SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිදහස් මැතිවරණයකින් පලස්තීන නායකත්වය තෝරා ගන්නවා මිස සන්නද්ධ බලවේග වලට තීන්දු කිරීමට ඉඩ නොදිය යුතු බවත්,

ඊශ්‍රායෙල් පලස්තීන ගැටළුව සම්බන්ධයෙන් ආගමික දෘෂ්ටියකින් නොව මානුෂික දෘෂ්ටියකින් බලා කටයුතු කළ යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

 

ඔහු කියා සිටින්නේ ඊශ්‍රායෙල් – පලස්තීන ගැටළුව මධ්‍යස්ථ ආයතනයකින් පාලනය කළ යුතු බවය.

 

 

"ඊශ්‍රායල්, පලස්තීන ගැටළුව ඊළඟ සති කීපයේදී, අපි කැමති වුණත්, අකමැති වුණත් මේ රටේ දේශපාලනයට, මේ රටේ ආර්ථිකයට, ඒ වගේම මේ අන්තර්ජාතික, කලාපීය ක්‍රියාවලියට අතිශයින් බලපාන කාරණයක්. ගාසා තීරයේ දැනට දීලා තියෙන ඒ සම්බාධක පැනවීම, ජලය, විදුලිය, ඉන්ධන නොසැපයීම නිසා මිලියන දෙකකට අධික ජනතාවක් දරුවන්, මව්වරුන් අතිශය දුෂ්කර තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේක කිසිම ආකාරයක යුද්ධය පිළිබඳ, ජිනීවා සම්මුති වලට හෝ වෙනත් ජාත්‍යන්තර නීතියකට අනුකූල තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මේ පිළිබඳව ආගමික කෝණයකින් බලන්නෙ නැතුව, අපි මේ පිළිබඳ මානුෂීය දෘෂ්ටි කෝණයකින් බලලා, මේ සැපයුම් වහාම ලබා දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කල යුතුයි, පාර්ශවයක් ගන්නේ නැතුව".

 

 

ඒ වගේම මේ පිළිබඳ තව දුරටත් ඔබ්බට ගිහිල්ලා දැන් එක පැත්තකින් ගසා තීරයේ ජනතාව ප්‍රාණ ඇපයට හසු වෙලා තිබෙනවා. බලගතු හමුදාවක, ඊශ්‍රායල් හමුදාවේ. අනිත් පැත්තෙන් හමාස් සංවිධානය, දෙසීයකට ආසන්න ප්‍රාණ ඇපකරුවන් පිරිසක්, ඊශ්‍රායල් හමුදා භටයින් ඇතුළුව රඳවාගෙන ඉන්නවා. මේක සාමකාමී මාර්ගයකින් මුදවා ගැනීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වෙනවා ඇරෙන්න යුධමය වශයෙන් වලට ඉඩකඩ ලබා නොදිය යුතුයි.

 

 

"ලංකාවේ ස්ථාවරය, උනේ අතීතයේ, (මන් දන්නෙ නැහැ  දැන් මොකක්ද කියලා) ස්වාධීන පලස්තීන රාජ්‍යයක් හා ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයක් පිළිගැනීම. මොකද පලස්තීන ජනතාවට කිසියම් ආකාරයකට ආත්ම ගරුත්වයෙන් යුතුව ඔවුන් කාලාන්තරයක් ජීවත් වූ කලාපය නිසා, ඓතිහාසිකව හිටපු ස්ථානය නිසා. ඔවුන්ටත් ඒ ආත්ම ගරුත්වය හා දේශපාලන ගරුත්වය ඇතුව ජීවත්වීමට අවශ්‍යයි. ඒ වගේම ඊශ්‍රායලයත් එවැනිම ඒ බිමේ තිබෙන බව පිළිගනිමින් මේ රටවල් දෙකේ විසඳුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයි කියලා අපි හිතනවා".

 

 

ඒ වගේම නිදහස් මැතිවරණ ක්‍රියාවලියක් මගින් පලස්තීනයේ නායකත්වය තෝරා ගන්නවා විනා සන්නද්ධ බලවේග වලට එහි ජනතාවගේ ඉරණම තීන්දු කිරීමට ඉඩ දෙන්නට බැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඒ වගේම අද ගාසා තීරය හා බටහිර ඉවුරේ මිලියන පහක්, ලක්ෂ පනහක් පමණ ජනතාව ජීවත් වෙනවා. අපි අමතක කරන්න හොඳ නැහැ. ලක්ෂ හැටක අනාථයෝ පිරිසක් අවට රටවල්වල ජීවත් වෙනවා. මේ අනාතයින්ට තමන්ගේ මව්බිමට පැමිණීම අවශ්‍යයි. අන්න ඒක සහතික කිරීම තමයි මේ අන්තර්ජාතික ප්‍රජාවේ බලපෑම විය යුත්තේ.

 

ඒ වගේම ඒබ්‍රහමික ආගම්වල ප්‍රධාන මූලස්ථානය වෙච්ච ජෙරුසෙලම. ඒ කියන්නේ යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාමීය ආගම්වල. මේක එක කණ්ඩායමක් පාලනය කිරීම නිසා මේ පහුගිය අවුරුදු දෙදාහක කාලය තුළ ලෝකයේ ඇතිවෙච්ච සෑම ගැටුමකම යටින් තිබිච්ච දේ තමයි මේ ආගමික සංස්කෘතික ගැටුම. ඒ නිසා මේක ඇතිවෙලා තියෙන ඒ නිසා මේක මධ්‍යස්ථ එක්සත් ජාතීන්ගේ වගේ ආයතනයක් මගින් මේ ආගමික නිදහස තහවුරු වෙන ආකාරයට මෙය පාලනය කිරීමක් සිදුවිය යුතුමයි. එහෙම නැත්නම් මේක අනාගතයටත් ඇදි ඇදී ගිහිල්ලා අපේ රටවල් වලටත් ඉදිරි කාලයේදී මේකට ඒ භයානක ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

 

@මාධ්‍ය ඒකකය

එක්සත් ජනරජ පෙරමුණ