SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දරුවන්ගේ උපත් අනුපාතය ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, චීන රජය

වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වසරකට යුවාන් 3,600ක් (ඩොලර් 500ක් පමණ) බැගින් ලබා දෙන ජාතික මට්ටමේ ප්‍රථම දීමනා වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

 

 

දශකයකට පමණ පෙර ආන්දෝලනාත්මක "එක දරුවා" ප්‍රතිපත්තිය කොමියුනිස්ට් පක්ෂය විසින් අහෝසි කළද, චීනයේ උපත් අනුපාතය අඛණ්ඩව පහත වැටෙමින් තිබුණා. මෙම දීමනා මගින් පවුල් මිලියන 20කට පමණ දරුවන් ඇති දැඩි කිරීමේ වියදම් සඳහා උපකාරී වනු ඇතැයි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

 

ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනය, උග්‍ර ජන විකාශන අර්බුදයකට මුහුණ දී සිටින බැවින්, දරුවන් වැඩි සංඛ්‍යාවක් බිහි කිරීමට ජනතාව දිරිමත් කිරීම සඳහා චීනයේ පළාත් කිහිපයක් දැනටමත් යම් ආකාරයක ගෙවීම් ක්‍රම අත්හදා බලමින් සිටියා.

 

සඳුදා දින ප්‍රකාශයට පත් කරන ලද මෙම වැඩසටහන යටතේ, දෙමාපියන්ට එක් දරුවෙකුට උපරිම වශයෙන් යුවාන් 10,800ක් දක්වා මුදලක් ලබා ගත හැකියි. මෙම ප්‍රතිපත්තිය මේ වසරේ මුල සිටම ක්‍රියාත්මක වන බව බීජිංහි රාජ්‍ය විකාශන ආයතනය CCTV ප්‍රකාශ කළා. 2022 සහ 2024 අතර උපත ලැබූ දරුවන් සිටින පවුල්වලටද අර්ධ දීමනා සඳහා ඉල්ලුම් කළ හැකියි.

 

 

මෙම පියවර, බිලියන 1.4ක ජනගහනයක් සිටින රටේ උපත් අනුපාතය ඉහළ නැංවීමට දේශීය රජයන් ගත් උත්සාහයන්ට අනුබලයක්. මාර්තු මාසයේදී, චීනයේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක් වන හෝහොට්, අවම වශයෙන් දරුවන් තිදෙනෙකු සිටින යුවලකට එක් දරුවෙකු සඳහා යුවාන් 100,000ක් දක්වා දීමනාවක් පිරිනැමීම ආරම්භ කළා.

 

 

චීනය පදනම් කරගත් YuWa ජනගහන පර්යේෂණ ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, චීනයේ දරුවෙකු වයස අවුරුදු 17 දක්වා ඇති දැඩි කිරීමට සාමාන්‍යයෙන් ඩොලර් 75,700ක් වැය වෙනවා. සාපේක්ෂ වශයෙන් ගත් කල, දරුවන් ඇති දැඩි කිරීමට ලොව වඩාත්ම මිල අධික රටවල් අතර චීනයද සිටින බව මෙම අධ්‍යයනයෙන් හෙළි වුණා.

 

ජනවාරි මාසයේදී නිකුත් වූ නිල දත්ත අනුව, 2024 වසරේදී චීනයේ ජනගහනය අඛණ්ඩව තුන්වන වසරටත් පහත වැටී තිබෙනවා. රටේ අඩුවන ජනගහනය වේගයෙන් වයස්ගත වීමද බීජිංහි ජන විකාශන ගැටලු තවදුරටත් උග්‍ර කරමින් සිටිනවා.

 

චීනයේ මෙම දීමනා වැඩසටහන මගින් උපත් අනුපාතය ඉහළ නැංවීමට හැකිවේ ද?