SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසර 1973 ඔක්තෝබර් හය වනදාය. ඊශ්‍රායලයේ යුදෙව් ජාතිකයෝ වසරේ පූජනීය ආගමික උත්සවය වන යොම් කිප්පූර් (Yom Kippur) සමරමින් සිටියහ.

එදින ඊජිප්තුව සහ සිරියාව ප්‍රමුඛ අරාබි රාජ්‍යයන්ගෙන් සමන්විත ඒකාබද්ධ හමුදාවක් ඊශ්‍රායල භූමිය තුළට ක්ෂණිකව කඩා වැදුනේය. ඊශ්‍රායල රජය මෙන්ම හමුදාව ද මේ ප්‍රහාරයෙන් වික්ෂිප්ත විය. ඔවුහු එවැනි ප්‍රහාරයක් පිළිබඳ පූර්ව තොරතුරු නොදැන සිටියහ. දින දහනමයක් පුරා පැවැති මේ ගැටුම යොම් කිප්පූර් යුද්ධය හෝ 1973 අරාබි-ඊශ්‍රායල් යුද්ධය වශයෙන් හැඳින්වෙයි. ආක්‍රමණික අරාබි හමුදාවන්ගේ ඉලක්කය වූයේ වසර 1967 අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ දී ඊශ්‍රායල අල්ලා ගත් භූමිය යළි අත්පත් කර ගැනීමය.

 

anubha5 hamas

 

යොම් කිප්පූර් යුද්ධය...

 

දින දහනමයක් පුරා පැවැති මේ යුද්ධයේ දී ඊශ්‍රායල් භටයෝ 2,656 ක් මිය ගිය අතර තවත් 7,251 තුවාල ලැබූහ. එහෙත් අරාබි හමුදාවන්ට තම භූමිය යළි අත්පත් කර ගැනීමට හැකි නොවිනි. නිරවි යුද්ධය පැවති සමයේ ඇතිවූ මේ ගැටුමේදී ඇමරිකාව ඊශ්‍රායලයට ආධාර කළ අතර සෝවියට් දේශය අරාබි සන්ධානයට සහයෝගය ලබා දුන්නේ ය. කියුබානු මිසයිල අර්බූදයෙන් පසුව ලෝක බලවතුන් දෙදෙනා අතර න්‍යෂ්ටික යුද්ධයකට ආසන්න වූයේ මේ ගැටුමේදී ය.

 

 

ඊශ්‍රායලය වික්ෂිප්ත කළ හමාස් ප්‍රහාරය...

 

යොම් කිප්පූර් යුද්ධයට වසර පනහක් සපිරුණු මේ මාසයේ 7 වන දා  හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ය. එය ගුවනින්, සාගරයෙන් සහ භූමියෙන් එල්ල විය. ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර හාර දහසකට වඩා පළමු දිනයේ පමණක් එල්ල කර තිබිණි. මේ හමාස් ප්‍රහාරය ද වසර පනහකට පෙර ඊජිප්තුව සහ සිරියාව ප්‍රමුඛ අරාබි පෙරමුණ එල්ල කළ ප්‍රහාරය මෙන් ඊශ්‍රායලය අන්දමන්ද  කළ ප්‍රහාරයකි. මේ සටහන ලියන මොහොතේ හමාස් ප්‍රහාරයෙන්  ඊශ්‍රායලය හමුදා සාමාජිකයන් ඇතුළු පුරවැසියන් 700 කට අධික පිරිසක් ඝාතනය වූ අතර තවත් දහස් ගණනකට තුවාල ලැබූ බව ඊශ්‍රායලය රජය ප්‍රකාශ කරයි. ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරයන්ගෙන්  හමාස් සාමාජිකයන් ඇතුළු පලස්තීන වැසියන් 400 හාරසියයක්  අධික පිරිසක් ඝාතනය වූ බව පලස්තීන අධිකාරියේ නිවේදනයක සඳහන් ය. මෙය  යොම් කිප්පූර් යුද්ධයට පසුව එනම් වසර පනහකට පසුව දෙපාර්ශවය අතර ඇතිවූ දරුණුම සටනයි.

 

anubha6

 

 

හමාස් සංවිධානය යනු කුමක් ද?

 

හමාස් යනුවෙන් හඳුන්වන්නේ  Harakat al-Muqawama al-Islamiya ව්‍යාපාරයයි. එහි අර්ථය ඉස්ලාමීය ප්‍රතිරෝධක ව්‍යාපාරය යන්නය. හමාස් සංවිධානය නිර්මාතෘවරයා වන්නේ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වූ Sheikh Ahmed Yassin නම් පූජකයාය. ඔහු බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ සුබසාධන කටයුතු වල නිරත වූ ඊජිප්තුවේ ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය ලැබූවෙකි. හමාස් සංවිධාන බිහි වන්නේ යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ට විකල්පයක් ලබාදෙන දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයක් ලෙසය. පලස්තීන විමුක්ති සංවිධානය තුළ පැවති මූල්‍ය දූෂණ දැඩිව විවේචනය කළ හමාස් සංවිධානය ක්‍රමයෙන් ගාසා තීරයේ බලය තහවුරු කර ගත්තේ ය.  

 

 

ඔස්ලෝ ගිවිසුම ප්‍රතික්ෂේප කළ හමාස් අන්තවාදීන් …

 

වසර 1993 අප්‍රේල් මාසයේදී, PLO නායක යසර් අරෆත් සහ ඊශ්‍රායල අගමැති Yitzhak Rabin ඔස්ලෝ ගිවිසුම් අත්සන් කළහ. මේ ඓතිහාසික ගිවිසුම මගින් බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීන අධිකාරිය  නමින් අලුතින් නිර්මාණය කරන ලද පාලන ව්‍යුහයක්  යටතේ සීමිත ස්වයං පාලනයක් ස්ථාපිත කරන ලදී. හමාස් සංවිධානය ඔස්ලෝ ගිවිසුම ප්‍රතික්ෂේප කළ අතර  PLO සහ ඊශ්‍රායලය එකිනෙකා පිළිගැනීම ද හෙළා දුටුවේය. ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර එල්ල කරන හමාස් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඇමරිකාව සහ යුරෝපා සංගමය නම් කර තිබේ.  

 

epa10094479 Fighters of the Izz ad-Din al-Qassam brigade, the military wing of Hamas, march to mark the anniversary of the 2014 Israeli war against Gaza, also known as Operation Protective Edge, in Beit Hanun northern Gaza Strip, 27 July 2022. Operation Protective Edge started on 08 July and ended on 26 August 2014.  EPA-EFE/MOHAMMED SABER

 

 

ගාසා තීරය යනු කුමක් ද?

 

