‘දෙනුවර නැවතුම’ තුන් ඈඳුතු නවකතාවෙහි ලේඛිකා ටිකිරි සුභාෂිණී විෆ්ලර් සමග ඉන්දු පෙරේරා පවත්වන ලද කතාබහක්!
දෙනුවර නැවතුම තුන් ඈඳුතු නවකතාවෙහි පළමු පොත නිකුත් වූයේ 2021 වසරේ ය. එහි දෙවෙනි සහ තුන්වෙනි කොටස් පසුගිය අගෝස්තු මාසයේදී එළි දක්වනු ලැබිණි. මෙහි කතුවරිය ඔබටත් මටත් අමුත්තකු වන්නේ නැත. එයට හේතුව ඇය ජර්මනියේ ජීවත් වුවත් ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරිනියක ලෙස විශාල කාර්යභාරයක් අපේ රටට සහ ලෝකයට ඉටු කරන නිසා ය.
අප මේ කතා කරන්නට යන්නේ ටිකිරි සුභාෂීණී විෆ්ලර් නම් වූ ඇගේ එම සමාජ සේවාවන් පිළිබඳව නොවේ. සෘජු සමාජ සේවාවක් නොවූවත්, ඒ සම්බන්ධයෙන් වක්‍රව ඉතා විශාල දායකත්වයක් සපයා දීමේ අරමුණින් ඇය විසින් නිර්මාණය කරන ලද මෙම දෙනුවර නැවතුම තුන් ඈඳුතු නවකතාව පිළිබඳවය.
* අපි මුලින්ම ඔබේ පෞද්ගලික තොරතුරුවලින් මේ කතාව පටන් ගමු.
මම අනුරාධපුරයේ අටමස්ථානයට ආසන්නයේම ඉපදිලා, අනුරාධපුරයේ නිවත්තකචේතිය මහා විද්‍යාලයේ මූලික සහ ද්විතීය අධ්‍යාපනය ලබලා, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය සම්පූර්ණ කළා. මගේ මවුපියන් දැන් ජීවතුන් අතර නෑ. ලංකාවේ රැකියාවන් කිහිපයක්ම කරලා ඉන් පස්සෙ 2006 දි උසස් අධ්‍යාපනය සඳහා මම ජර්මනියට ආවා. 2007 දි තමයි මා ජර්මනිය මගේ ස්ථිර පදිංචිය සඳහා තෝරා ගත්තේ.
* ඔබ දැනට ජර්මනියේ සිදු කරනු ලබන කාර්යභාරය කුමක්ද ?
මම දැනට මෙහි කටයුතු කරන්නේ සංක්‍රමණිකයන් ජර්මන් සමාජයට, එහි නීති පද්ධතියට සහ ක්‍රමවේදයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධ කළමනාකාරවරියක් ලෙසින්. ඒ හැරුණම ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරිනියක් ලෙසත්, ජර්මනියේ CDU පක්ෂයේ ( ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) ක්‍රියාකාරිනියක ලෙස සක්‍රීය දේශපාලනයේත් යෙදෙනවා. ඒ හැරුණු විට ජාත්‍යන්තර සමාජ හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වගේම ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරිය මම. එහි තව අධ්‍යක්ෂවරුන් හය දෙනෙක් කටයුතු කරනවා.
* ඔබේ නවකතාවෙහි ප්‍රධාන චරිත දෙක සිංහල ජාතික පොලිස් නිලධාරියෙක් සහ ද්‍රවිඩ ජාතික වෛද්‍යවරියක්. කතාවට පසුබිම් වෙන්නේ මෙරට ජනවාර්ගික යුද්ධය සහ ඊට පසු කාලය. ඔබේ නවකතාවට මෙවැනි තේමාවක් යොදාගන්නට බලපෑ විශේෂ හේතුවක් තිබෙනවාද ?
