SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය සම්බන්ධයෙන් ලියැවී ඇති “නව යුගයක පිවිසුම් මග -  ආණ්ඩු ක්‍රම වෙනස” කෘතිය

 ‘අර්ථ ගවේෂකයෝ’ වරලත් ගණකාධිකාරීන් වන පී.ඊ.මැතිව් සහ සමාගමේ සමාජ වගකීම් ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ  වරලත් ගණකාධිකාරී ආර්.ඒ.ජයවීර විසින් සම්පාදිත කෘතියකි.

 

 

04. සම්පත් භාවිතය, අත්පත් කර ගැනීම හා ආරක්‍ෂා කර ගැනීම

 

 

“එක් වැහි බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතුය”

                              - මහා පරාක්‍රමබාහු, ශ්‍රී ලංකාවේ අගරජ (ක්‍රි.ව.  1153 – 1186)   

 

සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම, අරපිරිමැසුම්දායක ලෙස අත්පත් කරගැනීම හා ආරක්‍ෂා කරගැනීම, රට ඉදිරියට ගෙනයාමේදී බරපතළ සැලකිල්ල දැක්විය යුතු නමුත් ප්‍රමාණවත් ලෙස එවැනි සැලකිල්ලක් නොලබන කරුණු තුනකි.  විශාල මුදල් සම්භාරයක් වැය වන මේ ක්‍රියාවලිය හැසිරවීම සඳහා ගතයුතු පියවර මෙහි පහත දැක්වේ.

 

සෑම සම්පතක්ම ප්‍රයෝජනයට ගැනීම

 

වර්ෂ ගණනාවක් තිස්සේ ඒකරාශි කරගත්තාවූ ද, රටපුරා විසිරී ඇත්තාවූ ද , රාජ්‍ය අංශය සතු සියලු සම්පත් රටේත් මහජනතාවගේත් අභිවෘද්ධිය පිණිස උපයෝගී කරගන්නා බවට කිසිම සහතිකයක් නොමැත.  සෑම රාජ්‍ය ආයතනයක්ම තම සන්තකයේ ඇති සියලුම සම්පත් වැඩට යොදවා ගෙන තිබේද යනුවෙන් මේ කාරණය වෙනත් ආකාරයකට මතු කළ හැකිය. කෙතරම් සම්පත් තිබෙනවාද යන්න දන්නේ නැතිව එම සහතිකය දෙන්නේ කොහොමද? වපසරිය නොදැන අස්වැන්න මැන ගන්නේ කොහොමද?  සියලුම සම්පත් පූර්ණ ලෙස උපයෝගී කරගන්නේ නම් ජාතික නිමැවුමේ (National output)  ශීඝ්‍ර වර්ධනයක් ඇතිවේ. (සම්පත් ලේඛනයක් නොමැතිව මෙම කාර්යය ඉටු කළ නොහැකි බව මනාව පැහැදිලිය). 

 

පාර්ලිමේන්තුවෙන් සම්මත කරනු ලැබූ අරමුදල්වලින් ලබාගත යුතු ප්‍රයෝජනය, ඊට පසු වර්ෂවලදී නොකඩවාත්, සම්පූර්ණ ලෙසත්, ලබාගන්නේද යන්න දැන ගැනීමට විධිවිධාන සලස්වා නැත.  අප මෙහිදී කතා කරන්නේ, පසුගිය වර්ෂයක ඉදිකළ ගොඩනැගිල්ලකින් හෝ මිලදී ගත් වත්කමකින් නොකඩවාත්, සම්පූර්ණ ලෙසත්, ප්‍රයෝජනයක් ගන්නවාද යන්න සැකහැර දැන ගැනීම ගැනයි.  ඒ සඳහා ක්‍රමවේදයක් ස්ථාපිත කර නැති විටක පාර්ලිමේන්තුවට තම ව්‍යවස්ථාපිත වගකීම ඉෂ්ඨ කිරීමට හැකිවී ඇතැයි කිව නොහැක.  පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පාලනය කරන ප්‍රධාන මාර්ගය විසර්ජන කෙටුම්පත හා වාර්ෂික අය-වැය ලේඛනයයි.  අය වැය ලේඛනයෙන් වර්තන වියදම් සඳහා (recurrent expenditure) වාර්ෂිකව වෙන් කරන මුදල, සිය සන්තකයේ හෝ විධානයේ පවත්නා දැනට පරිහරණය කරනු ලබන (a) මානව සම්පත්, ගොඩනැගිලි, උපකරණ, වාහන යනාදියෙන් සමන්විත භෞතික සම්පත් හා (b) තොරතුරු ජාලය හා පළපුරුද්ද නමැති අනෙකුත් සම්පත් වර්ෂයක් තුළ පවත්වාගෙන යෑමට යොදා ගැනෙන සලාකයකි.  දැනට කරුණු සිදුවන හැටියට, මේ සලාකයේ ගණන්හිලව්වලින් අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් සතුව තිබෙන හෝ එහි විධානය යටතේ පවතින සියලු සම්පත්, පූර්ණ ලෙස වැඩට යොදාගනු ලැබුවේ ද යන්න  වාර්තා වන්නේ නැත.

 

ගණන් දීම හා ගණන් බැලීම වර්ෂයකට අදාළ කරගන්නා නිසා මානව සම්පත්, ගොඩනැගිලි, උපකරණ, වාහන යනාදියෙන් සමන්විත සමස්ත සම්පත් සමූහය කිසිදු වැඩකට ගන්නේ නැතිව හෝ අර්ධ වශයෙන් පමණක් වැඩට යොදා ගෙන තිබුණ ද ඒ බව දැන ගන්නට ලැබෙන්නේවත් භෙළිදරව් වන්නේවත් නැත.  වාර්ෂික සලාකය දෙස පමණක් බලා, වර්ෂ ගණනාවක් තුළ සමුච්චය වූ සම්පත් සම්භාරයෙන් කර ඇති වැඩ මැන බැලීමට යෑම අලියා දෙස නොව භෙණ්ඩුව දෙස බැලීමකි. මෙනයින්, මහා පරිමාණයෙන් සම්පත් අපතේ යාමක් දිගින් දිගටම සිදුවී තිබේ.  මේ අපතයේ පරිමාණය බලා ගතහැකි වන්නේ ජාතික පොදු සම්පත් ලේඛනයක් තුළින් පමණකි. එය වංචා හා දූෂණ වලින් සිදුවන හානියට වඩා විශාල විය හැකිය.

 

 

මෙම මහා පරිහානීය උගුලෙන් මිදීම සඳහා:

 

  • පරිපූර්ණ ලෙස වැඩ සටහන් සම්පාදන අය-වැය ක්‍රමයට (PPB) පිවිසීමත්,
  • රාජ්‍ය ගිණුම් ක්‍රමය උපචිත ක්‍රමයට හැරවීමත්,
  • ජාතික පොදු දේපළ පිළිබඳ දත්ත හා තොරතුරු ඇතුළත් ලේඛනයක් සකස් කිරීමත්
  • ශුන්‍ය පාදක අය-වැය ක්‍රමයට පිවිසීමත් කළ යුතුය.

 

ශුන්‍ය-පාදක අය-වැය ක්‍රමයක් තිබෙන විට, ආයතනය සතු සම්පත් හා ඉන් ගනු ලබන ප්‍රයෝජන ගැන දීර්ඝ විමසීමක් සිදු කෙරෙන බැවින්ද, ප්‍රයෝජනයට නොගන්නා වත්කම් නඩත්තු කිරීම සඳහා මුදල් වෙන් නොකරන බැවින්ද  එම අවස්ථාවේදීම අතිරික්ත වත්කම් පලදායී කාර්යයක් ඉටු කළ හැකි  වෙනත් ආයතනයකට යොමු කිරීමේ හෝ බැහැර කිරීමේ තීරණ ගතහැකි වේ.  