ගාසා තීරය යනු ඊජිප්තුව, ඊශ්‍රායලය සහ මධ්‍යධරණී මුහුදින් වට වූ වර්ග කිලෝමීටර් 365කින් යුතු භූමි ප්‍රදේශයකි. එහි ජනගහනය මිලියන 2.4 කි. එය ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් ඇති ප්‍රදේශයකි. ඔස්ලෝ ගිවිසුම පලස්තීන අධිකාරිය සමන්විත වන්නේ ගාසා තීරය සහ බටහිර ඉවුර යන ප්‍රදේශ දෙකේ එකතුවක්  ලෙසිනි. ඊශ්‍රායලය වසර 1967 සිට වසර 2005 දක්වා ගාසා තීරයේ බලහත්කාරීව රැඳී සිටියේ ය. වසර 2005දී ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් විය. වසර 2006 දී හමාස් සංවිධානය, PLO අනුබද්ධිත ෆාටා කණ්ඩායම පරාජය කරමින් ගාසා තීරයේ පලස්තීන අධිකාරි බලය තහවුරු කර ගත්තේ ය. එයට පෙර දෙපාර්ශවය අතර සතියක පමණ කාලයක් සන්නද්ධ ගැටුම් පැවතියේ ය. එහිදී ෆාටා කණ්ඩායම ගාසා තීරයෙන් එලවා දැමීමට හමාස් සන්නද්ධ ක්‍රියාකාරීහු සමත් වූහ.  එහෙත් බටහිර තීරයේ බලය හිමි කර ගත්තේ PLO අනුබද්ධිත ෆාටා කණ්ඩායමයි. පලස්තීන ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින මේ කණ්ඩායම් දෙක අදටත් නයි වෙෙරය. ගාසා තීරයේ බලය හමාස් සංවිධානය අත්පත් කර ගැනීමෙන් පසුව ඊශ්‍රායලය එයට එරෙහිව සම්බාධක පැනවීය. මේ සම්බාධක හේතුවෙන් එහි ජීවත්වන පලස්තීන ජනතාවට ආහාර, විදුලිය සහ ඖෂධ ඇතුළු මූලික  අවශ්‍යතා පවා නිසි පරිදි නොලැබෙයි. ගාසා තීරයේ ජනගහනයෙන් සියයට පනහක් විරැකියාවෙනි. ජනගහනයෙන් සියයට අසූවක් ආහාර සහනාධාර මත ජීවත්වෙති. එහි ජීවත්වන තරුණයන්ට නිසි අධ්‍යාපනයක්, රැකියා අවස්ථා අහිමිය. ඔවුන්ට තිබෙන ජනප්‍රිය විකල්පය වන්නේ හමාස් වැනි අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධවීම පමණි. ඇතැම් දෙනා ගාසා තීරය හඳුන්වන්නේ ලෝකයේ විශාලතම විවෘත සිරකඳවුර ලෙසිනි.

 

 

පලස්තීන ජනතාව අතර ජනප්‍රිය වූ හමාස් සංවිධානය...

 

පලස්තීන ප්‍රතිපත්ති සහ සමීක්ෂණ පර්යේෂණ සඳහා වූ පලස්තීන මධ්‍යස්ථානය (PCPSR) විසින් 2023 ජූනි මස කරන ලද ජනමත විමසුමකින් හෙලි වූයේ පලස්තීන ජනතාවගෙන් තුනෙන් එකක් හමාස්, ෆාටා ගැටුම් පලස්තීන ජනතාවගේ ඉදිරි ගමන අඩාල කරන බව දැඩිව විශ්වාස කරන බවයි. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් ඉදිරි ජනාධිපතිවරණයකදී හමාස් සංවිධානයේ නායකයා සහ  පලස්තීන අධිකාරියේ නිළ නොවන අගමැති වශයෙන් සැළකෙන ඉස්මයිල් හනියාට සියයට පනහකට අධික සහයක් දැක්වීමට සූදානම් බව ද මේ ජනමත විමසුමෙන් හෙලි විය. පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස්ට ඇත්තේ සියයට තිස් තුනක ජන කැමැත්තකි. වසර 2008න් පසුව පලස්තීනනයේ කිසිදු මැතිවරණයක් පවත්වා නැත. වසර 2021 දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ ද අබ්බාස් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. හමාස් ජයග්‍රහණය වැළැක්වීම අබ්බාස්ගේ අරමුණ බව බොහෝ විදේශ විචාරකයෝ පෙන්වා දෙති.

 

 

හමාස් පිටුපස සිටින්නේ ඉරානය ද?

 

හමාස් සංවිධානය පලස්තීන ජනතාව අතර ජනප්‍රිය වූයේ PLO දූෂණ හේතුවෙන් සහ ඊශ්‍රායල ප්‍රහාර ඉදිරියේ යම් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාය. හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ විටින්විට ඊශ්‍රායලය ඉලක්ක කරගත් රොකට් ප්‍රහාර එල්ල කරයි. පළමුව මේ රොකට් ඉරානය විසින් හමාස් සංවිධානයට ලබා දුන් අතර පසුව ඉරාන Islamic Revolutionary Guard Corps (IRGC) පුහුණුව කිරිම් යටතේ හමාස් සංවිධානය ගාසා තීරයේම මේ රොකට් නිපදවා ගනියි. හමාස් සංවිධානය වටින් විට ඊශ්‍රායලය අභ්‍යන්තරයට කඩා වැදී ක්ෂණික ප්‍රහාර එල්ල කරයි. වසර 2006 දී එල්ල කළ මෙවැනි ප්‍රහාරයක දී ඊශ්‍රායල් සෙබලෙකු වන Gilad Shalit ව පැහැර ගත්තේ ය. ඔහුව වසර පහක් හමාස් සංවිධානය රඳවා ගෙන සිටි අතර අත්අඩංගුවේ සිටි පලස්තීන සැකකරුවන් දහසක් වෙනුවෙන් ඔහුව නිදහස් කළේ ය. මෙවර හමාස් සංවිධානය ඊශ්‍රායල් ජෙනරල්වරු 5 ක් ඇතුළු විශාල පිරිසක්  පැහැරගෙන ගොස් ඇත. ඇමරිකානු ජාතිකයන් ද ඒ අතර වෙති.

 

anubha7

 

වසර 2021 හමාස් ප්‍රහාරය...

 

වසර 2021 මැයි මාසයේ දී හමාස් සංවිධානය ඊශ්‍රායලය එල්ල කරගත් තවත් ප්‍රහාරයක් දියත් කළේ ය. දින එකළොහක් පැවැති සටනේදී  රොකට් හාරදහසක් වැඩි ප්‍රමාණයක් හමාස් සංවිධානය මුදා හැරියේ ය. එම ප්‍රහාරයේදී ඊශ්‍රායලය පුරවැසියන් දහදෙනෙකු මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබීය. ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට විශාල ජීවිත  හානියක් වූ අතර   ඇ. ඩොලර් මිලියන 290ක පමණ දේපල හානි සිදු විය. මේ ගැටුමේදී ඉරාන හිතවාදී ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම ද හමාස් සංවිධානය සමඟ එක්ව ඊශ්‍රායලයට ප්‍රහාර දියත් කළේ ය.

හමාස් සංවිධානයට ප්‍රතිපාදන සපයන්නන් අතරින් ප්‍රමුඛයා ඉරානයයි. ඔවුහු අරමුදල්, ආයුධ සහ පුහුණුව ලබා දෙති. ඉරානය දැනට ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇති හමාස්, පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) සහ අනෙකුත් පලස්තීන කණ්ඩායම් වෙත වාර්ෂිකව ඩොලර් මිලියන 100ක් ලබාදෙන බව වාර්තාවෙයි.

 

 

තුර්කි, කටාර්, සෞදි සහය හමාස් වෙත…

 

aa

 

2002 දී ජනාධිපති Recep Tayyip Erdogan බලයට පත්වීමෙන් පසු තුර්කිය ද හමාස් සංවිධානයේ ප්‍රබල ආධාරකරුවෙකු බවට පත් විය. තුර්කි ආණ්ඩුව අවධාරණය කරන්නේ තමන් හමාස් සංවිධානයට දේශපාලනික වශයෙන් පමණක් සහාය ලබා දෙන බවයි. එහෙත් තුර්කිය හමාස් සංවිධානයට අරමුදල් සපයන බවට ඊශ්‍රායලය චෝදනා කරයි. ඉරානය, තුර්කියට අමතරව සෞදි අරාබි, කටාර් ඇතුළු ආරාබි රටවල් කිහිපයක් හමාස් සංවිධානයට අරමුදල් සපයන බවට ප්‍රකටය. මේ ප්‍රතිපාදන මෙන්ම යම් ජනතා කැමැත්තක් හේතුවෙන් හමාස් සංවිධානය අද පලස්තීන විමුක්ති ව්‍යාපාරයේ ප්‍රධාන බලවේගය බවට පත්ව ඇත.

 

 

හමාස් ප්‍රහාරය ඉදිරියේ ඊශ්‍රායල අන්දමන්ද  වූයේ ඇයි?

 

ඊශ්‍රායලයේ ප්‍රධාන යුධ ආධාරකරුවා ඇමරිකාවයි. ඇමරිකාව වාර්ෂිකව ඊශ්‍රායලයට ඇ. ඩොලර් බිලියන ගණනින් නවීන යුධ උපකරණ සහ ආධාර සපයයි. වසර 2020 දී පමණක් ලබාදුන් යුධ ආධාරවල වටිනාකම ඇ. ඩොලර් බිලියන 3.8 කි. ඊශ්‍රායලය ලෝකයේ ඉහළම යුධ තාක්ෂණයකට උරුමකම් කියයි. ඔවුන්ගේ බුද්ධි අංශය වන මෝසඩ් සංවිධානය ලෝකයේ අංක එකේ බුද්ධි අංශයයි. එවැනි ශක්තිමත් සංවිධානාත්මක හමුදා යටිතල ව්‍යුහයක් පවතින රටකට හමාස් වැනි සංවිධානයකට මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට හැකිවූයේ කෙසේ ද? විශේෂයෙන් ලෝකයම වික්ෂිප්ත වන ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි වූයේ කෙසේ ද?

 

බෙන්ජමින් නෙතන්යාහුගේ බල තන්හාවේ ප්‍රතිඵල..

 

 

anubha 1

 

මෙවැනි දැවැන්ත ප්‍රහාරයකට මඟ සකස් කළේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ අන්තවාදී ආණ්ඩුවේ දේශපාලන බල තණ්හාව බව බොහෝ හමුදා විශ්ලේෂකයන්ගේ මතයයි. ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන නෙතන්යාහුගේ වැඩපිළිවෙළ ඊශ්‍රායල ජනතාව බෙදා වෙන් කළ අතර රටතුළ දැවැන්ත දේශපාලන අර්බූදයක් නිර්මාණය කළේ ය. අදටත් ඊශ්‍රායල ජාතිකයෝ නෙතන්යාහු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙළට විරෝධය දක්වති.  මේ පිළිබඳ අපේ පෙර ලිපියට මෙතනින් පිවිසෙන්න.

"පලස්තීන ජාතිකයන් දහස් ගණනක් ඝාතනය කළ අන්තවාදී නෙතන්යාහු ඊශ්‍රායල් රාජ්‍යය විනාශ කිරීම අරඹයි..!"

අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමට එරෙහි ජනතා විරෝධය නොතකා නෙතන්යාහු ආණ්ඩුව තම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තු තුළ ඉදිරියට ගෙන ගියේ ය.  

 

 

ඊශ්‍රායල ආරක්ෂක ප්‍රධානීන්ගේ අනතුරු ඇඟවීම….

 

ඊශ්‍රායල සමාජය බෙදා වෙන් කරන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙල නවතා දමන ලෙසට ඊශ්‍රායල හමුදා සහ ආරක්ෂක ප්‍රධානීහු, මොසාඩ් බුද්ධි අංශ ප්‍රධානියා  නෙතන්යාහු ආණ්ඩුවට ආයාචනා කළහ. මේ දේශපාලන අර්බූදය හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂාව අර්බූදයට  පත්වන බවට ඔවුහු අනතුරු ඇඟවූහ. එහෙත් නෙතන්යාහුගේ අන්තවාදී ආණ්ඩුව ඒ ආයාචනය නොසළකා හැරියේ ය. ඒ වෙනුවට තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කළේ ය. ඊශ්‍රායල ආරක්ෂාව අනතුරට පත්වීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ නෙතන්යාහු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයන්ට විරෝධය දැක්වීම සඳහා ඊශ්‍රායල තරුණයෝ ස්වේච්ඡා යුධ සේවය ප්‍රතික්ෂේප කිරීමය. ඊශ්‍රායල හමුදා ශක්තිය මූලිකව රඳා පවතින්නේ ස්වේච්ඡා යුධ සේවය මතය. මේ ප්‍රතික්ෂේප කිරීම හමුදා ශක්තියට සෘජුවම බලපෑ බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පසුගිය සෙනසුරාදා සන්නද්ධ  හමාස් සාමාජිකයන් දකුණු ඊශ්‍රායලයට කඩාවදින විට ඔවුන්ව පලවා හැරීම සඳහා ඊශ්‍රායල හමුදාව එම ප්‍රදේශයේ නොවීය. හමාස් සන්නද්ධ සාමාජිකයෝ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් මෙන් සාමාන්‍ය ඊශ්‍රායල් පුරවැසියන් සිය ගණනක් ඝාතනය කළහ. තවත් සිය ගණනක් පැහැර ගෙන ගාසා තීරයට ගෙන ගියහ. ඊශ්‍රායල හමුදාව එහි පැමිණියේ පැය තුනකට පසුවය! "උඹලා මෙපමණ වේලා කුමක් කළේදැයි" ඊශ්‍රායල ජනතාව හමුදා සාමාජිකයන්ගේ මුහුණටම දමා ගැසුවේ ය.

 

ජෙගනාදන්්ඊස්රයල්

 

 

නීති විරෝධී නව ජනාවාස වැඩ පිළිවෙල ඉදිරියට..

 

අන්තවාදී නෙතන්යාහු ආණ්ඩුවේ නීති විරෝධී නව ජනාවාස පිහිටුවීමේ වැඩ පිළිවෙල ද හමාස් සංවිධානයේ වාසියට බලපෑවේය. පාරම්පරික පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායල පදිංචිකරුවන් එල්ල කළ ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ඒ ප්‍රහාර සඳහා නෙතන්යාහු ආණ්ඩුවේ නිළ අනුග්‍රහය ලැබිණි. මේ නීති විරෝධී වැඩපිළිවෙළ නවතා දමන ලෙසට ඊශ්‍රායලයට සහයෝගය ලබා දෙන ඇමරිකාව සහ යුරෝපා සංගමය පවා දිගින් දිගටම ඉල්ලීම් කළේ ය. එහෙත් ඒ සියළු ඉල්ලීම් නොසළකා හැරින. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ නීති විරෝධී ජනාවාස වැඩ පිළිවෙල දැඩිව විවේචනය කළ අතර එය නවතාදමන ලෙස ඉල්ලීමක් කළේ ය. එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය (OCHA) ට අනුව වසර 2023 දී ඊශ්‍රායල පදිංචිකරුවන් පලස්තීනුවන්ට ප්‍රචණ්ඩ ලෙස පහර දී මේ සිද්ධි, හත්සියයක් වාර්තාවී තිබිණි.

 

 

ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක ඇමතිගේ විසිල්..

 

