ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යළිත් වරක් සංශෝධනය කළ යුතු යැයි යෝජනාව නැවතත් මේ දිනවල කරළියට පැමිණෙමින් තිබේ.
බොහෝ අය දන්නා පරිදි වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට 21 වතාවක් සංශෝධනය කර තිබේ. මෙවර එය සංශෝධනය කළ යුතු යැයි කියැවෙන්නේ විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය හෙයිනැයි කියැවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කතාව මතු වෙන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද එසේත් නැතිනම් වෙනත් පාර්ශ්වයකින්ද කියා මා දන්නේ නැත. එහෙත් ඒ හඬ තරමක් ප්‍රබලව ඇසෙන බව නම් සැබෑවක් ය.
ඒ සංශෝධනවලට අමතරව අණපනත් විශාල සංඛ්‍යාවක්ද මේ දිනවල සාකච්ඡාවට භාජන වී ඇත. ඒවා අතර ප්‍රධානතම මාතෘකා දෙකක් වන්නේ ප්‍රතිත්‍රස්ත පනත සහ මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනතය. මේ දෙකම කෙටුම්පත් ලෙසින් මේ වනවිටත් ඉදිරිපත් වී ඇත.
මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මේ කියන ව්‍යවස්ථා සංශෝධන සහ යෝජිත පනත් කෙටුම්පත් පිළිබඳවය. මේ පිළිබඳව ශක්තිමත් සාකච්ඡාවක් ඇතිවීම ඉතාමත් අවශ්‍යය ය.
විධායක ජනාධිපති ධුරය
1990න් පසු කාලයේ වැඩියෙන්ම සාකච්ඡා වුණු දේශපාලන මාතෘකාවක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. 1978 ව්‍යවස්ථාවෙන් මේ තනතුර ඇති කළේය. 1982 පළමු ජනාධිපතිවරණය පැවැත්වූයේය. 1989 දෙවන වරට ජනාධිපති මැතිවරණයක් පැවැත්වූ අතර එයින් ජය ගත්තේ ආර්. ප්‍රේමදාස මහතාය. එජාපයේ අභ්‍යන්තර අර්බුදයක් වූ ගාමිණී, ඇතුලත්මුදලි මහත්වරුන් සහ ප්‍රේමදාස මහතා අතර ගැටුම එළියට පැමිණියේ විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසින්ය.
1994 ජනාධිපතිවරණයේ සිට පැවැති සෑම ජනාධිපතිවරණයකම එක් ප්‍රධාන තේමාවක් වූයේ ඉදිරියේ පත්වන ජනාධිපතිවරයා විසින් මේ ක්‍රමය අහෝසි කරන බවය. ඒ කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවය. එහෙත් ඒ කිසිදු ජනාධිපතිවරයෙක් එය ඉවත් කළේ නැත. බොහෝ අය සිදුකළේ ඒ අසීමිත යැයි කියූ බලතල කැමැති සේ පරිහරණය කිරීමය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 2001 දී සහ 2004 දී හදිසි මැතිවරණ පැවැත්වූයේ ඒ බලය යොදාගෙනය. මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වකීය පක්ෂයේ ලේකම්වරුන් මැතිවරණයට පෙර දින ඉවත් කළේ ඒ බලය යොදාගෙනය. හිටි හැටියේ අගමැතිවරයා ඉවත් කරමින් විරුද්ධ පක්ෂයට අගමැති ධුරය ලබා දුන්නේ ඒ බලය යොදා ගෙනය.
මේ ආකාරයටම නොවුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ජනාධිපති තනතුරේ බලතල යොදා ගනිමින් සිදුකළ දේවල් බොහෝය. විශේෂඥයන්ගේ මතය නොසලකා හරිමින් රසායනික පොහොර තහනම් කිරීම එක උදාහරණයක් පමණක්ය.
විධායක ජනාධිපති බලය හැම විටම යොදා ගත්තේ වැරැදි වැඩට යැයි මා කියන්නේ නැත. එහෙත් රටේ මතයක් ලෙසින් ස්ථාපිත වී තිබෙන්නේ මේ තනතුරට හිමි බලය අසීමිත නිසා ඒ හරහා සිදුවන සමහර ක්‍රියා සමාජයට සිදුකරන බලපෑම ඉතාමත් විශාල බවය.
මම මේ ප්‍රශ්නය දෙස බලන්නේ වෙනස් ආකාරයකින්ය. රටේ විධායක බලය වෙනමම ඡන්දයකින් තෝරන නිසා එහි ඇති බලතල නිසි පරිදි හැසිරවීමට හැකි අයෙක් තෝරා ගැනීමේ ඉඩ රටේ සියලුම ඡන්ද දායකයන්ට ලැබීම ඉතාමත් වැදගත්ය. මෙරට විධායක බලය සම්බන්ධ එක් විශාල ගැටලුවක් වන්නේ පත්වන ජනාධිපතිවරයාට ස්වකීය විධායක බලයේ කොටසක් වන කැබිනට් මණ්ඩලය තෝරා ගත යුතු වන්නේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් වීමය. රටේ ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ දැනීමක් ඇති අය ඇමැති තනතුරුවලට පත් නොවන්නේ ඒ නිසාය.
ඇමැතිකමට පත්වන පුද්ගලයා ඒ විෂය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වූ විට සිදුවන්නේ මුළු අමාත්‍යංශයම කඩා වැටීමය. ඒ මදිවාට ඇමැතිවරුන්ගේ හිතවතුන් ලෙසින් සිටින සමහරුන් ප්‍රධාන ආයතනවලට පත් කිරීමෙන් මේ තත්ත්වය තවත් බරපතළ වන්නේය. 1978 න් පසු රටේ ඒ ඒ ඇමැතිවරුන් යටතේ අමාත්‍යංශ වැඩ කළ ආකාරය පරීක්ෂා කිරීමෙන් මේ තත්ත්වය හොඳින් වටහා ගත හැකිය.
විධායක බලයට අයිති කැබිනට් මණ්ඩලය පත්වීම අනෙකුත් රටවල සිදු කරන්නේ වෙනස් ආකාරයටය. ඒ ඒ ජනාධිපතිවරුන් විසින් අදාළ විෂය පිළිබඳ හා පරිපාලනය පිළිබඳ විශේෂ දැනීමක් ඇති අයෙක් ඒ ඒ ඇමැති තනතුරුවලට පත්කරනු ලැබීම ඒ රටවල්වල සිදුකරන ආකාරය ය.
කැබිනට් මණ්ඩලය පත් කිරීමේ ක්‍රමය සම්බන්ධව හරි තීරණයක් ගැනීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය. එක්කෝ එක ඡන්ද පත්‍රිවකින් (One ballot paper System) විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ආයතන දෙකම තෝරාගත යුතුය. එවිට විධායක අගමැතිවරයෙක් සහ පාර්ලිමේන්තුවෙන් කැබිනට් මණ්ඩලය තෝරාගත හැකිය.
එසේ නොමැති නම් ඡන්ද පත්‍රිකා දෙකක ක්‍රමයකින් (දැන් ලංකාවේ තිබෙන ආකාරයෙන්) විධායකය හා ව්‍යවස්ථාදායකය තෝරාගෙන විධායකයේ කොටසක් වන කැබිනට් මණ්ඩලය ඒ සඳහා දැනුමක් ඇති අයගෙන් පාර්ලිමේන්තුවට පිටතින් පත්කළ යුතුය. අමෙරිකාව වැනි රටවල ආදර්ශය මේ සඳහා ලබාගත හැකිය.
මේ කාරණා කෙසේ වෙතත් මේ මොහොතේ ජනාධිපති ධුරය වෙනස් කිරීමට කවරෙකු හෝ උත්සාහ ගන්නේ නම් එසේ කරන්නේ තමන්ට ඒ සඳහා පත්වීමේ ඉඩක් නොලැබේ යැයි සිතන නිසා බව බොහෝ අයගේ අදහසය. රටේ තීරණාත්මක තනතුරක් අවශ්‍යද නැද්ද යන ප්‍රශ්නය සලකා බැලිය යුත්තේ තමාට ඒ සඳහා පත්වීමට ඉඩක් තිබේද යන්න සලකා බලා නොවේ.
ඒ නිසා මේ දිනවල සිදුවන ‘විධායකය අහෝසි කිරීමේ කතා’ සමාජයේ සුජාතභාවයක් ලබා ගැනීමට ඉඩක් නැති බව මගේ අදහසයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් ඇතත් එය සිදු කළ යුත්තේ ඒ සඳහා පළල් ජනවරමක් ලබා ගැනීමෙන් පසුවය. එවැනි ජනවරමක් නොමැති තත්ත්වයක මේ යෝජනා වෙන ආකාරයේ විධායකය අහෝසි කිරීමකට නොයා යුතු බව මගේ යෝජනාවය.
සමානුපාතික ඡන්ද ක්‍රමය
පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට අධිකරණ ඇමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් නව ඡන්ද ක්‍රමයක් සඳහා නීතියක් හැදීමට යෝජනා කළේය. ඡන්ද ක්‍රමයේ වෙනසක් පිළිබඳ සාකච්ඡාව මතුවූයේ එතැන සිටය.
