ද නොවන්නේය. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේදී බැලිය යුත්තේ කෙනෙකු සමත් වී තිබෙන විභාග ලැයිස්තුව හෝ ඔවුන් සතුව තිබෙන ආචාර්ය, මහාචාර්ය උපාධි තානාන්තර නොව ඔවුන්ට තිබෙන ව්‍යවහාර බුද්ධියයි. සමත් වී ඇති විභාගද, ආචාර්ය-මහාචාර්ය පදවි තානාන්තරද බලා රැලි නංවන්නෝ, ප්‍රීතිමත් ජනතාවකගේ වාසභූමිය කරගත හැකි අනාගත ශ්‍රී ලංකාවක් නොදකින්නාහ.
රජ කුමාරයින්ට ඉගැන්වීම පිණිස වූ විශ්ණු ශර්මන්ගේ පංච තන්ත්‍රයේ එක් කතාවක මෙසේ දැක්වේ.
වේද වෙදාන්තරයන්හි පරතෙරට පත් බ්‍රාහ්මණ කුමාරවරු තිදෙනෙක්ද, උගත් කමක් නොමැති තවත් කෙනෙක්ද එක්ව වෙන රටක් බලා යන්නාහු වනාන්තරයක් මැදින් ගමන් කරන විට ගසක් පාමුල විසිරී තිබුණ සිංහයෙකුගේ ඇට සැකිල්ලක් දැක්කාහු ය. උගත් බ්‍රාහ්මණ කුමාරයින් තම තමන්ගේ ශාස්ත්‍ර බලයෙන් එක්කෙනෙක් අස්ථිපද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමටත්, තව කෙනෙක් මස්-ළේ--නහර පද්ධති යථා තත්ත්වයට පත් කිරීමටත් අනෙකා ජීවන හුස්ම ලබා දී සිංහයාට පණ දීමටත් සූදානම් වූහ. නූගත් තරුණයා එසේ නොකරන ලෙස ඉල්ලා සිටියද උගත්තු තම තමන් දැන උගත් ශිල්ප අත්හදා බලන්නට ක්‍රියා කළෝය. නූගතා වහාම ගස මුදුනට නැංගේය. පණ පිහිටවනු ලැබූ සිංහයා එසැණින්ම කුමාරවරු තිදෙනා මරා දැමීය.
රටත් ලෝකයත් ගැන පොදු දැනුමක් හා හැම දෙයක් ගැනම සාමාන්‍ය දැනුමක් (common sense) ඇති, මහජනයා සමග මෙන්ම විශේෂඥ දැනුමැති පුද්ගලයින් සමග ඉවසිලිවන්තව හා සංවේදීව වැඩ කළ හැකි, දේශපාලන පරිචයකින් යුත්, තමාගේ හොඳ නම (කීර්තිය) ගැන සැලකිලිමත් වන මිනිසුන් පාර්ලිමේන්තුවට පත් කිරීමට සමත් වන්නෝ ප්‍රීතිමත් ජනතාවකගේ වාසභූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය.
මහා ආර්ථික ගැටළුව
අප මුහුණ පා සිටින අගාධගාමී මහා අර්බුදය දශක කීපයක් තිස්සේ ගොඩනැගුන විදේශ විනිමය ගැටළුව, රාජ්‍ය අය-වැය ගැටළුව, ණය උගුල, කෘෂිකාර්මික ගැටළුව, දේශපාලන අර්බුදය, ආණ්ඩුක්‍රම අර්බුදය හා ආදායම් විෂමතා ගැටළුව යන ගැටළු, උගුල් හා අර්බුද ගණනාවක සංයුක්තයක් බවත් මෙම ගැටළු, උගුල් හා අර්බුද එකිනෙක සමඟ දිගට හරහට ප්‍රතික්‍රියා කිරීමෙන් මහා ආර්ථික අර්බුදය හටගත් බවත් මේ මහා පරිහානියට නායකයින් පමණක් නොව ණයට සැප ගත් සියලු දෙනා සම්මාදම් වී ඇති බවත් තේරුම් ගෙන, ගැලවීමේ මාර්ගය සොයා යන්නාහු, ප්‍රීතිමත් ජනතාවකගේ වාසභූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය.
