SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යට ගිය කතා: ඉෂාරා දේවේන්ද්‍ර සහ ඇය ගළවාගන්නන් කළේ ප්‍රෝඩාවක්ද? නාට්‍යයක්ද?

ITN නාලිකාවේ ප්‍රධානීන්ගෙන් තමන්ට සිදුවූ ලිංගික හිංසන ගැන ඉහත නිවේදිකාව මීට හරියටම මාස හයකට පෙර කළ අනාවරණය රටේ මහත් ආන්දෝලනයක් ඇති කළා.

ඒ පිළිබඳ අදාළ නාලිකාව ඒක පුද්ගල කමිටුවක් පත්කොට පරීක්ෂණයක්ද පැවැත්වූවා. එහෙත් ඉන් අනතුරුව කවරක් වීද යන්න දැනගන්නට නැහැ.

 

මේ සිදුවීම සුළුපටු දෙයක් නොවන අතරම ඒ පිළිබඳ රට දැනුවත් වීමේ වැදගත්කමක් තිබෙනවා.

 

මක්නිසාද යත් රජයේ මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරු දරන සල්ලාලයෙකු හෝ කිහිපදෙනෙකු ඉන් චෝදනාවට ලක්වීමත් එය ජනාධිපති, පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය අමාත්‍යාංශය, ITN ආයතනය, දෙස් විදෙස් මාධ්‍ය සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව මැදිහත් වූ බැවිනි.

 

 

මෙහි පළමු ප්‍රශ්නය ඇසිය යුත්තේ අදාළ නිවේදිකාවගෙනි. Ishara Dewendra, ඔබට සාධාරණයක් ඉටුවුනාද? එසේ වී නම් තමන්ට වූ අසාධාරණය ලෝකයාට කීවාක් මෙන් එය නොකියන්නේ මන්ද?

 

 

එසේ නොකියා සිටීම ඔබ වෙනුවෙන් ඇත්තට හෝ බොරුවට පෙනී සිටි, නිවේදන නිකුත් කළ, සමාජ මාධ්‍යයේ ලියූ සියල්ලන්ට කරන අසාධාරණයක්. කීමට ඇත්තේ "එය පවුලේ ප්‍රශ්නයක්. අපි ඒක ගොඩින් බේරාගත්තා" වැනි දෙයක් නම් එයද ඔබ නිසා කැළඹුනු අයට කීම යුතුකමක් නේද?

ඔබ එසේ නොකිරීම කාන්තාවන්ටම කරන අසාධාරණයක්. ඇත්තටම හිංසනයකට පත්වූ අයෙකු කියන දෙයක් වෙනුවෙන් වුව ඉදිරියේදී සමාජය පෙනී නොසිටිනු ඇත.

 

 

දෙවනුව ITN සභාපති සුදර්ශන ගුණවර්ධන මීට පිළිතුරු දිය යුතුය. ස්වාධීන හා අපක්ෂපාත පරීක්ෂණයක් තහවුරු කිරීම වෙනුවෙන් ඔහු නීතීඥ ස්වීනා චෑන් මහත්මිය ඒ සඳහා පත්කළේය.

 

 

ජනාධිපති කාර්යාලය මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේද අනුදැනුම ඇතිව පැවැත්වූ එම පරීක්ෂණය ගැන සභාපතිවරයා දන් කිසිවක් කියන්නේ නැත. ඔහුගෙන් දැනගත යුතු වන්නේ එහි කිසිදු වරදකරුවෙකු නොමැත්තේද කියායි.

 

 

මීළඟට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මීට පිළිතුරු දිය යුතුය. අදාළ සිදුවීම පිළිබඳ සජබ මන්ත්‍රීනී රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාය. එහිදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන බවයි.

 

 

උත්තරීතර පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රශ්නය යොමු කළ මන්ත්‍රීවරියගෙන් ඇසීමට ඇත්තේ ඔබ දැන් නිහඬව සිටින්නේ ජනමාධ්‍ය අමාත්‍යවරයා රහසිගතව ඔබට පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා දී තිබෙන නිසාද යන්නයි. නොඑසේ නම් ආඅළ "සල්ලාල නිලධාරියා" හෙළිදරව් කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඔබම ඇසූ ප්‍රශ්නය ඔබට දැන් අමතකද?

