"මව්බිම" සහ "Ceylon-Today" පුවත්පත් හදිසියේ වසා දැමීමත් සමඟ එහි මාධ්‍යවේදීන් ඇතුළු
සේවක පිරිස මුහුණ දී ඇති වැටුප් හා සේවක අර්ථසාධක අරමුදල් ගැටලුව පසුබිම් කරගනිමින්, ලංකා ඊ නිව්ස් (Lanka e News) වෙබ් අඩවියේ විශේෂ ලියුම්කරුවෙකු විසින් 2026 නොවැම්බර් 26 දින පළ කරන ලද මෙම ලිපිය මඟින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ වත්මන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳව ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රශ්න රැසක් මතු කරයි.
2005 ජනාධිපතිවරණ ගනුදෙනුව, RADA ව්‍යාපෘතිය, ඊ-වීසා (E-visa) ක්‍රියාවලිය සහ වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් ලියුම්කරු විසින් එල්ල කරනු ලබන චෝදනා මෙන්ම ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය පිළිබඳ ඔහුගේ විග්රහයන් ද මෙහි අන්තර්ගත වේ. මෙම ලිපියේ අඩංගු සියලුම චෝදනා, අදහස් සහ උපකල්පන මුල් ප්රකාශනය වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සහ අදාළ ලියුම්කරුගේ ස්ථාවරයන් පමණක් වන අතර, මාධ්‍ය සේවක අයිතිවාසිකම් හා රාජ්‍ය වගවීම පිළිබඳව පවතින පොදු කතිකාව පාඨක අවධානයට යොමු කිරීමේ අරමුණින් සහ ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට සිය ප්‍රතිචාර දැක්වීමේ අයිතිය සුරකිමින් මෙම ලිපිය පහත පරිදි උපුටා දක්වමු.
''ටිරාන් අලස්'' නම කියන කොට පැලවත්ත ලොක්කන්ගේ ''මුඛ පුට්ටු'' වෙන්නේ ''මව්බිම - Honeypot '' එකේ පැලවත්ත ගිලී ඇති නිසාද ? නැත්නම් දෙගොල්ලෝ එක්ව ''ෆොනීගේ කැම්පේන් සල්ලි'' බිලියන ගණනකට වගකිවූ නිසාද ?
විශේෂ ලියුම්කරුවකු විසිනි.
මව්බිම හා Ceylon-Today සේවකයන් මහමගට...
ශ්‍රීලංකා ඉතිහාසයේ සුප්‍රසිද්ධම දේශපාලන ''ඩීල්කරුවා'' වන ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස් සභාපතිත්වය දරන Ceylon News Papers (Pvt) Ltd. සමාගම විසින් අවුරුදු 15කට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය ''මව්බිම හා Ceylon-Today'' පුවත්පත් හදිසියේම කිසිවෙකුටත් නොදන්වා පසුගියදා වසා දැමීය. මේ නිසා පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදීන් ඇතුළු සියලු තාරාතිරමේ සේවකයන් සියයකට අධික පිරිසක් මහ මගට ඇද වැටුණි.
මේ හේතුවෙන් පුවත්පතට සේවය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු සේවකයයෝ සියල්ල, පුවත්පත් සමාගම විසින් තම වැටුප් නොගෙවීම, සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම වැනි හේතු සඳහන් කරමින් මාධ්‍ය සේවක අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන හරහා කම්කරු කොමසාරිස් ජෙනරාල් නදීකා වටලියද්දට පැමිණිලි කළහ.
ටිරාන් අලස්ට නීතිය ක්‍රියාත්මක කරන්න අනුරගේ ආණ්ඩුව බයද?
මෙම ගැටළුවට පැහැදිලි උත්තරය ''ඔව්'' මේ ආණ්ඩුව ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්ට අත තියන්නේ නැහැ කියන එකයි. මේ සඳහා ආසන්නම උදාහරණය ටිරාන් අලස්ගේ පාර්ශවය මව්බිම හා Ceylon-Today සේවක ගැටළුව පිළිබඳ කම්කරු කොමසාරිස්වරිය කැඳවූ රැස්වීම නොසළකා හැරීමය. ටිරාන් අලස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු පැහැදිළි අපරාධ අවස්ථා කීපයක් තිබුණත් අවම වශයෙන් ටිරාන් අලස්ගේ නමවත් ප්‍රසිද්ධියේ කීමෙන් වැළකී සිටීමට NPP ආණ්ඩුවේ ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වගබලා ගන්නා බව මෙරට ජනතාවට නම් දැන් නොරහසකි.