විදේශ ධනායෝජනය, සංවර්ධන උපාය මාර්ගයේ අවශ්‍යම අංගයක් ලෙස සැලකීම තුළ ද අප ප්‍රපාතයේ තවත් පහළට වැටීමේ ඉඩකඩ වේගයෙන් වැඩිවී තිබේ. විදේශ ධනායෝජනයෙන් ඉදිකරන විශාල ගොඩනැගිලිවල කුලියත්, සුළං හා සූර්ය විදුලි බලාගාර වල ආදායමත්, මහල් නිවාස විකුණා ලබා ගන්නා මුදලුත් රටින් පිටට ගෙන යාම සඳහා, විදේශ විනිමය බවට හැරවීමට සිදුවීමෙන් අප තව තවත් වල පල්ලට වැටෙන බව අවබෝධ කර නොගන්නාහු ද, විදේශ සමාගම් වලට සූර්ය හා සුළං බලයෙන් විදුලිබල උත්පාදනය පැවරීමෙන් අපට පායන හිරු වෙනුවෙන් විදේශීය ආයෝජකයෙකුට මුදල් ගෙවන අවාසනාවන්ත තත්ත්වයකට අප පත්වන බව අවබෝධ කර නොගන්නාහු ද, ප්‍රීතිමත් ජනතාවකගේ වාසභූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව නොදකින්නාහ.
රාජ්‍ය අය-වැය අර්බුදය
රාජ්‍ය අය-වැය ගැටළුව පැන නගින්නේ ආදායමට වඩා වියදම් කිරීමෙනි. ඇත්ත වශයෙන්ම, ප්‍රාග්ධන ව්‍යාපෘති සහ දිගු කාලයකින් පල දරන වෙනත් ව්‍යාපෘති සහ වැඩ සටහන් සඳහා ආදායම ඉක්මවා යන සේ වියදම් කිරීම වැලැක්විය නො හැකි සහ කළ යුතුම දෙයකි. එහිදී ඇතිවන අය-වැය හිඟය පියවීමට ණය ගැනීම සහ මුදල් මැවීම හෙවත් මුද්‍රණය කිරීම අනාගතය සඳහා කරන ආයෝජනයකි. අනාගතය පරදුවට තබා එලෙස මුදල් යෙදවිය යුත්තේ දැඩි නියාමනයක් හා මුල්‍ය විනයක් ස්ථාපනය කරගැනීමෙන් පසුවය. එසේ කිරීමෙන් පසුව පමණක්මය.
රාජ්‍ය වියදම්වල සැලකිය යුතු කොටසක් පොලී ගෙවීම්ය. 2022 හා 2023 වර්ෂවලදී ගෙවන ලද ණය පොලිය, පිළිවෙලින් රාජ්‍ය ආදායමින් සියයට 79.1% ක් හා 80.5% ක් තරම් ඉතා ඉහළය. පොලී වියදම ඉහළ මට්ටමක පැවතීමට එක හේතුවක් වන, ප්‍රාග්ධන ව්‍යාපෘතිවල පිරිවැය අධිතක්සේරු කර තිබීම බොහෝ අවස්ථාවල සාකච්ඡාවට ලක් වී තිබෙන කරුණකි. ඉදිරි කාලයේදී ප්‍රාග්ධන ව්‍යාපෘති අනුමත කිරීමේදී, දූෂණ මැඩ පැවැත්විය හැකි ජාතික සැළසුම් සභාවක් පිහිටුවීමට ඉදිරිපත් වන්නෝ ප්‍රීතිමත් ජනතාවකගේ වාස භූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය.
2023 වනවිට සිවිල් පරිපාලනයේ හා ත්‍රිවිධ හමුදා වල රාජ්‍ය සේවයේ නියුක්ත සේවක සංඛ්‍යාව (රාජ්‍ය ව්‍යවසායන් හැර) 1,146,985 කි. වැටුප් සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 939,496 කි. රාජ්‍ය සේවාව ගැන කථා කිරීමේදී බොහෝ දෙනෙක් අල්ලාගෙන සිටින්නේ වැරදි කොනකිනි. එනම්, එහි වියදම් පැත්තෙන් පමණකි. අප සැලකිලිමත් විය යුත්තේ වියදම ගැන නොව, වියදමට සරිලන ප්‍රතිලාභ ලබා ගැනීමට අසමත් වීම ගැනය. අපේ අවධානය යොමුවිය යුත්තේ රාජ්‍ය සේවාවේ මුළු වියදම කවර තරමකින් ජාතික නිෂ්පාදිතය වර්ධනය කිරීමට නැතහොත් ගුණනය කිරීමට (multiplier effect) දායක වන්නේද නැතහොත් දායක කරගැනීමේ ඉඩ ප්‍රස්තාව පවතින්නේද යන්නටයි. ඉලක්ක කරා මෙහෙයවනු ලබන කාර්යක්‍ෂම හා කැපවුන රාජ්‍ය සේවාවකට මුළු රටේම ආර්ථික ප්‍රතිපල ඉහළ නංවා, දළ දේශීය නිෂ්පාදිතය වැඩිකර ගැනීමට දායක විය හැකිය.
රාජ්‍ය අංශයට සැපයිය හැකි නමුත් ප්‍රමාණවත් හා සෑහීමට පත්විය හැකි තරමට නොසැපයෙන සේවා විවිධාකාරය. ඒවා කාර්යක්‍ෂම ලෙසත්, පලදායී ලෙසත් සපයන්නේ නම් ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වේගයකින් හා වැඩි පරිමාවකින් සිදුවනු ඇත. රාජ්‍ය සේවයේ උපරිම දායකත්වය ලබා ගැනීමට ක්‍රියා කළ හැකි දේශපාලනඥයින් පාර්ලිමේන්තුවට පත් කර යවන්නෝ ප්‍රීතිමත් ජනතාවකගේ වාසභූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය.
ඔරලෝසු කටු බලහත්කාරයෙන් කරකැවීම
අති විශාල ලාභ අන්තර්ගත මිල ගණන් වලට ප්‍රසම්පාදනයද ඇතුළු රජයේ කොන්ත්‍රාත් ලබා ගන්නෝ අධි ලාභ - සුපිරි වාසනා දිනා ගන්නෝය. ඔවූහු ”නොමසුරු” ලෙස හිතුමතේ වියදම් කර තමනුත් ඇද වැටී රටත් ආගාධයට ඇද දමති. අරපිරිමැස්ම හා වැඩ කිරීමේ විනය බිඳ දමති. ජාතික ආර්ථික දේහයේ ඔරලෝසු කටු බලහත්කාරයෙන් කරකවති. සාමාන්‍ය ලාභ සහිතව වෙළඳපොල නියාමනයන්ට අනුව වැඩ කරන ව්‍යාපාරික ප්‍රජාවද, අර ඔරලෝසුවට අනුව වෙලාව තබාගන්නා තැනට පත් කරති. ඔරලෝසුවේ කටු බලහත්කාරයෙන් කරකවන්නන් මැඩ පැවැත්වීමට පෙරමුණ ගන්නෝ ප්‍රීතිමත් ජනතාවකගේ වාස භූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය.
රාජ්‍ය ආදායම් අධිකාරිය
ආදායම් රැස්කිරීම ඕනෑම ආණ්ඩුවක ප්‍රමුඛ කාර්යයකි. ශ්‍රී ලංකා ආණ්ඩුව ණය උගුලක පැටලීමට එක හේතුවක් වූයේ වර්තන වියදම් (එදිනෙදා වියදම්) පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන තරමට, රාජ්‍ය ආදායම් පිරිහී යාමයි. (එනම්, එදා වේල පිරිමසා ගැනීමටවත් නොහැකි වීමයි).
බදු ආදායම, ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස පහළ මට්ටමකට වැටීමට බලපෑ ප්‍රමුඛ හේතු දෙකක් වන්නේ ආර්ථිකයේ ව්‍යුහය සහ බදු සහනය. මේවා සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය යටතට වැටෙන කරුණුය. එම හේතුවලට ඉඩ හැරීමෙන් පසුව අය කරගත යුතුව තිබුණ රාජ්‍ය ආදායම වුවද අය කරගැනීමට නොහැකිවී ඇත්තේ එක් පැත්තකින්, රාජ්‍ය අදායම් එකතු කිරීම භාරව සිටිනදෙපාර්තමේන්තුවල අකාර්යක්‍ෂමතාව, අක්‍රමිකතා සහ දූෂණයත්, අනෙක් පැත්තෙන් බදු මගහැරීම සහ පැහැරහැරීම නිසාය. රාජ්‍ය ආදායම් එකතු කිරීමට සම්බන්ධ සියලු දෙපාර්තමේන්තු හා ආයතන, අධීක්ෂණය හා නියාමනය කිරීමට රාජ්‍ය ආදායම් අධීකාරියක් (State Revenue Authority) පිහිටුවිය යුතුය. අධිකාරියේ සාමාජිකයින්ට අවංකව හා නොබියව වැඩ කිරීමට හැකි වනු පිණිස ඔවුන්ගේ පත්වීම් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශයෙන් කළ යුතුය. රාජ්‍ය ආදායම් අධිකාරියක් පිහිටුවා මුළු ආදායම එකතු කර ගැනීමට ක්‍රියා කරන්නෝ ප්‍රීතිමත් ජනතාවකගේ වාස භූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය.
ණය උගුල
ණය උගුලේ යටි සූත්තරය වන්නේ, දියුණු රටවල් හා පිටරට පැටවීමට තරම් අතිරික්තයක් ජනනය කරගෙන ඇති රටවල් විසින්, නොයෙක් ව්‍යාපෘති යෝජනා අපට හඳුන්වා දී, ඒවා කරගෙන යාමට අවශ්‍ය ණය මුදල් ලබා දී ඒවා කරගෙන යාමේ කොන්ත්‍රාත් තමන්ටම ලබා ගැනීමයි. මෑතක සිට මේ ණය මුදල තබා ගන්නේ ද එම රටේම බැංකුවකය. වැඩ කරගෙන යන අතර, කරන ලද වැඩ මෙරට භාරකාර ආයතනය විසින් සහතික කළ පසුව, එම බැංකුව විසින් එම රටේම කොන්ත්‍රාත්කාර සමාගමට මුදල් ගෙවීම් කරයි.
ණය උගුලෙන් ගැලවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) සරණ පැතීමට සිදුවී ඇත. මේ සරණ බන්ධනයෙන් හිතුවක්කාර ලෙස ගැලවෙන්නට නොහැකිය. කෙසේ හෝ වැඩි කල් නොයා ඉන් ගැලවෙන්නට වුවමනාය. එහෙත් ඒ සඳහා වන කිසිදු සැලැස්මක් අප ඉදිරියේ නැත. යටත් පිරිසෙයින් අවුරුදු දෙක-තුනක් තුළ මේ අයි.එම්.එෆ්. කසාදය කටුගා දැමීමටත්, ණය උගුලෙන් ගැලවීමටත් අධිෂ්ඨාන සහගත වන්නාහු ප්‍රීතිමත් ජනතාවකගේ වාස භූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය.
අපේ අවධානය හා සම්පත් යෙදවීය යුතු ප්‍රමුඛ කාර්යයක් වන්නේ දේශීය පරිභෝජනය සඳහා දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමයි. දරිද්‍රතාවේ ගිලී ඇති 45%ක පිරිස විශේෂයෙනුත්, මුළු ජනගහණයම පොදුවේත් ආරක්ෂා කරගත හැක්කේ එමගිනි. ජී.වී.එස්. ද සිල්වා මහතාගේ Some Heretical Thoughts on Economic Development හි දක්වා ඇති අදහස් වල තත්කාලීන පරිවර්තනය වන්නේ එයයි. අපනයනය හා ඩොලර් ඉපැයීම ගැනම කථා කරන බොහෝ දෙනා දේශීය පරිභෝජනය සඳහා දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම ගැන කථා නොකරති. විදේශ විනිමය ඉපයීම සඳහා භාණ්ඩ හා සේවා අපනයනය කිරීමේදී එක ජන කොටසකට විශේෂයෙන් පහළ ආදායම් ලබන්නන්ට අගතියක් නොකළ යුතුය. වෙන වචන වලින් කිවහොත් අතට අහුවෙන හැම දෙයක්ම අපනයන කිරීමට පෙර දේශීය පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය.
ශුභසාධනය ද? වන්දි ගෙවීමක් ද?
