SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රොහාන් පෙරේරා හෙවත් නිෂාර් මොහොමඩ් ෆස්ලි 80 දශකයේ පරම්පරාවෙන් මතුව 90 දශකයේ එක්තරා කුලකයක් ඇසුරෙහි කියැවීමක් සිදුකළ

ජීවිතය හැර යෑමෙන් පසු බොහෝ කතාබහට හා ඔහු පැවසූ කරුණු පිළිබඳ කතාබහක් ඇතිකළ පුද්ගලයෙකි.

ඔහු විසින් වරින්වර ප්‍රකාශ කළ මාතෘකා අතර ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කළ විට ලිපි පෙළ මෙතැන් පටන් කොටස් වශයෙන් අපගේ වෙබ් අඩවියේ පළ කෙරෙනු ඇත.

 

ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කළ විට (01- කොටස)

 

හදාරන්නන් වෙත

හදාරන්නන්ගේ මනසට ‘ප්‍රථම ආවේගයක්’ (වඩාත් සුවිශේෂව ප්‍රථම ආවේගයේ තෘප්තිය) ගෙන දෙන්නා වූ සොයා ගැනීම් කිහිපයක් තිබුණා යැයි සිතමු. හසල්, හෙයිඩෙගර් දෙන්නා අමුතු දෙයක් සොයා ගත්තා. අපේ ජීවමාන නිමේෂයන් ඊළඟ මොහොතේ යාන්ත්‍රිකත්වයට හසුවෙලා යාන්ත්‍රික වෙනවා. අපි අපේ ජීවමාන යථාර්ථය කියලා සමරන්නේ අර යාන්ත්‍රික යථාර්ථය. (ආදි සෙන් දහමෙන් මේ කාරණය මතු කරපු අවස්ථා තියෙනවා). එතකොට අපේම ජීවිතයේ කොටසක් මර්දනය කරපු ඉතිහාසය පිස්සන්ගේ ඉතිහාසය හැටියට ධ්‍රැවීකරණය වුණු තැන ඉඳන් අපේ ජීවිත, අර්ථයේ සීමාවන් තුළ කොටු කරන හැටි ෆුකූ සොයා ගත්තා. ලෝකයේ සියළු දර්ශන වාදයන්, ශක්‍යතාවයන් පුද්ගලයාගේ “ නියම ජීවිතය ” මතු කරවන්න යොමු කළ යුතුය, කියලා සාත්‍රේ ජීවිතය පුරා අවධාරණය කළා. (සාත්‍රේව සම්ප්‍රදාය විසින් හඳුන්වන්නේ සාංදෘෂ්ටිකවාදියා කියලා) ලෝකයේ " විවිධත්වය '' නසන “ සීමාව” තුළ අපේ සිතුවිලි කොටු වෙන හැටි ඩෙරීඩා කතා කරනවා.

ඉහත ඡේදයේ ඔක්කෝම දේවල් අර කියපු ගනයේ ප්‍රථම ආවේග ගෙන දෙන්නා වූ සොයාගැනීම්. මේ වාක්‍ය මේ තාක් යහපත්. ඊට පස්සෙ තමයි ගැටලුව. ඒ කියන්නේ මේ සියලු සොයා ගැනීම් වල ප්‍රතිරෝධයන් හරිම පිරිසිදු ලෙස පුරුෂ සන්දර්භයන්. (පුරුෂ නිර්මාණ) වෙනත් විධියකට කියනවා නම් මුල් ඡේදයේ මුල් වචනය වන “ හදාරන්නන් ” කියන්නේ වෙන මොනවත් නෙමෙයි පුරුෂ හැදෑරීම් සන්දර්භයක් කියන එක.

