SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයට කාර්ය බහුල සමයක් උදාවී තිබෙන අතර ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කරන අය මෙන්ම ක්‍රීඩාව කරවන අයද වැඩ අධික කාල වකවානුවක් ගෙවමින් සිටිති.

විශේෂයෙන්ම 19වැනි ආසියානු ක්‍රීඩා උළෙල චීනයේදී පැවැත්වීමත් 13වැනි අයිසීසීසී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අසල්වැසි ඉන්දියාවේදී පැවැත්වීමත් නිසාම මෙසේ කාට කාටත් වැඩ අධික බවක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වී ඇතත් අපේ රටේ ක්‍රීඩාවේ මහගෙදර මහතැන මෙවන් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක ඇති වටිනාකමට සහ වගකීමට සරිලන අයුරින් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.

 

අපගේ රට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග බිමට පිවිස සිටිනා මොහොතක ඔවුන්ගේ මානසිකත්වයට හානියක් සිදුනොවන අයුරින් කටයුතු කළ යුතු යැයි සාමාන්‍ය ක්‍රීඩාළෝලියෙකුට වුවද අවබෝධයක් ඇතත් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ගැසට් නාටක රඟමින් මෙසේ හැසිරෙන ආකාරය දෙස බැලූ විට එවන් ප්‍රථමික දැනුමක් හෝ ඔහුට නොමැති දැයි සැකයක් මතුවේ. හේතුව ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන උණුසුම අස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කොකා පෙන්වමින් “ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව” යැයි කමිටුවක් පත්කොට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) වෙත දැනුම් දීමයි. තවද තිදෙනෙකු ගෙන් සමන්විතව පත්කර ඇති මෙකී කමිටුව ගැසට් නිවේදනයක් මඟින්ද ප්‍රකාශයට පත්කර ඇති අතර මේ සම්බන්ධව අපිට කියන්නට ඇත්තේ මේවා ජාත්‍යන්තරයට විහිළු සැපයීම හැර වෙනත් ඵලදායී වැඩක් නොවන බවය.

 

මේ පත්වීම සම්බන්ධව ඇමතිවරයා විසින් අයිසීසී ය වෙත දැනුම් දුන් ලිපියට අයිසීසී ය විසින් ඇමතිවරයාට දැනටමත් සුපිරි පිළිතුරක් එවා ඇති අතර එයිනුත් සෑහීමකට පත්ව නැති රොෂාන්  ඇමතිවරයා තව තවත් අයිසීසීයට ලිපි යවමින් ප්‍රශ්නයක් ඇදගැනීමට උත්සාහ දරන්නේ ලංකාවේ පාපන්දුවට සහ රග්බි වලට කරවාගත් දේම කැමැත්තෙන් ක්‍රිකට් වලට කරවා ගන්නට දැයි ප්‍රශ්නයක් මතුවේ. ඇමතිවරයා සහ ඔහුට උපදෙස් දෙන සහචරයින්ගේ පැතුම එය දැයි යන පැනය තවත් තහවුරු වන්නේ දේශපාලන ස්වරූපයක් මුසුව පත්කරන ලද එකී සම්බන්ධීකරණ කමිටුව දෙස බැලීමේදීය.

 

එකී කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කොට ඇත්තේ ඉහළ මට්ටමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුන මහත්මයෙක් ලෙස සැළකෙන සිදත් වෙත්තමුණිය. කමිටුවට නම්කර ඇති අනෙක් දෙදෙනා ගැන ලියන්නට අවශ්‍ය නැත. හේතුව සිදත් වැනි අයිසීසී ය පිළිගත් නමක් ඉස්සරහට දමා පත්කොට ඇති මෙම කමිටුව දෙස බැලීමේදී එක්වරම සිහියට නැගෙන්නේ “හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්” කියන පැරැණි කතාන්දරයයි. එසේම රොෂාන්ගේ කමිටුව දුටු විටම එය බුදුසරණයි කියා ඉස්සරහ ගහගෙන මිනිසුන් රවටාගෙන යන ලොරියක් වැනි එකක් බවද අයිසීසී ය තේරුම් ගෙන ඇත. අයිසීසී යෙන් හැරනෙ තැපෑලෙන්ම කන හරහා පිළිතුරක් ඇමතිට දුන්නේ ඒ නිසාය.