සියළු ජනයා පංගුකාරයින් කරනු නොලැබූ අසාර්ථක ආර්ථික සංවර්ධනය හේතුවෙන් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට නොයෙක් සහනාධාර දීමනා ගෙවීමට සිදුවී තිබේ. ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම යනුවෙන් කලින් කළ හඳුන්වනු ලැබූ මේ සහනාධාර සැලකිය යුත්තේ ශුභසාධන දීමනා ලෙස නොව අසමත් රාජ්‍යයක් විසින් ජනගහනයේ ඇතැම් කොටස්වලට ගෙවන වන්දියක් ලෙසටය. අයි.එම්.එෆ්. වැනි ජාත්‍යන්තර ආයතන සමග එළඹෙන ගිවිසුම් වලදීත් මේ වන්දි ගෙවීම (සහනාධාර) ගැන සඳහන් වේ. එයින් පෙනෙන්නේ මේ වන්දි ගෙවීම ගෝලීය ආර්ථිකයේ අනිවාර්ය අංගයක් බවට ඔවුන් විශ්වාස කරන බවය. දිළිදු බව ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ස්ථිර අයිතමයක් බවය. ශුභාසාධනයට පාත්‍ර වන අත පල්ලෙන් වැටුන ජනකාය ක් දිගින් දිගටම පවත්වා ගෙන යාම වෙනුවට හැම පුරවැසියෙකුටම ආත්මාභිමානයෙන් ජීවත් විය හැකි සංවර්ධන ක්‍රමෝපායන් සැළසුම් කරන්නෝ ප්‍රීතිමත් ජනතාවකගේ වාස භූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය.
බ්‍රවුන්රිග්ගේ දෙවන ආක්‍රමණය
ස්වාධීන, ස්වෛරී, සංවර්ධිත, රාජ්‍යක් බවට පත්වීමට පෙර අපට යළිත් විජිතවාදයට යටවීමට සිදුවිය. 1815 දී යටත් විජිතයක් වීමෙන් පසු සාමාන්‍ය ජනයා පාගා දමමින් උස්ව නැගී සිටි රඳළ ප්‍රභූවරුන් මෙන්ම, අදත් සාමාන්‍ය ජනයා නොතකා හැර උස්ව නැගී සිටින ව්‍යාජ ප්‍රභූ (pseudo elite) පන්තියක් සිටිති. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට අනුචිත වන්නා වූ (inappropriate) අධිපරිභෝජනයකට ඔවුහු සිය කැමැත්තෙන්ම ගොදුරු වී සිටිති. මවා පෙන්වනු ලබන උවමනාවන්ට ගොදුරු වූ ඔවුහු ගෝලීය පුරවැසියන් බවට පත් වී සිටිති. එය කෙනෙකුට සිහිපත් කරවන්නේ "අපායට බියෙන් මත්පැන් නොබිව් මට - උපායෙන් පොවා යළි මා ගෙන සතුට" යනුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නැව් නගිද්දී කියන ලදැයි පැවසෙන ජනකවි දෙපදය යි. එදා කන්ද උඩරට ආක්‍රමණයට මග සැලසුවා වූ ද, රජතුමා පාවා දී ඔහුට නින්දා කළා වූ ද උඩරට ප්‍රභූවරුන් සමාන වන්නේ අද සිටින ව්‍යාජ ප්‍රභූවරුන්ට ය. අප නව විජිතයක් බවට පත්වීම, කන්ද උඩරට අවසාන රාජ්‍ය බිඳවැටීම වැනිම සිදුවීමකි. එය බ්‍රවුන්රිග්ගේ දෙවන උඩරට ආක්‍රමණයක් බඳුය. අප වැටී සිටින තත්ත්වය නව යටත්විජිත වාදය බව දකින්නට හැකි වන්නෝ ප්‍රීතිමත් ජනතාවකගේ වාස භූමිය වන සුව පහසු අනාගත ශ්‍රී ලංකාව දකිත්මය. තවම පහළවීමේ සේයාවක් වත් නැත්තේ 21 වන සියවසේ කැප්පෙටිපොළ මහ නිලමේ ය.
ආර්.ඒ. ජයවීර
ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
@ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියකි.