SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමිල්නාඩු ප්‍රාන්තයේ ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයේ පාම්බාර් වේල්ල ශ්‍රී ලාංකික දෙමළ

පුනරුත්ථාපන කඳවුරේ අලුතින් ඉදිකරන ලද නිවාස 148ක් ජනතා අයිතියට පත් කිරීම තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේ (C. Joseph Vijay) මහතා අතින් ඊයේ (නොවැම්බර් 26) සිදු කෙරිණි. චෙන්නායි හි පිහිටි ප්‍රාන්ත මහලේකම් කාර්යාලයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහ ඇමතිවරයා මෙම අවස්ථාවට එක් විය.

 

 

තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් ඉන්දීය රුපියල් කෝටි 8.52ක වියදමින් මෙම නිවාස ඉදිකර ඇති අතර, එම නිවාස සඳහා ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු මූලික යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් තවත් ඉන්දීය රුපියල් කෝටි 1.37ක මුදලක් වැය කර ඇති බව ප්‍රාන්ත රජයේ නිල නිවේදනයක දැක්වේ. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, තමිල්නාඩු ප්‍රාන්තය පුරා පිහිටි පුනරුත්ථාපන කඳවුරුවල අබලන් වූ තාවකාලික නිවාස වෙනුවට ස්ථිර නිවාස ඉදිකර දෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ පුළුල් සුබසාධන වැඩපිළිවෙළක තවත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

 

 

නිවාස විවෘත කිරීමට සමගාමීව, තමිල්නාඩුවේ පුනරුත්ථාපන කඳවුරුවල වෙසෙන පවුල් 19,710කට අයත් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් 56,638 දෙනෙකු සඳහා ලබාදෙන මාසික මූල්‍ය ආධාර දීමනාව ඉහළ නැංවීමේ වැඩසටහන ද මහ ඇමති විජේ විසින් ආරම්භ කරන ලදී.

 

ඒ අනුව සංශෝධිත නව මාසික දීමනා පහත පරිදි වේ.

 

 

  • පවුල් ප්‍රධානීන් සඳහා ඉන්දීය රුපියල් 1,500 සිට රුපියල් 1,800 දක්වා මුදල ඉහළ නංවා ඇත.

  • වයස අවුරුදු 12 සහ ඊට වැඩි පවුලේ සාමාජිකයින් සඳහා ඉන්දීය රුපියල් 1,000 සිට රුපියල් 1,200 දක්වා ඉහළ නංවා ඇත.

  • වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා ඉන්දීය රුපියල් 500 සිට රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇත.

 

මෙම දීමනා ඉහළ නැංවීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජයට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 14.95ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බව ද වාර්තා වේ. මෙම අවස්ථාවට තමිල්නාඩු අනේවාසික දෙමළ සුබසාධන අමාත්‍ය කේ. තෙන්නරසු, ප්‍රාන්ත ප්‍රධාන ලේකම් එම්. සායි කුමාර් සහ මහජන හා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවේ ලේකම් ඊ. සුන්දරවල්ලි ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව ඇත.

 

 

නවතම ලිපි