SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට ඉන්ධන ඒකාධිකාරිය සහ තරගකාරීත්වය පිළිබඳව පසුගියදා ජනාධිපති

අනුර කුමාර දිසානායක විසින් සිදුකළ ප්‍රකාශය වත්මන් ආර්ථික තත්ත්වය තුළ දැඩි අවධානයකට ලක්විය යුතු මාතෘකාවකි. ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන පෞද්ගලික ඉන්ධන සමාගම්වලට පමණක් සීමා වූ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා (CPC) පිරවුම්හල් 75ක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය, පාරිභෝගිකයාගේ පැත්තෙන් බලන කල අතිශය සාධනීය සහ ප්‍රායෝගික පියවරකි.

 

 

 

ජනාධිපතිවරයාගේ මෙම මැදිහත්වීම ඉහළින්ම අගය කළ යුතුය. ඊට හේතුව, තරගකාරීත්වය වෙනුවෙන් යැයි පවසමින් පෞද්ගලික අංශය කැඳවූවද, ඔවුන් ජනතාවට සහන සැලසීම වෙනුවට ලාභය පමණක් අරමුණු කරගනිමින් කටයුතු කරන බව ඔහු නිවැරදිව හඳුනාගෙන තිබීමයි. රජයට අයත් තෙල් සංස්ථාව බිලියන 28ක ලාභයක් ලබමින් එම ලාභයෙන් කොටසක් ජනතාවට ලබාදීමට කටයුතු කරද්දී, පෞද්ගලික සමාගම් තම අපේක්ෂිත මිල නොලැබෙන විට ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක්කකි.

 

 

විශේෂයෙන්ම දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රදේශවල පෞද්ගලික සමාගම්වලට පමණක් වෙළඳපොළ හැරදැමීමෙන් ජනතාව පත්ව ඇති අසරණභාවය ජනාධිපතිවරයා මැනවින් පැහැදිලි කළේය. ඩීසල් ලීටරයකින් රුපියල් 132ක වැනි දැවැන්ත මිල වෙනසක් පාරිභෝගිකයා මත පැටවීමට පෞද්ගලික අංශයට ඉඩ හැර බලා සිටීමට රජයක් සූදානම් නොමැති බව ඔහු සිය ප්‍රකාශයෙන් තහවුරු කර ඇත. ගෑස් සහ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පෞද්ගලික අංශය අනුගමනය කරන කූට උපක්‍රමවලට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ මෙම ප්‍රවේශය අනිවාර්යයෙන්ම පැසසිය යුත්තකි.

 

 

 

එහෙත්, මෙම බරපතළ ගැටලුවේදී බලශක්ති අමාත්‍යවරයා දක්වා ඇති ප්‍රතිචාරය සහ ඔහුගේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබඳව ඇතිවන්නේ දැඩි විමතියකි. බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ රැස්වීමකදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය මෙහෙයුම් සිදු කිරීමට සහ ඔවුන්ගේ මිල ගණන් තීරණය කිරීමට "නිදහස ඇති" බවයි. ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ අත්තනෝමතික මිල තීරණය කිරීම් සහ සැපයුම් සීමා කිරීම් දැඩිව විවේචනය කරද්දී, විෂයභාර අමාත්‍යවරයා ඔවුන්ට මිල තීරණය කිරීමේ නිදහසක් ඇති බවට සහතික වීම බරපතළ පරස්පරයකි.

 

 

පෞද්ගලික සමාගම්වලට මිල තීරණය කිරීමේ අසීමිත නිදහසක් ලබා දී, තෙල් සංස්ථාව පමණක් ජනතාවට දැරිය හැකි මිලකට ඉන්ධන ලබා දීමට බැඳී සිටින බව පැවසීමෙන් පමණක් පාරිභෝගිකයා ආරක්ෂා වන්නේ කෙසේද? සංස්ථාවේ පිරවුම්හල් නොමැති ප්‍රදේශවල ජීවත්වන ජනතාවට පෞද්ගලික අංශයේ අත්තනෝමතික මිල ගණන් යටතේ සූරාකෑමට ලක්වීමට සිදුවීම, අමාත්‍යවරයා දකින්නේ තරඟකාරී වෙළඳපොළක සාමාන්‍ය ලක්ෂණයක් ලෙසද යන්න ප්‍රශ්නගතය. ප්‍රවාහනකරුවන්ට අමාත්‍යවරයා දුරකථනයෙන් පහසුවෙන් සම්බන්ධ කරගත හැකිවීම වැනි කාරණා පරිපාලනමය වශයෙන් ධනාත්මක වුවද, සමස්ත ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දක්වන මෙම ලිහිල් ආකල්පය ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරයට සම්පූර්ණයෙන්ම පටහැනිය.

 

 

ඉන්ධන සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධයෙන් රජය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් හඬවල් දෙකක් නොතිබිය යුතුය. පෞද්ගලික සමාගම්වල ඒකාධිකාරිය බිඳ දැමීමට සහ රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා සෘජු තීරණ, විෂයභාර අමාත්‍යවරයාගේ මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ හමුවේ දුර්වල වීමට ඉඩ නොදිය යුතුය. නිදහස් වෙළඳපොළ යනු පාරිභෝගිකයා ගසාකෑමට පෞද්ගලික අංශයට ලබාදෙන නිදහස නොවන බව බලශක්ති අමාත්‍යවරයා වටහාගත යුතුව ඇත.

 

 

නවතම ලිපි