එය මෑත ඉතිහාසයේ වැඩිම ප්‍රහාර සංඛ්‍යාවයි. ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය Itamar Ben-Gvir ජනාවාස ව්‍යාප්ත කිරීම පිළිබඳ  ප්‍රශංසා කළ අතර එම නීති විරෝධී වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන ලෙසට ඉල්ලීමක් කළේ ය. නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික ආණ්ඩුව බටහිර ඉවුරේ නව ඊශ්‍රායල ජනාවාස 5,000ක් ගොඩනැගීමේ සැලසුමක් ද එළිදැක්වීය. "වසර 2021 දී ඊශ්‍රායල පදිංචිකරුවන් පලස්තීනුවන්ට ප්‍රචණ්ඩ ලෙස පහර දීමේ සාමාන්‍යය ලෙස එක් සිද්ධියක් දිනකට වාර්තා වූ අතර එය වසර 2022 දී එය දෙක දක්වාත් වසර 2023 තුන දක්වා ඉහළ ගියා" යැයි OCHA පලස්තීන නේවාසික  ප්‍රධානී Andrea De Domenico පවසයි. මේ නීතිවිරෝධී ජනාවාස වැඩපිළිවෙල අරාබි ලෝකයේ දැඩි විරෝධයට ලක්වූ අතර ඒ විරෝධය හරහා මතුවූ අනුකම්පාව හමාස් සංවිධානයට හිමි විය. වර්තමාන හමාස් ප්‍රහාරය පිළිබඳ නිවේදන නිකුත් කළ ඉරානය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය කියා සිටියේ මේ ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය මත පැටවෙන බවයි.

 

 

සාකච්ඡාමය විසඳුමක අවශ්‍යතාවය...

 

 

වසර 1947 දී ඊශ්‍රායලය බිහිකළ දිනයේ සිට පලස්තීන, ඊශ්‍රායල් යුධ ගැටුම් විටින් විට ඇතිවී තිබේ. මිය ගිය අහිංසක ජීවිත දසදහස් ගණනකි. සිදුවූ දේපල විනාශයේ වටිනාකම ඇ. ඩොලර් බිලියන සිය ගණනකි. යුධ ගැටුම් ඇතිවූ සෑම අවස්ථාවකම සටන් විරාම ගිවිසුම් ඇති වූ අතර මාස කිහිපයකින් ඒවා බිඳ වැටෙයි. නැවත යුධ ගැටුම් ඇති වෙයි. මෙය දශක හතක් පුරා සිදු වන චක්‍රයයි. මේ චක්‍රය බිඳ දැමිය හැක්කේ සාකච්ඡාමය දේශපාලන විසඳුමකින් පමණි. ඔස්ලෝ ගිවිසුමෙන් එකඟ වූ ආකාරයට පලස්තීනය, සහ ඊශ්‍රායලය නමින් වෙනම රාජ්‍ය දෙකක් බිහිකර කල්පවතින සාමයක් නිර්මාණයකර ගතයුතුය.

 

ඊස්රයල් පලස්තීණ

 

අහිංසක වැසියන් ඝාතනය නවතනු!

 

ඒ මඟ වැටී ඇත්තේ අහිංසකයන් දහස් ගණනින් ඝාතනය කරන යුධ ක්‍රියාමාර්ගයකින් නොව සාකච්ඡාමය දේශපාලන විසඳුමකින් පමණි. එබැවින් මේ මොහොතේ එකිනෙකාට එල්ල කරන ප්‍රහාර නවතා දමා පුරවැසි  ජීවිත ආරක්ෂා කළ යුතුය. හමාස් සංවිධානය පැහැරගත් සාමාන්‍ය ජනතාව කොන්දේසි විරහිතව වහාම නිදහස් කළ යුතුය. දෙපාර්ශ්වයම ගැලරියට ආමන්ත්‍රණය කරන ජාතිවාදී, වර්ගවාදී සටන් පාඨ අත්හැර දමා බැරෑරුම්, ගැඹුරු දේශපාලන  සාකච්ඡාවන්ට පිවිසිය යුතුය. වර්ණභේදවාදී දකුණු අප්‍රිකානු සුදු පාලකයන්ට එරෙහිව සන්නද්ධ අරගලයක් පවා මෙහෙයවූ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නිර්මාතෘ නෙල්සන් මැන්ඩෙලා වරෙක පැවසූ පරිදි  සංවර්ධනය සඳහා පවතින විශාලතම ආයුධය වන්නේ සාමයයි. සාමය මග හැර අපට විකල්පයක් නැත.

 

-ආනුභාවනන්ද ලියයි

@ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙනි.

නවතම ලිපි