ප්‍රතිපත්තිමය හැරවුමක්ද, තාවකාලික පැලැස්තරයක්ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වාණිජ ප්‍රතිපත්තියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක්
සනිටුහන් කරමින්, මාර්ගගත ඔට්ටු ඇල්ලීමේ සහ සූදු සමාගම් සමඟ පැවති වාණිජ සබඳතා බිඳ දැමීමට පියවර ගෙන තිබේ. එළඹෙන දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් යුත් තරගාවලිය සහ පෙබරවාරි - මාර්තු මාසවලදී එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනකින් හා එක්දින තරග තුනකින් සමන්විත සංචාරය සඳහා වාණිජ හා විකාශන නිෂ්පාදන අයිතීන් ලබා දීමට කැඳවා ඇති අභිලාෂ ප්‍රකාශන (EoI) ටෙන්ඩරයෙන් ඔට්ටු ඇල්ලීමේ සමාගම් සම්පූර්ණයෙන්ම බැහැර කර ඇත.
2026 දෙසැම්බර් 4 වන දින අයදුම්පත් භාරගැනීම අවසන් වන මෙම ටෙන්ඩරය සඳහා සෘජු සහ ආදේශක (surrogate) ඔට්ටු ඇල්ලීමේ, මාර්ගගත ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ව්‍යාපාර සුදුසුකම් නොලබන බවට ඇතුළත් කර ඇති පැහැදිලි වගන්තිය, මෙරට ක්‍රිකට් අනුග්‍රාහකත්ව ක්ෂේත්රය තුළ දැඩි අවධානයක් දිනාගෙන තිබේ.
මෙම තීරණයේ වඩාත්ම ප්‍රශංසනීය සහ වැදගත්ම අංගය වන්නේ සෘජු ඔට්ටු සමාගම් පමණක් නොව, 'ආදේශක ප්‍රචාරණය' හෙවත් වෙනත් වෙළඳ නාමයන්ට මුවා වී සූදු ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපක්‍රමයද නිශ්චිතවම තහනම් කර තිබීමයි. ක්‍රිකට් ක්‍රීඩාව තුළ මෙම ආදේශක ප්‍රචාරණය කලක පටන් දැඩි විවාදයට තුඩු දුන් කාරණයක් විය.
ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබූ '1xBet' නම් ඔට්ටු සමාගමට, එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන ටෙස්ට් තරගයේදී '1xBAT' යන විකල්ප වෙළඳ නාමය යටතේ ප්රමුඛ ප්‍රචාරණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම මීට පෙර ඉඩ ලබා දී තිබීම ඊට ආසන්නතම උදාහරණයයි. නීතිමය සීමාවන්ගෙන් රිංගා යමින් දේශීය ප්‍රේක්ෂකයින් වෙත සිය ව්‍යාපාර ගෙන යාමට සූදු සමාගම් භාවිතා කළ එම හිඩැස වසා දැමීමට මෙවර ටෙන්ඩර් වගන්තිය හරහා උත්සාහ ගෙන තිබීම, පෙර පැවති ලිහිල් පිළිවෙතෙන් සැලකිය යුතු ලෙස බැහැර වීමක් ලෙස හඳුනාගත හැකිය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම ප්‍රතිපත්තිමය පෙරළිය දෙස විචාරාත්මකව බලන විට, පසුගිය වසර කිහිපය තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඔට්ටු සමාගම්වල ප්‍රධාන ප්‍රචාරණ වේදිකාවක් බවට පත්ව තිබූ ආකාරය අමතක කළ නොහැකිය.
2022 වසරේදී ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම ඓතිහාසික ආසියානු කුසලාන ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේදී පවා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේ 'Fairplay' නම් මාර්ගගත සූදු සමාගමයි. ජාතියේම අවධානය සහ ගෞරවය දිනාගත් ක්‍රීඩා ජයග්‍රහණයක් හරහා සූදු වෙළඳ නාමයකට අසීමිත ප්‍රචාරණයක් හා සමාජ පිළිගැනීමක් ලැබීම පිළිබඳව එකල ප්‍රබල විවේචන එල්ල විය. එවැනි පසුබිමක, ක්‍රිකට් ආයතනය දැන් ගෙන ඇති මෙම පියවර හුදෙක් සදාචාරාත්මක අවබෝධයකින් පමණක් පැන නැගුණු තීරණයක්ද යන්න සලකා බැලිය යුත්තේ වර්තමාන නියාමන පරිසරය හා සසඳමිනි.
මෙරට මාර්ගගත සූදු ව්‍යාපාරයට එරෙහිව රජයේ නියාමන ආයතන මේ වන විට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම තීරණයට ඍජුවම බලපා ඇති බව පැහැදිලිය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), 2024 සූදු නියාමන අධිකාරී පනත (Gambling Regulatory Authority Act of 2024) බලාත්මක කරමින් බලපත්‍ර නොමැතිව මාර්ගගත ඔට්ටු සහ සූදු සේවා සපයන වෙබ් අඩවි 24 කට ප්‍රවේශය අවහිර කරන ලෙස විදුලි සංදේශ සේවා සපයන්නන්ට මෑතකදී නියෝග කළේය. වලංගු බලපත්‍රයක් නොමැතිව මාර්ගගත සූදු සේවා සැපයීම පමණක් නොව, ඒවා ප්‍රවර්ධනය කිරීමද නීතිමය වරදක් බව නියාමන කොමිසම අවධාරණය කර ඇති පසුබිමක, ඉහළ යන නියාමන පීඩනයට අනුගත වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොවැළැක්විය හැකි කරුණක් වී තිබේ.
රටේ ජනප්‍රියම ක්‍රීඩාව විවාදාත්මක සූදු කර්මාන්තයෙන් දුරස් කිරීමට ගත් මෙම පියවර සාධනීය ආරම්භයක් ලෙස අගය කළ යුතු වුවද, හුදු ටෙන්ඩර් නිවේදනයකින් පමණක් ක්‍රිකට් ක්‍රීඩාව හා ඔට්ටු ව්‍යාපාරය අතර ඇති සබඳතාව මුළුමනින්ම අවසන් කළ නොහැකිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැබෑ කැපවීම උරගා බැලෙන්නේ මෙම තහනම කාන්තා ක්‍රිකට් සංචාර දෙකකට පමණක් සීමා නොකර, පිරිමි ජාත්‍යන්තර තරගාවලි, ක්‍රීඩාංගණ වටා ප්‍රදර්ශනය වන දැන්වීම් පුවරු, රූපවාහිනී විකාශන ප්‍රචාරණ සහ ජාතික කණ්ඩායම් අනුග්‍රාහකත්වයන් ඇතුළු සමස්ත ක්‍රිකට් පද්ධතිය පුරාම එක හා සමානව ක්‍රියාත්මක කරන්නේද යන්න මතය. දැනට ක්‍රියාත්මක වන අනුග්‍රාහකත්ව ගිවිසුම් සහ විකාශන හවුල්කාරිත්වයන්ද යළි සමාලෝචනය කරමින් ස්ථාවර හා පොදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට අපොහොසත් වුවහොත්, මෙම තීරණයද දීර්ඝකාලීන ප්රතිසංස්කරණයක් වෙනුවට තාවකාලික පැලැස්තරයක් පමණක් බවට පත්වීමේ අවදානම බැහැර කළ නොහැකිය.

