SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොහොට්ටු පක්ෂයට ඡන්දයක් දිනාගන්න නම් යළිත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ යුතු අතර, ගස්, පස්, වැලි, ගල්, බොරළු ආර්ථිකයකින් තොරව ගමේ පොහොට්ටු නායකයින්ගෙ සහයෝගය දිනා ගැනීම අසීරුය.

ඒ අනුව මේ ගල් පස් වැලි ආර්ථිකය යළි පනගැන්වීමත් කොන්ත්‍රාත් විජ්ජාව නැවත ඇති කිරීමත් ඒ හරහා ලබන වසරේ මැතිවරණයකට ලක ලෑස්ති වීමත් පොහොට්ටු දේශපාලනයේ අරමුණ වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීළඟ ණය වාරිකය කඩිනමින් ලබාගතහොත් මෙකී අරමුණ වෙනුවෙන් එය වැය කිරීමට අපේක්ෂිතව ඇත.

 

මේ පිළිබඳ ව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විශේෂ උනන්දුවකින් කටයුතු කරන අතර ඔහුගේ විෂයපථයට අයත්  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් ප්‍රාදේශීය සංවර්ධන කමිටු නායකත්වයන් සමග එක්වීමට කටයුතු කරන බව දැනුම් දී ඇත.

මෙම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල වැඩි වශයෙන්ම සිටින්නේ කවරුන්දැයි බොහෝ දෙනා හොඳින්ම දනිති. මන්ද දැනට විසුරුවා හැර ඇති පළාත් පාලන මැතිවරණය බහුතර බලයක් සහිතව  ලබාගත්තේ පොහොට්ටු පක්ෂය විසිනි.

කෙසේ වුවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වූ අවස්ථාවේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

එහි දී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මාර්ග සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම හා අමාත්‍යංශයේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇත.

කාරක සභාවේ සභාපතිවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උපදේශක කාරක සභාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයාගේ කතාව පහත දැක්වේ.

 

ණය ලැබුණු ගමන් රට පුරා පාරවල් හදන්න පටන් ගන්නවා..

 

ණය පාරවල්

“දිවයිනේ කවර ප්‍රදේශයක වුව ද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කෙරෙනවා නම් ඒ පිළිබඳ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් අප විසින් ගෙන තිබෙනවා.

දිස්ත්‍රික්කයට සම්බන්ධ කරුණු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කළ යුතුයි. මීට පෙර ක්‍රියාත්මක වූ ව්‍යාපෘති පිළිබඳව යම් යම් ගැටලුකාරී තත්වයන් තිබිය හැකි නමුත් ඉදිරියේදී කටයුතු කිරීමේ දී මෙම ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කිරීම පිළිබඳව සියලුම නිලධාරීන්ට ලිඛිතව උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම අදාළ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සඳහා වගකිවයුතු නිලධාරියෙක් ආයතනය නියෝජනය කරමින් සහභාගි වීම ද අනිවාර්යය කර තිබෙනවා.

විශේෂයෙන්ම මහජනයාගේ මුදල් අවශ්‍ය කටයුතු සඳහා වෙන් කර දීම සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ අයවැය මගින්. එමනිසා මහජනතාව නියෝජනය කිරීමට, ජනතාව විසින් තෝරා එවනු ලබන මහජන නියෝජිතයින් ජනතාව වෙනුවෙන් වගකිව යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වන අදහස්වලට ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඩොලර් මිලියන 60ක්‌ ලැබීමට නියමිතව තිබෙනවා.

නමුත් ඒ වෙනුවෙන් සපුරාලිය යුතු අනිවාර්ය කොන්දේසිය වන්නේ ගෙවීමට නියමිත විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමයි. ණය නැවත ගෙවන ආකාරය ප්‍රකාශ කරන තුරු නැවත ණය ලබාදීමට හැකියාවක් නැති බව එම නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස ලැබෙන සුළු මුදල ලබා ගැනීම සඳහාත් අමාත්‍යංශයේ නිලධාරීන් විශාල කැපවීමක් සිදු කළා.

රටේ මාර්ග පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව වෙන වෙනම ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් වෙත පැහැදිලි කිරීම් සිදු කළා. අවසානයේ ජනාධිපතිතුමාගේගේ පවා මැදිහත්වීමෙන් අනතුරුව ඩොලර් මිලියන 60ක මුදල ලබාදීමට ඔවුන් එකඟ වී තිබෙනවා. එය ද ලබාදීමට නියමිත වන්නේ දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වීමෙන් අනතුරුවයි.

එලෙස ණය මුදල ලැබුනහොත් නැවත ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව සැලසුම් මේ වන විට සකස් කර තිබෙනවා. ඒ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා ද සැලකිල්ලට ගනිමින්”

 

රට තව තවත් ණය වෙමින් ලබාගන්නා සොච්චම මැතිවරණයක ජයග්‍රහණයන් වෙනුවෙන් වන  ව්‍යාපෘතීන්ට වැයකරන්නට යන මේ මොහොතේ රටවැසියාට අධික බදු බරකට යටවෙමින් දරාගත නොහැකි ජීවන බරක් උසුලා සිටින්නට සිදුව ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කර ඇත.

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි