SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහියංගණයේ දී “සීතා” ඇතින්නට වෙඩි තැබීමත් සමඟ අලි අතුන් ඝාතනය පිළිබඳ සංවාදය, නව මුහුණුවරකින් නැවත කරළියට පැමිණ තිබේ.

මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට හීලෑ, “සීතා” ට වෙඩි තබා ඇත්තේ වනය ආරක්ෂා කිරීමේ වගකීම වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නිලධාරියෙකු විසිනි.

“සීතා” ඝාතනයට ගොදුරු වීමට තරම් අවසනාවන්ත නොවූව ද ඊට පසුව දා අනාවරණය වූ අලි ඇතුන් ඝාතන පිලිබඳ ලෝක වාර්තාව, ශ‍්‍රී ලංකාවේ මානව ගරුත්වය මෙන්ම පාරිසරික සහ සංස්කෘතික වටිනාකම් “හක්ක පටස්” වලට සමාන කොට තිබේ.

 

ඒ අනුව, සැප්තැම්බර් 27 බදාදා සිට 29 සිකුරාදා දක්වා ගත වූ පැය 48 ඇතුළත අලි ඇතුන් 13 දෙනෙකු ඝාතනය වී තිබේ. මේ දින දෙකේ වාර්තාවට වඩා අවධානය යොමු විය යුතු වන්නේ 2022 වසරේදී ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබූ රට ලෙස අප ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය ලෝක වාර්තාවක් තබා ඇති බවට පල වන ප‍්‍රවෘත්ති වාර්තා ගැනයි. ඒ අනුව, එය ගණනින් හාරසිය විස්ස(420) ඉක්මවා යයි. ඊටත් වඩා ලොමු ඩැහැගන්වන පුවත වන්නේ, සැප්තැම්බර් 30 දක්වා 2023 මේ වසර සලකා බැලීමේ දී දැනටමත් අලි මරන සංඛ්‍යාව හාරසියය (400) ඉක්මවා තිබීමයි. තවත් දින අනූවක් (90) වසර අවසානය දක්වා ඉදිරියට යාමේ දී පෘතුගීසි, ලන්දේසි යුගයන්ටත් වඩා අලි ඝාතන සම්බන්ධයෙන් මිලේච්ඡ වාර්තාවක් අප සතු වනවා ඒකාන්තය.

 

ලොව පුරා සත්ව හිංසනයන් පිළිබඳව වාර්තා කරන WWF වැනි ආයතන ද ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කරනු ලබන ආකාරයට වාර්ෂිකව අලි ඇතුන් විසි දහසක් - තිස්දහසක් (20,000 - 30,000) පමණ ලොව පුරා ඝාතනය වන අතර 2022 වසරට අදාළ ව එහි පෙරමුණ ගෙන සිටින්න්නේ ශ‍්‍රී ලංකාවයි, අනතුරුව මෙම සද්දන්තයින් හාරසිය (400) ගණනකට වඩා ඝාතනය කළ ටැන්සානියාව දෙවන ස්ථානයත්, හාරසිය (400) ගණනකට ආසන්නව ඝාතනය කල මොසැම්බික් රාජ්‍යය තෙවන ස්ථානයටත් සහාසිකත්වයේ ලකුණු පුවරුවේ සඳහන්ව ඇත.

ජීවමාන බුදුන් ලෙස ලොව පුරා පිදුම් ලබන දළදා වහන්සේ වැඩම කිරීමේ වගකීම, ගෞරවයක් ලෙස පවරනු ලබන්නේ හස්තු රාජයෙකුටය. එක් පසෙක, එවන් ගෞරවයක් සහ පූජනීයත්වයක් අලි ඇතුන් කෙරෙහි ආරෝපණය කරනු ලබන රටකින් සහ සංස්කෘතික සමාජයකින් මෙවැනි සාහසිකත්වයක්, හිංසනයක් වාර්තා වීම කණගාටුවට ද විමතියට ද හේතු වේ. එම රාජ්‍යය පාලනය කරනු ලබන්නේ අලියා තම ලාංඡුනය කොට ගත් නායකයකු වීම සහ පක්ෂයක් වීම ඊටත් වඩා බලපතල සරදමකි.

මෙවන් බරපතල ශෝකාන්තයක් හමුවේ නොපෙනූ දෑස් ව නොඇසූ දෙසවන් ව “කරඬුව”‍ අපේක්ෂාවෙන් දෝ කොළඹ අමාත්‍යංශය තුළ හා දෙපාර්තමේන්තුව තුළ කඳවුරු බැඳ සිටින අලි බලධාරීන් වෙත “හෙණ්ඩු” දිගු කිරීමට පුරවැසියන් තවත් පමා විය යුතු නැත. නොපෙනෙන, නොඇසෙන, නොදැනෙන සැමට දැන ගන්නට ඊයේ ලෝක සත්ව දිනය බව ද හඬ නඟා කිව යුතු වේ.

 

dullas

නවතම ලිපි