මම විදේශගත වන්නට පෙර වව්නියාවේ රාජකාරි කළ කාලයේ මට හමුවූ අනේක විධ වූ සිංහල සහ ද්‍රවිඩ ජාතිකයන් පිළිබඳ අත්දැකීම්, යුද්ධය පිළිබඳ අත්දැකීම් ඒ සියල්ල මම මේ නවකතාව සඳහා පාදක කර ගත්තා .මෙහි එන බොහෝ චරිත ඇත්තටම සැබෑවටම මට හමුවූ අයයි. නමුත් නවකතාව රචනා කිරීමේ දී එහි ගලා යාම සඳහා අවශ්‍ය වන ආකාරයට එම චරිතවල යම් යම් වෙනස්කම් ඇති කළා. දේවිකා සහ මහීක සැබෑ චරිත නොවෙයි. නමුත් ඒ චරිත මගේ සිත තුළ මතුවී රෝපණය වීමේ දී ඊට බාහිර අයගේ යම් යම් ලක්ෂණ මම ඇතුලත් කළා.
* අඹුසැමියන් වශයෙන් දේවිකා සහ මහීක තුළ මෙම නවකතාවෙහි විවිධාකාර ගැටුම් ඇතිවෙනවා. මහීක නිසා ගැහැනියක වශයෙන් විශාල අගතියකට ලක්වන අවස්ථා දේවිකාගේ ජීවිතයෙහි බොහෝ තිබුණත් මහීක ඒ වෙනුවෙන් කණගාටු වී සමාව යැද දෙදෙනාම ඒ පිළිබඳව සමථයකට පත් වී තියෙද්දීත් දේවිකා අවස්ථාවක් ලැබුණු සැනින් නැවත නැවත ඒවා උලුප්පා දක්වමින් ගැටුම් ඇති කර ගැනීම තුළින් ඔබ මතු කර දක්වන්නට උත්සාහ කළේ කුමක්ද ?
අපේ රටේ පැවතුණු මේ වර්ගවාදී යුද්ධය නිසා දේවිකාට මුලින්ම තම පවුල අහිමි වෙනවා. ඒ කියන්නේ මුලින්ම ඇගේ පියා ඝාතනයට ලක් වෙනවා. ඉන්පසු තම දරුවන් ගැන බිය වූ දේවිකාගේ මව ඉලවරසි, තම පුතු නීලන්ව රටින් පිට කර දියණිය දේවිකා දකුණේ සිංහල නිවසක නතර කරනවා. දේවිකාට තමන්ගේ දෙමාපියන් සහ සහෝදරයාගෙන් ඈත් වෙන්න සිදුවන්නේ ඒ විදිහට. ඇය උසස් අධ්‍යාපනය ලබන්නේ මව සහෝදරයා යන දෙදෙනාගෙන් සම්පූර්ණයෙන්ම දුරස් වී පිටස්තර අය ළඟ හිඳගෙනයි. මහීක හමුවූ පසුවත් දේවිකාට පවුල කියන ඒකකය තමන් අපේක්ෂා කළ පරිදි ලැබෙන්නේ නෑ. ප්‍රධාන වශයෙන් දේවිකා සහ මහීක තුළින් මම ගොඩ නැගුවෙ අපේ රටේ මිනිස්සු පවුල් කන විදිහ. මේ කාරණාව මම මෙම පොතේ අනිකුත් චරිත තුළින් ද තව දුරටත් සනාථ කරවන්නට උත්සාහ කළා.
* අපේ රටේ මිනිස්සු පවුල් කන විදිහ කියන එකෙන් විශේෂයෙන් ඔබ අදහස් කළේ කුමක්ද ?
සත්‍යය නම් අපේ රටේ මිනිස්සු පවුල් කන්න දන්නෙ නැහැ. මට ඕන කළේ ඒ ගැන විවරණයක් කරන්න. ඊට පස්සේ සමාජය තුළ ඒ පිළිබඳ කුමක් හෝ කතිකාවතක් ගොඩ නගන්න.
