පිලිපීනයේ පැවැති ජාත්‍යන්තර වැඩිහිටි මලල ක්‍රීඩා තරඟයකදී මීටර් 1500 හා 5000 ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්,
මුලතීවු හී පදිංචි, 71 වයසැති අකිලා තිරුනායකී, එම ඉසව් අවසානයේ කැමරාවට හසු වී තිබුණු ඡායාරූපයේ විජයග්‍රාහී ශූරියකගේ උතුරා ගලන ප්‍රමෝදයක් හෝ ආඩම්බරයක් සනිටුහන් වී නොතිබිණ. පාවහන් රහිත ව එම දුර දිවූ ඇයගේ තරමක් කඩා වැටුණු මුහුණේ මට පෙනෙන්නේ දැඩි විඩාවක සේයාවකි.
අද දවසේ මෙවැනි ජයග්‍රහණයක ලත් විගස ක්‍රීඩකයන් කොඩි වනමින්, පොළොව සිඹිමින්, අතපය දස අත විසි කරමින්, ප්‍රේක්ෂකයන්ට පියාඹන චුම්භන යවමින් කැමරාවට කරන අධි රංගන කිසිවක අකිලා කළ බවක් නොපෙනේ.
මැරතන් ක්‍රීඩා ඉසව්වේ බොහෝ කාලයක් ඉදිරියෙන් සිටින්නේ කෙන්යානු ජාතිකයන් ය. ඇටසැකිල්ලට ඇළවුණ සේ සැදුණ කෙසඟ සිරුරු සහිත කෙන්යානුවන් මැරතන් තරග දිනන අයුරු පුදුම සහගත ය. පරම්පරා ගාණක් කඳුකර හා සානු සහිත ප්‍රදේශවල සැතපුම් ගානක් පයින් ඇවිදි ජානමය සංයුතිය කෙන්යානුවන්ට දිගු කලක් දැරිය හැකි ශක්තිය හෙවත් එන්ඩ්‍යුරන්ස් ලබා දෙන්නේ යැයි විශ්වාස කෙරේ.
අකිලාගේ වයස සලකා බලන විට, 1983 දී ඈ වයස තිස් එක් හැවිරිදි තරුණියක ය. ඉන් අනතුරුව ගෙවුණු දශක තුනක් පමණ කාලයේ අකිලා ජීවත් වූ පරිසරයේ තිබුණේ ජවන පිටියක් නොව යුධ පිටියකි. මේ කාලය තුළ අකිලා හා ඇගේ පවුල කළේ කුමක් ද කියා මම නොදනිමි. ඇගේ පරිසරයේ ජීවත් වූ බොහෝ දෙනා කලින් කල, තැනින් තැන අවතැන් වූ බව ඡායාරූපවලින් දුටු අවස්ථා එමට ය. උතුරට ගිය සීමිත අවස්ථාවකදී බඩු පොදි පැදුරු මාළු කරේ හිසේ තබා ගෙන තැනකින් තැනකට යන අකිලලා මම දැක ඇත්තෙමි. ඔවුන් ඇවිද ගිය දුර මීටර 1500ට 5000ට වඩා දුර ය. ඒ ප්‍රීති ඝෝෂා හා ඔල්වරසන් මධ්‍යයේ නොවේ.
රන් පදක්කමක් දිණු මේ අවස්ථාවේ, කැමරාවට හසු වුණු අකිලාගේ දෑතට හා කරට එවැනි බඩු පොදි කිහිපයක් හා එතුණු පැදුරු මාල්ලක් පොටෝ-ශොප් කළහොත්, අකිලා ද කලකට පෙර තැනකින් තැනකට අවතැන් වූ දහස් ගණනක දමිළ ජනතාවගේ රුවෙන් හා හැඟුමෙන් ඈ දශමයක්වත් වෙනස් නොවේ යැයි මට සිතේ.
කඳු තරණය කළ පරම්පරාගත ජානවලින් සුසෑදුණු කෙන්යානු මැරතන් ශූරියකට මෙන් තම අතීත අත්දැකීමෙන් ලද පන්නරය හා දරාගැනීමේ හැකියාවට පාදක වූ මෑත ඉතිහාසය හා ඒ වටා ඈඳුණු අසාධාරණය ගැන අකිලාටත්, අකිලා රන් පදක්කම් පෙරලා රැගෙන එන රටටත් ආඩම්බර විය හැකි දැයි අඩමාන ය.
@Udan Fernando fb page