මෙහිදී කිවයුතු කාරණයක් වන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය සම්බන්ධව විවේචනයක් රට තුළ මුල් කාලයේ සිටම පැවැති බවයි. කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් නොමැතිවීම සහ මනාප ඡන්දය සඳහා ඒ ඒ පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවන ගැටලුකාරිත්වය යන කරුණු මත මේ බොහෝ විවේචන පදනම් වී ඇත. ඒ නිසාම ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ යෝජනා සලකා බැලීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක්ද පත්කර තිබුණි. එහි මූලිකත්වය හෙබවූයේ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
දැන් විජයදාස රාජපක්ෂ මහතාගේ යෝජනාව ඉදිරිපත් වන්නේ මේ තත්ත්වය තුළය. මුලින්ම අපේ අවධානය යා යුත්තේ වත්මන් රජය මැතිවරණ නොපැවැත්වීමට මීට පෙරද දරනු ලැබූ උත්සාහය වෙතය. මෙවැනි රජයක් මැතිවරණ සම්බන්ධව කරනු ලබන ඕනෑම යෝජනාවක් රටේ ජනතාවගේ සැකයට භාජන වන බව ඉතාමත් පැහැදිලිය. විජයදාස රාජපක්ෂ මහතාගේ යෝජනාව වුවත් සැකයට භාජන වන්නේ එවැනි පසුබිමකය.
සමානුපාතක ඡන්ද ක්‍රමය යනු මෙරට ඡන්ද ඉතිහාසයේ මූලධාර්මික වෙනසක් එකතු කළ ඉතාමත් හොඳ ඡන්ද ක්‍රමයක් බව මගේ අදහසයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිවැරැදිව ක්‍රියාත්මක කිරීමට මෙම ක්‍රමය ඉතාමත් ශක්තිමත් බලයක් සපයන බවද පැහැදිලිය. එහෙත් ඒ ඒ කොට්ඨාසයට මන්ත්‍රීවරයකු නොමැතිවීම සහ මනාප පොරය යන කාරණා මෙරට මැතිවරණ ඉතිහාසයේ යම් අර්බුදයක් ගොඩනගා ඇති බවද සත්‍යයක්ය.
මූලධර්මයක් ලෙසින් ගත්විට සමානුපාතිකව මන්ත්‍රීවරු බෙදූ පසු ඒ ඒ මන්ත්‍රීවරුන් නම් කරන්නේ කෙසේද යන්න වැදගත් ප්‍රශ්නයකි. ලංකාවේද මුලින්ම නීතියට එක් කර තිබුණේ ඒ ඒ දිස්ත්‍රික්කවල සමානුපාතිකව මන්ත්‍රී ආසන ගණන තීරණය කිරීමෙන් පසු අදාළ පක්ෂයේ ලේකම්වරයා විසින් මන්ත්‍රීවරුන් තෝරා ගනු ලබන ක්‍රමයක්ය. එය ඉතාමත් අසාධාරණ සහ ප්‍රශ්නසහගත ක්‍රමයක් බව ඒ කාලයේම පැහැදිලි විය.
මනාප ක්‍රමය ආවේ එයට පිළිතුරක් වශයෙන් ය. ඡන්දදායකයාට මනාප තුනක් දීමේ හැකියාව ලබාදීම මගින් එතෙක් ප්‍රකාශ කර තිබූ ක්‍රමයට වඩා ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයක් ඉදිරිපත් විය. ඒ මනාප ක්‍රමය කරදරයක් වන්නේ ඡන්දය ඉල්ලන අපේක්ෂකයන්ට මිස ඡන්දය ලබාදෙන ඡන්ද දායකයන්ට නොවේ. ඒ නිසා මනාප ක්‍රමය රටට ප්‍රශ්නයක් යැයි කීම එතරම් සාධාරණ නැති බව මගේ අදහසයි.
ඒ නිසා සමානුපාතික ක්‍රමය පිළිගනිමින් කොට්ඨාසයට මන්ත්‍රීවයකු ලැබෙන ආකෘතියකට ගමන් කිරීමේ වැරැද්දක් නැත. එහෙත් ඒ සඳහා යැයි කියමින් ‘සීමා නිර්ණය වාර්තා ජිමික්’ එකකට රට ඇද දමන්නට ඉඩක් නොදීමත් සැමගේ වගකීමකි. වත්මන් ආණ්ඩුවේ ඡන්ද ක්‍රම ප්‍රතිසංස්කරණයත් එවැනි දෙයක් නොවේවා යැයි අපේ බලාපොරොත්තුවයි.
මීට අමතරව නව පනත් කීපයක් මෑතකදී ඉදිරිත් වී අත. ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
@මහාචාර්ය චරිත හේරත්
Lankadeepa