ටිරාන් අලස්ට එරෙහි චෝදනා අංක 01 (2005 ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයට LTTE යට අල්ලස් දීමේ බැසිල්- එමිල් කාන්තන් ගනුදෙනුව)
ටිරාන් අලස් විසින්ම හෙළිකරන ලද තොරතුරු වලට අනුව, අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2005 ජනාධිපතිවරණයට පෙර LTTE ය හා සම්බන්ධතාවක් ගොඩනගා ගත හැකි කිසිවෙකු බැසිල් රාජපක්ෂ හට මුණගස්වන ලෙස ටිරාන් අලස්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ටිරාන් ගේ මිත්‍රයෙකු වූ LTTE සාමාජික එමිල් කාන්තන් හා මහින්දගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ අතර හමුවක් සංවිධානය කරන්නට ටිරාන් අලස් හට හැකිවී තිබේ.
මහින්ද රාජපක්ෂගේ 2005 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂ හා කොටි සාමාජික එමිල් කාන්තන් අතර හමුව ටිරාන් අලස් ගේ වෝඩ් පෙදෙස කාර්යාලයේදී පවත්වා තිබු අතර එහිදී බැසිල් රාජපක්ෂ LTTE සංවිධානයට යෝජනා කර තිබුණේ තම සහෝදරයා වන එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරු නැගෙනහිර ජනතාව ඡන්ද වර්ජනයකට යොමු කිරීමට ( උතුරු නැගෙනහිර ජනයා ඡන්දය දුනහොත් ඒවා ජනාධිපතිවරණයේ මහින්දගේ ප්‍රතිවාදියා වූ එවක අගමැති රනිල්ට වැටෙනු ඇතැයි අනුමානයක් තිබිණ.) හා රාජපක්ෂ පවුලේ කිසිවෙකුට ප්‍රහාරයක් එල්ල නොකිරීම සඳහා LTTE සංවිධානයට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා දිය හැකි බවයි.
ඒ අනුව LTTE සංවිධානයට මුදල් හා බෝට්ටු අවශ්‍ය බව එමිල් කාන්තන් බැසිල් රාජපක්ෂ හට දන්වා ඇති අතර මුලින්ම අත්තිකාරම් වශයෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයේ ගමන් මලු (Travelling Bag) වල බහා තම කාර්යාලයේදී එමිල් කාන්තන්ට ලබා දුන් බව ටිරාන් අලස් විසින් 2010 ජනවාරි 22 ඔහුගේ නිවසට එල්ලවූ අත් බෝම්බ ප්‍රහාරයකින් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළිදරව් කරන ලදී.
කෙසේ වෙතත් 2005 දී මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් LTTE යට අති විශාල මුදලක් හා වෙනත් දේ අල්ලස් වශයෙන් ලබා දුන් බව පළමුව හෙළිකළේ එම මැතිවරණයේදී ඡන්ද 1,80,786 කින් මහින්දට පරාජය වූ රනිල් වික්‍රමසිංහ විසිනි. එම චෝදනාව ඊට වසර 02 කට පසුව මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල සාමාජිකයින් වූ මංගල සමරවීර හා ශ්‍රීපති සුරියආරච්චි ද මහින්දගේ ආණ්ඩුවෙන් විසි වූ පසු ප්‍රසිද්ධියේ හෙළිකරනු ලැබීය..
ටිරාන් අලස්ට එරෙහි චෝදනා අංක 02 ( RADA ගනුදෙනුව)
2004 සුනාමියෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීමේ ''ජයලංකා'' නම් රාජ්‍ය ව්‍යාපෘතියේ කොටසක් ලෙස ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල නිවාස ඉදිකිරීම සඳහා, උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය (Reconstruction And Development Agency - RADA) නම් ආයතනයක් ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත්තේය.
එම ව්‍යාජ සමගම යටතේ කිසිදු නිවසක් ඉදි නොකර රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යන චෝදනා එල්ලකොට නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ 2016 වසරේ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කොට RADA ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, RADA හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සාලිය වික්‍රමසූරිය, RADA හි හිටපු ගණකාධිකාරී ජයන්ත ඩයස් සමරසිංහ සහ හිටපු කොටි සාමාජික ඇන්තනි එමිල් කාන්තන්, යන සිව් දෙනාට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීය.