 

මෙම සිදුවීමට අදාළව ගැඹුරින්ම ප්‍රශ්න කළ යුතු පාර්ශවයක් වන්නේ මාධ්‍ය සංවිධානයි.

 

 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුනා. ITN සභාපතිවරයාගෙන් මේ පිළිබඳ යම් දැනුම්දීමක් කර ඇත්දැයි එහි ලේකම් Lasantha de Silva ගෙන් දැන ගැනීමට කැමැත්තෙමි.

 

 

"මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය" සිය නිවේදනයෙන් එදා කියා තිබුනේ "ශිෂ්ට සමාජය නොඉවසන, මෙම ම්ලේච්ඡ ක්‍රියාව පිළිබඳව පුළුල් කඩිනම් පරීක්ෂණයක් සිදුකර, ඉෂාරා දේවේන්ද්‍ර මහත්මියට යුක්තිය ඉටු කළ යුතු බවයි. ඒ සඳහා ඉහළම මැදිහත් වීම කරන බවද එහි දැක්වුනා.

 

 

සංගමයේ ප්‍රධාන ලේකම් වන Dharmasiri Lankapeli තම නිවේදනයේ සිය සංවිධානයේ දිග පළලද දක්වා තිබුණේ "ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් සාමාජිකත්වය උසුලන ලෝකයේ ප්‍රබලම මාධ්‍ය සංවිධානයකි" යනුවෙනි.

 

 

ලෝකයේ බලපෑම් සහගතම ඔබ සංවිධානයට ඇය වෙනුවෙන් සාධාරණයක් ඉටුවී ඇති බව දැනුම් දී තිබෙනවාදැයි නිහඬ ලංකාපේළිගෙන් දැන ගැනීමට අපි කැමැත්තෙමු.

 

 

"South Asian Women in Media" සංවිධානයද එහි සම කැඳවුම්කරුවන් වන හනා ඊබ්‍රහීම් සහ නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්තිගේ නමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණ.

 

ජාතික මාධ්‍ය ආයතනයක ඉහළම නිලධාරියෙකුගේ ලිංගික හිංසනය සහ ලිංගික අල්ලස් ඉල්ලීම ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් විශේෂයෙන් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශයේදී කාන්තාවන් වින්දිතයන් බවට පත්වීම නතර කිරීමේ වැදගත්කමත් එහි සඳහන් විය.

 

 

ප්‍රස්තුත සිද්ධිය සම්බන්ධයෙන් පසුවිපරමක සිටියාදැයි Dilrukshi Handunnetti මිතුරියගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. මාධ්‍ය ආයතනවල කාන්තා හිංසන වළක්වා ගැනීමට ඔබලාට ඇත්ත උවමනාවක් තිබේ නම් එය එසේ සිදුවිය යුතුය.

නොඑසේ නම් සුදර්ශන ගුණවර්ධන සභාපතිවරයා හෝ අදාළ නිවේදිකාව හමුවී සාකච්ඡා කර ප්‍රශ්නයට විසඳුමක් ලබා දී තිබේද?

 

 

මේ ප්‍රශ්න කිරීම කරන්නේ, යම් සිදුවීමකදී මාධ්‍ය සංවිධාන තමන් ඉන්නා බව පෙන්වීම සඳහා එඩිතර ලෙස නිවේදන නිකුත් කිරීමෙන් පමණක් මාධ්‍ය හෝ මාධ්‍ය වෘත්තිකයන් රැකගත නොහැකි යැයි සිතන බැවිනි.

 

ඉෂාරා දේවේන්ද්‍ර සිදුවීමට අදාළව දැනට කිව හැක්කේ, "රට්ටු සිනාගැන්වීමට වඩා රැවටීම බරපතල වරදක්" බවය.

 

@මහින්ද රුබසිංහ

නවතම ලිපි