SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු සෑම අයෙකුටම සිය රට නියෝජනය කිරීම සඳහා සිහිනයක් පවතින නමුත්, ඒ අතරින් වෘත්තීය මට්ටමට පැමිණිය හැක්කේ ඉතාමත් අතළොස්සකට බැවින්

කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයද එක හා සමානව කරගෙන යා යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොව අති විීශිෂ්ඨම දඟ පන්දු යවන්නා බවට පත්ව සිටින මුත්තයියා මුරලිදරන් අවධාරණය කර සිටියේය.

 

ගෙවී ගිය 2022-23 වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම් තැබූ වාර්තා ඇගැයීමට ලක් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව පවත්වන ලද 45 වැනි පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රධානයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පැමිණි අවස්ථාවේදී ලෝක පූජිත පන්දු යවන්නා ඉහත කරුණු අවධාරණය කර ඇත.

 

 

“පාසල් දරුවොන්ට කියන්නේ මේ වන විට ගොඩක් කණ්ඩායම් තියෙනවා ක්‍රීඩා කරන්න. මෙතන ඉන්න හැම ළමයෙකුටම සිහිනයක් තියෙනවා රටට ක්‍රීඩා කරන්න. ඉතිං හැම එක්කෙනාටම සෙල්ලම් කරන්න බැ. මෙතන ඉන්නේ සුලු ප්‍රමාණයකට තමයි වෘත්තීයම විදියට ක්‍රීඩා කරන්න පුලුවන්. ඉතිං පළවැනි එක ඔයාලගේ ඉගෙනීම කඩා කප්පල් කරගන්න එපා. ඉගෙනීමත් එක්කම ක්‍රිකට් ගහන්න. දෙකම ඕන"

යැයි මුරලිදරන් සඳහන් කර සිටියේය.

 

 

මුරලිදරන් එසේ සඳහන් කරන විට එම වර්ණ ප්‍රධානයේදී සම්මාන ලබා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් වූ පාසල් වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට අධික සංඛ්‍යාවක් එම සම්මාන රාත්‍රිය පැවැති බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අසුන්ගෙන සිටියේය.

නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමන්විත අති උත්කර්ෂවත්ව පැවැති මෙම සම්මාන උළෙලේදී හිටපු දඟ පන්දු විශිෂ්ඨයා වැඩිදුරටත් උක්ත කරුණ පිළිබඳව පැහැදිළි කර සිටියේ මෙලෙසිනි.

 

 

“සමහරක් වෙලාවට මාව ගත්තහම අවුරුදු 20 ක් මගේ ප්ලේස් එක වෙන එක්කෙනෙකුට ගන්න බැරි වුණා. එතකොට කොච්චර ළමයි ඇවිල්ලා එන්න බැරි තත්ත්වයක් වෙනවාද. ඒක නිසා ඉගෙනම අතඇරගන්න එපා. ඒකත් එක්කම මේක කරන්න. ඔයාලට වාසනාවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔබට වෘත්තීමය ක්‍රීඩකයකු වෙන්න පුලුවන්"

යැයි මුරලිදරන් සඳහන් කර සිටියේය.

 

 

එම අදහස් දැක්විම අතරතුරදී වර්තමානයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව කොළඹින් පිටත ඈත ගම් දනව් වෙතට රැගෙන ගොස් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කොට තිබීම පිළීබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයටද මුරලිදරන් ස්තූති කර සිටියේය.

 

 

“දැන් මං අද අවෝර්ඩ් සෙරමනි එක බලද්දී ඔක්කොම ගමේ ඉන්න ඉස්කෝල. ඒ කියන්නේ ඒගොල්ලා තමයි ගොඩක්ම සම්මාන අරන් තියෙන්නේ. කොළඹ ඉස්කෝල වලට වැඩි සම්මාන හම්බවුණේ නෑ. ඒ කියන්නේ දියුණුව වෙලා තියෙන්නේ කොළඹ නොවෙයි. දියුණුව පිට පළාත් වල වෙලා තියෙනවා. ඒක ඇත්තටම මං ශ්‍රී ලංකා ක්‍රිකට් එකටයි පාසල් සංගමටයි ඉතාමත්ම ගෞරවය පුද කරනවා. ඒක හොඳ දෙයක් කියලා. ක්‍රිකට් පතුරුවා යන එක හොඳයි මුලු රට පුරා. ඒක හොඳ දෙයක්"

යැයි මුරලිදරන් සදහන් කර සිටියේය.

 

 

මුරලිදරන් මෙම අදහස් පළ කරන විට ක්‍රිකට් ක්‍රීඩාව ඈත ගම් දනව් වෙත රැගෙන යෑමට පුරෝගාමී මෙහෙවරේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ශම්මි සිල්වා ද අසුන්ගෙන සිටියේය. ඊට යාබදව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති, කොළඹ රාජකිය විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන නිළධාරීන් ද අසුන්ගෙන සිටියහ.

 

එම වර්ණ ප්‍රධානය මෙහෙයවූ කැලුම් ශ්‍රීමාල් විසින් මුරලිදරන් සමග සිදුකරන ලද සාකච්ඡාවකදී උක්ත කරුණු අනාවරණය කර සිටියේය. ඉතාමත් සිත්ගත් කාල සීමාවක් බවට පත් වුණු එම සංවාදයේදී මෙහිදී තමා ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ආකාරය මෙන්ම කඩුලු 800 සීමාව දක්වා ගිය ගමන් මඟ පිළිබඳවද මුරලිදරන් මෙහිදී මතක් කර සිටියේය.

 

 

“ඉස්සෙල්ලම මං ක්‍රිකට් පටන් ගත්තේ හොස්ටල් එකේ ඉන්නකොට. එතකොට අවුරුද 8 යි. කවදාවත් හිතුවේ නෑ ඒ කාලේ ළමයි දන්නේ නැතුව ඇති ක්‍රිකට් කියන්නේ වෘත්තීමය ක්‍රීඩාවක් නොවෙයි. දැන් තියෙන්නේ වෘත්තීය ක්‍රීඩාවක්. ඒ කාලේ ඉස්කෝලෙට කොහොමද සෙල්ලම් කරන්නේ. ඒක තමයි ආසාව තියෙන්නේ. රටට සෙල්ලම් කරනවා කියන්නේ හරි අමාරුයි. ලේසියෙන් සෙල්ලම් කරන්න බෑ.

නමුත් ඉස්කෝලෙ පටන් ගත්දි ඉස්සෙල්ලා ඉස්කෝලෙ ටීම් එකට ගහන්න තමයි මම හිතුවේ. එතකොට මේ වගේ ළමයින්ට තියෙන පහසුකම් නෑ. අඩුයි. ඉස්කෝල මේ වගේ සංඛ්‍යාවක් සෙල්ලම් කළේ නෑ. ලොකු ඉස්කෝල විතරයි ඒ කාලේ සෙල්ලම් කරන්න පුලුවන්. පාසල් ක්‍රිකට් වලදී පාසලේ ළමයෙක් වුණාම වැඩිය රටට ලංකාවට ක්‍රීඩා කරන එක ගැන හිතන්න හොඳ නෑ. රටට ක්‍රීඩා කරනවා කියලා සිහින තියාගන්න හොඳ නෑ. මොකද ක්‍රිකට් කියන්නේ හරිම පීඩනයක් තියෙන ක්‍රීඩාවක්. ප්‍රෙෂර් එක ඕගොල්ලා අඩු කරන්න අඩු කරන්න ඔයාලගේ දියුණුව උඩට යනවා කියන්නෙ ප්‍රෙෂර් එක එළියට ගන්න ඕන.

