මේ දවස්වල පාර්ලිමේන්තුව තුළ තියෙන්නේ ක්‍රිකට් උණුසුමක්.
මේකට ඇත්තටම හේතුව ලෝක කුසලාන ක්‍රිකට් පරාජයමද? නැත්නම් කියන ආකාරයට ක්‍රිකට් ආයතනයේ දූෂණ හා අක්‍රමිකතාද?
ක්‍රිකට් බෝර්ඩ් එක ගැන දන්න දා ඉඳලම කියැවුනේ මාෆියාවක් කියලයි. ලොකුම මාෆියාව ICC හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි. ඔවුන් කියන විදිහට එම ආයතනය පවතින්නේ, පරිපාලනය වෙන්නේ ඒ ඒ රටවල රජයන්ට අදාළව නොවේ. ඒ නිසා ම ලෝකෙ විශාල ධනස්කන්ධයක් සැරිසරන ආයතනයක් තමයි අයිසීසීය. ක්‍රිකට් අනුමත වී ඇති රටවල එම ධනස්කන්ධය බෙදා හරින ජාලයක් පවතිනවා. ඒවා තමයි එම රටවල ක්‍රිකට් පාලක මණ්ඩල.
ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය හැමදාම පවත්නා දේශපාලනයන් එක්ක ගජේ ගහපු සහ එම ධනය බෙදහදාගෙන කටයුතු කරපු ආයතනයක්. මේ ආයතනයේ මුදල් පරිපාලනය අද ඊයේ අමුතුවෙන් සිද්ධ වුනු දෙයක් නොවෙයි. වර්තමාන සභාපතිත්වය යටතේත් 2019 සිට ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වෙලා තියෙනවා. වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා සමග එක්ව කටයුතු කළ වසර ගනනත් ඒ ආකාරයේම කාලයක්. එතකොට මොකක්ද මේ අළුතින් ඇතිව තිබෙන තත්වය. මේක ඇතිවුනේ කුමක් නිසාද?
බොහෝ දෙනෙක් පවසන්නේ අරගලයෙන් පසු රටේ සෑම ආයතනයකම පරිපාලනය නිරන්තරයෙන් උණුසුම්කාරී බවයි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විශාල ජනවරමක් සහිතව පත්වුනු ජනාධිපතිවරයෙක් ඔහුගේ ධූර කාලයෙන් අඩක්වත් ගෙවා දාන්නට ප්‍රථම ඉවත්කරන ලද අරගලමය තත්වයක් උත්පාදනය කළේද බටහිර න්‍යාය පත්‍රයකට අනුව බව එක්තරා පිලිගැනීමකි. ඒ අනුව මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේද එවැන්නක් යැයි කෙනෙකුට නිගමනය කළ හැක.
ජනතා ඡන්දයෙන් එළියට විසිවුනු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මැතිවරණ ක්‍රමය හරහා පක්ෂයකට ලැබෙන බෝනස් දීමනාවක් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ පිහිටෙනි. එවැනි භාග්‍යයක් ලද රනිල් වික්‍රමසිංහට අරගලයේ පිහිටෙන් ලැබුණේ සුවිශේෂී වරමකි. ඒ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමග අගමැති ධූරය බාරගන්නට අවස්ථාවක් සැලසීමෙනි. ඉන් අනතුරුව ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අග්‍රාමාත්‍ය ධූරය හොබවමින් දිගින් දිගටම අරගලය වෙනුවෙන් පෙනී සිටින්නට විය. අවසානයේ ගෝඨාභය ජනාධිපතිවරයා සිටි ජනාධිපති මන්දිරය අරගලකරුවන් අත්පත් කරගැනීම නිසා පලායන්නට සිදුවූ ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීම එවීමෙන් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැති වික්‍රමසිංහට අවස්ථාවක් උදාවිය.
භීතියෙන් යුතුව සැඟවී සිටි ප්‍රභූ දේශපාලන අධිකාරියට යළිත් කළඑළි බහින්නට පමණක් නොව ජීවිත ආරක්ෂාවටද කුරුඳුවත්තේ වික්‍රමසිංහගේ ආරක්ෂාව අත්‍යවශ්‍ය වූයේ එහෙයිනි.
ඒ සමගම වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා අරගලයට එරෙහිව කඩුව අතට ගත්තේය. ඒ වනතෙක් අරගල භූමියේ එජාප දේශපාලන වෙනුවෙන් පිහිටුවා තිබූ කූඩාරම් කිහිපය ඉවත් විනි. ඒවායේ සිටි එජාප සාමාජිකයින් යළිත් ජනාධිපති යටතේ වූ රාජකාරිවලට එක්විය. අරගලය මෙහෙයවූ ව්‍යාපාරික පංතිය තම අරමුණ වෙනුවෙන් බටහිර ගැති වික්‍රමසිංහ සමග අරගලයෙන් ඉවත් විය.
කුමන දේශපාලන ප්‍රතිවිරෝධතා තිබුණද රනිල් වික්‍රමසිංහ තම ප්‍රභූ පන්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ව බලයට ගෙන ආ කොල්ලො කුරුට්ටන් ඇතුළු පරිභෝජනවාදී ජනතාවට එරෙහිව ක්‍රියාත්මක විය. මුලදී අරගල කරුවන් වෙනුවෙන් කතාකළ ජනාධිපතිවරයා කඩිනමින් ඔවුන් විසින් අත්පත් කරගත් ජනාධිපති කාර්යාලය ජනාධිපති මන්දිරය නැවත බාරදෙන ලෙස නියෝග කළේය. උසුළු විසුළු සමග අරගලය හා ඒකාබද්ධ වෙමින් සිටි ආරක්ෂක බලඇණි ශක්තිමත් කරමින් ජල ප්‍රහාර බැට්න් ප්‍රහාර සමග උද්ඝෝෂන විසිරවීය. ගෝල්ෆේස් අරගල භූමිය සම්පූර්ණයෙන්ම ඩෝසර් කෙරිනි. රජයට එරෙහිවන්නන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනුණි.
ඒ අනුව වැඩබලන ජනාධිපති, ජනාධිපති ධුරයේ ඉතිරිව තිබූ වසර ගණන වෙනුවෙන් ජනාධිපති ලෙස පත්කරගැනීම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ගේ ඡන්ද විමසීමක් කෙරිනි. අපේක්ෂකයින් තිදෙනෙකුගෙන් යුතු එම ඡන්ද සටනම තවත් මාෆියාවක් ක්‍රියාත්මක වීමකි. ඡන්දය පවත්වන දිනය කලින් දින රාත්‍රිය වනවිටත් ගණනය කිරීම්වලට අනුව බහුතර ඡන්දයක් එක්ව තිබුණේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ඩලස් අලහප්පෙරුම වෙත විය. එහෙත් පසුවදා සවස ඡන්දය දෙන මොහොත වනවිට මේ තත්වය වෙනස් විය. (අද ක්‍රිකට් මාෆියාව ගැන කතාකරන ක්‍රීඩා අමාත්‍යවරයා එම ඡන්ද මාෆියාව ගැන හොඳින්ම දනී)
අරගලය විනාශවී ගොස් අරගලයේ නායකයෝ තමායැයි එහි රඟන ලද බොහෝ පිරිස් අවසානයේ නතර වූයේ පොලිස් ඇමති ටිරාන්ගේ කාර්යාලයේය. සිරිකොතේය. ජනාධිපති කාර්යාලයේය. රජයේ මාධ්‍ය ආයතනවලය.
එහෙත් සැඟවී සිටි දේශපාලන ප්‍රභූන් යළිත් කළඑළි බැස්සද පාරිභෝජනවාදී සමාජයට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් තරම් රජය සතු නොවිනි. බලාපොරොත්තු වූ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය නොලැබුනු අතර ලැබුණු සොච්චමෙන් කළහැකි දෙයක් ද තිබුණේ නැත. ණය කන්ද වැඩිවීම හැරුණු විට බලාපොරොත්තු වූ ආයෝජකයන්ගේ පිවිසීම ද සිදු නොවිනි.
ඉන්දියාව ඉල්ලන දේවල් දෙමින් ඔවුන් නිහඩ කරමින් චීනය සමග යළි දීගෙක යෑමට ජනාධිපතිවරයාට සිදුව තිබෙන්නේ එබැවිනි. රටේ සංස්කෘතික වැදගත්කමකින් යුක්ත ස්ථාන පවා බදු දෙන්නට ජනාධිපතිවරයාට පුද්ගලිකවම මැදිහත්වීමට සිදුව ඇත්තේ ද එබැවිනි.
ඒවා එයාකාර වුවද දැන් රට පුරා තැනින් තැන යළි යළිත් මතුවන්නේ අරගලයේ නෂ්ටාවශේෂයන්ය. ඒවා ටියර් ගෑස්වලින් බැට්න් ප්‍රහාර වලින් අත්අඩංගුවට ගැනීම්වලින් තාවකාලිකව යටපත් කළද රජය දුවන්නේ අවිනිශ්චිත බල හුවමාරුවකට ප්‍රතිපාදන සපයමිනි.
මේ නිසා මෙම ක්‍රිකට් මාතෘකාව බල පෙරළියක ගිනි පුපුරක් වීමේ සම්භාවිතාව වැඩිය. මෙතෙක් කලක් විවිධ දහංගැට දමමින් තම කූඨ ඥානය අත්හදා බැලූ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මෙවර රොෂාන් රණසිංහ ඇමතිවරයා සමග එක්වන විපක්ෂයේ සන්දානයට එරෙහි විය හැකිද? පොහොට්ටුවේ බලය මෙවරද ජනාධිපතිවරයාට ලැබේවිද?
ජීවත්වීමේ සටනට මුහුණදී සිටින ජනතාවට හෙට දවසේ ඇති ප්‍රධානතම ප්‍රශ්නය ක්‍රිකට් වීමම ඛේදවාචකයක් නොවන්නේද?
කෙසේ වුවත් මේ වනවිට පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ක්‍රිකට් උණුසුම ආණ්ඩුවේ ආයුෂ තීරණය කෙරෙන ඉදිරි බල අරගලයක අනීවාර්යතාවයක්ව ඇත.
@Samaara Paranavithana