සභ්‍යත්ව කතා නැවතත් ඇවිත්. දේශපාලන පක්‍ෂ මෙන් ම ජාතිකවාදී බුද්ධිමතුන් ද සභ්‍යත්ව කතා කියනවා.
සිංහල බෞද්ධ සභ්‍යත්වයක් කියා එකක් තියෙනවා ද?
සභ්‍යත්ව රාජ්‍යය කියන්නේ කුමක් ද?
කොටින් ම සභ්‍යත්වය යනු කුමක් ද?
මා දන්නේ නැහැ බුද්ධිමතුන් කොපමණ කාලයක සිට සභ්‍යත්වය කියන වචනය යොදා ගන්නවා ද කියා. ජාතිකවාදී බුද්ධිමතුන් කියන්න බැරි නැහැ අවුරුදු දෙදහස් පන්සීයක කාලයක් තිස්සෙ අප සභ්‍යත්වය කියන වචනය යොදාගෙන තියෙනවා කියල. මා ඉතිහාසය එතරම් හදාරල නැහැ. පැරණි පොතපත සියල්ල කියවලත් නැහැ.
මෙටාවෙ ඇතැම් පඬි නැට්ටන් ලියන දේ දැක්ක ම මට මා ගැන කණගාටුවක් ඇති වෙනවා. ඔවුන් මොන තරම් දෙයක් දන්නවා ද? සීගිරිය ගැන මා කියන දේට බොහෝ දෙනා විරුද්ධයි. සීගිරියට ඈත අතීතයට යන ඉතිහාසයක් තියෙනවා. එහෙත් එය මතු කර ගන්න අමාරුයි. මට හිතෙන්නෙ සීගිරි ඉතිහාසය උත්තර භාරතීයයන් වහලා තියෙනවා කියා. මා එය කියන්නෙ අපට සංස්කෘතියක් ඈත අතීතයේ සිට තියෙන බව කියන්නයි.
අප බහුල ව යොදා ගන්න වචන තුනක් තිියෙනවා. ඒ සංස්කෘතිය ශිෂ්ටාචාරය හා සභ්‍යත්වය. මේ වචන මෑතක එකතු වූ වචන බවයි මගේ වැටහීම. ඒ බොහෝ විට බටහිර වචන සඳහා වාත්තු කෙරුණු වචන. මේ ගැන වැඩි යමක් කියන්න මට බැහැ. බුද්ධිමතුන්ගෙන් ඇහුවට වැඩක් නැහැ. ඔවුන් තම දැනුම ප්‍රකාශ කිරීම සඳහා වැල් වටාරම් ටිකක් කියාවි. මෙහි ප්‍රතිචාරවලට විවෘත කරලත් වැඩක් නැහැ. සභ්‍යත්වය කොහොම වෙතත් අසභ්‍ය වචන ටිකක් කියවන්න පුළුවන් වේවි.
අප යොදා ගෙන තියෙන වචන හැදිච්චකම, හැදියාව, කුණුහරුප, නොසරුප්, ශිෂ්ට, අශිෂ්ට, ශීලාචාර, අශිලාචාර සභ්‍ය අසභ්‍ය විනීත අවිනීත ආදිය කියායි මට හිතෙන්නෙ. වචනවල තේරුමත් කාලයෙන් කාලයට වෙනස් වන බව පැහැදිලියි. අද අප යොදා ගන්නා සංස්කෘතිය ශිෂ්ටාචාරය සභ්‍යත්වය ඉහත සඳහන් වචනවල විකාශයෙන් තැනුණු වචන ද ඉංගිරිසි වචන සඳහා දුන් පරිවර්තන ද යන ප්‍රශ්නය හිතට එනවා.
මට නම් හිතෙන්නෙ අද සංස්කෘතිය කියන්නෙ ඉංගිරිසි කල්චර් කියන වචනය සඳහා තනාගත් පරිවර්තනය. සභ්‍යත්වය කියන්නෙ සිවිලිසේෂන් වචනය සඳහා පරිවර්තනය. ශිෂ්ටාචාරය කියන වචනයට අනුරූප ඉංගිරිසි වචනයක් තියෙනවා ද? ශිෂ්ටවීම යන්න ගැන අපට වැටහීමක් තියෙනවා. සමාජයේ සම්මතයක් තියෙනවා ශිෂ්ටවීම ගැන. අප කුණුහරුප කියා හඳුන්වන වචන යොදා ගැනීම ශිෂ්ට කියා කියන්නේ නැහැ. මා කුණුහරුප කියන්නේ නැති වුවත් සැඩ වචන යොදා ගන්නවා. බොහෝ උගතුන්ට අනුව මා අශිෂ්ටයෙක්.
ශීලාචාර යන්න ශීලය යන්නෙන් බිඳුණු එකක් බව පැහැදිලියි. අපේ ශීලය කියන්නේ සිංහල බෞද්ධ සමාජයේ ශීලයයි. ඒ ඒ සමාජවල ශීල වෙනස් වෙනවා. කෙසේ නමුත් ශීලයට එකඟ ව හැසිරෙන අයකු ශීලාචාර පුද්ගලයකු ලෙස හඳුන්වන්න පුළුවන්. අපේ වචන ගැන අපට යම් අවබෝධයක් තියෙනවා. ප්‍රශ්නය ඉංගිරිසි වචනවලට සිංහල (සංස්කෘත) වචන වාත්තු කිරීමේ දී. කල්චර් යන්නට වාත්තු කෙරී ඇති වචනය සංස්කෘතිය බව කලින් ද සඳහන් කළා.
සිවිලිසේෂන් යන්නට අද වාත්තු කෙරී ඇති වචනය සභ්‍යත්වය යන්නයි. එහෙත් එය හරි ද යන ප්‍රශ්නය මගේ හිතට එනවා. සිවිලිසේෂන් යනු ශිෂ්ටාචාරය ද? එවිට සභ්‍යත්වය යනු කුමක් ද? මිනිසකු සභ්‍ය වෙනවා කියන්නේ එක් අතකින් විනීත වීම. සභාවක හැසිරිය යුතු අන්දමට හැසිරීම. සභාවක් කියන්නේ සභාපතිවරයකු ඉන්න රැස්වීමක් ම වෙන්න ඕන නැහැ. කිහිප දෙනකුගේ එකතුවක් සභාවක් වෙන්න පුළුවන්. එහෙත් ඒ කිහිප දෙනා අනුව අපේ හැසිරීම් ද වෙනස් වෙනවා. අප දෙමවුපියන් ඉන්න තැනක සභාවක හැසිරෙන ආකාරය කුළුපග මිතුරන් සමග හැසිරෙන විධියට වෙනස්. සභ්‍යත්වය අර්ථදක්වන්න වෙන්නෙ සමහරුන් එකිනෙකා නොදන්නා අයගේ සභාවක හැසිරෙන විධිය ලෙස ද?
ඒ කොහොම වුණත් අද සභ්‍යත්වය කියන්නෙ ඉංගිරිසියෙන් සිවිලිසේෂන් කියන්නට කියා මට හිතෙන්නෙ. එවිට ප්‍රශ්නයක් ඇති වෙනවා. අප සිවිලිසේෂන් යන්න අපේ කර ගන්නේ කෙසේ ද? එසේත් නැත්නම් සභ්‍යත්වය සිංහල සමාජයට අවශෝෂණය කර ගන්නේ කෙසේ ද? මා කියන්නේ නැහැ සභ්‍යත්වය යන්නෙන් ඉංගිරිසි සිවිලිසේෂන් යන්නෙන් කියැවෙන දේ ම කියැවෙන්න ඕන කියා. එහෙත් අපට ඉංගිරිසි වචනය (සංකල්පය) මුළුමනින් ම වෙනස් කරන්නත් බැහැ.
ඉංගිරිසි සිවිලිසේෂන් යන්න යොදා ගැනෙන්නේ මනුෂ්‍යත්වය යන්නෙන් ගොනුවෙන මිනිස් ප්‍රජාවට පසු වැඩිම පිරිසක් ගොනු කර ගන්න පුළුවන් කුලකයකට. පඬි නැට්ටන් නම් කියන්නේ තමන් මනුෂ්‍ය වර්ගයට පමණක් අයිති පිරිසක් බව. එහෙත් ඔවුන් සිංහල පමණක් දන්නේ නම් කියුබාවට ගියා ම තරමක ප්‍රශ්නයක් වේවි කියා මට හිතෙනවා. අද බටහිර ලෝකය ඊශ්‍රායලය හා යුක්‍රේනය වෙනුවෙන් එක කුලකයක් ලෙස ක්‍රියා කරනවා. එහි වෙනස් මත දරන්නන් නැති බව නොවෙයි කියැවෙන්නේ. එහෙත් සමස්තයක් ලෙස ඔවුන් එක් පිරිසක් ලෙස කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ සභ්‍යත්වය වෙනුවෙන්. පඬි නැට්ටන්ට අනුව ඔවුන් ගෝත්‍රිකවාදීන්. බටහිරයන් තම සභ්‍යත්වය නැත්නම් ගෝත්‍රය ගැන හිතනවා. පලස්තීනුවන් ද එහෙමයි. ඔවුන් තම ගෝත්‍රය ගැන එනම් මුස්ලිම් සභ්‍යත්වය ගැන හිතනවා. ලෝකයේ ම ගෝත්‍රිකවාදීන් නොවන්නේ පඬි නැට්ටන් පමණක් විය යුතුයි. ඔවුන් සමාජවාදීන් ගෝත්‍රයක් ලෙස සලකන්නෙත් නැතුව ඇති.
සිංහල බෞද්ධයනට ථෙරවාද සභ්‍යත්වයක්වත් නැහැ. ථෙරවාදීන් සමස්තයක් ලෙස එක් පිරිසක් හැටියට කටයුතු කරන්නේ නැහැ. ඇතැම් දේශපාලන පක්‍ෂයක් ඇතැම් බුද්ධිමතුන් සභ්‍යත්වය සභ්‍යත්ව රාජ්‍යය ගැන කියන කිසිවක් මට තේරෙන්නේ නැහැ. ඒ මා බුද්ධිමතකු නොවන නිසා වෙන්න ඕන.
@Nalin De Silva