පවුල කියන්නේ සමාජයේ තිබෙන කුඩා ම ඒකකය. ඒ ඒකකය නිවැරදි විදිහට තිබුණේ නැත්නම් ඒ ඔස්සේ ගොඩනැගෙන සමාජයේ අනිකුත් විශාල ඒකක ඒකාන්තයෙන් ම බිඳ වැටෙනවා. පවුල කියන ඒකකය තුළ සිටින්නේ සැමියා, බිරිඳ සහ දරුවන්. නමුත් අපේ රට තුළ සැමියාගේ පවුලේ අය සහ බිරිඳගේ පවුලේ අය සමග තිබෙන බැඳීම්වල රූකඩ වන්නට විවාහක අඹු සැමියන් බොහොමයකට සිදුවී තිබෙනවා. මෙම පවුල කියන කුඩා ඒකකයෙහි තිබෙන දිගුකාලීන බැඳීම්වලට, දරුවන්ට, ලිංගික නිදහසට යන මේ ලොකු කුඩා හැම දේකටම ඒ කියපු පාර්ශවයන් සමග ඇති බැඳීම් තදින් බලපානවා. අපේ රටේ බොහෝ පවුල්වල අඹු සැමියන්ට ලිංගික වින්දනය කියන දේ හරි අඩුයි. එකිනෙකා පවුල තුළ හැසිරිය යුතු ආකාරය ගැන වැටහීම අඩුයි. දෙදෙනා අතර ආදරය තිබුණා වුණත් ලොකු බිඳීම් ඇති වෙනකොට ගැහැනියකට හිතාගන්න බෑ තමන් හැසිරිය යුතු ආකාරය කුමක්ද කියලවත්. මොකද අපේ සංස්කෘතිය තුළ ඕනෑම වරදකදී ඇඟිල්ල දිගු වෙන්නේ ගැහැනිය දිහාට මිසක් පිරිමියාට නොවෙයි.
* දේවිකාත් මෙම අත්දැකීමට අඩු වැඩි වශයෙන් මුහුණ දුන්නා නේද?
මහීකලගේ ගෙදර ගියාම දේවිකා කාමරයට කොටු වෙනවා. එයාට ඒ ගෙදර නිදහසේ හැසිරෙන්න බෑ. දේවිකා මහීකගෙන් වෙන්වී සිටි අවස්ථාවේ දී දේවිකා ඔහුට යවපු ලියුම් ඔහුගේ දෙමව්පියන් ඔහුට නොදී සඟවා ගැනීම තුළින් ඔවුන්ගේ විවාහ ජීවිතයට එම දෙමාපියන් විශාල වශයෙන් බලපෑම් ඇති කරනවා. මෙවැනි තවත් බොහෝ කටුක සිද්ධීන් වලට මහීකගේ දෙමාපියන් නිසා දේවිකාත් මහීකත් මුහුණ දෙනවා. දේවිකාට මහීකගේ දෙමාපියන් බොහෝ සෙයින් වෙනස්කම් කරද්දිත් ඔහු හිරේ හිටපු කාලයේදී දේවිකා, මහීකගේ දෙමාපියන්ගේ යැපීම පිණිස නොවරදවා ම මාස්පතා මුදල් යවනවා. ඇය එසේ කරන්නේ මහීක කරපු කාර්යය ඔහු වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමක් ලෙස සලකාගෙනයි. දේවිකා එය අනිවාර්යයෙන් ම කළ යුතුයි යන අදහස තුළ මහීක හිටියා මිසක් "අනේ මේ ගෑනි මේවා කරන්නේ මං වෙනුවෙන් නේද?" කියන හැඟීම ඔහුට තිබුණෙ නෑ. ඒ වගේම ඒ දෙමව්පියනුත් කල්පනා කළේ තමන්ගේ පුතාට ඒ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවුණේ දේවිකා නිසා කියලයි. ඒ නිසා එය ඇය විසින් කළ යුතුම දෙයක් සේ ඔවුන් සැලකූ බව මේ පොත කියවන පාඨකයාට හැඟී යන්න මම ඉඩ හැරියා. මහීකත් එතනදි දේවිකා ගැන හිතනවට වඩා තම පවුලේ බැඳීම් තමයි ඉහළින් සැළකුවේ. දේවිකා මේ සියල්ලම හොඳින් අවබෝධ කරගෙන ම තමන්ගේ පළමු දරුවා ලැබෙන්නට සිටි කාලයේ ඒ අපහසුකම් කිසිවක් ගැනවත් නොතකා වව්නියාවේ සිට ඔහු බැලීමට අනුරාධපුර සිරගෙදරට එනවා. ඔහුගේ කෑම බීම ගැන පවා ඇය සොයා බලනවා. නමුත් මහීක තමන් වෙනුවෙන් ඇය කළ සියලු දේ බිරිඳකගෙන් විය යුතු යුතුකම් මට්ටමින් ඉහළට සැලකුවේ නෑ. ඒ නිසා ඇය වෙනුවෙන් කෘතඥතාවයක් ඔහු තුළ ඇති වුණේ නෑ. දේවිකා මේ සියල්ල හොඳින් අවබෝධ කරගෙන උපේක්ෂාවෙන් සියල්ලටම මුහුණ දෙනවා. මහීක ගේ දෙමාපියන්ගෙන් තමාට සිදුවූ එබඳු බොහෝ අකටයුතුකම් නිසා ම ඔහුගේ දෙමාපියන් ඇයට සමාව දුන් පසුව වුවත් ඇගේ සිතේ ඔවුන් කෙරෙහි තිබෙන නොපැහැදීම නැති වන්නේ නෑ. මෙහිදී ත් මහීක ගේ අදහස වුණේ "ඇයි දේවිකාට බැරි මගේ දෙමාපියන් එක්ක හොඳින් කතා කරන්න " යන්නයි. දේවිකාගේ සිත තුළ මහීක ගේ දෙමාපියන් විසින් ඇති කරන ලද සුව නොවන තුවාලය පිළිබඳව මහීක මඳකටවත් තැකීමකට ලක් කළේ නෑ. මෙතුළින් මා නිරූපණය කළේ අපේ රටේ ඉන්නා සාමාන්‍ය ගැහැනිය. ඇය දෙමළද සිංහලද කියන එක නෙමෙයි වැදගත්. මේ තමයි හැමදාමත් අපේ පවුල තුළ පීඩාවට පත්වූ ගැහැනිය.