 

වත්කම් අත්පත් කරගැනීම

 

වත්කම් අත්පත් කරගැනීමේදී සිදු කරන දූෂිත හා අනාර්ථික ගණුදෙනු මාර්ගයෙන් රටට කර තිබෙන අලාභයන් ජනමාධ්‍ය වල නිතර නිතර වාර්තා කර තිබෙන අතර පොදු මහජන සභාවල හා පාර්ලිමේන්තුවේ විවාදයන්ට ලක්වී තිබේ. වත්කම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි, පාරදෘශ්‍ය හා රටට හිතකාමී එකක් කරගැනීම පිණිස ගතයුතු පියවර පහත දක්වමු. 

 

  • දේපළ/වත්කම් (ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, වාහන, කාර්යාලීය උපකරණ) අත්පත් කරගැනීමට (මිලදී ගැනීමට, බදු ගැනීමට හෝ ඉදිකිරීමට) පෙර අවශ්‍යතා අධ්‍යයනය කිරීම

 

  • ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදවීමට බලාපොරොත්තුවන වත්කම් සඳහා, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් කිරීම

 

  • වත්කම් අත්පත් කර ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරන නිලධාරියා සහ/හෝ ඔහුගේ අංශයේ ප්‍රධානියා එම වත්කම ඉදිරියට භාවිතාවට ගතහැකි බවට සහතික වීම. යම් නිලධාරියෙකු විශ්‍රාම ගියවිට ඔහුගේ අනුප්‍රාප්තිකයා එම වත්කම අත්පත් කරගැනීම විවාදයට ලක් කරමින් එය භාවිතයට ගැනීම ප්‍රතික්‍ෂේප කර ඒ සඳහා ආයෝජනය කළ මුදල අපතේ හරින ලද අවස්ථා වාර්තාවී තිබේ. ඒ සමගම ඔහු අළුත් මිලදී ගැනීමකට මුල පුරයි.  මෙවැනි අවාසනාවන්ත සිදුවීම් මගින් රාජ්‍ය අරමුදල් නාස්ති වීමට ඉඩ හැරීම අපරාධයකි. ජාතික සැලසුම් සභාවේ අනුමැතියෙන් තොරව යම් නිශ්චිත වටිනාකමක් ඉක්මවූ ප්‍රාග්ධන වත්කම් අත්පත් කරගැනීම කළ නොහැකි වූ විට මෙවැනි ඛේදවාචක ඇතිවීමේ ඉඩකඩ අවම කරගත හැකිය. 

 

  • දේපළ අත්පත් කරගැනීමේ සිට භාවිතාවේ යොදවා ගැනීම් තෙක් වගකීම, නිශ්චිත ලෙස පවරා තිබීම. අත්පත් කරගැනීම නිර්දේශ කර අනුමැතිය ලබාගත යුත්තේ, එම පියවර සම්පුර්ණ කිරීමෙන් පසුවය.

 

  • වත්කම් අත්පත් කරගත් සැණෙකින්ම පරිහරණයට යොමු කිරීම. ඇතැම් වත්කම් වර්ෂ ගණනාවක්ම ඇසුරුම් වල තිබුණ බවට වාර්තා මාධ්‍යවල පළවේ. එහිදී මතුවන ප්‍රශ්නය නම් අවශ්‍යතා අධ්‍යයනය හරියාකාරව කරනු ලැබුවේද යන්නයි. පරිහරණය ප්‍රමාදවීම නිසා ආරක්‍ෂණ කාල පරිච්ඡේදය (warrenty period) ඉකුත්වී හානිපූරණය කරගත නොහැකි වීමට පුළුවන.

 

  • ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට ප්‍රථම අදාළ ඉදිකිරීම් ආරම්භ කිරීමට අවශ්‍යවන මූලික අවශ්‍යතාවන් සහ කොන්දේසි ඉටුකර තිබේද යන්න එම ඉදිකිරීම නිර්දේශ කරන කමිටුව විසින් සොයාබැලිම. (උදාහරණ වශයෙන් මූලික ශක්‍යතා අධ්‍යයන, පරිසර ශක්‍යතා අධ්‍යයන, ඉඩම් අත්පත් කර ගැනීම යනාදිය)

 

  • නියමිත කාල සීමාව තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කිරීම. එසේ නොමැති වුවහොත් අනවශ්‍ය අතිරේක වැය බරක් දැරීමට එම ව්‍යාපෘතියට සිදුවේ. 

 

  • ජාතික සැලසුම් සභාව අනුමත නොකරන කාලය දීර්ඝ කිරීමක් සඳහා කිසිදු ප්‍රතිලාභයක් හෝ දීමනා එම ඉදිකිරීමට සම්බන්ධ ව්‍යාපෘති අධ්‍යක්‍ෂකට හෝ කිසිදු නිලධාරියකුට නොගෙවීම.

 

  • ව්‍යාපෘතිය සැලසුම් කළ කාලයට පෙර හෝ ඇස්තමේන්තු පිරිවැයට අඩුවෙන් හෝ සම්පූර්ණ කරන නිලධාරීන්ගේ සේවය ඇගයීම හා ඔවුන්ගේ පුද්ගලික ලිපිගොනුවට ප්‍රසංසාත්මක ලිපි නිකුත් කිරීම. එසේම එම නිලධාරීන් ඊට පසුව එන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතා පදනම මත බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි.

 

  • අනාගත නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් අරමුදල් සම්පාදනය කර ගැනීම. වත්කම් අත්පත් කරගැනීමේදී විශේෂයෙන් බැලිය යුතු නමුත් බොහෝවිට නොබැලෙන පැත්තක් නම් ඒවායේ අනාගත නඩත්තු කටයුතුය. ඇතැම්විට අත්පත් කරගැනීමේ පිරිවැය අඩු නමුත් නඩත්තු පිරිවැය වැඩි සහ අත්පත්කර ගැනීමේ පිරිවැය වැඩි එහෙත් නඩත්තු පිරිවැය අඩු විකල්ප අතර තෝරාගැනීම් කරන්නට සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස වාහන මිලදී ගැනීමේදී විශේෂයෙන් ඉන්ධන පිරිවැය (එංජින් ධාරිතාව) බැලිය යුතුම වන්නේ ඒ සඳහා වෙන්වන මුදල විදේශ විනිමයට පරිවර්තනය වන බැවිනි.

 

  • භාණ්ඩ, සේවා හා ඉදිකිරීම් යන ක්‍ෂේත්‍ර තුනටම අදාළ කර ගත හැකි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්, පොදු ගිවිසුම් ආකෘති භාවිතා කිරීම.  එමගින් ගිවිසුම් ප්‍රදානය කිරීමේ කටයුතු ඉක්මන් කළ හැකිය.  සකස් කිරීමේ ගාස්තු අවම කරගත හැකිය. පොදු ආකෘතිය වෙනස් කිරීමක් අවශ්‍ය අවස්ථාවල පමණක් මිලදී ගැනීමේ කමිටුවේ (procurement committee) නිර්දේශය මත අනුමත කරවා ගැනීමට ඉඩ සැලසිය යුතුය. දෙපාර්ශ්වයක් විසින් අත්සන් තබන ගිවිසුම් පත්‍රවල සෑම පිටුවකම  ඇගයීම් කමිටුවේ කෙටිසන් යෙදීමක් ද අනිවාර්ය කළ යුතුය.

 

  • කිසිම පාර්ශ්වයකට අගතියක් නොවන ඉවත් වීමේ (ගිවිසුම් අවලංගු කිරීමේ) කොන්දේසි (exit clauses) මුල් අවස්ථාවේදීම ඇතුළත් කර ගැනීම. අනර්ථකර ක්‍රියාවන් හෝ වෙනත් හේතු නිසා ගිවිසුම් අවලංගු කිරීමේදී අති විශාල අගතිගාමී වන්දි ගෙවන්නට සිදුවූ අවස්ථා අපි දැක ඇත්තෙමු.

