ශ්රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය තුළ ක්රියාත්මක වන පෞද්ගලික ඉන්ධන සමාගම්වල මිල
තීරණය කිරීම් සහ සැපයුම් පාලනය සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් නිර්මාණය විය. විශේෂයෙන්ම ජාත්යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දේශීය ඉන්ධන මිලද සීඝ්රයෙන් ඉහළ දැමිය යුතු බවට පෞද්ගලික අංශය රජයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටී.
මේ තත්ත්වය හමුවේ රජයේ ප්රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා සහ විෂයභාර බලශක්ති අමාත්යවරයා අතර මෑතක් වන තුරුම පැහැදිලි පරස්පරයක් දක්නට ලැබුණි. තරගකාරී වෙළෙඳපොළක් මුවාවෙන් ජනතාව ගසාකෑමට පෞද්ගලික අංශයට කිසිසේත් ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක දැඩිව අවධාරණය කර තිබුණි.
ලංකා අයි.ඕ.සී, සයිනොපෙක් සහ ෂෙල් වැනි පෞද්ගලික සමාගම්වලට පමණක් සීමා වී තිබූ ප්රදේශවල නව ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල් 75ක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය එහි සුවිශේෂී පියවරකි. දෙහිඅත්තකණ්ඩිය වැනි ප්රදේශවල ඩීසල් ලීටරයකින් රුපියල් 132ක වැනි දැවැන්ත මිල වෙනසක් පාරිභෝගිකයා මත පැටවීමට පෞද්ගලික අංශය කටයුතු කරද්දී, රජයක් ලෙස නිහඬව සිටිය නොහැකි බව ජනාධිපතිවරයා එහිදී සෘජුවම ප්රකාශ කළේය.
එහෙත්, මෙම බරපතළ ගැටලුව හමුවේ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මුලදී දැක්වූයේ ඊට හාත්පසින්ම වෙනස් ප්රතිචාරයකි. බහාලුම් ප්රවාහන හිමිකරුවන්ගේ සංගමයේ රැස්වීමකදී ඔහු පවසා තිබුණේ පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය මෙහෙයුම් සිදු කිරීමට සහ ඔවුන්ගේ මිල ගණන් තීරණය කිරීමට නිදහසක් පවතින බවයි.
ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ අත්තනෝමතික ඒකාධිකාරිය දැඩිව විවේචනය කරද්දී, විෂයභාර අමාත්යවරයා ඔවුන්ට මිල තීරණය කිරීමේ නිදහසක් ඇති බවට සහතික වීම බරපතළ ප්රතිපත්තිමය ගැටලුවක් නිර්මාණය කළේය. පෞද්ගලික සමාගම්වලට මිල තීරණය කිරීමේ අසීමිත නිදහසක් ලබා දී, තෙල් සංස්ථාව පමණක් ජනතාවට සහන මිලට ඉන්ධන සැපයීමට බැඳී සිටින බව පැවසීමෙන් පමණක් පාරිභෝගිකයා ආරක්ෂා නොවන බවට විචාරකයින්ගෙන් දැඩි දෝෂදර්ශනයක් එල්ල විය.
කෙසේ වෙතත්, ඔක්තෝබර් 18 වැනිදා 'ද මෝනිං' පුවත්පත සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී බලශක්ති අමාත්යවරයා සිය පෙර ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ජනාධිපතිවරයාගේ ප්රතිපත්තියට අනුගත වී ඇති බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ට තමන්ට රිසි සේ අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමිය නොහැකි බව අමාත්යවරයා එහිදී තරයේ අවධාරණය කර ඇත.
ජාත්යන්තර ඩීසල් මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති පසුබිමක එක් පෞද්ගලික සැපයුම්කරුවෙකු ඩීසල් ලීටරයක් රුපියල් 570ක් දක්වා, එනම් රුපියල් 180කින් පමණ ඉහළ දැමිය යුතු බවට ගණනය කර ඇති බව අමාත්යවරයා එහිදී හෙළි කළේය. එහෙත් 2022 වසරේ හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්රයට යටත්ව මිස ඔවුන්ට හිතුමනාපයට මිල ඉහළ දැමීමට රජය කිසිසේත් ඉඩ නොතබන බවට ඔහු සහතික වී තිබේ.
පෞද්ගලික සමාගම් අසාධාරණ ලෙස මිල ඉහළ දැමුවහොත් පාරිභෝගිකයින් නැවතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත හැරෙනු ඇති බවත්, එය ඔවුන්ගේ වෙළෙඳපොළටද අවාසිදායක වනු ඇති බවත් අමාත්යවරයා පෙන්වා දෙයි. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් සහ පෙට්රල් වලින් ලබන පාඩුව ගුවන් යානා ඉන්ධන සහ පිරිපහදු මෙහෙයුම් මගින් පියවා ගනිමින් ජාතික ආර්ථිකය හා පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
අත්යවශ්ය සේවාවක් වන ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් රජය තුළ හඬවල් දෙකක් තිබිය නොහැක. ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම හමුවේ විෂයභාර අමාත්යවරයාද දැන් නිවැරදි මාවතට අවතීර්ණ වී ඇති බව 'ද මෝනිං' පුවත්පතට ලබාදුන් සාකච්ඡාවෙන් සනාථ වේ.
නිදහස් වෙළෙඳපොළ යනු පාරිභෝගිකයා අසීමිත ලෙස සූරාකෑමට පෞද්ගලික අංශයට ලබාදෙන බලපත්රයක් නොවේ. ජනතාව වෙනුවෙන් රාජ්ය මැදිහත්වීම ශක්තිමත් කිරීමේ ජනාධිපතිවරයාගේ දැක්ම සමඟ බලශක්ති අමාත්යවරයාද මෙලෙස ඒකාත්මික වීම සමස්ත බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් තබන ලද තීරණාත්මක මෙන්ම සාධනීය පියවරක් ලෙස අගය කළ හැකිය.
සබැදි පුවත් -
කලබල වී ඉන්ධන රැස් කරන්න එපා!" හිටපු ඇමතිලාට ගල්... අලුත් ඇමතිට මල්..
https://slleader.lk/news/14463-2026-10-12-06-57-18
ජනපතිගේ සෘජු තීරණය අගයද්දී, විෂයභාර ඇමතිගේ ප්රකාශය විමතිය දනවයි!
https://slleader.lk/life-style/14467-2026-10-13-09-35-32