* ඔබ ලේඛිකාව වශයෙන් දිගින් දිගටම ඒ පීඩනය තුළම දේවිකාව ඉදිරියට ගෙන යනවා නේද ? ඔබ එමගින් අපේක්ෂා කළේ කුමක්ද?
මහීක තුළින් මම පාඨකයාට අවබෝධ කරවන්නට උත්සාහ කළේ අපේ රටේ, විශේෂයෙන් පිරිමින්ට ඔවුන්ගේ පවුල්වල බැඳීම් හේතුවෙන් ඔහුගේ බිරිඳ සහ දරුවන් මානසිකව පීඩාවට පත් වෙනවා කියන කාරණාව.
මහීකට උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්න වුවමනාව තිබුණත් තම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් ගැන වගකීම ඔහු මත පැටවී තිබූ නිසා ඔහු පොලිසියට බැඳෙනවා . ඊළඟට සොයුරියගේ විවාහය ගැන බර ඔහුගේ හිස මත තිබූ නිසා වැඩි මුදලක් උපයාගන්නට දුෂ්කර රාජකාරියට කැමැත්තෙන්ම ඔහු උතුරට යනවා. තමන්ගේත් දේවිකාගේත් විවාහය හදිසියේ දේවිකාටවත් නොදන්වා ඔහු විසින්ම සැලසුම් කර කිසිදු උත්සවයකින් තොරව රෙජිස්ට්‍රාර්වරයා ළඟ ලියාපදිංචි කිරීමකින් පමණක් අවසන් කළ මහීක නැගණියගේ විවාහ මංගල උත්සවය මහ ඉහළින් ගන්නවා. මේ සියල්ල ඔහු අතින් සිදු වන්නේ කුඩා කල සිටම පවුලේ වැඩිමහල් දරුවා ලෙස ඔහු වෙත පැටවී තිබූ වගකීම් සම්භාරයට ඔහු හුරු වී තිබූ නිසයි. එම බැඳීම් නිසා තමන්ගේ පවුල ගැන නිස්කලංකව හිතන්න ඔහුට හැකියාවක් තිබුණේ නෑ. අපේ රටේ තිබෙන මේ සංස්කෘතිය වෙනස් විය යුතුයි. හේතුව මෙවැනි තත්ත්වයක් පවුලේ වැඩිමහල් දරුවෙකුගේ පිට පැටවීම යනු නව යොවුන් වියේදීම ඔහුට පියෙකුගේ භූමිකාව අතට ගන්නට සිදු වීමයි. එය වැඩෙන දරුවකුගේ පෞරුෂයට හානි කරයි. මහීකටත් ඒක ඒ විදිහටම බලපෑවා.
ඒ වගේම මහීක තමන්ට රිසි දෙයක් කරනවා මිස යමක් කරන්නට පෙර බිරිඳ සමඟ කතා බහ කර එය තීරණය කළ යුතු දෙයක් වශයෙන් කවදාවත් කල්පනා කළේ නෑ. මේ නිසා ඔවුන් දෙදෙනා අතරේ ගැටුම් ඇති වන විට ඔහු තම වරද අවබෝධ කරගෙන ඇගෙන් සමාව ඉල්ලා සිටියත්, නැවත නැවතත් කළේ ඒ දෙයමයි. මේ තමයි අපේ රටේ ගොඩක් පිරිමින් හැඩ ගැසී තිබෙන ස්වභාවය. අපේ රටේ ගැහැනියට නැති අසීමිත තැනක් පිරිමියාට තිබෙන අතර පිරිමින් තමන්ට කැමති දේ කිරීම සහ ඒ පිළිබඳව බිරිඳට නොදන්වා කිරීම සමාජය කිසිසේත් වරදක් ලෙස දකින්නේත් නෑ. නමුත් ගැහැනියකට ඒ අයිතිය මේ සමාජය තුළ නෑ. ලිංගිකත්වයේදිත් පිරිමියා රිසිදේ කර ගැනීම මිස ඒ මොහොතේ තම බිරිඳගේ මානසිකත්වය ගැන එතරම් තැකීමක් නොකිරීම අපේ සමාජය තුළ සුලබ තත්වයක්.
* මෙම දෙනුවර නැවතුම පොත් තුනම කියවන පාඨකයාට තුන්වෙනි පොතේ අවසන් පරිච්ඡේදය දක්වාම දකින්න ලැබෙන්නේ දේවිකා විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙමින් ගත කරන එක්තරා ආකාරයකින් අතෘප්තිකර වූ ජීවිතයයි. ඇයට සිය රාජකාරි ජීවිතයේදී හමුවෙන උදයන් නිසා ඇගේ සිතේ ලොකු උද්දාමයක් ඇති වෙනවා. නමුත් ඔවුන් අතරේ අනියම් සම්බන්ධයක් ඇති වන්නේ නෑ . ඔබ මේ කතාවට උදයන් කැඳවා ගත්තේ ඇයි?
උදයන් කියන්නේ සැබෑ චරිතයක්. ඒ වගේම ඔහු එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක් ව සිටියා. ඔහු එකල එල්ටීටීඊ සංවිධානයේ විදුලි සම්ප්‍රේෂණ කුළුණ නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රභාකරන්ගෙන් රන් පදක්කමක් පවා හිමි කර ගත් කෙනෙක්. ඔහුගේ පවුලේ සහෝදරයෝ හමුදාවෙන් මැරුම් කෑවා. ඔහු කෙසේ හෝ ජර්මනියට පැන යාම මත එහිදී මගේ රාජකාරි කටයුතුවල දී මට ඔහු හඳුනා ගන්නට ලැබුණා. ඔහු ඉතා ප්‍රියමනාප පුද්ගලයෙක්. ඔහුගේ පෙනුම වගේම ඔහු කතා කරන විලාසයත්, ඔහු කතා කරන දේවලුත් ප්‍රියමනාපයි. මේ චරිතය ඔය කතාවට මං ඇතුල් කළේ ඒ නිසයි. දෙමළ භාෂාව කියන්නේ හරිම ප්‍රේමණීය භාෂාවක්. නමුත් ඒ භාෂාවෙන් දේවිකාට මහීක සමග අදහස් හුවමාරු කරගන්නට හැකියාවක් තිබුණේ නෑ. ඒ මහීක සිංහලයෙක් වීම නිසා. ඇය දෙමළ ගීත අසන්නට ප්‍රිය කළත් එය ද කළ නොහැකි වූයේ මහීකට එය ප්‍රශ්නයක් වූ නිසයි. මේ නිසා ඇය තනිව සිංදු අසන්නට පෙළඹෙනවා. දේවිකාට මෙවැනි දෑ කිසිසේත් සංතෘප්තිමත් අත්දැකීම් වන්නේ නෑ. ඇයට උදයන්ගේ හමුවීම තමන්ගේ කෙනෙකු මුණගැසුණු අන්දමේ හැඟීමක් ඇති කළා. කියමනක් තියෙනවා " පිරිමියෙකුට පුළුවන් නම් ගැහැනියකව හිනස්සවන්න ඒ තමයි ඇයට සුදුසු පිරිමියා" කියලා. දේවිකා, උදයන් සමග කතා කරන විට හරිම සතුටින් සිනාසෙමින් කතාබහ කළේ. දුරකතනයෙන් ඇය උදයන් සමඟ කතා කරන ආකාරය දකින මහීක තුළ දේවිකා කෙරෙහි තරහක් වගේම උදයන් පිළිබඳ ඊර්ෂ්‍යාවකුත් ඇති කරවන්නට සමත් වුණා. ඒ නිසා ඔහු කවදාවත් උදයන් ප්‍රිය කළේ නෑ. හරියට මහීක ගේ පළමු පෙම්වතිය වූ නයනා කෙරෙහි දේවිකාගේ හිත යට හැමදාමත් පැවති ඊර්ෂ්‍යාව වගේ. ඊර්ෂ්‍යාව, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ම ආදරය සමග එකටම ගමන් ගන්නවා.