 

 

අනෙක ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධීකරණයට “ශ්‍රී ලංකා ක්‍රිකට්” නම් අයිසීසී ය විසින් පිළිගත් ආයතනයක් දැනටමත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇත. මෙරට ක්‍රිකට් සාමාජිකත්වය විසින් පත්කරගන්නා ලද නිල ආයතනයක් එසේ තිබියදී ක්‍රීඩාවේ බලධාරියා මමයි යැයි පවසමින් ඇමතිවරයාට ඕනෑ කරන පුද්ගලයින් එම ආයතන ආලින්දයේ වාඩිකරවන්නට  යාම දේශපාලන ඇඟිලිගැසීමක් නොවේද ? මේ බව අයිසීසී යද ඉවෙන් මෙන් තේරුම් ගෙන ඇති බව පෙනේ. ඒ නිසා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශ්නයක් ඇත්නම් වත්මන් පාලකයින් සමඟම ක්‍රීඩාවේ නාමයෙන් ඒවා සාකච්ඡා කොට විසඳ ගන්නවා හැර මෑත කාලයක සිට වත්මන් ක්‍රිකට් පරිපාලනයට එරෙහිව කටයුතු කරන පිරිසක්ම සම්බන්ධීකරණයට යැයි උඩින් ගෙනැවිත් පත්කිරීම කාලෝචිත නොවන අමන ක්‍රියාවකි.

 

 

මෙවන් පත්කිරීමකින් නැති ප්‍රශ්න නිර් මාණය කරන අතර මුළු රටක්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට අවධානය යොමු කරද්දී මෙවන් සෙල්ලක්කාර හැසිරීම් වලින් පෙනී යන්නේ ක්‍රිීඩාවේ මහගෙදර වසන ඇමතිවරයාට සහ ඔහුගේ පුරෝහිතයාට එම තරගාවලිය රටට ජයග්‍රහණයක් දක්වා තල්ලු කරගැනීමට වුවමනාවක් නැති බවය. එසේ නොවේ නම් මේ මොහොතේ නව පත්කිරීම් වලට ඇති හදිසිය කුමක්ද? මෙවන් වැඩ වලින් සිදුවන්නේ ක්‍රීඩකයින් මෙහෙයවන පරිපාලනය සහ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය අවුල් වී තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට අයහපතක් නොවේද ?

තවත් පැත්තකින් බැලූ විට ක්‍රිකට්ම මරාගෙන කන්නට දඟලන මෙම ක්‍රීඩා බලධාරීන්ට රටේ අනෙක් ක්‍රීඩා වල වග-තුග නොපෙනීම හාස්‍යයට කරුණකි. ආසන්නම උදාහරණය ලෙස මෙවර 19වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල සළකා බැලීමම ප්‍රමාණවත්ය. එනම් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චීනයට ගිය සංඛ්‍යාව 154 (ක්‍රීඩක ක්‍රීඩිකාවන් 97ක් සහ නිලධාරීන්/හිතවතුන් 57) කි. නමුත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිනා ගත් රිදී පදක්කම හැරෙන්නට අනෙක් කිසිවෙකුට මෙතෙක් (සැප්.2දා වන විට) පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය. ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමෙන්ද පදක්කමක් බලාපොරොත්තු විය හැකි අතර ඊට අමතරව මලල ක්‍රීඩා ඉසව් වලින් අපිට දිනා ගන්නට හැකිවනු ඇතැයි සිතිය හැකි උපරිම පදක්කම් ගණන 3ක් බව පැවැසේ. එසේ වුවහොත් මෙවර 97 දෙනෙකු සහභාගී වී ලංකාවට ලබා ගත හැකි උපරිම පදක්කම් ගණන 5කි. එයිනුත් 2ක්ම ක්‍රිකට් විය හැකිය.

 

තවත් විදියකින් කිවහොත් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමෙන් 1/3 කටත් වඩා සිටින්නේ නිලධාරීන්ය.

 

මේ නම් ලැයිස්තු අනුමත කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් නොවේද? ශ්‍

රී ලංකා ක්‍රිකට් ලෝක කුසලානයකට යන නිලධාරීන්ගේ නම් ලැයිස්තුව කපා දමන රතු පෑනට මේවා හසුවන්නේ නැද්ද?

ඇමතිවරයාට උපදෙස් දෙන ලොක්කන් ගෙන්ද ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි.

 

ක්‍රිකට් ලෝක කුසලානයන්ට යන ගමන් ගැන කියමින් වියදම් අඩු කළ යුතු යැයි පම්පෝරි ගහන  එක්තරා ලොක්කෙකු එදා 1999 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමට තම පවුලේ සාමාජිකයින් හා හිතවතුන් 19 දෙනෙකු එංගලන්තයට රැගෙන ගිය ආකාරය දන්නෝ දනිති. අර මේ දිනවල තානාපති කාර් යාල වල රස්තියාදු වෙමින් ලෝක කුසලාන ගමන් බිමන් ගැන සොයන දියවන්නාවේ මහත්තයට 1999 තොරතුරුත් සොයා රටේ ජනතාවට කියන්නටැයි මතක් කරන අතර තව ටික දිනකින් රොෂාන්ට ක්‍රීඩා ඇමතිකම අහිමි වුවහොත් එම ප්‍රතිඵලය වටේ සිටින ඔය ඔස්තාර් ලා නිසාම ලැබුණ එකක් බවද රොෂාන් රණසිංහ වටහාගත යුතුය.

 

@Sirinama Rajapakshe

නවතම ලිපි