ඩෙරීඩා, පෙන්වන “ සීමාවේ” උපරිම “විවිධත්වය” පවා පුරුෂවාදී එකක්. ස්ත්‍රී සන්දර්භයක් තුළ පිහිටෙව්වාම ඩෙරීඩාගේ විවිධත්වය පවා අතිශය සීමා සහිතයි. සාත්‍රේගේ “ නියම ජීවිතය ” සෙවීමේ ගවේෂණය හරිම සීමා සහිත විධියට එක්තරා රේඛාවක් ළඟ සැරිසරනවා. ඒ තමයි පුරුෂ/ ස්ත්‍රී බෙදුම් රේඛාව, පුරුෂ සන්දර්භයක් තුළ “ නියම ජීවිතය ” සෙවීම අතිශය සීමා සහිත වෙන්නේ, ස්ත්‍රී සන්දර්භයෙන් ප්‍රවේශම් වීම තරම් ජීවිතයට හානිකර භාවිතයක් නැති නිසයි. එහෙම නැතිව සාත්‍රේ කියලා තිබුණා නම් "අපේ නියම ජීවිතය සෙවීම ස්ත්‍රී සන්දර්භයෙන් ආරම්භ කරමු!' කියලා (සාත්‍රේ සමහර තැන්වල වියුක්තව කියනවා ස්ත්‍රී ගති ගුණ තිබීම නිසා නිශ්චිත පිරිමින්ට එයා කැමති වුණ අවස්ථාවන් ගැන !). ලෝකයේ පිස්සන්ගේ ඉතිහාසයන් දෙකක් තියෙන බවත්, එකක් (ෆුකූ සොයාගත්ත පිස්සන්ගේ සිවිල් ඉතිහාසය බවත්, අනෙක ස්ත්‍රීන්ගේ ජීවිතවල ඉතිහාසය වන සිවිල් නොවන පිස්සන්ගේ ඉතිහාසය බවත් ෆුකූට හඳුන ගන්න ශක්තියක් නැහැ. අපේ ජීවමාන නිමේශය අතහැරලා යාන්ත්‍රික නිමේෂයක් සැමරීම දැඩි පුරුෂ සන්දර්භයේ වැඩක්. මේ නිසාම ස්ත්‍රී සන්දර්භයක් තුළ ජීවමාන නිමේෂයන් යාන්ත්‍රිකව සැමරීමේ භාවිතයක් නැති බව හඳුනා ගන්න තරම් හෙයිඩෙගර් හරි හසල් හරි ඥාණවන්ත නැහැ.

ඉතිං, ඉතිහාසයේ, දර්ශනවාදයේ මහා සොයා ගැනීම් හැටියට '' නිර්දේශිත '' ඉහත සොයා ගැනීම් සමූහය පුරුෂ සන්දර්භයේ ප්‍රතිරෝධයන් නිසා හටගත් උත්තේජනයන්, නිර්මාණාත්මකතාවන්: ස්ත්‍රී සන්දර්භය තුළ ඉහත සඳහන්......ප්‍රතිවිරෝධයනුත් නැහැ!

උත්තේජනයනුත් නැහැ! නිර්මාණාත්මකතාවනුත් නැහැ!

ප්‍රතිවිරෝධයත් නිසා උත්තේජනය

අපේ කෘතිය අනුව මේ මාතෘකාව අනිවාර්ය ප්‍රදේශයක් සළකුණු කරනවා. නමුත් මේ කෘතියටම ආවේනික විධියට මම හදන්නේ මේ මාතෘකාවේ අහඹුව සැලකිල්ලට අරන් මගේ පව් සෝදන්නයි.

  • නිර්මාණාත්මක නැති අය ගැන, උත්තේජනයක් නැති අය ගැන “නිර්මාණ කරුවන්ට” ( පුරුෂ ශරීර වලට) කිසි දෙයක් මේ කෘතියෙන් කියැවෙන්නේ නැහැ. (නිර්මාණකරුවන්ගේ උත්තේජක ලෝකයේ කොටසක් වශයෙන් මේ කෘතියට ධන භාවයක් නැහැ.) නිර්මාණාත්මක නැති අයට නිර්මාණයයි, උත්තේජනයයි ගැන නිර්මාණකරුවන්ට උගන්වන්න දෙයක් තියෙනවා. ඒ නිසාම මේ වනාහී නිර්මාණකරුවන් අංග සම්පුර්ණ කරන වෑයමක් නොවෙයි, මිනිස් භාවිතය අංග සම්පුර්ණ කරන වෑයමක්. ඉතිං මගේ දිශාව වෙන්නේ, “පිස්සන් ගැන” පිස්සු නැති අයට උගන්වන්න නොවෙයි, පිස්සන් ලවා පිස්සු නැති අයට උගන්වන්නයි. ෆූකු පිස්සන්ගේ ඉතිහාසය ගැන ලියන්න ගිහිල්ලා අර්ථයේ ඉතිහාසය පෝෂණය කළාට මේ කෘතියෙන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේමයි පිස්සන්ගේ ඉතිහාසයකට දායක වෙන්න තරම් මේ කෘතියට කිසිම ශක්‍යතාවයකුත් නැහැ. (ප්‍රේමයේ ඉතිහාසය ලිවීම විතරක් මේ සම්ප්‍රදායේ විධිමත් ආරම්භය හැටියට පවතිනවා. ඒ අභියෝගයට ලෝකය කවදා සැකසේවිද දන්නේ නැහැ. එතකම්, ලිඛිතව ලෝකයට තියෙන්නේ වර්ගීකරණයක් නැති කොළ කෑලියි, පෙම්හසුන් කිහිපයකුයි විතරයි).
  • භාෂාව ගැන මගේ අරාජිකත්වය තව එක පිම්මකින් ඉදිරියට යනවා. ඒ කියන්නේ මගේ භාෂා නොදැනුමට ලැබෙන ප්‍රතික්‍රියාවක් මේ කෘතියත් එක්ක තව එක පිම්මකින් බලගතු වෙනවා. ඉතිං, මගේ භාෂාව ආයතනික නැති කමට, ව්‍යාකරණ වාදයෙන් පිට පවතිනවාට, ආචාරශීලී නොවෙනවාට, කියවන්නාට අපහසු කරනවාට, ලැබෙන දඬුවම් වලට මුහුණ දීමට මගේ ශක්‍යතාවය තව ඉමකින් පුළුල් වේවි. ලිඛිත භාෂාව මට කරන එකම හානිය මෙපමණයි, ලිඛිත භාෂාව බලයේ පවත්වන සියළුම රාජ්‍යයන් හැකි හැකි තැන මගේ ජීවිතය සීමා කරනවා. (නොලියා හිටියම ඉවරයි!).
  • මේ කෘතියේ කතෘ /පාඨක බල රටාවන් මෙහෙමයි. මතුපිටට නොපෙනෙන සාහිත්‍ය විචාර අර්ථකතනයට පමණක් හසුවන මේ කෘතියේ කර්තෘ උපාය අනුව ස්ත්‍රියක් පුරුෂයින්ට උගන්වන්න වෑයම් කරනවා. මේ වෑයමේ ධන - සෘණ අර්ථය මැනෙන්නේ ලාංකීය සමාජ සන්දර්භය අනුවයි. පිරිමි පාඨකයන්ගේ අර්ථ කතන විභවය - සංජානන දිශාව - පුළුල් එකක් වේවි; තල කිහිපයකින් ස්ත්‍රීන් ගැන හැදෑරීම නිසා. ස්ත්‍රී පාඨකයන්ගේ අර්ථකතන විභවය - සංජානන දිශාව - අතිශය පටු එකක් වේවි; පුරුෂයින් ගැන හැදෑරීම නිසා. ඉතිං ක්ෂණික භාවිතයේ දී මෙම කෘතිය පුරුෂයින්ගේ යහපතටත්, ස්ත්‍රීයගේ අයහපතටත් දායක වේවී. දීර්ඝ කාලීන පැවැත්මේදී ලෝකයේ යහපතට දායක වේවි.
  • හැමදාම මගේ කෘති වලට සිදු උනා වගේ ලාංකීය සංවාද සන්දර්භයෙන් ඈත ප්‍රදේශයක මේ කෘතිය සැරිසරාවි. 75-85 දශකයට වඩා 83-93 දශකයේ සංවාද ආකෘතීන්, අතිශය දුර්වල ආකෘතින් වලට ගාල් වෙලා. (සීමා සහිත පත්තර පිටු සිය ගනනක් බිහිවෙලා ! ) ඉතිං '' වාචාල සංවාදයකට " පිටස්තර සිතුවිලි වලට පවතින ආතතිය එදාට වඩා අද වැඩියි. අනිත් අතට වාචාල සංවාදයේ ආධිපත්‍යය කොළඹින් පිට තැන්වල බලගතු වීම තුළින් ප්‍රකාශ වන්නේ, හැමදාම වගේ කොළඹට අනිත් තැන වල අතිරික්තය විධියට පවතින්න ලැබෙන වාසනා ගුණයමයි. කොළඹ හැමදාම මතු වන්නේ තමන්ගේ අප ද්‍රව්‍ය පිටට යන නිසාම ය. (කොළඹට කිරි අපට කැකිරි?) ඉතිං, මේ කෘතියට හානි නොවිය යුතු නිසාම කොළඹින් පිටත පවතින අභාග්‍යය ගැන මේ කෘතිය සැලකිලිමත් වන්නේ නැහැ.
  • චිරාත් කාලයක් යන තුරු සිවිල් නොවන ජීවයන්ට පවතින්න පුළුවන් කොළඹින් පිටත තැන්වල පමණයි. කොළඹින් පිටත සිවිල් බල ප්‍රදේශයන් පුළුල් කිරීමේ දී බණ්ඩාරනායකගේ ජනතාවාදයට වඩා පිමි කිහිපයක් ප්‍රේමදාසගේ ජනතා වාදය ඉදිරියට ගිහිල්ලා, ඉතිං ජේ.ආර් ගේ දේශපාලනයෙන් පටන් ගත්ත, කොළඹින් පිටත වඩා නිදහස්ව මිනිසාව වඩාත් ආයතනගත කිරීම ප්‍රේමදාස දේශපාලනයෙන් අංග සම්පුර්ණ කෙරෙනවා. සරල චිත්‍රය මෙහෙම එකක්. කොළඹින් පිටත මිනිසාට බණ්ඩාරනායක ආයතනයන් හඳුන්වා දුන්නා. ජේ. ආර්. මිනිසුන්ව ආයතන ගත කළා. ප්‍රේමදාස “ ආයතනයන් ”තුළ මිනිසුන්ව නිදහස් කළා. මේ නිසා කොළඹින් පිට අය නිදහස් ලෙස ආයතන ඇසුරු කරනවා. එහෙම නම් ලාංකීය පොළොවේ මොනම කොටසකවත් මේ කෘතියට දේශපාලනික ලෙස පෙනී සිටින්නට ශක්‍යතාවයක් නැහැ. කවදාහරි දවසක එහෙම වෙනවා නම් වෙන තුරු.......... මෙම කෘතිය ලේනුන්ගේ, සමනලයන්ගේ කැදලි හදන්න කොළ රොඩු වශයෙන් භාවිතා වේවි. මේ සම්බන්ධව මට කරන්න දෙයක් නැහැ. උවමනාවකුත් නැහැ.

දර්ශනවාදයේ දාර්ශනික නොවන අර්ධය

මහා දර්ශනවාදියා පොතක් ලියයි. මහා දර්ශනවාදියා දේශනයක් පවත්වයි. මහා දර්ශනවාදියාට සම්මාන පිදේ. මහා දර්ශනවාදියා ගැන විචාර ලියැවේ. මහා දර්ශනවාදියාගේ ජීවිත කථාව ලියැවේ. දර්ශනවාදියා කුමක් වැනිද? ඩෙරීඩා කියනවා දර්ශනවාදය ඉදිරිපත් වන්නේ තමන්ගේ සීමාවනුත් ප්‍රකාශ කරමින් බව. ඉතිං දර්ශන වාදය හැම විටම එහි අනෙකත්වයට අමතන නිසාම එයට මහා සත්‍යය හැටියට පෙනී සිටින්නට පුළුවන්ලු. මෙන්න මේ සීමා රහිත ලෙස පෙනී සිටීමේ '' සීමාව '' දර්ශනවාදයේ '' සීමාව " ලෙස ඩෙරීඩා සලකනවා.

ඉතිං මේ දර්ශනවාදියා කුමක් වැනිද? හරියටම ඩෙරීඩා විදියමයි. මොකද දර්ශනවාදය පවතින්නේ බොළඳ, සරල, ආධුනික නොවීම මත පමණයි. ඒ කියන්නේ මේවා නොවන තරමට, මේවා නොවන ඕනෑම දෙයක් දාර්ශනිකයි. ඉතිං ලෝකයේ බොළඳ, සරල, ආධුනික දර්ශනවාදයන් හැදෙන්න බැහැ. ඩෙරීඩා විසින් කරන ලද දර්ශනවාදයේ සීමාව සොයා ගැනීම තවත් දාර්ශනික වැඩක් විතරයි. ඒක වැදගත් වන්නේ දාර්ශනිකයන්ට විතරයි. ඒ නිසාම ඒ වැඩෙන් ඩෙරීඩාට ආධිපත්‍යය ලැබෙන්නේත් දාර්ශනික සන්දර්භයක් තුළමයි.

ඉතිං, මේ දර්ශනවාදියා කුමක් වැනිද? අපි ඒක හරියටම බලමු. පොත් ලියලා, දේශන තියලා, ඉවරවෙලා දාර්ශනිකයා " ගෙදර " එනවා. එයාට එහිදී “ දරුවන්” “ බිරිඳ ” සහ තවත් අය මුණගැහෙනවා. මූලික කාරණය මේකයි. එන ගෙදරත් දාර්ශනික නැහැ. හමුවන චරිතත් දාර්ශනික නැහැ. කොහොමද දරුවන්ට දාර්ශනිකව ඇසුරු කරන්නේ? (ඉස්සර ව්‍යාකරණානුකූල භාෂාව ගැන කට්ටිය කථා කරන කොට මම අහන ප්‍රශ්නයක් තමයි ව්‍යාකරණානුකූලව දරුවන් නලවන්න පුළුවන් ද කියලා. නලවන්න පුළුවන් දරුවා නිදා ගන්නේ නැහැ.) ඊළඟට බිරිඳ, ආදරය, සංසර්ගය........ දාර්ශනිකව ප්‍රේම කිරීම...! ඔන්න දාර්ශනිකයාගේ දාර්ශනික නොවන පැවැත්ම දර්ශනවාදයේ බොළඳ අනිවාර්යය, දර්ශනවාදයේ සරල අනිවාර්යය, දර්ශනවාදයේ ආධුනික අනිවාර්යයන්ය.

