SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප ආසියාවේ දැනට හිමිකරගෙන තිබෙන ස්ථානයට සාපේක්ෂව ඉන්දියාව,චීනය හෝ බංග්ලා දේශය අපට පිටුපසින් සිට කලාපීය හා ලෝක බලවතුන් දක්වා වර්ධනය වී ඇත.

ඔවුන් ඔවුන්ගේ රටට ඉලක්ක පවත්වාගෙන ගොස් ඒවා ට ලඟා වීම සැලසුම් කරමින් කටයුතු කල නිසා බලවත් වී ඇත.අපට ආසියාව තුල හෝ ලෝකය තුල ඉලක්කයක් සපුරා ගැනීමට පෙර. අද වන විටඅප පවත්වාගත යුතු  ඉලක්ක දකින විට දුක සිතේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකය,ණය ප්‍රතිව්‍යුහගත කරණය,වැනි බංකොලොත් බවින් මිදීමේ ඉලක්ක අපට ඇත.

 

2021 වර්ෂයේ මේ පොතෙහි මුල් සටහන් ලියන විට අපට තිබුණේ වැටුප් ගෙවීමට මුදල් අච්චු ගැසීමේ ඉලක්කයය. මුහුදේ පාවෙමින් තිබුණු තෙල් නැවකට ඩොලර් එකතු කර දී ගොඩ බා ගැනීමේ ඉලක්කය.මෙවැනි ඉලක්ක වලින් රටක් සාර්ථක හෝ බලවත් කල නොහැක. ක්‍රමවේදයන් හා ක්‍රියාත්මක භාවයන් ගොඩ නැගීමට පෙර සාක්ෂාත් කරගත යුතු ඉලක්කය හඳුනා ගැනීම වටී. මෙතෙක් ඉලක්ක හැටියට අප හඳුනාගෙන තිබුණේ දේශපාලන පක්ෂ වලට බෙදී ඒ පක්ෂ බලයට ගෙන ඒමේ වසර 5 ක ඉලක්ක පමණකි.ඒ ඉලක්ක තුලින් රටවල් ගොඩ නැගිය නොහැකි බව අද වන විට පැහැදිළිය. ඒනිසා වසර 2048 දී සංවර්ධිත රටක් යන ඉලක්කය මේ මොහොතේ යන අයුරින් නම් සිහිනයකි. ඒ පවත්වාගත යුතු ඉලක්ක ගැන අවබෝධයකින් තොරව යන ගමනක් නිසාය. අනෙක් අතින් දේශපාලන බාවිතාව තුල ඇති අසමත්කම් හා යාවත් කාලීන නොවිම්ය . උදාහරණයක් ලෙස වාර්ගික අර්බුධයට අපට තවමත් ඇත්තේ 13 වෙනි සංශෝධනයේ විසඳුමය. එය යල් පැනගිය එකක් වන අතර අවස්ථාවෝචිත විසඳුමක් නොවේ.

 

 

ඒ අනුව සිරි ලංකාව දැනට පවතින තත්ත්වය හා අර්බුධය සලකා බලා ඉලක්ක සකස් කරගත යුතුය.ඒ ඉලක්ක වලට ලඟා වීමට අවශ්‍ය සැලසුම් සකස් කල යුතුය.රටකට තම බාහිර පෙණුම හා පිළිගැනීම ගැන පොදු ඉලක්කයක් පැවතිය යුතුය.ඒ බාහිර පෙණුම හා පිළිගැනීම වෙනුවෙන් ගොඩ නගන හරයාත්මක ඉලක්ක රාශියක් තිබිය හැකිය.උදාහරණයක් ලෙස අපි දකුණු ආසියාවේ දියුණුම ජාතිය බවට පත්වන්නේ නම් සම්පුර්ණ කල යුතු නිර්ණායක අපගේ ඉලක්ක විය යුතුය.අද මුහුණ දෙන මන්දපෝෂණයේ ඛේදවාචකය ජය නොගෙන දකුණු ආසියාවේ ශක්තිමත් ම ජාතිය බිහි කිරීමට අවශ්‍ය ,නිරෝගී,ක්‍රීඩා ශීලි,මිත්‍රශීලි හා මානසික සුවයෙන් පසුවන, ශක්තිමත් පදනම දමා ගත නොහැකිය.දකුණු ආසියාවේ බුද්ධි මට්ටම ඉහලින් ම ඇති ජාතිය ගොඩ නැගීමට පෝෂණ අවශ්‍යතාවයේ සිට අධ්‍යාපන අවශ්‍ය තාවය ට අරමුණක් පැවතිය යුතුය.දරුවකු කුස පිළිසිඳ ගන්නා දිනයේ සිට මරණය දක්වා රටක ඉලක්කය වෙත සුදානම් වීමක් අවශ්‍යය.එවැනි සුක්ෂම හා දියුණු සැලසුම් කරුවන් අපගේ දේශපාලන හා රාජ්‍ය දේහය තුල ඇතැයි සිතිය නොහැකිය.අවම වශයෙන් එවන් ඉලක්ක බිහි කරගැනීමට අවශ්‍ය පදනම වත් අපිට සැකසී නැත.අපි තවමත් සටන් කරමින් සිටින්නේ,කුසගින්න,හා වාර්ගික,ආගමික කරුණු ජයගැනීමට ය.

 

ශ්‍රී ලංකාව අරමුණු ඉලක්ක කරා යාමට පදනමක් අවශ්‍ය රටකි. ඒ පදනම පසුගිය වසර 75 කදිම දේශපාලන අවශ්‍යතාවය අනුව සෙලවෙමින් තිබු අට්ටාලයක පදනමකි. එය දැන් හැම අංශයකින් ම කඩා වැටි ඇති නිසා මා දකින ආකාරයට මව්බිමේ පදනමට පහත සඳහන් කරුණු ඔස්සේ පදනමක් දමා ගත යුතුය. එයින් පළමු කරුණ වන්නේ වාර්ගික ආගමික අර්බුධයන් ගෙන් අනාගත සිරි ලංකාව තුරන් කිරීමට අවශ්‍ය පදනමය.

 

ශ්‍රී ලංකාව අප සැවොම දන්නා පරිදි බහු වාර්ගික, බහු ආගමික රටකි .අද දක්වාම පවතින හා වසර 75 ක් තිස්සේ පැවති සියළුම ගැටුම් හා අර්බුධ වලට මේ වාර්ගික හා ආගමික විවිධත්වය  හේතු කාරනා ලෙස මතු කරනු ලැබුණි.අනෙක් අතින් සමාජීය ප්‍රචණ්ඩත්වය මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වැනි අතිශය කෘර ක්‍රියාදාමයන් දක්වා දිගු කරනු ලැබුවේ මේ වාර්ගික බෙදීමය.අද ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ විශාල හමුදාවක් නඩත්තු කිරීමට සිදු වීමය.හමුදාව සමාජගත වීමේදී ඇති වෙන සමාජ ප්‍රශ්න රාශියක් හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්න,සමාජීය ගැටළු  රාශියක් ඍජුව වක්‍රව අපට ලැබී ඇත්තේ මේ වාර්ගික අර්බුධය නිසාය. එය ලංකාවේ බාහිර පෙනුම අවලස්සන කර තිබේ.එසේ නම් සංවර්ධිත ලංකාවක් කරා යන ගමනේදී ලංකාවේ ප්‍රධානතම ඉලක්කයක් විය යුත්තේ වාර්ගික හා ආගමික ගැටළු නිරාකරණය වන හා නැවත ඇති නොවන  රටක් බිහි කිරීමේ  ඉලක්කයයි. ඒ සදහා අවශ්‍ය පදනමයි. එවැනි අරමුණක් සම්පුර්ණ කරගන්නට අවශ්‍ය ප්‍රතිපත්ති කුමන ආකාරයෙන් වියයුතුද යන ප්‍රශ්නය ගැඹුරින් වටහා ගැනීම වටී.එය හුදෙක් දේශපාලකයන් විසින් පමණක් ගොනු කරන ප්‍රශ්නයක් යයි දැකීම ප්‍රශ්නයේ අර්ධයක් දැකීමකි.එසේම දේශපාලකයන් විඉස්න් සපුරා දිය යුතු විසඳුමක් යයි දැකීම පිළිතුරේ අර්ධයකට අඩු දැක්මකි. වාර්ගික හා ආගමික අන්තර්ග්‍රහනය වෙනුවෙන් සිරි ලංකාව කරන වැඩ කොටස ඉතාම මදිය.කලොත් බොහෝ දේ කෙටි කාලීන දේශපාලන ව්‍යාපෘතීන් පමණකි.ස්ථිරසාර හා සදාකාලික ක්‍රමවේදයකින් පාලනය කල යුතු විවිධත්වය ජාතියට සම්පතක් ලෙස බාවිතා කිරීමේ ක්‍රමවේදයක් සැකසීම හා එය රටේ අරමුණක් ලෙස පවත්වාගෙන යාම සිදුවිය යුතුය.මේ ගැටළුවට බොහෝ දෙනෙකු යෝජනා කරන්නේ ව්‍යවස්ථාමය හා දේශපාලනික විසඳුම් වන අතර සමාජීය හා ආකල්පමය මෙන්ම භාෂාමය විසඳුම් කිසිවකු විසින් අත්හදා බලන්නේ නැත.අරමුණ වාර්ගික හා ආගමික විවිධත්වය රටේ ප්‍රගමණයට, වර්ධනයට සකසා ගැනීම නම්,ව්‍යවස්ථාමය හා ආකල්පමය,සාමාජිය හා භාෂාමය විසඳුම් එක්ව ගත් විසඳුමකට එළඹීම,පවත්වාගෙන යාම වැදගත්ය.

 

සැකසිය යුතු  මුලික පදනමේ දෙවන කරුණ වන්නේ  ආගමික සංස්ථාව හා දේශපාලනය අතර ඇති සම්බන්ධය සීමා කිරීම මෙන්ම ජනතාවගේ දේශපාලන අයිතියට ආගමික සංස්ථාව මැදිහත් වීම වලකා ගැනීම හෝ සීමා කීරීමය.දේශපාලන පක්ෂය මෙන්ම ආගමිකව පන්සල,පල්ලිය,කෝවිල යන සිව් ආගමික මධ්‍යස්ථාන ලංකාවේ දේශපාලනයේ හැඩරුවට බෙහෙවින් බලපාන නිසා බහු වාර්ගික බහු ආගමික රටක සැමට පොදු දිශානතියක් සොයා ගැනීමට අපහසු වී ඇත.දේපල ඉඩකඩම් අයිතිය නිසා මේ ආගමික සංස්ථාව පුද්ගල අයිතීන්ට හා මානව අයිතීන්ට බලපෑම් කරමින් සිටී.මේ කරුණ ජයගැනීම වෙනුවෙන් නෛතික,සමාජ විද්‍යාත්මක පදනමක් ශක්තිමත් කරගත යුතුය.එයට සැලසුම් හා ව්‍යවස්ථාමය වෙනස්කම් වලට වුව යා යුතුය.යුරෝපය පල්ලිය දේශපාලනයෙන් ඉවත් කර වසර 200කි.ඔවුන් එයින් පසු ලැබූ භෞතික දියුණුව අද ලෝකයට  දකින්නට ලැබේ.ඉතියෝපියාව අද නැගිටිමින් සිටින්නේ ආගම දේශපාලනයෙන් වෙන්කර සිමා කර තැබීම ප්‍රධාන කොටගෙනය.  සිරි ලංකාවද එවැනි පදනමක් වෙත පිය නගන්නේ නැති නම් කිසිදා දියුණු රටකට යන ගමනේ පදනම සකසා ගත නොහැකිය.ඒ සඳහා දියුණු මට්ටමේ  බුද්ධිමය අරගලයක් කල යුතු බවට මගේ යෝජනාවය.ජනතාව විසින් ම ආගමික සංස්ථාව දේශපාලනයෙන් හා ලෞකික ජිවිතයෙන් දුරස්කර පුජ්‍යත්වයෙන් පමණක් වැඳුම් පිඳුම් කරන තැනට ආගමික සීමාවන් සැකසීම බුද්ධිමය කාර්යයකි.

 

සිරි ලංකාව තුළ අතිශය ප්‍රචණ්ඩ භාවයක් පවතී.මෙය මා හඳුන්වන්නේ "සාමූහික ප්‍රචණ්ඩත්වය" වශයෙනි.එම ප්‍රචණ්ඩත්වයේ සාමුහිකත්වය වර්ධනය වන්නේ පවුල නමැති ඒකකය තුලිනි.සැමියා බිරිඳට පහර දීමේ දින චර්යාවට එරෙහි නොවන දරුවන් විශාල පෞරුෂයක අඩුපාඩු දරාගෙන සමාජගත වෙති. තමන් වැඩියෙන්ම ආදරය කරන මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය ඉවසන ඔවුන් ප්‍රචණ්ඩත්වය සමාජයට මුදාහරින අතර ,සමාජ ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය යයි සිතමින් ප්‍රචණ්ඩ සමාජයක කොටස්කරුවන් වෙති.වාචික හා කායික ප්‍රචණ්ඩත්වය වර්ධනය වන තරුණයන් කල්ලි ගැසීම නිසාම මේ වන විට සිරි ලංකාව ඩොලර් මිලියන 2000 ක දේපල අහිමි කරගත් රටකි. මේ ප්‍රචණ්ඩ බව චක්‍රීකරණය වේ.1971 කැරැල්ලේ දේපල  හා ජිවිත විනාශය,1983 කළු ජූලියේ දේපල හා ජිවිත විනාශය, 1988-89 හා 2022 ආසන්න අරගලයට පහර දීම නිසා ඇති වූ තත්ත්වය අධීක්ෂණය කරන විට එම සාමුහික ප්‍රචණ්ඩත්වය අබමල් රේණුවකින් වත් අඩු වී නැති බව ගණනය කල හැකිය.

 

තවමත් සිරි ලංකාව  තුල ඇතැම් තරුණ හා වැඩිහිටි කොටස් සන්නද්ධ අරගල ගැන කතා බහ කරති.සිහින දකිති.මේ සියල්ලට පාදක වන්නේ ගෘහස්ත,පාසලේ හා සමාජීය වාචික ,කායික ප්‍රචණ්ඩත්වය දිගුකාලීනව දරා ගැනීමකි. ඒ දිගුකාලීනව දරාගත් ප්‍රචණ්ඩත්වය සාමුහික වූ විට මුදාහැරීමට බිය නොවීමකි. එම ප්‍රචණ්ඩත්වය  වලකා සමාජය සංවාදයෙන් හා ගරු කිරීමෙන් යුතු එකක් බවට පත් කිරීමට  ඉහත මා මුලික පදනමට සඳහන් කල කරුණු දෙකවන වාර්ගික හා ආගමික කරුණු දෙක  හා සමානවම වැදගත් ය.එසේම ඒ කරුණුදෙක හා මෙම කරුණ  එකිනෙකට ගැට ගැසුණු තත්ත්වයන්ද වේ.සාමූහික ප්‍රචණ්ඩත්වය ජයගැනීමට ආගමික  විසඳුමක් බොහෝ දෙනෙක් යෝජනා කරති.දහම් පාසල හා ආගමික ප්‍රජාව එය භාරගත යුතු බවට ආකල්පයක් ලංකාව තුල ඇත.එහෙත් සැබවින්ම මේ කරුණට අවශ්‍ය සමාජ විද්‍යාත්මක විසඳුමකි.ඒ විසඳුම බිහි කරගැනීමට කාර්යදාමයන් ගොඩ නැගිය යුතුය.ක්‍රියාත්මක කල යුතුය,නියාමනය  කල යුතුය.ආකල්පමය පෙරලියක් කල යුතුය.

