SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් සිරි  ලංකාව

වත්මන් සිරි ලංකාව ගැන මට දැනෙන දෙය මෙහි ලිවිය යුතුය. එය මගේ රටට කරන අපහාසයක් නොවේ. ළිදේ ගැඹුර නොදැන එහි බැසීමට කඹයක් සපයා ගත නොහැකිය. එහි ඇති පල් වතුර ඉවත් කරමින් අළුත් වතුර උණන තුරුම අවධානයෙන් ඉන්නට අවශ්‍යය. එබැවින් පහත සටහන් කරන සිරි ලංකාවේ වසර 75 ක ප්‍රගතිවාර්තාව ගැන උරණ නොවන ලෙස ඉල්ලමි.

 

ජනගහනයෙන් 13.1% ඉතා දිළිඳු ජනගහනය 25,6% දක්වා ඉහල ගොස් ඇති බවට ලෝක බැංකුව කියයි.වතු කම්කරුවන් හා බොහෝ ග්‍රාමීය කම්කරු ප්‍රජාව  දරිද්‍රතාවයේ රේඛාවට පහළින් ආදයම් ලබයි.මේ වන විට මධ්‍යම පන්තිය දුප්පත්කමේ රේඛාවට ආසන්න වෙමින් සිටිති. කාර්මික ව්‍යාපාර පසුගිය වසර හතර තුළ 35% කින් කුඩා වී ඇත. මන්දපෝෂණය දකුණු ආසියාවේ ඉහළම අගයකට පැමිණ ඇත. බුද්ධි මට්ටම අතින් ලෝකයේ රටවල් 199 කින් 140 ආසන්නයේ පසුවෙයි.ශ්‍රී ලංකාව ලෝකයේ වංචා දුෂක දර්ශකයේ රටවල් 182 කින් 102 ස්ථානය හිමිකරගෙන සිටී. ළමා අපයෝජනයන් හා ස්ත්‍රී දුෂණ මෙන්ම ළමා හිංසනය, කාන්තා හිංසනය අධික රටකි. නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ විනිවිද භාවය බිඳ වැටී ඇති බවට ලොව පුරා ප්‍රසිද්ධය. වගවීම හා වගකීම යන්න පැහැදිලි ලෙසම ප්‍රශ්නගතය. දූෂණය හා වංචාව, අල්ලස ඉහළ අගයක පවතී. ජාතීන් අතර සැකය හා සුව නොවූ වේදනාවන්ද, දිනෙන් දින ඇවිලෙන නොසන්සුන්කමද වැඩිය.

 

රාජ්‍ය නිලධාරීන් සමග කතා බහ කරන විට ඔවුන් ආඩම්බරයෙන් කියන්නේ, රටෙහි ක්‍රමවේදයන් හොඳින් ඇති බවය. එහෙත් රටේ රාජකාරි සිදු කිරීමේදී තවමත් ඉතා දීර්ඝ පියවර වලට යන්නට සිදුවේ. අල්ලස් දෙන්නට සිදුවේ. නූතනයේ ලෝකයේ බොහෝ රජාකාරී මාර්ග ගත ක්‍රමයට මානව සම්බන්ධතා අඩුවෙන් සිදුවේ. සිරි ලංකාවේ තවමත් රාජකාරියක් කරගැනීමට වට දහයක් ගමන් කර දහ දෙනෙක් හමුවිය යුතුය.

 

රටේ නීති ප්‍රශ්න ගැන කතා කරන විට නීතිඥයන් කියා සිටින්නේ යුක්තිය පසිඳලීම උදෙසා අවශ්‍ය තරම් නීති ඇති බවය. එහෙත් නඩු පැවරීමේ දෝෂ,නඩු විභාග කිරීමේ තාක්ෂණික  හා  නඩුවලට ගත වන කාලය සලකන විට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ජන ජිවිතයට සහනයක් වනවාට වඩා පීඩාවක් වී ඇත. සමාව දීම් හා යුක්තිය ඉතා මිල අධික වීම තුල ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම දුෂිත හා ජනපිඩක ය.

 

 

වෛද්‍යවරුන් සමග කතා බහ කරද්දී  නම් දැනෙන්නේ ඔවුන් සිටින්නේ සියලුම දැනුම හා තාක්ෂණය ගැන පිරිපුන් වය.එහෙත් වෛද්‍ය නොසැලකිල්ල නිසා හා පවතින ආර්ථික අර්බුධය තුළ ජනතාව මිය යන තරම ගැන සැලකීමක් පවා නැත. ආර්ථික අර්බුධය හමුවේ සෞඛ්‍ය අංශ වල සේවකයන් රට හැර යති.පිරිහුණු එහෙත් යම් තරමින් හෝ ක්‍රියාත්මක වූ නිදහස් සෞඛ්‍ය ගැන විශ්වාශ තබාගෙන සිටි දිළිඳු ජනතාවට අකාලයේ මිය යාමට පවා සිදුව තිබේ.

 

රටේ ගුරුවරුන් සමග කතා බහ කරන විට ඔවුන් සියල්ල දන්නා  මිනිස්සු ලෙස හැසිරෙති. එහෙත් පෞද්ගලික උපකාරක පන්ති සඳහා කරන ලද දැන්වීම් ගමින් ගමටය. නිදහස් අධ්‍යාපනයක් පවතින රටක එතරම් ඉහල මිලක්,දිව්ත්ව පිරිවැයක් අධ්‍යාපනය වෙනුවෙන් ජනතාවට දරන්නට සිදු වී ඇත්තේ මන්ද? අධ්‍යාපන ක්‍රමය රටේ ආර්ථික අවශ්‍යතා සම්පුර්ණ කරයිද? දැනට ලංකාවේ අධ්‍යාපනය ලිහාගත නොහැකි ගැටළු සහිත නූල් බෝලයක් වැනිය.

 

 

පොලීසිය යනු නීතීය  හා සාමය රකින ආයතනය වුවත්, පොලීසිය යනු රටේ දූෂිතම ආයතන අතරින් එකකි.විධායකයේ පහලම ජනතාව අතර ගැටෙන නිලය පොලිසියයි.පොලිස්පති වරයෙක් පත්කරගැනීමට නොහැකි වන තරමට පොලීසියේ ඉහල නිලයන් දුෂිත බවට ජනතා විරෝධය නැගෙමින් පවතී.එය දෙවෙනි වන්නේ වැඩි චන්දයෙන් පත්වූ රාජ්‍ය නායකයා නුසුදුස්සකු බවට ජනතාව වටහාගෙන ගත්  ක්‍රියාමාර්ග වලට පමණි.

 

 

ක්‍රීඩාව ගත්  කල ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර වශයෙන් අත්පත් කරගත් කීර්තිය පුස්සක් වී ඇත.දැන් දැන් ක්‍රිකට් ප්‍රසිද්ධ වන්නේ ආවේණික ලිංගික කරුණු වලටය.ජයග්‍රහණ කෙසේ වෙතත්,යහපත් පරිපාලකයන් නොමැති වීම නිසා ක්‍රිකට් අවගමනයේය.මලල ක්‍රීඩාවලට කවදත් ශ්‍රී ලංකාවේ ලැබිය යුතු ස්ථානය ලැබුනේ නැත.මේ වන විට ශ්‍රී ලංකාව සියළුම අර්බුධයන් හමුවේ තනි  පෞද්ගලික ජයග්‍රහණයන් හැර  අනෙක් සියළු අංශ වල දක්වන අවගමනය ක්‍රීඩාවට ද අදාළ වෙමින් පවතී.