ඉතිං, මේ දර්ශනවාදියා කුමක් වැනිද? හරි අඩක් දර්ශනවාදියෙක් වැනිය. එහෙම නම් දර්ශනය තුළ, දර්ශනවාදියා තුළ, දාර්ශනිකයාව නියෝජනය වෙන්න පුළුවන් අඩකින් පමණයි. දර්ශනවාදියාගේ ඉතුරු අර්ධය වගේම ජිවිතයේ ඉතුරු අර්ධයත් දර්ශනවාදය තුළ තහනම්. වඩාත් නිවැරදිව කියනවානම්, මේවා වැද්ද ගැනීම කියන්නේ දර්ශනවාදයේ සිවිල් පිළිගැනීමට හානි පැමිණවීමක්. මේ අනුව ඩෙරීඩාගේ සැප දුක කොහොමද? ඩෙරීඩාත් දර්ශනවාදයේ සීමාව ගැන සොය සොයා ඉන්නේ නැතිව, ඩෙරීඩයි එයාගෙ බිරිඳයි අතරේ සම්බන්ධය සෙව්වා නම් ඩෙරීඩාගේ සම්පුර්ණ සීමාවම හෙළි වෙනවා. නමුත් මෙහෙම කිරීම තහනම්. ඒ කියන්නේ, පවතින මිනිස් ආචාර විධි කියන්නේ හරිම දාර්ශනික මෙවලම් විශේෂයක්. දේශපාලන අගයක් අනුව, ප්ලේටෝ කියනවා “සමාජ දාර්ශනික විය යුතුය” කියලා. නමුත් සමාජය දාර්ශනික වුණු නිසාම අපේ ජීවිත වලට වන හානිය ප්ලේටෝට පෙනෙන්නේ නැහැ. ප්ලේටෝ දාර්ශනිකයෙක් නේ. එයාගේ බිරිඳට මේ කාරණය හොඳට පෙනෙන්න ඇති. මේක තමයි ලෝකයේ නො සිදුවන අධ්‍යාපනයේ අවකාශය.

දර්ශනවාදය කියන්නේ ස්ත්‍රීන්ට තහනම් ප්‍රදේශයක්. ඉතින් දර්ශනවාදයේ / වාදියාගේ ස්ත්‍රී සංකල්පයක් කවදාවත් නිපද වෙන්නේ නැහැ. එතැන තියෙන්න පුළුවන් ස්ත්‍රිය නැති ඒකීය රාජ්‍යයක් පමණයි. ඒ රාජ්‍යයේ ස්ත්‍රීන්ට ඉඩ තියෙන්නේ ක්‍රියාවන් තුනකට විතරයි. එකක් දර්ශනවාදය විවේචනය කරන්න. ඒ ජුලියට් මිශෙල්, තෙරේසා ලොරිටස්, කැතරින් ක්ලෙමන්ට් කළා වගේ. අනික දර්ශන වාදයට විරුද්ධ වෙන්න. නැන්සි හාට්සෙක්, හෙලන් ශිෂෝ, ලුෂී අයිරගාරේ කළා වගේ. ඊළඟ එක දර්ශනවාදයට සේවය කරන්න ගයාත්‍රි ස්පිවැක්, ඇනීකා ලැමෙයර්, මේරි ඊගල්ටන් කළා වගේ.

ශ්‍රම විභජනය තුළින් මේක තේරුම් කරන්න හදපු චින්තකයෝ ඉන්නවා. ආර්ථික තලයක ගත්තම හැම සම්භාව්‍ය නිෂ්පාදනයක් පිටුපසම තියෙන “සම්භාව්‍ය නොවන ශ්‍රමයේ” අනිවාර්යය මතු වෙනවා. ආර්ථික නියාමයන්වල උපරිම දර්ශනිකකරණය හැටියට පෙනී සිටින මාක්ස්වාදය තුළ පවා “ සම්භාව්‍ය නොවන ශ්‍රමයට” සංකල්පයක් නැහැ. එංගල්ස් කෙනෙක් නොහිටියා නම් මාක්ස් කෙනෙක් නොහිටින වග හැමදාම කියැවෙනවා. එහෙත් ජෙනී කෙනෙක් නොහිටියා නම් මාක්ස් කෙනෙක් නොහිටින වග කවුරුවත් දන්නේ නැහැ. මාක්ස්වාදය එසේ වීමට ජෙනීගේ ශ්‍රමය කෙහොම දායක වුණාද කියන්න දත්තවත් නැහැ. මූලික වශයෙන් මාක්ස්ගේ එංගල්ස්ගේ ශ්‍රමය තරම් ජෙනීගේ ශ්‍රමය දාර්ශනික නැහැ. මේ අනුව මාක්ස්වාදී ආර්ථික නියාමයන් පවා පැරණි ආර්ථික විද්‍යාවේ අධිකාරවාදී බව එහෙමම පවත්වා ගන්නවා. ශ්‍රම විභජනය නැමැති ශුද්ධ වූ සංකල්පය පවා සිවිල් නොවන ශ්‍රමයේ අතිරික්තයෙන් සිවිල් ශ්‍රමය පෝෂණය කරන්නා වූ, සුරාකන්නා වූ අන්තර්ගතයක් සහිත සංකල්පයක්. කර්මාන්ත හිමියෙක්ගේ ප්‍රාග්ධන සමුච්චය ගැන කියන කොට මාක්ස් කියනවා “ගැහැණුන්ගේ ශ්‍රමය ලාභ වීමත් ” මේකට දායක වන හැටි. එහෙත් ගෘහ මුලිකයාගේ ප්‍රාග්ධන සමුච්චයේ දී ගැහැණුන්ගේ ශ්‍රමය නොමිලේම දායක වීම ගැන මාක්ස් මුකුත් කියන්නේ නැහැ. පැරණි ආර්ථික විද්‍යාවේ තිබුණු ශ්‍රමය සංකල්පයේ, හුදු එසේ හැඳින්වීම තුළ, ශ්‍රමය නිෂ්පාදනය කිරීමේ අනිවාර්ය ශ්‍රම ඵලදාව වංචාවට (සූරාකෑමට) භාවිතා වූ නිසා මාක්ස් එම සංකල්පය “ ශ්‍රම ශක්තිය ” දක්වා විස්ථාපනය කළා. ඉතිං, මාක්ස්ගේ අවසරපත ස්ත්‍රීන් භාවිතා කළොත්, ශ්‍රම ශක්තිය නැමැති සංකල්පය හුදු එසේ හැඳින්වීම තුළ ශ්‍රම ශක්තිය නිෂ්පාදනය කිරීමේ අනිවාර්ය ස්ත්‍රී ශ්‍රම ඵලදාව වංචාවට (සූරාකෑමට) භාජනය වන බව...........මේ ඡේදය දෙවිධියකට අපේ කෘතියට ගැලපෙන්නේ නැහැ. එකක් මේ වනාහී ඒ අයගේ භාෂාව තුළ ඒ අයට ඉගැන්වීම වෙනවා. ඉතිං, ඒ අයගේ භාෂාව පුළුල් කිරීමේ දායකත්වයක්. අනික් අතට “ සිදු වී ඇති දේ ” පෙන්වීම දක්වා ලඝු නොවී “ සිදු කෙරෙන විධිය ” පෙන්වීම තුළ කෘතිය පවත්වා ගැනීම වැදගත්.