 

 

ජාතික පොදු දේපළ ලේඛනය

 

අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට,  අර්ධ රාජ්‍ය ආයතනයන්ට, අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවලට හා ව්‍යාපෘතිවලට අයිති ඉඩම්, ගොඩනැගිලි, උපකරණ, වාහන හා අනෙකුත් පහසුකම් ඇතුළත් වන පරිදි ඒවායේ පිහිටීම/තිබෙන ස්ථානය, හිමිකම හා බුක්තිය, නඩත්තු කටයුතු සිදුකරන දේශීය නියෝජිතයාගේ විස්තර, වර්තමානයේ දී ගනු ලබන ප‍්‍රයෝජනය, අනාගතයේ අපේක්ෂිත ප‍්‍රයෝජනය හා වටිනාකම දැක්වෙන ජාතික පොදු දේපළ ලේඛනයක් සකස් කිරිම අත්‍යාවශ්‍ය හදිසි කාරණයකි. 

 

දැනටමත් තිබෙන්නාවූ කවර හෝ ලේඛන හා සටහන් පදනම් කරගෙන, පහළම සංවිධාන ඒකකයේ සිට මෙම කාර්යය ආරම්භ කළ යුතුය.  ලේඛනගත සියලු සටහන් භෞතික හඳුනා ගැනීම් සමගත්, භෞතික ලෙස පවතින සියලු වත්කම් ලේඛන සමගත් යනාදී වශයෙන් දෙපැත්තටම පරීක්ෂා කළ යුතුය.  සියලුම පොදු දේපළවල වටිනාකම නිශ්චය කර ඒවා ශේෂ පත්‍රයට ගත යුතුය.  මෙහිදී ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිති හා අනුගත වන පරිදි සකස් කරනු ලබන රාජ්‍ය ගිණුම් ප්‍රමිති අනුගමනය කිරීම වැදගත්ය.

 

අළුතින් පොදු දේපළක් මිලදී ගත් විට හෝ ඉදිකළ විට පොදු දේපළ ලේඛනයේ ඒ බව සටහන් කිරිම අනිවාර්ය විය යුතුය.  එසේ කළ බව සහතික කෙරෙන ලියවිලි එම දේපළ මිලදී ගත් හෝ ඉදිකළ ආයතනය සතුව තබාගත යුතුය. වත්කම් සඳහා ගෙවීම් කිරීමට පෙර එම ලේඛනයේ සටහන් කර ඇති බවට සහතිකයක් ගෙවීම් ලේඛනවලට අමුණා තැබිය යුතුය.  එහි පිටපතක් ජාතික කාර්යසාධන අධිකාරියට යැවිය යුතුය.

 

රාජ්‍ය දේපළ උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගත හැකි මාර්ග ද පොදු දේපළ ලේඛනය මගින් විවෘත කර ගත හැකිය. කිසියම් නිශ්චිත උවමනාවක් සඳහා ඉදිකර හෝ මිලට ගෙන පසුව අතහැර දැමූ හෝ පලදායි ආර්ථික කටයුත්තක යොදා නොගන්නා බොහෝ දේපළ දක්නට ලැබේ.  පොදු දේපළ ලේඛනයක් තිබෙන විට මෙවැනි වත්කම් වහා හඳුනාගෙන වෙනත් අවශ්‍යතාවක් සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන නිසා සැළකිය යුතු ධනයක් ඉතිරි කරගත හැකිය. එමගින් වත්කම් හරස් භාවිතාවන්ද දිරිගැන්විය හැකිය. උදාහරණයක් ලෙස සම්මන්ත‍්‍රණශාලා ගනිමු.  අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් ආයතන සතු සම්මන්ත‍්‍රණශාලා, ඒවායේ ආසන ගණන, පහසුකම්, අය කිරීම වැනි දත්ත ඇතුළත් විවෘත ලේඛනයක් තිබේ නම් සම්මන්ත‍්‍රණ ශාලා අවශ්‍ය  කරන අයට ඒවා කුලියට ලබාගැනීමට අවස්ථාව සැලසේ. සම්පත්වල මෙවැනි හරස් භාවිතාවන් ඇති කිරීමෙන් වියදම් අඩුකර ගත හැකිය.  එපමණක් නොව එයින් එම ආයතනවලට ආදායමක් ද උපයා ගැනීමට හැකිවේ.  

ජාතික පොදු දේපළ භාරකාර අධිකාරිය කාල ක්‍රමානුකූලව හා විධිමත් සැලසුමකට අනුව භෞතික වත්කම් සත්‍යාපනය කිරීමක් කළ යුතුය.

 

 

රාජ්‍ය සම්පත් අවභාවිතය 

 

කෙනෙකු මුදල්, උපකරණ, වාහන, කාලය වැනි තම පෞද්ගලික සම්පත් පරිහරණය කිරීමේදී දක්වන අරපිරිමැස්ම හා සැලකිල්ල තමන් වැඩ කරන රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක  සම්පත් කෙරෙහි නොදක්වන්නේ ඇයි?  මේ ආකල්පමය වෙනස රාජ්‍ය සම්පත් නාස්තිවීම කෙරෙහි බෙහෙවින් බලපා ඇත.

 

 

රාජ්‍ය දේපළ අතරින් නාස්තියේ අපාය මුඛයක් ලෙස හැඳින්විය හැක්කේ ආණ්ඩුවේ වාහන භාවිතයයි.  ආණ්ඩුවේ වාහන අංක තහඩුවලට නියමිත වර්ණයක් යොදා විධිමත් පාලනයක් ඇති කළ යුතුය.  නියමිත වර්ෂ ගණනක් පරණ වූ වාහන වහා ම විකුණා දැමීම සුදුසු වන්නේ පරණ වාහන අළුත්වැඩියාව සඳහා විශාල මුදලක් වැය කරන නිසාත්, හරියාකාර අළුත්වැඩියාවක් නොකෙරෙන නිසාත් ය.  

 

ඇතැම් රාජ්‍ය නිලධාරීහු වර්ෂයෙන් වර්ෂය වාහනය මාරු කරති.  ඔවුන්ට නවීන ම රථ වාහන වුවමනා කරයි.  මෙවැනි අවසරයක් තිබෙන විට එක් අතකින් මුදල් නාස්තිවන අතර අනික් අතින් වාහනය ප්‍රවේශමෙන් පාවිච්චි කිරීමක් ද බලාපොරොත්තු විය නොහැකිය.  නිලධාරියෙකු විසින් තමන්ට වෙන් කරදෙනු ලැබූ වාහනය පාවිච්චි කළයුතු අවම කාලයක් නියම කළ යුතුය. . නිලධාරීන් සඳහා රජය මගින් වාහන මිලදී ගන්නවා වෙනුවට හැකි සෑම විටම ප්‍රමාණවත් ප්‍රවාහන දීමනාවක් ගෙවීමෙන්, පිරිවැය සැලකිය යුතු තරමකින් අඩු කර ගැනීමට හැකි වෙනවා ඇත.

 

අරපිරිමැසුම් දායක වාහන කාර්ය පටිපාටියක් අමාත්‍යවරුන් හා අමාත්‍ය කාර්ය මණ්ඩල හා වෙනත් දේශපාලන අධිකාරීන් සඳහාද යොදා ගත යුතුය.

 

 

@මතු සම්බන්ධයි.

(මීලඟට, 05. වාර්ෂික අය- වැය මෙහෙයුම)

 

ප්‍රකාශනය -

අර්ථ ගවේෂකයෝ, අංක 94-1/8, යෝර්ක් වීදිය, කොළඹ 01.

දුරකථනය - 070 629 2375

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි