ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය..
මා දකින මව්බිම නමින් පොතක් නිර්මාණය කිරීම ආරම්භ කලේ 2020 වර්ෂයේදීය. එය එම වර්ෂයේදීම ලියා අවසන් කලත්,පොතක් ලෙස පල කිරීමට එය කාලය නොවේ යයි සිතුණු නිසා එහි සටහන් පෞද්ගලිකව තබා ගතිමි.
අරගලය බිහි වීමට දායක වූ බොහෝ අදහස් ඇති ලිපි සමාජ මාධ්‍ය වල පළවුවත් මා උපන් සිරි ලංකාව ඉලක්ක කරගෙන හැමදාම ලියන ලිපි වලට වඩා ඒ පොත වෙනස් විය. හේතුව එය ඍජු ක්‍රමයේ වෙනසක් අපේක්ෂාවෙන් ලියන ලද්දක් වීමය. සාධනීය, ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් කාලයක් තිස්සේ පෞද්ගලිකව පෙනී සිටින අප ඒ ක්‍රමයේ වෙනස වෙනුවෙන් කැප වෙමු.එයට අදහස් හා යෝජනා මගින් දායක වෙමු.ඒ අරමුණින් සමස්ථය දකිමින් අපේ රට වෙනස් කරන්නට අවශ්‍ය මගපෙන්වීමක් හෝ අදහස් බෙදාගැනිමකට මා තුල ඇත්තේ දැඩි අවශ්‍යතාවයකි.අප ලද විදේශ අත්දැකීම් හා දේශීය අත්දැකීම් මව් බිමේ ප්‍රගමණය වෙනුවෙන් බාවිතා කිරීමට ඕනෑම දේශපාලඥයකු හෝ දේශපාලනයට පැමිණීමට සිතා සිටින්නකු ට හැකි වන සේ මා දකින මව්බිම කෘතිය සරලව ලියන්නට මට අවශ්‍යය විය. මේ කොලම ලියවෙන්නේ එම මා දකින මව්බිම කෘතියේ හෙවත් කුඩා පොත් පිංචේ විස්තීරණයක් ලෙසිනි. එහි පළමු කොටස අද ඔබට කියවිය හැකිය.
මා ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවේ නිල නාමයෙනි. එම නිල නාමය ශ්‍රී ලංකාවේ අරමුණ, හා ගමන් මග පෙන්වයි. ඕනෑම රටක නිල නාමය ඒ රටේ අනන්‍යතාවය වේ. "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය" ..ඒ අප මව්බිමේ නිල නාමයය.අදටත් ශ්‍රී ලංකාව මගේ මව්බිම යයි කියු විට ලෝකයේ තරුණ ළමයින් ඒ රට ගැන දැන සිටියත් වැඩිහිටි පුද්ගලයන් එය ලෝකය පුරා හඳුන්වන්නේ සිලෝන් හෝ සයිලෝන් නමිනි.අපගේ තේ නිසාම අප දන්නා රටවල් හා බොහෝ අරාබි රටවල් අපව සිලොන් ලෙස හැඳින්වීම අසා ඇත්තෙමි.එහි අරමුණක් නැත.නමක් පමණි.එය බෙහෙවින්ම වෙළඳ නමකි.එහෙත් අපට අපව මෙහෙයවන ක්‍රමවේදය රටේ නම කියූ පමණින් හඳුනාගත හැකි නමක් ඇත්නම්...එය වටනේය.1978 න් පසුව අපට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නමින් රාජ්‍ය නාමයක් තිබේ.බැලු බැල්මට එය බහුශ්‍රැත නමකි.
සත්‍ය වශයෙන්ම අපේ රටේ අනන්‍ය භාවයට වත්මන් නාමය රුකුලක් ලබා දී නැතයි මම කියමි. ප්‍රජාතන්ත්‍රික.. යන පදය රටේ නමේ තිබු පමණින් අප ප්‍රජාතාන්ත්‍රික ද? සංස්කෘතිය හා රාජ්‍ය එක අරමුණක ගමන් කල යුතුය. රටේ කුඩාම ඒකකය වන පවුල තුල තවමත් මුලීක ප්‍රජාතන්ත්‍ර වාදය පවා ගැටළුවක් ව පවතී. ආදරය විවාහය තීන්දු තීරණ ගැනීම හා දෙමාපිය දු දරු සම්බන්ධය,ගුරු ගෝල සම්බන්ධය හා ආගමික බලපෑම අධීක්ෂණය කරන විට මුලීක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන අධිකාරිමය සංස්කෘතියක් ඇති බව අවබෝධ වේ. එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදය හා සංස්කෘතිය අතර විශාල පරතරයක් ඇති රටක,එම රට ප්‍රජාතන්ත්‍රික ලෙස හැඳින්වීම වැරදි බවට මා ගෙනන තර්කයට ඔබට තවත් තර්ක බිහිවනු ඇතත්, මුලික ප්‍රජාතන්ත්‍ර වාදය නොමැතිව රටේ පරිපාලනමය හා දේශපාලනික ප්‍රජාතන්ත්‍ර වාදය බිහි කල නොහැකි බව පිළිගත යුතුය.
ශ්‍රී ලංකාව නමින් ම ප්‍රජාතාන්ත්‍රික රටක් නම් සරල හා මුලීක ප්‍රජාතන්ත්‍ර වාදය පවුල නමැති කුටුම්භයෙන් ආරම්භ විය යුතුය.එය ආරම්භවීම ට ඉබේ නොහැකි නිසා උවමනාවෙන් බිහිකරගත යුතුය.චන්දය බාවිතය හා නියෝජිතයන් පත් කර ගැනීම තවමත් සිදුවන්නේ භාණ්ඩ මිල, හා ජාතිවාදී කරුණු මත වීම ම අද දේශපාලනික ගැටළු බොහොමයක් ඇති කර තිබේ.රටේ කඩා වැටීම අප දකින්නේ චන්ද දායකයා ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් වන චන්ද අයිතිය,භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය වැනි මුලික ප්‍රජාතාන්ත්‍රික කරුණු භාවිතයට නොදැනීම නිසා වූ හානීන් ලෙසය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් පෙනී සිටිමින් ලිබරල් යයි සටහන් කල හැකි පක්ෂ සීමිත සංඛ්‍යාවක් පවතී.එහෙත් ඒවායේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ද ගැටළු සහිතය. ඒ අනුව සිරි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය සොයා යා යුතුය. රටේ නමෙහි එය සටහන් කිරීමෙන් පමණක් එය ළඟාකරගත නොහැකිය.
ඊලඟට රටේ නාමයේ කොටසක් වන්නේ "සමාජවාදී" යන කොටසය. ශ්‍රී ලංකාව සමාජවාදී රටක් වන්නට අවම මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුය. කාර්ල් මාර්ක්ස් සමාජවාදයට මග ලෙස සඳහන් කළේම ප්‍රජාතන්ත්‍රවාදයයි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පක්ෂවලින් බහුතරයක් වාමවාදී පක්ෂ වන අතර ඒවා ශ්‍රී ලංකාවේ බලය ලබාගත් අවස්ථාවන් ඇත්තේ සභාගයන් ලෙස පමණි.එහෙත් එම පක්ෂ කිසි විටක පුර්ණ සමාජවාදයක් හෝ සමාජවාදය පෝෂණය කරන ජාතික වාදයක් වෙත වත් සිරි ලංකාව මෙහෙයවීමට අසමත් වී ඇත.
වර්තමානය වන විට සිරි ලංකාව තුල විශාල සාමාජිකයන් රහිත,නියෝජිතයන් විරල පක්ෂ රාශියක ඉඩ අවුරාගෙන සමාජ වාදය එක් එක කුලක වලට බෙදී ගිය පක්ෂ රාශියකින් පන අදින ට්‍රොට්ස්කි,ලෙනින් වාදීන් , මාවෝ වාදීන් ගෙන් පිරි ගිය තැනකි.එහෙත් රටේ ප්‍රගමනයට එම පක්ෂ වලට ලබා දෙන්නට හැකි වූ දායකත්වයට වඩා අවගමනයට දක්වා ඇති දායකත්වය වැඩි බව වැටහේ.එම පක්ෂ වල උදාසීන භාවය හා දිනෙන් දින ලෝකයේ ගිලිහී යන සමාජවාදී සංකල්ප වල වලංගු භාවය අපගේ පරමාදර්ශී රාජ්‍ය වන චීනයේ වත් නොවන බව අප වටහා ගත යුතුය.
ඒ අනුව අපට ලෝකයේ යම්තාක් දුරකට ප්‍රයෝගික ප්‍රජාත්නත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක කරගන්නට බැරි වී තිබෙන අතර ප්‍රායෝගික ලෝකයෙන් ඉවත්වන සමාජවාදය යන සංකල්පය නිවැරදිව වටහා නොගෙන දේශපාලන පක්ෂ සමග ගමනක් යන්නට සිදුව තිබේ.කාල් මාර්කස් ගේ විග්‍රහයම ගත් විට අපට කිසිදා සමාජවාදයක් වෙත පිය නැගිය නොහැකිය ,ඒ ප්‍රජාතන්ත්‍ර වාදය නිසි ලෙස අප තුල ක්‍රියාත්මක නොවන බැවිනි.
ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍ර හෝ සමාජවාදී ප්‍රගමනයන් රටේ නමේ ඒ වචන අඩංගු වූ පමණින් සාර්ථක වී නොමැත. එයට ඇති හොඳම හා ප්‍රබලම අනෙක් උදාහරණය වනුයේ විධායක ජනාධිපති ක්‍රමයය. ඒ තුල ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ අවම කර ඒකාධිපති ලක්ෂණ වැඩිකර තිබේ.එය සමාජවාදී රටක ඇති බලගතු යාව ජීව රාජ්‍ය නායකයා වැනි බලගතු කමක් උසුලයි.ඒ අතරම එම තනතුර චන්දයක් තබා ,මැතිවරණයකින් 51% බහුතර ජනතා කැමැත්තක් සහිතව පත් කරගත යුතු තනතුරකි.එහෙත් එය ලබා ගැනීම උදෙසා අවශ්‍ය සුදුසුකම් ලෙස ජාතිවාදය,මරණ භිය හා දුප්පත්කම යන කරුණු ප්‍රධාන සාධක ලෙස පවත්වාගෙන යා යුතු වීම වසර 45 ක් තිස්සෙම පවතී.අනෙක් ප්‍රභලතම කරුණ වන්නේ යුක්තිය ඉෂ්ට කරවා ගැනීමට එම තනතුරට කෙනෙකු පත් කර ගැනීමය.ශ්‍රී ලංකාව විශාලයුක්තිය පසිඳලීමේ අර්බුධයක සිටින බවත්,ඒ අර්බුධයට හේතුව හා පිළියම් ලංකාවේ දැනට සිටින දේශපාලඥයන් වටහාගෙන නොමැති බව මම පවසමි.ඒ මේ පදනම මතය. එනම් රටේ නම විසින් අරමුණු කරන මුලීක දේශපාලන න්‍යායන් වන ප්‍රජාතන්ත්‍ර වාදය හා සමාජවාදය යන සංකල්ප,
1. ඒවායේ මුලීක හරයන් වත් ශ්‍රී ලංකාවේ මෙතෙක් ස්ථාපිත කිරීමට නොහැකි වීම.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මැතිවරණ ක්‍රමය රටේ එම මුලික සංකල්ප හා ගැටෙන ලෙස සකස් වී තිබීම.
3. සංස්කෘතික වශයෙන් එම සංකල්ප දෙකම ලාංකීය සමාජයට දුරස්,සංකල්ප වීම හා අධ්‍යාපන ක්‍රමය එම සංකල්ප ස්ථාපිත වීමේ කාර්ය නොකරන බව හා එම සංකල්ප වලට සහයක් නොදක්වන බව.
4. ඒ සංකල්ප වලින් එකක් හෝ දෙකම සුසංයෝගී වූ ක්‍රමවේදයන් ලංකාව තුල බිහි නොවීම.
5. එසේ බිහි කිරීමට හෝ එම සංකල්ප අභිභවා යන හෝ එම සංකල්ප සුසංයෝගී වන වෙනත් මතවාදයක් ලංකාව තුල ස්ථාපිත කිරීමට තරම් බුද්ධිමය හා සමාජමය පිබිදීමක් නොමැති වීම .
යන කරුණු පහ ඔස්සේ සිතන විට ලංකාව එහි නමින් ම කියවෙන දේශපාලන මතවාදයන් දශක හතරක් ගත වීත් ස්ථාපිත කර ගැනීමට නොහැකි වූ අසමත් රාජ්‍ය සංකල්පයක් ඇති රටකි.අසමත් රාජ්‍ය අරමුණු වලින් පිරි රටකි.කණගාටුවෙන් වුව අප මේ සත්‍ය පිළිගත යුතුය.එසේ පිළිගැනීමම නිවැරදි මාවතකට එළඹෙන්නට හැකි මුලීක සුදුසුකමකි.
නමෙහි ඊලඟ කොටස ජනරජය යන්නය. ජනතාව විසින් තම නියෝජිතයන් පත්කර යවා පාලනය කරන රටක් ජනරජයක් වන අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය හා ජාතික ලැයිස්තු ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනමතය විකෘති කරන අතර ජනමතය නොසලකා හරී. අද ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා ඡන්දයකින් ජනවරමක් ගත් අයෙක් නොවේ. ලංකාවේ අධිකරණ ඇමතිව සිට විදේශ ඇමති ධූරය දරන පුද්ගලයාද ජනතා ඡන්දයකින් තේරී පත්වූ අයෙක් නොවේ. අද ශ්‍රී ලංකාව අභ්‍යන්තරයෙන් හා බාහිරින් නියෝජනය කරන මේ පුද්ගලයන් දෙදෙනාම ඍජු චන්ද වලින් පාර්ලිමේන්තු ව නියෝජනය නොකරන නිසාම හා තවත් බොහෝ කරුණු නිසා ශ්‍රී ලංකාව දිගින් දිගටම ජනරජයක් නොවන බවට කරුණු ඔප්පු වෙමින් පවතී. බැලු බැල්මට මුලීක නීතීය මේ කරුණු වලට එරෙහි නොවුවත් ජනරජයක පැවතිය යුතු ජනතාවාදී බව සිරි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උදුරාගෙන ඇත.දේශපාලන ක්‍රමය විසින් යටපත් කර ඇත. ඒ නිසා සිරි ලංකාව ජනරජයක් නොවේ.
මේ අනුව සිරි ලංකාව වන මගේ මව්බිම තම නමේ මහා බරපතල සංකල්ප තුනක් සටහන් කර තිබුණද ඒ එක කරුණක් වත් පවත්වාගෙන යාමට මෙතෙක් අසමත් ව ඇති රාජ්‍යයකි.මේ අසමත් රාජ්‍යය සමත් කරන්නේ කෙසේද යන්න හා යටපත් කළ අරමුණු හා යටපත් වී ගිය සිධ්දාන්ත සක්‍රිය කර මේ රට ජීවත්විය හැකි රටක් බවට පත් කිරීමට මා දකින අයුරින් ඉතා බුද්ධිමත්, සුක්ෂම හා අවංක දේශපාලඥයන් රටට ඕනෑකර තිබේ.
අනෙක් අතින් ප්‍රයෝගික නොවන සමාජවාදය අපගේ රටේ තවත් අරමුණක් හෝ සංකල්පයක් විය යුතුද නැද්ද යන්න ගැන විමසා බැලිය යුතුය. රටේ නමට රට අනුගමනය කරන දේශපාලන සංකල්ප නොමැතිව එක්කෝ ජනරජයක් වීම හෝ රාජ්‍යක් වීම වැදගත් යයි මම යෝජනා කරමි. ඒ රටේ ප්‍රතිරූපය නමින්ම කියවෙන්නේ නම්,ශ්‍රී ලංකාව වසර 2500 ක් ඉතිහාසයේ තමන්ගේම කියා කිසිදු ක්‍රමවේදයක් නොමැති අනන්‍ය දේශපාලනයක් සොයාගත නොහැකි රටක් බවට හඳුන්වා දෙනවාට වඩා එසේ හඳුන්වා නොදීම හානි දායක නොවන නිසාය.අපට අපගේම අනන්‍ය ක්‍රමයක් සොයාගත හැකිය. ඒ වෙනුවෙන් වැඩ කිරීම යනු ජාතියක් ගොඩ නැගීමකි.
කෙසේ නමුත් අප රටේ නම වෙනස් විය යුතු බවටත් නමින් කියවෙන ප්‍රයෝගික නොවන සංකල්ප දේශපාලන භුමියෙන්ද අවම විය යුතු බවටත් ප්‍රගමනකාරි ගමනක් යන්නට නම් ලෝකයට ගැලපෙන නමක් හා ක්‍රමවේදයක් සොයාගෙන ක්‍රියාත්මක කිරීමටත් අප මැලි විය යුතු නැත.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න...
@Subhashini Wipfler