මෙම නඩුවේදී ටිරාන්ලාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුණේ RADA සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වූ ''චන්ද්‍රකාන්ති ප්‍රනාන්දු'' නමැත්තියකි. 2019 නොවැම්බර් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 ජුලි 10 වැනිදා මහාධිකරණය ඉදිරියේ කැඳවූ මෙම නඩුවේදී, නඩුවෙන් පසු විදෙස් රටක පදිංචියට ගිය බව කියන චන්ද්‍රකාන්ති ප්‍රනාන්දු සිය සාක්ෂියේ මුල් ස්ථාවරය වෙනස් කර පැමිණිල්ලට ඉතා අගතිගාමීව නඩුව උඩුයටිකුරු කරමින් සාක්ෂි දුන්නේ, තමන් RADA සමාගමට ගෙවූ චෙක්පත්වල මුල් පිටපත් නොදුටු බවටයි.
එහෙත් පුදුමයකට මෙන් පැමිණිල්ල මෙහෙයවූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මෙම නඩුවේ ප්‍රධාන සක්ෂිකාරියගේ ''පැමිණිල්ලට ඉතා අගතිගාමී සාක්ෂියට'' එතරම් විරෝධයක් නොපෙන්වා මම පරස්පරතාව මත RADA නඩුව ඉදිරියට ගෙන නොයන බව අධිකරණයට දැනුම් දුන්නේය. අවසානයේදී මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාට සිදුවුයේ ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් නඩුවෙන් මුදා හැරීමට නියෝග කිරීමටය. නඩුවේ අවසානය ''Set-up'' එකක් බව මේ ගැන උනන්දුවක් දැක්වූ සෑම අයෙකුටම දැන් පැහැදිලි වන්නේ දුෂණයට වංචාවට එරෙහි වර්තමාන NPP ආණ්ඩුව යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවට ඇපෑලක් නොගැනීමයි.
ටිරාන් අලස්ට එරෙහි චෝදනා අංක 03 (E-visa ගනුදෙනුව)
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අතහැර පලායාමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය කැබිනට් මණ්ඩලයේ බලගතුම අමාත්‍යධුරයක් වූ මහජන ආරක්ෂක අමාත්‍යංශය භාර දුන්නේ ඔහුගේ පරම සතුරෙකු ලෙස ක්‍රියාකළ ටිරාන් අලස්ටය. ඒ ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමටය. මෙම අමාත්‍යංශයට පොලීසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු බලවත් ආයතන කීපයක්ම ඇතුලත්කර තිබිණි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් 2023 සැප්තැම්බර් 08 දාතම සහිත කැබිනට් පත්‍රිකාවක් (කැබිනට් පත්‍රිකා අංක 38/2023) 2023 සැප්තැස්මර් 11 වැනිදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරමින් IVS-GBS Global Services නම් ආයතනයක් ‘E-Visa, Consular Services, Visa Services, Bio Metric Services and Tourism Promotion’ මැයෙන් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළේය. එතෙක් ශ්‍රී ලංකාවේ මෙම සේවාව ලබා දුන්නේ ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය විසිනි. මොබිටෙල් ආයතනය විසින් සුළු සේවා ගාස්තුවක් අයකර සංචාරකයන්ගේ අයකර ගන්නා සෙසු සියලු මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දුන්නේය.
මෙම සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා Sri Lanka Mobitel ආයතනය විසින් ව්‍යාපෘති වාර්තාවක් සකස් කර තිබියදී කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකර ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයද නොමග යවා ඉන්දීය සමාගමට මෙම සේවාව භාර දී තිබිණි. මෙම පැවරීම පසුපස බරපතල දුෂණයක් ඇතිබව බොහෝ පිරිස් චෝදනා කළහ. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ටිරාන්ගේ උපදෙස් මත අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකළ ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට සිරගත වන්නට සිදුවිය. අදටත් මෙම චෝදනාවට NPP ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැත.
ටිරාන් අලස්ට එරෙහි චෝදනා අංක 04 (වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා එවකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගේ වුවමනාව මත, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් ටිරාන් අලස්ට හා දේශබන්දු තෙන්නකෝන්ට පුද්ගලික අමනාපකම් තිබු ව්‍යාපාරික හාඩි ජමාල්ඩීන්ට අයත් වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමට හිටපු පොලිස්පති ඇතුළු පිරිසට අධිචෝදනා ගොනුකර ඇත.
එහෙත් මෙම සිදුවීමට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ද සම්බන්ධ බවට වර්තමාන පොලිස්පතිවරයා පවා හිටපු පොලිස්පතිවරයාගේ දුෂණ සොයාබැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළත්, අද වනතෙක් ටිරාන් අලස් ගෙන් ශ්‍රී ලංකා පොලිසිය මේ පිළිබඳව ප්‍රකාශයක් හෝ ලබාගෙන නැත.
