මර්තේලිස් යනු දේවසිරි විසින් සාධාරණය කළ අරගල බසින් "නාකි මයිනෙකි".
ඒ නාකි මයිනාව අල්ලාගෙන ඌව සර්කස් සතෙකු මෙන් නටවමින් ටිකට් පොත් විකුණා ගැනීමට දේවසිරි සමත් වී තිබේ.
මර්තේලිස් යනු හැමදාම ප්‍රභූන්ට රැවටුණු මෝඩ ගැමියෙකි. නිර්මාල් සිය පොතෙන් සැබැවින්ම අපට පෙන්වන්නේ මර්තේලිස්ගේ ඒ උපන්ගෙයි මෝඩකමයි. ඒ අනුකම්පා සහගත දුර අතීතයෙන් මිදී ලිස්සන සුලු ටයිල් ඇල්ලූ ආලින්දයක ප්ලාස්ටික් දම්රෝ පුටුවක වාඩි වී පාඩුවේ සිටි මර්තේලිස් නැවත වාරයක් නූතන ප්‍රභූන් විසින් රවටා තිබේ. වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න ලොඹු මහල්ලාට "අලුත් ජීවිතයක" බොරු සිහිනයක් පෙන්වා කොළඹ ප්‍රභූන් "Ooh… Aah…" කියමින් ඒ මෝඩ ගැමියාගෙන් ආතල් එකක් ගනිමින් තිබේ.
මර්තේලිස් මේ මොහොතේ ඉන්නේ මහත් උද්දාමයකිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ මහා උගතුන් තමන්ව බැලීමට එන දවසට කලින් රාත්‍රියේ හරියට නින්ද යන්නත් නැතුව ඇති. කහට ගැහුනු පරණ සුදු සරම තදින් ඉස්තිරික්ක කර ආසාවෙන් ඇඳගෙන ඔහු පෙරමග බලා සිටියේය. හැරමිටියට වාරු දී ආලින්දයේ හිටවා ඔහුගේ පින්තූර ගන්නා විට ඔහු කුඩා දරුවෙකු මෙන් සතුටට පත් විය. නමුත් ඒ ඊයේය. ඇමරිකානු ඩෙනිම ඇඳගත් නෝනලා සහ තොප්පි දාගත් මහත්තුරු අද නැත. ඔහු නැවතත් පරණ සරම ඇඳගෙන බලා සිටී. ඔහුගේ මිනිත්තු පහළොවේ මොහොත ගෙවී අවසානය. ආතල් එක ඉවරය. දේවසිරිට අවශ්‍ය වන්නේ ඒ පින්තූර සිය අනුග්‍රාහකයන්ට සාක්ෂි වශයෙන් පෙන්වීම පමණී.
කොළඹ ප්‍රභූන් සහ දේවසිරි වැනි ලොකු සොක්කන් මේ නාඩගම නටන්නට කැමතිය. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ වැඩකරන කාලයේ මවිසින් මේ චර්යාව ඕනෑ තරම් නිරීක්ෂණය කර ඇත. ප්‍රභූන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය ඔවුන්ගේ බෝරින් ජීවිතයයි. සාමාන්‍ය වැසියන් විනෝද වෙන දෙයින් ඔවුන් සෑහීමකට පත් වන්නේ නැත. මර්තේලිස් වැන්නෙකු කුතුහලය දනවන කෞතුක බඩුවක් වන්නේ ඒ නිසාය. එය ඔවුන් විසින් තාවකාලිකව නිර්මාණය කරගන්නා මනෝ විකාරයකි. ජීව විද්‍යාගාරයක ඇඳ මත සිටිනා අමුතු සතෙකු අතපත ගාමින් කපා කොටා බලන්නාක් මෙන් ඔවුන් මර්තේලිස්ව පිරික්සයි. නැතුව ඔවුන්ට මර්තේලිස් ගැන පයිසෙක වැදගත්කමක් නැත. පරීක්ෂණයෙන් පසු මර්තේලිස්ව පණ පිටින් කුණු ගොඩට විසි කර දමයි.
දේවසිරි කරන්නේ මර්තේලිස්ට කෙසෙල් කවමින් නැටවීමයි. නොඑසේ නම් ඇඳ මත සත්ත්වයා කපා පෙන්වීමයි. දේවසිරි මර්තේලිස්ට පෙන්වන ගෞරවය පට්ටපල් බොරුවක් වෙන්නේ ඔහු සිය සපත්තු ගලවා නිවසට ඇතුළු වුවත් ඔහුගේ තොප්පිය මර්තේලිස් වෙනුවෙන් ගලවන්නේ නැති නිසාය. මර්තේලිස්ව රඹුටන් ගෙඩියකට ලඝු කරන නිසාය. ඒ සියල්ල ව්‍යාජ රඟපෑම්ය. ලලිත් ධර්මසේකර වැනි අහිංසකයන් ඒ රංගනය දැක පින් අනුමෝදන් වෙයි.
ප්‍රභූන් සොයන්නේ තමන්ටත් immerse විය හැකි සජීවී අත්දැකීමකි. බොරු රියැලිටියකි. මෑත කාලයේ මා දුටු එවැනි හොඳම ෂෝ එක කිතලංගමුවේ මර්තේලිස් නමින් දේවසිරි කළ නිෂ්පාදනයයි. ඊළඟට දේවසිරි කඩන්නේ රඹුටන් නොව දූරියන් කියා පූර්ව ප්‍රචාරණයක් කර තිබේ. එම ජෝගිය නැරඹීමට පුල පුලා බලා සිටිමු. ධර්මය අපට මග වේවා!
@එරන්ද ගිනිගේ