 

 

දරුවන්ගේ ආරක්ෂාව ගැන කතා කරන විට නම් කතාවෙන්  අප අති උතුම්ම ජාතිය බවට පත්වී ඇත. එහෙත් ළමා විවාහ කරදීම අධිකරණ ඇමති වරයාම හැන්සාඩ් ගත කර  ඇත. දරුවන් දේශපාලනඥයින් අතින්,  ගුරුවරුන්,  පුජකයින්,  හා වැඩිහිටියන් අතින් දිනපතා අපයෝජනයට ලක්වේ.දරුවන් සමුහ දුෂණයන්ට ලක්වේ.දරුවන් මෙහෙකාරයන් ලෙස නිවෙස් වල මියයති.පහර කෑමට ලක්වෙති. ඒ අනුව ලංකාවේ දරුවන් ලෝකයේ යුධබිමක දරුවන් හා සමානවම අනතුරකට ලක්ව ඇත.

පාසල් අධ්‍යාපනය සමාන නැත. දරුවන්ට සමාන අවස්ථා නැත. පාසල් හැරයාම හා ඉන්පසු වෘත්තීන්ට එක්වීම ගැන පැහැදිලි වැඩ පිළිවෙලක් නොමැත. වෘත්තීය අධ්‍යාපනය ලඟා විය නොහැකි පරිදි මිල අධික වී තිබේ.

 

මව්වරු විදේශ ගත වෙති. දරුවන්ට යහපත් මානසික මට්ටමකින් පවුල් ජිවත ගත කරන දෙමාපියන් දක්නට ඇත්තේ කළා තුරකිනි.ඕනෑම සමාජයක පවුල යන කුටුම්භය වැදගත් ම කුටුම්භය වන නිසා එහි පැවැත්ම ආරක්ෂාව,ඉතා ඉහලින් අවධානයට යොමුකරයි.එහෙත් ලංකාවේ බහුතර පවුල් තනි මව් වරුන්ගේ හා පියවරුන්ගේ පවුල් බවට පත් වී ඇත්තේ විදේශ විනිමය ඉපයීමට සිදු වීම නිසාය.රටේ ආර්ථිකය පවුල් ඒකකයේ ආර්ථිකය හා ඍජුව බද්ධව එය ඉතා මානුෂිය නොවන ආකාරයෙන් ගිලගෙන තිබේ.පවුල් සංස්ථාව ස්ථාවර නොවන සමාජයක රටක ස්ථාවරය ප්‍රශ්න කල යුතුව ඇත.

 

තාරුණ්‍යය අඩක්ම කාන්සියෙන් හා දුප්පත්කමින් මිරිකී ඇත. එය ආක්‍රමණකාරී තරුණ පරපුරක් හා මානසිකව තුලනය නොවූ තරුණ පරපුරක් බිහි කරයි. එය රටේ දිගින් දිගට ඇදෙන දේශපාලන අර්බුධ වලට පාදක වන හා දේශපාලන අර්බුධ නිසා බිහිවන කරුණක් බවට පත්ව තිබේ. ශ්‍රම බලකායෙන් ප්‍රයෝජන ගන්නා බවක් පෙනෙන්නේ නැත. විදේශ රැකියා සඳහාම ශ්‍රම බලකාය උනන්දු කරවයි.

 

රටක වර්ධනයට අවශ්‍ය මනෝ විද්‍යාත්මක පදනම හා මානසික සෞඛ්‍ය පිරිහී ඇත.ප්‍රචණ්ඩත්වය හා ආර්ථික පිරිහීම නිසා සමාජයේ ආචාර ධර්ම ඉක්මවා ගිය බලහත් කාරයක් බිහිව තිබේ.

 

රාජ්‍ය ණය බර අධික වී, බදු බර වැඩිවී, දරාගත නොහැකි ජීවන බරකට ජනතාව මුහුණ දෙති. ආර්ථිකය බංකොලොත් වී ඇත. විදේශ විනිමය හිඟවීම නිසා ආනයනය සිමා වී ඇත. විදේශ ප්‍රතිපත්තිය චීනය හා ඉන්දියාව අතර දෝලනය වේ. ලෝකයේ දියුණු රටවලින් ඈත්වෙමින් සිටි. එය ඉදිරි මැතිවරණ වලදී තව තවත් චීනය දෙසට හැරෙනු ඇත. චීනයේ සේද මාවතේ වැදගත් තැනක් ලෙස ලංකාව දැඩි ලෙස චීනයේ ණය උගුලට සිරවී ඇත. දේශීය සම්පත් බොහොමයක් දිගුකාලීන බදු දීම මගින් එදිනෙදා ජිව්කාව කරගෙන යාමට දැනට සිදුව තිබේ. අයවැය පරතරය පියවා ගැනීමට රජයේ ක්‍රියාමාර්ග ගැන අපට අවබෝධයක් නැත.පසුගිය  වර්ෂ දෙක  තුළ මුදල් ට්‍රිලියන ගණනක් මුද්‍රණය කර ඇත.

 

රටේ බහුලම සම්පතක් වන ජලය පවා සමානව බෙදී යන්නේ නැත.රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් 36% අපතේ යයි. ආහාර ආරක්ෂණ වැඩ පිළිවෙලක් නොමැත. කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව තුළ ආහාර මිල ඉතා අධිකය. ආහාර මත බදු පැටවීම අවශ්‍ය නිසාදෝ රටේ කෘෂිකර්මය විවධ උපක්‍රම මගින් අධෛර්යයමත් කරමින් පවතී.

 

 

යහපත් දේශීය වෛද්‍ය විද්‍යාවක් හා ආහාර රටාවක් මගින් ශක්තිමත් කල හැකි ජාතියකට ඒ ගැන වගේ වගක්  නැත. සුද්දා විසින් අපේ දේශීය දේ නැතිකරමින් විනාශ කල බවට ආඩපාලි කීම හැර ,අතීතයේ දේ සොයා නැවත ස්ථාපිත අද ජනතාවගෙන් බහුතරයක් තම තරුණ කාලය කායික මානසිකව රෝගීව ගත කරති. අකාලයේ මිය යති. මරණය සුලබ වන්නේ ලෙඩ රෝග වසංගත නිසාම පමණක්  නොවේ. ප්‍රචණ්ඩත්වය හා සිය දිවි නසා ගැනීම නිසාය. පසුගිය දශක හතර පුරාම ශ්‍රී ලංකාව ලේ විලක් ව පැවතුනි. එයින් මුදවා ගැනීමට හා ආර්ථිකය තිර සාරව ගොඩ නැගීමට කිසිවකුට හැකියාවක් ලැබී නැත.එය මුල් ලිපිවල කතා බහ කල අසමත් බවේ දිගුවකි.

 

ආගමික නායකයන් රාජ්‍ය පාලනයට දැඩි ලෙස මැදිහත් වෙමින් සිටිති. ඔවුන් උගතුන්, වෘත්තිකයින් ට ලැබිය යුතු ලෞකික,හා අධ්‍යයන තනතුරු වලට ඇතුළත් වෙමින් සිවිල් සමාජයේ අයතීන් උදුරා ගනිමින් සිටිති. තමන් නොදන්නා විෂයන් වන ජාතික  ආරක්ෂාව, කෘෂිකර්මය හා නීතියේ ආධිපත්‍යය ගැන සංඝ සමාජය මැදිහත් වෙමින් ජන ජිවීත අවුල් කරමින් සිටිති. මේ නිසාම මහජනතාව එක අතකින් දේශපාලන පක්ෂ වලත්,  අනෙක් අතින් හමුදාව, පොලිසිය හා නිලධාරීන්ගේත්, මාධ්‍ය හා  හා මතවාදමය වශයෙන් ජනතාව නොමග යැවීමට හා  පීඩනයට ලක්වෙමින් සිටිති.

 

ඉහත කෙටි විස්තරය හා මේ සියලු සංඛ්‍යා දත්ත පවසන්නේ ලංකාව ඉතා  වුවමනාවෙන් හා ආයාසයෙන් නිවැරදි කළ යුතු රටක් බවය. ඒ නිසාම ලංකාවේ මෑත දශක හතරක ඉතිහාසයේ වර්ධනය අප විසින් විශ්ලේෂණය කළ යුතුව ඇත. එසේ දශක හතරක ඉතිහාසයට අප යායුත්තේ සැබවින්ම මේ ගරා වැටීම් වල සීඝ්‍රතාවය හා ඊට බලපෑ හේතුන් වටහා ගැනීමට මිස ඉතිහාසය අමතක කිරීමට නොවේ.

 

ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් පූර්ණ නිදහසක් ලබන්නේ 1972 වර්ෂයේ මැයි 22 දිනය. ඒ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ඒ මගින් ප්‍රකාශිත අධිකරණ බලය රැඳී තිබුනේ බ්‍රිතාන්‍යයටය. බ්‍රිතාන්‍යයේ අධිකරණ සාමි වරයා හෙවත් අක්‍රිය රැජිණ එහි ඉහළම වගකීම දරනු ලැබීය. 1978 ව්‍යවස්ථාව මගින් ලංකාවේ අධිකරණය ක්‍රමවත්ව පිහිටුවනු ලැබුවද, ඒ හේතුව නිසාම අප රටේ නීතියේ ගරා වැටීම සිදු වීම ආරම්භ විනි. අධික බලයක් සහිතව බලයට ආ එම රජයන් ට ව්‍යවස්ථාමය රාමුව තුළ ගොඩ නැගු අධිකරණය හා එහි ස්වාධීනත්වය  ක්‍රමවේදය තුළ හා සමාජමය වශයෙන්  රකින්නට නොහැකි විය. අනෙක් අතින් රටේ අසූව දශකයේ ඇති වූ තරුණ නැගිටීම්  ද උතුරේ යුද්ධයද ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම හා දුෂිත වීමට බලපෑ හේතුවකි. මෙය අද වන විට ව්‍යාධියක් වී අධිකරණය කෙරෙහි විශ්වාස නොතබන තැනට ලාංකීය සමාජය පත්ව තිබේ.

 

රටේ පුහුණු ශ්‍රමික වෙළඳ පොල අඩු  ඇගයීම් අගයක පවතී.බුද්ධිගලනය සීග්‍ර වී ඇත. නිදහස් අධ්‍යාපනයට වැය කරන මුදල් එයින් අපතේ යයි. රටේ ශ්‍රම බලකාය ට නිසි බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් හා සෞඛ්‍ය ආරක්ෂණයන් මෙන්ම සමාජ ආරක්ෂණයන් ද නැත.

රටේ පවිත්‍රත්වය හා පාරිසරික පැවැත්ම ස්ථාවර කිරීම ගැටළුවකි.තවමත් කැලි කසල කලමනාකරණය කරගන්නට, ප්‍රතිචක්‍රීකරණය කරගන්නට නොහැකි වී තිබේ.මේ වන විටත් ප්ලාස්ටික් පුළුස්සා දැමීම සාමාන්‍ය කරුණකි.

ඒ සියල්ලම සමග ප්‍රාදේශීය සභා නියෝජිතයාගේ සිට ජනාධිපති වරයා දක්වා අපරාධ වලින් නිදහස්, නිවැරදි චරිත ලෙස පත් කර ගැනීමට ජනතාවට නොහැකි වී තිබේ. දූෂණය නාස්තිය හා අල්ලස ව්‍යාධියක් වී තිබේ. රටේ තරුණ පරපුර අතීත සෞභාග්‍යයේ කතාවල්හි  හිර කර තබා වර්තමානය අක්‍රිය කර නව නිපැයුම් සිදු නොවන තැනට පත් කර තිබේ.

 

 

රාජ්‍ය සේවය අධික සේවක සංඛ්‍යාවකින් පිරවී ඇතත්, කාර්යක්ෂමතාවය අවමය. මේ නිලධාරී ප්‍රමාණය ස්ථාන ගත වී ඇත්තේ පාසල්, රජයේ කාර්යාල, පොලිසිය, ත්‍රිව්ධ හමුදාව හා අධ්කරණය මෙන්ම වෙනත් සංස්ථා හා දෙපාර්තමේන්තු තුළය.ඔවුන්ගෙන් පලදායි සේවයක් ලබා ගැනීම වෙනුවට ණය  ලබාගෙන පවා ඔවුන් නඩත්තු කරමින් හා විශ්‍රාම වැටුප් ගෙවමින් අධික නඩත්තු බරක රට ගිලී ඇත.රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු වල ඇති බහුතර ණය ප්‍රති චක්‍රීකරණය වන්නේ මෙවන් රජයේ සේවකයන් ගේ වැටුප් හා ණය මතිනි.ඒ අනුව ආර්ථික චක්‍රිකරණයේ සාවද්‍ය බවට වන දායකත්වය කව්රුන් හෝ මැන බැලුවේද?

 

 

අනෙක් අතින් මේ සේවයේ මාණ්ඩලික සේවයන්ට සැපයෙන වාහන බලපත්‍ර වැනි තීරු බදු සහන රටේ ආර්ථිකයට මහා බරක් වී ඇත. මේ සියල්ල අතර නිසි ලෙස කළමණාකරණය නොවන අර්ථ සාධක,සේවක විශ්‍රාම වැටුප් හා වැන්දඹු අනත් දරු වැනි අරමුදල් වලින් යැපෙන අධික සේවක පන්තියට සාපේක්ෂව රටේ බහුතරයක් වන වැඩිහිටියන්ට වැඩිහිටි ආරක්ෂණයක් නොමැත. මේ නිසාම වැඩිහිටි දිළිඳු භාවය ඉහළ අගයක පවතී. රජයකට තම අදායමට සාපේක්ෂව  නඩත්තු කළ හැකි පරිපාලනමය ක්‍රමවේදයකට යාම  අත්‍යවශ්‍යය. නිදහස ලැබීමෙන් පසු ජනරජ ව්‍යවස්ථාවෙන් බිහි කළ නිදහස තුළ අදටත් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍යය පරිපාලන ක්‍රමවේදයේ ලංකාවේ ක්‍රමයය. එහෙත් රටේ ගරා වැටීම දකින විට ලෝකයේ වෙනත් රටවල හා බ්‍රිතාන්‍යයේ ද ඉතා කාර්යක්ෂමව හා සාර්ථකව භාවිතා වන එම ක්‍රමවේදය ලංකාවේ  සාර්ථක වී නැත.එය එසේ වීමට හේතුන් අප අධ්‍යනය කර නැත.

 

මේ සඳහන් කරන ලැයිස්තුවට තවත් බොහෝ දේ එකතු විය යුතුය.එහෙත් මා මේ කෙටි හැඳින්වීමෙන් උත්සාහ කරන්නේ සිරි ලංකාව සැබවින්ම පවතින්නේ කොතනද යන්න තක්සේරු කිරීමක් අප කල යුතුය යන්න ගැන අදහසක් ඉදිරපත් කිරීමටය. ඇත්තෙන්ම සිරි ලංකාව සිටින්නේ කිසිදු අංශයක් ජයග්‍රාහි නොවන තැනකය. පළමු ලිපි දෙකේදීම කතා බහ කල පරිදි ශ්‍රී ලංකාවේ සංකල්පමය ,සංකේතාත්මක හා පරිපාලනමය අරමුණු සාක්ෂාත් වී නැත.මා කරන ඉහත විස්තරය අනුව එම අසමත් වීම් තුල රටේ පවතින සියළුම අංශයන්හි භෞතික හා හරයාත්මක කඩා වැටීම ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත.එනම්

 

ඉහත වටහා ගැනීමට අනුව එක්පසකින්  අපට ආර්ථික වශයෙන් අධික ණය බරක් තිබීම හා ආර්ථික වර්ධනය අවගමනය නිසා විශාල ගැටළු රාශියකට මුහුණ දෙන්නට සිදුව තිබේ.අනෙක් අතින් සමාජය සදාචාරාත්මක ව ගරා වැටි තිබෙන අතර  නීතියේ ආධිපත්‍ය බිඳ වැටි තිබිම මත අප විශාල සමාජීය අර්බුධයක ගීලී සිටිමු.තවත් අතකින් පරිපාලනමය අර්බුධයක් තිබෙන නිසා රටේ කිසිදු කරුණක් හොඳින් සිදු නොවේ.පරිපාලන වියදම රටේ අදායමින් වැඩිකොටසක් වියදම් කලත්,අප සිටින්නේ වගකීම,වගවීම යන කරුණු රහිතවය.

සිරි ලංකාවේ දැනට පවතින මේ ආර්ථික හා සමාජ ,පරිපාලන අර්බුධයෙන් මිදිය යුතුවා පමණක් නොව මෙතෙක් අසමත් ක්‍රමයෙන් ඉවත්ව අලුත් මාවතක යා යුතුය.

 

 

සිරි ලංකාව දැනට පත්ව ඇති තත්ත්වයෙන් මිදෙන්නේ කෙසේද?  දැනට පත්ව ඇති තත්ත්වය විශේලේෂණය කර නව මාර්ගයක් තෝරා ගැනීම වැදගත් බව ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට හැකිය.ජර්මනිය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔවුන් පත්ව සිටි දුර්වල හා යහපත් නොවන තත්ත්වය විශ්ලේෂණය කර ඔවුන්ගේ රට නිවැරදි කරගනු ලැබුණි.ඒ සඳහා ව්‍යවස්ථාමය,නීතිමය හා ආකල්පමය ප්‍රතිසංස්කරණ වලට ප්‍රවිෂ්ට වන ලදී.දකුණු අප්‍රිකාව හා ඉන්දියාව ද අප සමීපයේ ඇති උදාහරණය.ඉන්දියාව සම්පුර්ණ වෙනසක් සැලසුම් කර අදියර වශයෙන් දියත් කළ රටකි.සංස්කෘතික බහුවිධ බව තුල වුවද ඉන්දියාව ලෝකය ජයගෙන ඇත. ඉතියෝපියාව,කෙන්යාව වැනි රටවල් සම්පුරණ ප්‍රතිසංස්කරණ වාදී හෙවත් ක්‍රමවේදයේ වෙනස්කම් වලට ප්‍රවිෂ්ටවන ලදී.බංග්ලා දේශය පවතින දේශපාලන ව්‍යුහය තුල සෑහෙන ප්‍රතිශතයක වෙනස්කම් වලට භාජනය කරන ලදී.සිරි ලංකාවට ද මේ අවස්ථාව තම ප්‍රතිසංස්කරණ වලට යාමේ හොඳම අවස්ථාව ඉතිහාසය විසින් ලබා දී ඇත.විටින් විට ,ආණ්ඩු මාරු වීමේදී කරන ලද පැලැස්තර ප්‍රතිසංස්කරණ වලට වඩා සම්පුර්ණ ක්‍රමයේ වෙනසකට අවතීරණ වීමට අප මාතෘභූමියට අවස්ථාව උදාවී ඇත.ඒ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගත හැකිය.

 

 

සිරි ලංකාව අර්බුධය ආශිර්වාදයක් කරගෙන නැගිටීමට නම් ඒ පිලිබඳ කථිකාවතක් වෙනුවෙන් අවදි විය යුතුය. වසර 75කට දොස් තබා,දේශපාලන චරිත වලට දැනට ඇති  මැතිවරණ ප්‍රචාරක  දේශපාලනය ,හා ගැලරිය සතුටු කිරීමේ සටන් පාඨ දේශපාලනය වෙනුවට අළුත් දේශපාලන කථිකාවතක් සිරි ලංකාවට අවශ්‍යය.එය බහුතර ජනතාව ගෙන් අපේක්ෂා කළ හැකි දෙයක් නොවේ.බහුතර ජනතාවට ඔවුන් ජීවත්ව සිටින රටේ සැබෑ මුහුණුවර අවබෝධ කර ගැනීමට ඇති වැටහීම,බුද්ධිමය හැකියාව හා නිරවුල් භාවය මෙන්ම ධාරිතාවය ගැන ගැටළු තිබේ.එහෙත් මේ කථිකාවත දේශපාලන පක්ෂ රාමුවෙන් මිදී පෞද්ගලික වාසිවල අරමුණින් මිදී සැබෑවටම මව් බිම වෙනුවෙන් කරන්නක් යයි සැලකිය හැකි පිරිසක් විසින් ආරම්භ කර පවත්වාගෙන යා යුතු යයි යෝජනා කරමි.