* ඔබේ කතාවේ දේවිකා, කෝකිලා, ආනන්දි, ඉලවරසි මේ සියලු දෙනාම යුද්ධයෙන් බැට කෑවා ද්‍රවිඩ වීම මත. මා මේ සඳහන් කළේ කතාවේ චරිතවලින් කිහිපයක් පමණයි. ගැහැනුන් වීම මතත් ඔවුන් වෙනමම බැට කෑවා. තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම කියන කාරණාවේදී ඔවුන් තෝරා ගත්තු මාවත් වෙනස්. නමුත් එයිනුත් ඔවුන් බැට කෑවා. මේ සියල්ලෝම ලංකාවේ ගැහැනු. ඔබ මෙයින් සමාජයට දෙන්නට උත්සාහ කළ පණිවිඩය කුමක්ද ?
මගේ නිර්මාණය තුළ වැඩිපුරම මං ලිව්වෙ ලංකාවේ ගැහැනුන් පිළිබඳ ව. මෙහි රෙජිනේ සහ එරිකා ජර්මන් කාන්තාවන්. ඔවුන් දෙදෙනා එන්නේත් යුද පසුබිමකින්. එයාලා එහෙ ඒ ප්‍රශ්නයට මුහුණ දුන්නු ආකාරය සහ ලංකාවේ ගැහැනුන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය තුළ විශාල පරස්පරතාවක් තිබෙනවා.
තමන්ගේ සැමියා ඝාතනයට ලක් වූ පසු ඉලවරසි තම දරුවන් වන දේවිකාවත් නීලන් වත් එම ප්‍රදේශයෙන් පිටමං කළාට ඇය දිගින් දිගටම එහිම රැඳුනා. උතුරෙන් පිටවී පැමිණ නැවත විවාහයක් වන්නට ඇයට වුවමනාවක් තිබුණේ නෑ. අඩුම තරමෙන් තමා සැමියා සමග පවුල් කෑ එම නිවසින් පිටවීමටවත් ඇයට අවශ්‍යතාවයක් තිබුණේ නෑ. කෝකිලා ට තමන්ගේ පෙම්වතා වූ නීලන් අහිමි වීම තුළින් ඇය එල්ටීටීඊ සංවිධානයට බැඳී, අවසානයේ විවාහයකුත් සිදුවී, ඒ සැමියාත් අහිමිව රටිනුත් පිටවෙන්න වුණා. එල්ටීටීඊ සංවිධානයට සේවය කළ තම පෙම්වතා සමග පැන ගිය ආනන්දීට අන්තිමට සිදුවුණේ සැමියා අහිමි වී, තම පාදයකුත් අහිමි වී ආබාධිතයකු ලෙස යළි තම දෙමවුපියන් වෙත පැමිණීමටයි. වසුන්දරා ද්‍රවිඩ නොවූවත් යුද්ධයේ අයහපත් අතුරුඵල උරුම කරගත් කාන්තාවක්. ඇය මහීක ගේ නැගණිය. යුද හමුදාවේ සේවය කළ ඇගේ සැමියා යුද්ධයෙන් මිය යනවා. කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ ඇය තනි වන්නේ සිය තුරුණු වියේ දීමයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් මහීක කල්පනා කරන්නේ ඇගේ ඉදිරි ජීවිතය ඇයට දරුවන් සමග තනිව වාසය කිරීමට සිදු වීම ගැනයි. දේවිකාගෙන් තමාට හිමිවිය යුතු ලිංගික ආශ්වාදය පිළිබඳව උපරිමයෙන් හිතන මහීක, තරුණ වියේදීම සැමියා මිය යාම නිසා තනිවුණු තමන්ගේ නැගණියට යළි විවාහයක් කර දීම ගැන හිතන්නෙ නෑ. මේකට හේතුව අපේ රටේ පිරිමින් බහුතරයකටම සහකම්පනය කියන දේ නොමැති වීමයි. මේ තත්වය ඇති වන්නේ ළමා වියේ සිටම හැදෙන වැඩෙන පරිසරය තුළින් . කුඩා කාලයේ සිට තමන්ගේ දෙමාපියන් නිතර අඩදබර කර ගන්නා අයුරු දකින දරුවකුට එවැනි දේවල් සාමාන්‍ය දේ බවට පත් වී ඔවුන් එය දරා ගැනීමට ඉබේම හුරු වෙනවා. තමන් වැඩියෙන්ම ආදරය කරන අය මෙහෙම දේවල් කරනකොට ඉවසන්න පුරුදු වීම කියන්නේ ඒ දරුවන් සමාජයට ගිය විට සමාජයේ ප්‍රචණ්ඩ දේවලුත් ඉවසාගෙන බලා ඉන්න පුරුදු වීමයි. එවැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා සහාය වීමට ඔවුන්ට හැඟීමක් නෑ. ඒ වගේම පවුලේ ප්‍රචණ්ඩත්වය තමයි සමාජ ප්‍රචණ්ඩත්වය වෙන්නෙත්.
මෙහි මහීක ගේ චරිතය තුළත් මෙම සහකම්පනය කියන දේ තිබුණේ නැති තරම්.
දේවිකා ගේ උපකාරය නිසා ඔහුට ඇය සමඟ ජර්මනියට යාමට අවස්ථාව සැලසුනා. එහි දී ඔහුට ඉතා ඉක්මනින් නැගී සිටින්නට නීලන්ගේ උපකාර ලැබෙනවා. නමුත් දේවිකා ඒ රටේදීත් බොහෝ මානසිකව පීඩාවට පත් වෙනවා. ඇයට ඇය කැමති වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන්නට ලැබෙන අවකාශය ගොඩක් සීමා වෙනවා. ඒ වගේම තවත් දරුවන් දෙදෙනකු බිහි කරන්නට වීම නිසා ඒ කටයුතු තව දුරටත් පසුගාමී වෙනවා. නමුත් ඇගේ ඒ කැමැත්තට ඉඩ දීමට වඩා මහීක කැමති වුණේ ඇය තමා උපයන මුදලින් ජීවත් වෙමින් නිවසේ දරුවන් සමග රැඳී සිටින සාම්ප්‍රදායක ගැහැනියක වනු දකින්නටයි. මෙතැනදීත් ඔවුන් අතර විශාල වශයෙන් ගැටුම් ඇති වුණා. අවසානයේ තමන් බලාපොරොත්තු වුණු ජීවිතය කරා යන්නට දේවිකාට වසර පහළොවකට ආසන්න කාලයක් ගත වෙනවා.
* මේ නවකතාවේ විශේෂයෙන් දේවිකාගේ සහ මහීකගේ චරිත ගොඩ නැගීමේ දී එම චරිත තුළ ඔබ ජීවත් වෙමින් ඉතා සියුම් ලෙස හැම කරුණක්ම විවරණය කර තිබෙන ආකාරය දැකගත හැකියි . ඒ අනුව සමහර කාරණා 'අමු අමුවේ' ම ඉදිරිපත් කර තිබෙන්නේ දැයි කියාත් සිතෙනවා.
ඔබ කිව්වා වගේම චරිතයක් නිර්මාණය කිරීමේදී මම ඒ චරිතය තුළට වැද ඒ මොහොතේ එහි ජීවත් වෙනවා. ඔය කියන විදිහට අමු අමුවේ හැම දෙයක්ම, හැම සිතිවිල්ලක්ම ඉදිරිපත් කරන්නට එය බලපාන්න ඇති. නමුත් අනෙක් විශේෂම කරුණ වන්නේ මට වුවමනා වුණා අපේ මේ ශ්‍රී ලංකා සමාජය ගැන, විශේෂයෙන් පවුල් ජීවිතය ගැන විවෘතවම සාකච්ඡා කරන්න. එමගින් අඩුම තරමේ තමන් පවුල් කන විදිය හරිද නැද්ද කියලවත් යළි යළිත් සිතා බලන්නට පිරිමින් සහ කාන්තාවන් උනන්දුවන්නේ නම් එය මගේ මගේ සතුටක් සහ ජයග්‍රහණයක්.
* ඔබ ජර්මන් පුරවැසියෙක්. ඔබට බොහොම සතුටින් ජීවත්වීම සඳහා සියලු ආකාරයේ වටපිටාවක් තිබියදීත් ඔබ ඔබේ මව් රට ගැන බොහෝ සෙයින් කම්පාවට පත් වෙනවා. ජර්මනිය බඳු රටක් ශ්‍රී ලංකාව තුළින් බිහි වීම ගැන ඔබ සිහින දකිනවා. "දෙනුවර නැවතුම" ඔබේ මේ තුන් ඈඳුතු නවකතාව තුළින් ඔබ ගෙන එන අවසාන පණිවිඩයත් ඒකයි. ඔබ සිහින දකින ආකාරයේ ශ්‍රී ලංකාවක් බිහි කර ගත හැකි මගක් පෙනෙන මානයක හෝ තිබෙනවා යැයි ඔබ දකිනවාද?
මේ යන විදිහට එවැනි ලංකාවක් හදන්න බෑ. එම අවශ්‍යතාවය මතු කරගත යුත්තේ සමාජය තුළින්මයි. උගතුන් පවා කියන කතාවක් තමයි මේ රට හදන්න බෑ කියන එක. නමුත් බෑ කියල අතහැර දමනවාට වඩා කොහොම හරි කරමු කියන අදහසේ ඉන්න කෙනෙක් මම. මගේ මිතුරු මිතුරියන් කණ්ඩායමේ වුණත් මගේ මේ අදහස තියෙන අය මම දකින්නේ තුන් හතර දෙනෙක් විතරයි. අපට එවැනි අය සීයක් ඉන්නවනම් අවුරුදු දහයක් විතර යනකොට අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙනවා. මම ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන්ගේ අමතර කියවීම් සඳහා ත්‍රෛභාෂා පොත් දහයක් එම ක්ෂේත්‍රයන් සම්බන්ධ දැනුම ඇති ලේඛකයින් ලවා ලියවා මුද්‍රණය කර දරුවන් සඳහා නොමිලේ ලබා දීමත් එහි එක් පියවරක්. හැම පාසල් ළමයෙකුටම මේ පොත් කට්ටල කියවීමට අවස්ථාව ලැබුණොත් අවුරුදු දහයක් යනකොට අපේ රටේ භාෂා ප්‍රශ්නය නිරාකරණය වෙනවා. මේ විදියට බෑ කියලා නිකම්ම අත් දෙක අකුළාගෙන ඉන්නවාට වඩා මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් මේ රට යම් ප්‍රමාණයකට හෝ ඉදිරියට ඒම පිළිබඳව යහපත් බලාපොරොත්තු ඇති කරගන්න අපිට හැකි වෙනවා.
ඉතා වැදගත් දෙයක් තමයි පවුලේ ප්‍රචණ්ඩත්වය දුරු වීම. පවුලේ ප්‍රචණ්ඩත්වය තමයි ඊට පස්සේ රටේ ප්‍රචණ්ඩත්වය බවට පත්වෙන්නේ. ඒක අපේ රටෙන්ම ඔප්පු වී තිබෙනවා. ලෝකයේ මොන රටේ ද මේ තරම් වැරදි කරන අය මේ විදිහට රට පාලනය කරන්නේ? වැරදි කරලා කරලා වැරදි කරන්න බය නෑ, වැරදි කරන්න ලැජ්ජාව නෑ. වැරදි කරන මිනිස්සුන්ට නිවැරදි වෙන්න කියලා බලපෑම් කිරීම වෙනුවට අපේ රටේ සිද්ධ වෙන්නේ පාලකයන්ගේ වැරදි දරාගෙන ඉන්න කියලා මිනිසුන්ට බලපෑම් කරන එක. නිවැරදි මිනිසුන්ට අන්තිමට සිදු වන්නේ වැරදි කරන පාලකයින්ගෙන් සමාව ගන්න. එහෙව් සමාජයක් වෙනස් කරන්න ලේසි නෑ තමයි. නමුත් උත්සාහ දැරුවොත් කුමක් හෝ කරන්න බැරි වෙන්නේ නෑ.
@ ඉන්දු පෙරේරා