 

රටකට අවශ්‍ය ඉලක්ක හා අරමුණු කරා යාමේ පදනමට අත්‍යවශ්‍යම සිවුවන ඊලඟ කරුණ නම් දේශපාලන පක්ෂ දේහය හා දේශපාලනයට සහභාගී වීමේ ප්‍රජාතන්ත්‍ර වාදය බිහි  කිරීමය.අද වන විට දේශපාලනය පිළිකුල් විෂයක් හා වෘත්තියක් බවට පත්වීම සිරි ලංකාව ලබන විශාල හානියකි.මූලික ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා වීමට නම් නියෝජිත ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කල යුතුය.පවුල තුල සංස්කෘතිකමය වශයෙන් ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා නොකරන බවක් තිබේ.එයම දේශපාලනයට ද අදාළ කරගෙන තිබෙන බව පැහැදිලිය.ප්‍රජාතන්ත්‍ර ලෙස තම දේශපාලන මතවාදය සමග ජනතාව ඉදිරියට එන්නට රටේ ස්වාධීන පුද්ගලයන්ට ඇති අවසරය අඩුය.දේශපාලන භෞතිශ්මය පවුල් වලට පවරා දී ඇත.පක්ෂ ක්‍රමය අත්තනෝමතිකය.ඒවායේ අලුත් රුධිරය නැත.ඇත්තේ ඥාති සංග්‍රහයෙන් හා වියපත් බවෙන් යුතු පරණ ලේ ය.ශ්‍රී ලංකාවේ දේශපාලන දේහයට අළුත් හා ජවයෙන් යුතු නිරෝගී රුධිරය අවශ්‍ය මොහොත ප්‍රමාද වී ඇත.ඉහත කරුණු තුනකදී දැක්වූ කුලකයන් විසින් ආරක්ෂා කරන,එම කුලකයන් විසින් භෞතිෂ්ම කරන ලද දේශපාලකයන් පත් කරන තුරු අපිට යහපත් සිරි ලංකාවක් ගොඩ නැගීමේ පදනම දමා ගත නොහැකිය.

ඒ අනුව

1 වාර්ගික අර්බුධයට, 

2 දේශපාලනයට සිදුවන ආගමික මැදිහත් වීම අවම කිරීම.

3 සාමුහික ප්‍රචණ්ඩත්වය අවම කිරීම

4 නව්‍ය,ඥාති සංග්‍රහයෙන් හා පවුල් ගස් වලින් රෝපණය නොවුණු අළුත් දේශපාලන සංස්කෘතියක්

යන සිව්කොනට අයත් ශක්තිමත් පදනමක් සිරි ලංකාවට වහා වහා අවශ්‍යව තිබේ.

ඒ පදනම මත රටේ අරමුණු නමැති බිත්ති බැඳ රටේ බාහිර පෙණුමට සුදුසුම  වහලය සකසා ගැනීමෙන්.අපගේ රට නමැති නිවස ඉලක්කයන් සහිත ආදරණිය ,ගෞරවණිය ,සුන්දර නිවහනක් කරගත හැකිය.

 

ඊළඟ කොටසින් පදනම සමග බිහිවෙන ඉලක්ක නම් බිත්ති ගැන කතා කරමු.

name end

 

නවතම ලිපි