දැනට කරළියේ පසුවන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තම මතවාදයන්  මත පිහිටා කරුණු වලට ප්‍රතික්‍රියා දක්වන දේශපාලනයක යෙදී සිටිති.ප්‍රතික්‍රියා දැක්වීම නවතා තමන් අපේක්ෂා කරන රට ,ජාතිය හා සමාජය ගොඩ නැගීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ පක්ෂ දේශපාලන වෙනසක් පළමුව ඒ නිසාම අප රටට අවශ්‍යය.  මේ සියළු කාරණා ගැන සලකා බැලීමක් නොකරන අසරණ බවකට රට පත්ව තිබේ.බුද්ධිමය සංවාදය පෞද්ගලික දේශපාලනයේ සීමාවෙන් අවසන් වීම සිරි ලංකාව දැනට මුහුණ දෙන විශාලතම අභියෝගයය.ඒ නිසාම  පසුගිය දශක හතර තුළ අපට අපේම ක්‍රමයක් සොයාගැනීමට කරන ලද උත්සාහයන් අසාර්ථක වී ඇත. අද වන විට රටට අවශ්‍යව   ඇත්තේ ඒ අසාර්ථක වීමේ ක්‍රමවේදය ට සාර්ථක ක්‍රමවේදයක් අනුගත කිරීමේ තත්ත්වයන් ය. එසේ නොවී ශ්‍රී ලංකාව  වෙනස් කර සංවර්ධිත රටක් කරා ගෙන යනු නොහැකිය.

 

ලංකාව මේ දශක හතර තුළම මුහුණ දුන් බරපතල ගැටලුව වනුයේ, රටේ දේශපාලන, සමාජයීය හා ආර්ථික ප්‍රශ්න වටහාගත් නායකයන් බිහි නොවීමය. නායකයන් අසූව හා අනූව දශක වලදී ඝාතනය වූ බව සැබෑ වුවත්, නායකතවයේ ගුණාංග සහිත නායකයන් ට දේශපාලන භුමිය තුළ  අවස්තාවක් නොවීම ගැටලුවකි. දේශපාලනයෙන් ඈත්වන උගත්,බුද්ධිමත් භාවයද රටේ මේ පිරිහීමට දැඩිව බලපෑ කරුණකි.වයෝවෘද්ධ පාර්ලිමේන්තුව හා අමාත්‍යවරුන් ලෝකයට අවශ්‍ය පරිදි යාවත් කාලීන වන්නේ නැත. ලෝකය ඉදිරියට යද්දී මව්බිම  ආපස්සට  යන්නේ ඒ නිසාය. නායකත්වයේ අඩුපාඩු ව සකසා ගැනීමට  කඩිනම් විය යුතුය.

 

එබැවින් අවසාන නිගමනයේදී වත්මන් සිරි ලංකාව  සම්පුර්ණයෙන්ම වෙනසකට භාජනය කර රටෙහි මිනිසුන්ට  සතුටින් ආරක්ෂිතව, පීඩාවකින් තොරව ජීවත්වීමට හැකි රටක් බවට පත් කරවීමේ කාර්යය වහ වහා කළ යුතුය. ඒ සේ නොවී නම් රට අප පුරවැසියන් ලෙස  පෞද්ගලිකව කෙතරම් ඉහල ඉලක්ක කරා ගමන් කලද රටට ඉලක්කයක් සපුරා දීමට අපට නොහැකි වීම ඛේදවාචකයකි.

 

රටට අරමුණක් ඉලක්කයක් වෙනුවෙන් ඊලඟ කොටස ලියවේ..

මතු සම්බන්ධයි.

subha  

 

 

 

  @Subhashini Wipfler

නවතම ලිපි