SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ නම හා එයින් කියවෙන න්‍යායන් අරමුණු භාවිතයන් ලෙස ගත් කළ ශ්‍රී ලංකාව කෙතරම් අසමත් වී ඇති රටක් දැයි පළමු කොටසින් සාකච්චා කළෙමි.

මේ කොටස එහි තවත් දිගුවකි.එයින් භාෂාවන් හා ජාතික ගීය  හා ඒවායේ භාවිතයන් නිවැරදි කරගත යුතු බවට සාකච්ඡා කරමි.

මා මගේ මව්බිම සිරි ලංකාව යැයි හැඳින්වීමට කැමැත්තෙමි. ඒ සැබවින්ම හදවතට දැනෙන සිරියක් ඒ නමේ ඇති බැවිනි. සිරි ලංකාවේ සියළුම සුන්දරත්වයන් අපගේ ජාතික ගීයේ සඳහන් වන්නාක් මෙන් "සුන්දර සිරි බරිනි " ඒ වචනයත් සමග අපට මැවී පෙනෙයි. විදේශිකයන් ශ්‍රී ලංකා යනුවෙන් ලියා තැබුවද ශබ්ධ කරන්නේ සිරි ලංකා වශයෙනි.සැබවින්ම ශ්‍රී යන්නද මහප්‍රාණ අකුරකි. ඒ අකුර කියවෙන විට සිහිවන සුබවාදී යමක් මට නම් නැත. ශ්‍රී විරෝධය හා වාර්ගික නොසන්සුන්තා සිහි වීම නම් වැළකිය නොහැකිය. කෙසේ නමුත් රටේ නම වෙනස් කිරීම පුළුල් කතිකාවතකින් පසුව කල යුතු දෙයකි. එහෙත් එය කල යුතු නම් පසුබට නොවී නිවැරදි කිරීම වටී.

සිරි ලංකාව ලෝකයේ සියළුම ස්වභාවික සිරි විසිතුරු වලින් පමණක් නොව වාර්ගික ආගමික විචිත්‍රත්වයෙන්  ද යුක්තය. ඒ විවිධත්වය සම්පතක්,හැකියාවක්, ශක්තියක් හෝ භාවිතයට නොගෙන ඇති මාවතක් බව අප තේරුම් ගන්නේ කවදාද යන්න මගේ මව්බිම ගැන සිතන සෑම මොහොතකම  මා මගෙන් ම අසන ප්‍රශ්නයකි. ලෝකය ශ්‍රී ලංකාව හඳුන්වන්නේ විවිධත්වයෙන් යුතු රටක් ලෙසය. එහෙත් රට අභ්‍යන්තරය එය සිංහල බෞද්ධ රටක් ලෙස අර්ථ ගන්වයි. එයින් තවත් ජනවර්ග රාශියකට රටක අයිතිය ගැන දෙවන පන්තියේ හැඟීමක් ලබා දෙයි. සිරි  ලංකාවේ පිහිටීම නිසා  කිසි දිනක අමිශ්‍ර ජාන වලින් හෝ අමිශ්‍ර වාර්ගිකත්වයෙන් යුතුව ලංකාව මෙතෙක් ඉදිරියට විත් නැත. දූපතක් වීම අතීත සේද මාවත හා අතීතයේ පටන්ම වූ වෙළඳ ගනු දෙනු හා වසර 450 ක් යුරෝපීයයන්ට කොටස් වශයෙන් හෝ යටත් වී තිබීම මත ඇතිව ඇති ගෝලීය විවිධත්වයේ පොහොසත් කම අත් විඳින්නට සිරි ලංකාවේ බහුතර ජනතාව සුදානම් නැත්තේ ඇයි ?

ආගමික කරුණු දේශපාලනයට එක්ව රටක් හැටියට ඡන්ද දිනීම පමණක් ඉලක්ක කරගත් දේශපාලන ක්‍රමයක එවැනි විවිධත්වයේ සිරිය නිතරම භාවිතා වන්නේ බෙදීමකට හා ගැටුමකට ය. ඒ නිසාම ශ්‍රී ලංකාව බාහිරට පෙනෙන අයුරින්ම රටේ නම හා අරමුණ යන සංකල්ප තුලම අපගේ බහුවිධ භාවය ආරක්ෂා කරන ක්‍රමවේදයක් ගොඩ නැගිය යුතුය. බහුවාර්ගික රටක් බහුභාෂික රටක් ක්‍රියාත්මක වන්නේ තම ජනතාවගේ සුව සෙත පිණිස නම් ..ඒ වෙනුවෙන් ඉතා කුඩා කරුණේ සිට සැලකිලිමත් ව කටයුතු කළ යුතුය.

විවිධත්වය කළමනාකරණය කරගැනීමට නොහැකි වීම නිසාම ඉතිහාසය පුරාම වාර්ගික, ආගමික හා මතවාදමය ප්‍රචණ්ඩත්වයෙන් සිරි ලංකාව පීඩා විඳියි. එම ප්‍රචණ්ඩත්වය හා චක්‍රීකරණය වන ප්‍රතිප්‍රචණ්ඩත්වය සිරි ලංකාව ලෝකය තුළ තනිකර ම්ලේච්චත්වය ට බර රටක් කර ලේබලයක් අලවා තිබේ. වෙනස් කරගත යුතු හා හැකි කුඩා කුඩා කරුණු පවා වෙනස් කරගැනීමට කාර්යක්ෂම නොවෙමින් ප්‍රශ්න ඇදගෙන යන රටක් ලෙස මම මගේ මව්බිම දකිමි. හොඳම උදාහරණය ලංකාවේ ජාතික ගීයය. ඒ ගැන ඇති විවාදය හා ප්‍රතිරෝධය පැවතී  හා පවතින කිසිම ආණ්ඩුවක් විසඳීමට සුදානම් බවක් නොපෙනේ.

 

සිරි ලංකාවේ ජාතික ගීය ගැන ඇති ගැටළු කිහිපයකි. පළමු ගැටළුව එය ගායනා කරන්නේ එක්‌ භාෂාවකින් පමණි. සිරි ලංකාව පෘතුගීසින්, ලන්දේසින් හා ඉංග්‍රීසින්  එන්නට පෙර ද්වි භාෂිකය. වාර්ගික අර්බුධයට රාජ්‍ය  භාෂාව සිංහල පමණක් වීම  විශාල පොහොරක් සැපයීය. අදටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක නොවේ.

සිරි ලංකාව අනිවාර්යයෙන්ම ත්‍රෛ භාෂාවෙන් සන්නද්ධ රටක් වීම රටේ ගැටළු වලින් භාගයක් අපට විසඳා දෙනු ඇති බවට මගේ විශ්වාශයයි. අනවබෝධය,එකිනෙකා කෙරෙහි ඇති අවිශ්වාසය හා වාර්ගික ව වෙනස්කමකට ලක් නොවීම යන කරුණු ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාව ත්‍රෛ භාෂා රටක් විය යුතුය. එයින් සිංහල හා දමිල බසින් ශ්‍රී ලංකාවේ ජාතික ගීය කවර කලක වුවද ගැයීමට අවස්ථාව නිත්‍යානුකුල හා අනිවාර්ය විය යුතු බව මගේ හැඟීමයි.

අනෙක් අතින් අපගේ ජාතික ගීය ගැන විවිධ ප්‍රකාශිත  ගැටළු පවතී. ඒවායේ ගණ පිහිටවීම වැරදි යයි ද එහි ගණ වෙනස් කළ නිසා නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතා සියදිවි නසාගත් බවද ප්‍රකට කරුණකි. එසේ නම් ජාතික ගීය නිවැරදි කිරීම ජාතික වගකීමකි. එය නිර්මාතෘ ට කරන ගෞරවයකි. කෙසේ නමුත් අපේ රටේ  නමට යොදාගෙන ඇති බහුශ්‍රුත න්‍යායන් මෙන්ම  මහප්‍රාණ ලෙසටම  ජාතික ගීයද දිග වැඩි බව මට සිතේ. පරිසර වර්ණනා සහ වර්ණනා හැරුණු කොට අපට ශක්තියක් ගෙන දෙන එකම කොටස නම්

ඔබ වේ අප විද්‍යා

ඔබ මය අප සත්‍යා

ඔබ වේ අප ශක්ති

අප හද තුළ භක්තී

ඔබ අප ආලෝකේ

අපගේ අනුප්‍රාණේ

ඔබ අප ජීවන වේ

අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ

නිතින අප පුබුදු කරන් මාතා

ඥාන වීර්ය වඩවමින රැගෙන

යනු මැන ජය භූමී කරා...

දක්වා ගැයෙන කොටස වේ. එවැනි කොටසක් භාෂා දෙකකින් ගැයීමට විශාල කාලයක් ගත නොවේ.

එයින් පසු ගැයෙන කොටස වාර්ගික බෙදීම හා භේද භින්න භාවයන් ජාතික ගීයේම සටහන් වීමක් දකිමි.විශිෂ්ටයකුගේ කෘතියක් අමු අමුවේ එලෙස විවේචනයට ලක් කිරීම ගැන මා සමග උරණ නොවනු ඇතැයි සිතමි. එසේ උරණ වීමකදී වුව මා දකින්නේ ගීතයේම ඇති භේද භින්න භාවය ජාතික ගීයක නොතිබිය යුතු බවය. සමගිය,සමාදානය, විවිධත්වය තුල එක්ව සිටීම අපගේ රටේ පදනම විය යුතු දෙයක් මිස මාතෘකාවක් පමණක් නොවිය යුතුය. ජාතික ගීයේද එය මාතෘකාවක් වී ඇත.

එක මවකගෙ දරු කැල බැවිනා

යමු යමු වී නොපමා

ප්‍රේම වඩා සැම භේද දුරැර දා..

මේ පද පේලි තුල කියවෙන්නේ බෙදීමයි. අපි ස්වභාවයෙන්ම එකමුතු ජාතියක් වීමක් නොව සැමදා ඒ බෙදීමඇති බවත් එය  අමතක කරමින් යා යුතු ගමනක් ගීතයේම සිහිගන්වයි. ජාතික ගීය ගැයෙන කල්පයක් වුව අප ඒ බෙදීම පවත්වාගෙන යාමක්  හා සාමයෙන් සමගිය වෙනුවෙන් සැමදා සටන් කළ යුතු බවක් එයින් විද්‍යමාන වෙයි. ඒ නිසාම මට මගේ මව්බිමේ   ජාතික ගීය මීට වඩා අර්ථවත් හා විවිධත්වයේ ඒකමිතිය පදනම කරගත් එකක් විය යුතු බවට දැනේ.

 

මෙතෙක් මා මාගේ මව්බිමේ අවධානයට ගනු ලැබුවේ රටක සංකේතාත්මක ප්‍රතිරූප ය යයි තර්ක කල හැකි මුලික කරුණුය. සිරි ලංකාවේ ජාතික කොඩිය මා මෙතෙක් කතා බහ කල විවිධත්වයේ ඒකමිතිය  හොඳින් සංකේතවත් කරන නිසා ඒ නිර්මාණය හා සංකේතය රටේ නමට හා ජාතික ගීයට සාපේක්ෂව ජාතික කොඩිය ඉදිරියෙන් ඇති  බව කිවයුතුය.

මේ විග්‍රහයේදී අපේ රටේ පදනම, මුලික කරුණු ගැන මේ ප්‍රශ්න ටික නිරතුරුවම මගේ මනසට නැගෙයි. ඒවා නම්,

 1. අපි අපේ නිවැරදි  මුලික පදනම දාගන්නේ කවදාද? එනම් අපි රටක් හැටියට අනුගමනය කරන දේශපාලන ආණ්ඩු ක්‍රම හා පරිපාලනමය  ක්‍රමවේදය නිවැරදිව තෝරාගෙන ඒකමිතියකට එන්නේ කවදාද?

2. අපේ රටේ විවිධත්වය ගැටුම් වලින් තොරව සාමකාමිව, එකිනෙකාට ඇතිවන ස්වභාවික ගරුත්වයකින් යුතුව ජාතියක් ලෙස අප අපම හඳුන්වා ගන්නා පදනම දමන්නේ කව්රු විසින් කවදාද?කෙසේද?

3. විවිධත්වය තුළ ඒකමිතිය යනු රටේ ආවේණික බව යන කරුණ කිසිදා නොවෙනස්ව පවත්වාගෙන යාමට අපට ගොඩනැගිය හැකි සමාජ ආර්ථික හා දේශපාලන හා නෛතික යාන්ත්‍රණය කුමක්ද?

මේ ගැටළු තුනට සාර්ථක විසඳුමක් සොයන ක්‍රමයක් හා ක්‍රමවේදයක් වෙනුවෙන් අප ගමන් කල යුතු බවට යෝජනා කරමි. එසේ නොවී අප ලබන ආර්ථික හෝ හරයාත්මක සංවර්ධනයක් නැති බව මගේ හැඟීමයි.

එම ප්‍රශ්න තුනට පිළිතුරු සොයා යමින් දකින විසඳුම් වෙත ඊළඟ කොටසෙන් ප්‍රවිෂ්ට වෙමු..

මතුසම්බන්ධයි..

name end


නවතම ලිපි