ක්‍රිකට් කියන්නේ ඔයාලා ආසම ක්‍රීඩාව වෙන්න ඕන. ඒකට ආදරය කරන්න ඕන. ඒකට කැප වෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා ඇවිල්ලා මං හිතන විදියට ඩිසප්ලීන් ඒක තමයි හරිම වැදගත් දේ. අපි ඉන්න කාලේ අපේ පුහුණුකරුවෝ කියන විදියට හැම දෙයක්ම කළා. එහෛම කළොත් තමයි මේ ක්‍රීඩාව හරියට කරන්න පුලුවන්. ඒ වගේම ක්‍රීඩාව එන්ජෝයි කරන්න ඕන".

 

 

“මුලින්ම කරන්න ඕන කණ්ඩායමට යන එක. ඊට පස්සේ බලන්න ඕන කණ්ඩායමට මම මොනවද කරන්න ඕන. හැමදාම ක්‍රීඩකයෙක්ට දක්ෂතා දක්වන්න බෑ. ක්‍රිකට් කියන එකේ අසාර්ථකවීම 100% යි. ඒක පිළිගන්න ඕන. ඒ කරලා බලන්න ඕන අසාර්ථකභාවයෙන් ගොඩ එන විදිය. පොඩි කාලේ ඉඳන්ම ගොඩ එන්න ඉගෙන ගන්න ඕන"

යැයි මුරලිදරන් සඳහන් කර සිටියේය.

 

 

“ලංකාවේ ටීම් එකට යන්න ලේසියි. එතන ඉන්න තමයි අමාරු. මොකෝ අසාර්ථකවීම් එනවා. එතකොට කලකිරිලා ඒක ගැන හිත හිත ඉන්නකොට තවත් ෆේල් වෙනවා. මම හිතන්නේ ක්‍රීඩාවක් හැටියට ක්‍රීඩා කරන්න. ඒකෙ එන්ජෝයි කරන එක.“

 

“විකට් 800 ක් ගන්න හිතේ තිබ්බේ නෑ. ඉස්සෙල්ලම හිතුවේ කොහොමද පළවැනි තරගයට ක්‍රීඩා කරන්නේ කියලා. ඊට පස්සේ තමයි හිතුවේ පළවැනි විකට් එක ගන්නේ කොහොමද කියලා. මට තේරුණා මම හිතපු තරම් අමාරුවක් නෑ මෙතන රැදී සිටින්න පුලුවන් කියලා. ඊට පස්සේ තරගයෙන් තරගය තමයි බැලුවේ. පළවැනි අවුරුදු 5 ම කණ්ඩායමෙන් එළියට යනවා. ආයිත් ඇතුළට එනවා. සෙල්ලම් කළේ කණ්ඩායමේ ස්ථානයක් ගන්න. කවදාවත් හිතුවේ නෑ 500 ක් ගන්න 800 ක් ගන්න. හිතුවේ ටීම් එක කොහොමද දිනන්නේ කියලා. ඒක තමයි වැදගත්ම දේ වෙලා තිබුණේ. කොච්චර ඔයා විකට් ගත්තත් වැඩක් නෑ ටීම් එක පැරදුණොත් කවුරුත් ඔයාව අගය කරන්නේ නෑ. ඔයා බෝල් කරලා තරගය දිනවන්න. මැච් දිනන්න ඕන. මිනිස්සු අගය කරන්නේ එතකොට තමයි. ඔයා 100 ක් ගැහුවාට මම විකට් 10 ක් ගත්තට තරගය පැරදුණොත් ඒකෙ වටිනාකමක් නෑ. මේ ක්‍රිකට් ඇවිල්ලා හිතන්න බෑ ඔයාලා ඔක්කොම දන්නවා කියලා. මොකද තවමත් මම ඉගෙන ගන්නවා. ක්‍රිකට් කියන්නෙ අමාරු ගේම් එකක්. ඒ වගේම හැම වෙලේම ඉස්සරහට යන්න ඉගෙන ගන්න ඕන. මම හොඳට ඇවිල්ලා කළා කිව්වාට ආපහු ඔයාව වැටෙන්න පුලුවන්“

යැයිද මුත්තයියා මුරලිදරන් සදහන් කර සිටියේය.

 

 

BY CHAMILA KARAWITA

@srilankacricket.lk

නවතම ලිපි