ටිරාන් අලස්ට එරෙහි චෝදනා අංක 05 (හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් කෝටි 30ක කප්පම් ඉල්ලීම)
මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකකළ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ''හරක් කටා'' 2025 මැයි14 දින අධිකරණයට පැමිණ යන අතරතුර මාධ්‍ය වලට ප්‍රකාශ කළේ ටිරාන්ට හා දේශබන්දු තෙන්නකෝන් හට කෝටි 30ක කප්පම් මුදලක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමන්ව තංගල්ල බන්ධනාගාරයේ හුදකලාව සිරගත කර සිටින බවයි. NPP ආණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආනන්ද විජේපාල මෙම බරපතල චෝදනාව පිළිබඳ පාර්ලිමේන්තුවට පැවසුවේ වහාම මේ ගැන විමර්ශනයක් සිදුකරන බවයි. එහෙත් අද වනතෙක් මේ චෝදනාව ගැන හරක් කටාගෙන් හෝ කට උත්තර ගෙන නැත.
ටිරාන් අලස්ට එරෙහි චෝදනා අංක 06 (අපේ ජනබල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගෙන ගොස් මරණ තර්ජන කිරීම)
2020 අගෝස්තු 05 දින පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අතුරලියේ රතන, ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු භික්ෂුන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට සහය පළ කරමින් මහ මැතිවරණයට ''අපේ ජන බල පක්ෂය'' නම් පක්ෂයකින් තරඟ කළහ. මේ පක්ෂයේ මහලේකම් වුයේ වේදිනිගම විමලතිස්ස නම් භික්ෂුවයි. සභාපති වුයේ වර්තමාන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී D.V. චානකගේ මාමණ්ඩිය වූ සමන් පෙරේරා නමැත්තෙකි. ඔහු ඇතුළු 05 දෙනෙක් දකුණු අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හුවමාරුවේදී නාඳුනන ඝාතකයන් පිරිසක් අතින් 2024 ජනවාරි මස 22 ඝාතනය වුහ.
මහ මැතිවරණයේ ප්‍රථිපල අනුව අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය බෙදා ගැනීමට අතුරලියේ රතන හා ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුන් අතර ගැටුමක් හටගෙන තිබුණි. පසුව අතුරලියේ රතන එවකට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ පිරිසක් හා එක්ව වේදිනිගම විමලතිස්ස භික්ෂුව පැහරගෙන ගොස් ගෝඨාභය හමුවට පමුණුවා තිබේ. එහිදී ජනාධිපති ගෝඨාභය උපදෙස් දී ඇත්තේ ටිරාන් අලස් හමුවට ගොස් ගැටළුව විසඳා ගන්නා ලෙසයි. පසුව වේදිනිගම විමලතිස්ස භික්ෂුව ටිරාන් අලස්ගේ 'වෝඩ් පෙදෙස' කාර්යාලයට ගෙන ගොස් පහරදී මරණ තර්ජනය කර, හිස් කොළවලට අස්සන් ගත් බව විමලතිස්ස භික්ෂුව පසුව පොලිස් කටඋත්තර වලදී සඳහන් කර තිබේ. මෙම චෝදනාවට අතුරලියේ රතන රිමාන්ඩ්ගත කළත් අද වනතුරු ටිරාන් අලස්ගෙන් කටඋත්තරයක් හෝ ගෙන නැත.
මීට අමතරව විමර්ශනය කරන්නේ නම්, අලස් විසින් රහසේ විදේශයන්හි සඟවා ඇති බිලියන ගණන් වටිනා වත්කම් හා දේපොළ පිළිබඳව ජාත්‍යන්තර වාර්තා රැසක් පිටවී ඇතිමුත්, නිරුපමා-තීරු නඩේෂන්ලාගේ ''පැන්ඩෝරා පත්‍ර, නාමල්ගේ ඩුබායි ගිණුම් '' ගැන පාර්ලිමේන්තුව දෙදරන්න කථා කරන NPP ලොක්කෝ ටිරාන්ගේ විදෙස් වත්කම් ගැන 'මීක්' නැත.
ටිරාන්ගේ නම කියන්න NPP ලොක්කන් බය ඇයි ?
මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂක ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී නිල වශයෙන් පරාජයට පත්වීමෙන් පසු එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේය. ජනාධිපතිවරණයට ජෙනරාල් ෆොන්සේකා ඉදිරිපත් වීමෙන් පසු ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා විවිධ පුද්ගලයන් ගෙන් අති විශාල මුදල් සම්භාරයක් ලැබුණි. එවකට ප්‍රසිද්ධ වී තිබුනේ රුපියල් මිලියනයකට වැඩි පරිත්‍යාග ලබා දීම සඳහා පමණක් සන්ධානයේ මහලේකම් වූ ටිරාන් අලස් හරහා ෆොන්සේකා හමුවීමට ඉඩ ලබා දුන් බවයි.
මෙලෙස ලැබුණු අති විශාල බිලියන ගණනක මුදල් පාලනය භාරව තිබුනේ ටිරාන් අලස්, ෆොන්සේකාගේ ලේකම් සේනක පෙරේරා, ෆොන්සේකාට සහය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර, මලික් සමරවික්‍රම වැනි කීප දෙනෙක් අත බව එවකට හංස සන්ධානයට සහය දුන් පිරිස් සාක්ෂි දරනු ඇත. ෆොන්සේකා සිරගත කිරීමෙන් පසු මෙම මුදල් බෙදී ගිය අයුරු පිළිබඳ කිසිවෙකු කට හෙල්ලුවේ නැත. අවම වශයෙන් ෆොන්සේකාද මේ මුදල් පිළිබඳ කටක් ඇරියේ නැත.
මොකද්ද මේ මව්බිමේ Honeypot එක?
Honeypot - Honeytrap යන වචනය ඉංග්‍රීසි භාෂාවේදී අර්ථ කථනය වෙන්නේ මෙසේය.
''තොරතුරු රැස් කිරීමට, බලපෑම් කිරීමට, බ්ලැක්මේල් කිරීමට (බිය ගන්වා යමක් ලබා ගැනීමට) හෝ යමෙකුගේ පක්ෂපාතීත්වය පරීක්ෂා කිරීමට, ආදර හෝ ලිංගික ආකර්ෂණය යොදා ගනිමින් එම පුද්ගලයා හෝ කණ්ඩායමක්, අපහසු හෝ අවදානම් සහගත තත්වයකට හසු කර ගැනීමේ ක්‍රියාවලියයි. මිනිසුන්ව තමන් වෙත ඇද ගන්නා, ඉතා ආකර්ෂණීය ඕනෑම දෙයක් හැඳින්වීම සඳහා ද මෙම යෙදුම වඩාත් පුළුල් අර්ථයකින් භාවිතා වේ.''
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම Honeytrap තියරිය තමන්ට අවශ්‍ය පුද්ගලයන් අල්ලේ නැටවීම සඳහා භාවිතා කළ බව නොරහසකි. ටිරාන් අලස්ද මහින්දගේ තියරිය මහින්දටත් වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමට දන්නා පුද්ගලයෙකි. ටිරාන් යනු සෑම කෙනෙක්ම අල්ලේ නැටවිය හැකි සාක්ෂි තමන් සතුව තබා ගැනීමට ඇති දක්ෂ පුද්ගලයෙකි. ඊට හොඳම උදාහරණය නම් සෑම රහසිගත හමුවීමක්ම, රහසිගත සාකච්ඡාවක්ම ඔහු පවත්වන්නේ තම වෝඩ් පෙදෙස කාර්යාලයේය. එහි පැවැත්වෙන සියලු ක්‍රියාකාරකම් රහසිගතව පටි ගත කර තබා ගන්නට ටිරාන් අලස් ක්‍රියා කරයි.
ජනතා විමුක්ති පෙරමුණ යනු දැඩි විනයක් සහිත පක්ෂයකි. එහෙත් ටිරාන් විසින් ''මව්බිම'' වෙනුවෙන් පැලවත්ත බලා ගැනීම සඳහා දිගු කාලයක් තිස්සේ ආකර්ශනීය Honeytrap එකක් යොදවා තිබු බව මාධ්‍ය ක්ෂේස්ත්රයේ සියලු දෙනා දන්නා කරුණකි.
හැබැයි පැලවත්තේ ලොක්කෝ මේ උගුලට අසුවුණේ දැයි කියන්නට නොදන්නා මුත්, දුෂිතයන් පන්නා දමා මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට උරදුන් සියලු දෙනා හට එක කාරණයක් වැටහෙමින් තිබේ. එය නම් ටිරාන් අලස් යනු මෙරට නීතියට ඉහලින් සිටින එකම පුද්ගලයා බවයි. NPPය ඊළඟ ඡන්දයකදී පැරදුනත්, වෙන කාට අත තිබ්බත්, ටිරාන් අලස්ට අත තියන්නේ නැත. එය ඉර-හඳ සේ විශ්වාසය.