සමාජයීය ලෙස ගත්තම ජනප්‍රිය ස්ත්‍රීන් ඉන්නවා. නොබෙල් ත්‍යාගලාභී ස්ත්‍රීන්, කලා නිෂ්පාදනයන් කරපු ස්ත්‍රීන්, මහාචාර්යවරියන්, තව................... ඉන්නවා. එහෙත් දර්ශනවාදය තුළ ස්ත්‍රීන් නැහැ. මේක හරි වැදගත් දළ චිත්‍රයක්. මොකද මේ චිත්‍රය අනුව ස්ත්‍රීන්ට දර්ශනවාදී වෙන්න පුරුෂයින් තරම් දක්ෂ වීම විතරයි අවශ්‍ය. ඒ අවස්ථාව බොහෝම " ළඟයි ". සංසාරේ කවදාවත් උදා නොවන මේ “ ළඟ ” ගැන හිතන්න දර්ශන වාදයට ශක්තියක් නැහැ. ස්ත්‍රියට ඉඩ දුන්න ගමන් මේක වටහා ගැනීම බොහෝම ලේසියි. සොක්‍රටීස් ප්ලේටෝට දේශන දීලා ගෙදර ගියාම බිරිඳට ඉන්නෙත් ප්ලේටෝ නං, සොක්‍රටීස්ව ඉඳුල් හැලියෙන් නාවන්නේත් ප්ලේටෝම නං..........

දර්ශනවාදියාගේ නොහැකියාවන්

දර්ශනවාදය නිසා දාර්ශනිකයාට හැමදාම ලැබුණු වරමක් තමයි ලෝකය හමුවේ අතිශය හැකියාවන් සහිත පුද්ගලයෙක් ලෙස පෙනී සිටීම. දර්ශනවාදය අරන් දැම්මම මේ පුද්ගලයාගේ විශේෂයක් නැති බව කාටවත් පෙනෙන්නේ නැහැ. මේ කාරණය අපට වැදගත් නැහැ. දාර්ශනිකයාගේ අනිවාර්ය නොහැකියාවන් අපි පරීක්ෂා කරමු. ඒ සඳහා දාර්ශනිකයාගේ බිරිඳයි දාර්ශනිකයායි අතර කතාවක් මතු කරමු.

X ගැන කතා කරන බිරිඳ ඊළඟට E ගැන කතාවක් කියනවා. එක පාරට දාර්ශනිකයා අහනවා, ඔයා X ගැන නේද කිය කියා හිටියේ කියලා. බිරිඳ හිනා වෙනවා. E ගැන දිගටම කියනවා. මේ නිමේෂයේදී දාර්ශනිකයා බිරිඳව තුරුළු කරලා භාර ගන්නවා. නැත්නම් බැනලා එලවා ගන්නවා. දාර්ශනිකයා ඉන්න මානසික පසුබිම මත මේක අවස්ථාවන් දෙකක් වුණාට මේ අවස්ථාවන් දෙක ගැනම දාර්ශනිකයාට තියෙන්නේ එකම වැටහීමයි. එක තැනක “ පිස්සු කෙල්ල” කියලා හිනාවෙනවා. අනිත් තැන “ මෝඩ ගෑනි ” කියලා බනිනවා. දාර්ශනිකයාගේ විචාරය නිකුත් වන්නේ “අර්ථය නැති කම” කියන පොලොවෙන්.

* තමන් අවිචාරවත් වෙනවා හැරෙන්න, බිරිඳ මේ අවස්ථාවට මුහුණ දුන්න භාවිතය ගැන ඔහුට කොහෙත්ම වැටහීමක් නැහැ.

* X හා E අතර “ සම්බන්ධය” බිරිඳගේ ජීවිතය තුළ දැකීමට කොහෙත්ම අසමත්. දාර්ශනිකයා, තමන් ඕනෑම සම්බන්ධයක් පිරික්සන්නේ ගණිතමය ඓක්‍යයන් තුළ බව කොහෙත්ම වටහා නොගනී.

* බිරිඳගේ සැබෑ ජීවිතයේ කොටසක් වුනු X ට පසු E (පිළිබඳව) කතා කිරීම ගැන තමන් එක් අවස්ථාවක අසීමිතව ප්‍රීති වන හැටිත්, තව අවස්ථාවක කේන්ති ගන්න හැටිත් ඔහුට දැනෙන්නේ නැහැ.

* ඉතිං, තමන්ගේ ජීවිතයේ අවිචාරී ස්ථාන දෙකකින් හැරෙන්න, තමන්ගේ විචාර ඔළුවේ කොහෙන්වත් බිරිඳව ඇසුරු නොකරන බව දර්ශනවාදියාට වැටහීමක් නැහැ.

*Xසිට E කතා ඇසීමට, පිස්සු කෙල්ලක්, මෝඩ ගෑනියෙක් ඇසුරු කිරීමට, තමන්ගේ ජීවිතය අර්ථවත් නොවන අවස්ථාවන් සමඟ පටලැවීමට තියෙන අවිඥානික කැමැත්ත නිසා දාර්ශනිකයා බිරිඳව සොයා ගන්නා බව මතු වෙනවා.

මොනතරම් අප්‍රසන්න, මිලේච්ඡ දයලෙක්තියක්ද මේක. හරිම සාමාන්‍යව ඉපදුන පුරුෂ දරුවෙක් විශ්වයේ අගයන් සමතුලනය කරනකොට, වේවැල භාජනය වෙන්නේ දාර්ශනික ලෝකයට අසීමිත අගයක් දෙමින්. ඉතිං, නිදහස් ලෝකයේ නිශ්චිත අගයන් දෙනවා කියන්නේ මොකක්ද, නිශ්චිත දේවල් තහනම් කෙරෙන එකටයි. ඉතිං දාර්ශනිකයාට ඉවීම තහනම්, කෑම අනිවාර්යයි. ඇඳුම් සේදීම තහනම්. ප්‍රසන්නව ඇඳීම අනිවාර්යයි. කුස්සිය තහනම්. කියවීම් ශාලාව අනිවාර්යයි. මේ තහනම් ප්‍රදේශ වල සේවය සඳහා අක්කා, නංගි, අම්මා, බිරිඳ වගේ චරිත එක්වෙලා ඉන්නවා.

මේ මහේක්ෂීය බෙදීම ක්ෂුද්‍ර තලයේදී අතිශය මිලේච්ඡ තත්වයක් විදහා පානවා. දැන් මේ පුංචි දාර්ශනිකයාට ජීවිතය වශයෙන් හිතන්න බැහැ. ආකෘතීන් වලින් විතරයි හිතන්න වෙන්නේ. ජීවිතය වගේ වියුක්ත වෙන්න බැහැ. වාදයක් වගේ සංයුක්ත වෙන්න ඕනේ. ජීවිතය වශයෙන් කථා කරන්න බැහැ. ගණිතමය කථා විතරයි පුළුවන්. ජීවිතය වශයෙන් රස විඳින්න බැහැ. නිෂ්පාදනයන් වශයෙන් විතරයි රස විඳින්න පුළුවන්. මේ තත්වයන් යටතේ දර්ශනවාදියෙක් වෙන්න පුළුවන් ආබාධිත මිනිසෙකුට පමණයි. ඉතිං, මේ ආබාධයේ අසහනය වෙනුවෙන්.......

දාර්ශනිකයාට බිරිඳ උවමනා වෙන්නේ සමාජ අඩුපාඩුවකට නොවෙයි. සමාජීය වශයෙන් ඔහු පරිපූර්ණයි..... දාර්ශනිකයෙක්.......?... ජීවිතයේ අංග සම්පුර්ණ අඩුපාඩුවකට බිරිඳ අවශ්‍යයි. නමුත් මේ සම්බන්ධයට ප්‍රේමය කියන්න තරම් අපි පටු විය යුතු නැහැ. මොකද බිරිඳ කියන්නේ මෙතැනදී සමාජයීය අඩුපාඩුවක් මිසක් (සමාජයීය ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ජීවිතය.) ජීවිතයෙන් කොටසක් නොවෙයි.

“ධනේශ්වර ආර්ථික (ක්‍රමයේ) අවසානයත් එක්ක ප්‍රේමය අංග සම්පුර්ණ වෙනවා” කියන කොට එංගල්ස් හරියට හරි. මොකද ධනේශ්වර ක්‍රමය නැති වෙනවා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වල තියෙන සමාජ ආධිපත්‍යය නැති වෙන එකයි. නමුත් මේ අර්ථයෙන් ධනේශ්වර ක්‍රමය නැති වේවිද සැකයක් තියෙනවා. නිදසුනකට “මුළු සමාජයම ස්ත්‍රීන් දක්වා වර්ධනය විය යුතුයි” වගේ සටන් පාඨයකට කවුරු එකඟ වේවිද කියන සැකය මෙතනදි හොල්මන් කරනවා. මොකද ධනේශ්වර ක්‍රමය අපි දකින්නේ මෙහෙම නම්, ස්ත්‍රීන් කියන්නේ අනාගත ජීවිත විශේෂයක් ගෙවන අය. එංගල්ස් කියන අංග සම්පුර්ණ ප්‍රේමය ස්ත්‍රීන් දැනටමත් භුක්ති විඳිනවා. ස්ත්‍රීන්ගේ ජීවිතවල සමාජ ආධිපත්‍යය ප්‍රබල නැහැ. පුරුෂ ආධිපත්‍යය (ස්ත්‍රී ද්විතීයක සංස්ථානය) ප්‍රබලයි. වෙනත් විධියකට කියනවා නම් සමාජ ආධිපත්‍යය ස්ත්‍රීන් හමුවට එන්නේ පුරුෂ ආධිපත්‍ය ආකෘතියෙන්.

ඉතිං දර්ශනවාදියාගේ මේ නොහැකියාව නොවෙන්න, එයා ධනේශ්වර ක්‍රමයට මේ තරම් ගොදුරු නොවෙනවා කියනවාට වඩා, ධනේශ්වර ක්‍රමය මේ තරම් පවත්වා ගන්නේ නැහැ කීම වඩා සුදුසුයි. මානුෂික සමාජයක සටන් පාඨයකින් ඉදිරියට එන මාක්ස්වාදය, දාර්ශනික නිසාම, ජීවවාදී නොවන නිසාම, නහය අල්ලන්නේ මුහුණ වටේ අත යවලා. කෙළින්ම නහය අල්ලන්න පුළුවන් බවක් පෙන්වන ස්ත්‍රී සිතුවිලිත් වාදයක පැටලිලා. මාක්ස්වාදයට සමීප ආබාධයක පැටලිලා.

ඉතිං, දර්ශනවාදයේ නොහැකියාවන් මොනවාද? මිනිසාගෙන් හරි අඩක් සැලකිල්ලට ගන්න ඒකට නොහැකියි. මේ නිසා මිනිස් ශිෂ්ඨාචාරයේ අතීතයේ හරි අඩකුයි, වර්තමානයේ හරි අඩකුයි. අනාගතයේ හරි අඩකුයි දර්ශන වාදයෙන් පිට පනිනවා. අතීතයේ, වර්තමානයේ, අනාගතයේ වැරදීම්, අතපසු වීම්, බොළඳකම්, ආධුනිකකම්, ප්‍රේමයන්, සරලකම්, බැරිකම් සැලකිල්ලට ගැනීම තහනම්. එහෙම නැති නම් මිනිසුන්ට තරම් නොවන කටයුත්තක්. ඓතිහාසිකව ගත්තම ස්ත්‍රීන්ගේ රහස්‍ය භාවිතයක්. (ගැහැණු වැඩක්.) නමුත් හැමදාම දාර්ශනිකයා වැරදීම්, අතපසුවීම්, බොළඳකම්, ආධුනික කම්, ප්‍රේමයන්, සරලකම්, බැරිකම්වලට පැටලෙනවා වගේමයි, එක් එක් දාර්ශනවාදයන් කියා හිටින “මහා වැඩ කිඩ” කවදාවත් පෙන්වන්න ලැබිලත් නැහැ.

දර්ශනවාදයේ නොදැනුමෙන් ලෝකයාට සිද්ධ වුණ විශාල යහපතක් තියෙනවා. ඒ දර්ශනවාදය ජීවිතයෙන් ඉගෙන නොගත්තට, ජීවිතය දර්ශන වාදයෙන් හැමදාම ඉගෙන ගන්නවා. ඉතිං දර්ශනවාදය එන්න එන්න ග්‍රාම්‍ය තීරණවලට බැස්සට ජීවිතය එන්න එන්නම විශාල තීරණ හරහා යමින් තියෙනවා. නිදසුනකට මෙවැනි කෘතියක් ලියන්න අවකාශය ලැබීමත් ඒ විශාලත්වයේම කොටසක්.

@රොහාන් පෙරේරා

උපුටාගැනීමකි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි