SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දීර්ඝ ටෙලි නාට්‍යයක් ලෙසින් විකාශිත පළාත් පාලන මැතිවරණය නාටක අවසානයක් කරා එළඹ ඇතැයි කියැවේ.

ගහපු පදයකුත් නැති බෙරේ පලුවකුත් නැති නාටකයක් ලෙසින් මෙය අවසන් වන බව පෙනී යයි.

 

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කිරීමත් සමඟ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, ආර්ථිකයට සිදුවූ හානිය සුළුපටු නොවේ. ඒ අනුව පළාත් පාලන නාමයෝජනා අහෝසි කිරීමෙන් සිදුවන මූල්‍ය හානිය පිළිබඳ විශේෂිත කරුණු විමසා බැලිය යුතුය. ඒ සඳහා පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සතිඅන්ත දේශය පුවත්පත සමඟ සම්බන්ධ  කරගෙන ඇත.

 

''මැතිවරණය ප්‍රමාද කිරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන බලපෑම බරපතළයි. පුරවැසි අයිතිවාසිකම්වලට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒත් මෙතැනදි අපි අවධානය යොමු කරන්නෙ මූල්‍ය පැත්ත සම්බන්ධව. මැතිවරණ කොමිසම සඳහන් කරන විදිහට නාමයෝජනා අහෝසි කිරීමත් සමඟ සිදුවන පාඩුව රුපියල් බිලියන එකයි දශම එකක්. ඒ කියන්නේ මේ වෙනකොට මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ දසදහසකට අධික මුදලක් වැයකරලා තිබෙනවා.''

 

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙන ආකාරයට මෙය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි මුදලකි. කෙසේවෙතත් පසුගිය සැප්තැම්බර් 21 වැනිදා නාමයෝජනා අහෝසි කිරීම පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්වූයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ගත් තීරණයක් ලෙසය.

 

''දැනට කියැවෙන්නේ විෂයභාර අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව මේ තීන්දුව ගත්තා කියලා. ඒ තීරණයේ වලංගුභාවයක් නෑ. ඒ තීරණය පාර්ලිමේන්තුවට ඇවිල්ලා සම්මත වෙන්න ඕනෑ. එහෙම වුණත් අපිට දැනගන්න ඕනෑ ඒ තීරණය ගනිද්දී මේ අය සලකලා බැලුවද දැනටම මේ සඳහා කොපමණ මුදලක් වියදම් වෙලා තියෙනවාද කියන කාරණය පිළිබඳව.''

 

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පමණක් රුපියල් ලක්ෂ දහසක් පමණ මැතිවරණ කොමිසම වියදම් කර ඇතැයි ඔහු  සඳහන් කරයි. ඒ අනුව ඔහු ප්‍රශ්න කර සිටින්නේ මෙම තීන්දුව ගැනීමට පෙර මැතිවරණ වියදම් පිළිබඳ නිසි තක්සේරුවක් සිදු කළේද යන්න පිළිබඳවයි.

 

''අපි දැනගත යුතුයි මැතිවරණය අවලංගු කළොත් වියදම්වලින් කොපමණ මුදලක් පියවගන්න පුළුවන්ද කියන කාරණාව. මැතිවරණය ආරම්භ කරන්න පෙර මැතිවරණ කොමිසම මේ සඳහා වැයවන වියදම රුපියල් බිලියන 10ක් බව කිව්වා. ඒක සැරින් සැරේ අඩුකරලා අවසානයේ ඒ අය කිව්වා, රුපියල් බිලියන 3ක් තිබුණොත් මේ වැඩේ මූලික වශයෙන් කරගෙන යන්න පුළුවන් කියලා. ඒ අනුව බැලුවම ඒ මුදලින් තුනෙන් එකක් දැනටම වියදම් කරල තියෙනවා.''

 

මෙවන් පසුබිමක් තුළ නාමයෝජනා අවලංගු කිරීම ගැටලුකාරී බව පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. මේ වතාවේ මැතිවරණය කල් දැමීමට හැකි වුවත්, එය සිදුකළ හැක්කේ තවත් කොපමණ කාලයකටද යන්න ගැටලුවකි. කවර තත්ත්වයක් මත වුවද ඉදිරි දිනක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සිදුවනු ඇත. එවන් විටකදී නැවතත් මෙවන් මුදලක්ම වියදම් කිරීමට රජයට සිදුවේ. එය සැබැවින්ම නාස්තියකි.

 

''මුදල් පිළිබඳ පැත්තක තියමු. කාලයෙන් වෙච්ච නාස්තිය ගණනය කරන්න බෑ. මේ නාම යෝජනා ගන්න රාජ්‍ය නිලධාරීන්ගේ කාලය කොච්චර වැය වුණාද? දේශපාලන පක්ෂ මේ නාමයෝජනා හදන්න කොච්චර මහන්සි වුණාද? මේ සියල්ලම අපතේ යනවා.''

 

රාජ්‍ය නිලධාරින් වැයකළ කාලයට මහජන මුදලින් වැටුප් ගෙවූ බව අප අමතක කළයුතු නැත. එසේම රජයේ මුදල් යනු මහජනයාගේ මුදල් බවද සිහියේ තබාගත යුතුය.

මේ අතර දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ද සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සැලකිය යුතු පරිමාවකින් වියදම් දරා තිබේ. එම උත්සාහයන් සියල්ලම මෙම තීන්දුවත් සමග ඵල රහිත වන බව පෙනී යයි. මෙහිදී මතුකළ යුතු වැදගත්ම කරුණ නම් නාමයෝජනා අහෝසි කිරීම හුදු බහුතරයේ අවශ්‍යතාවයක් නොවන බවයි.

 

''මෙතන අපේක්ෂකයෝ අසූ හයදහසක් ඉන්නවා. නාමයෝජනා අහෝසි කිරීමේ අවශ්‍යතාවක් මතුවෙලා තියෙන්නේ රාජ්‍ය සේවකයන් තුන්සිය ගණනකට. ඒ අය වෙනුවෙන් විකල්ප කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. පරිපාලන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛයක් ගහලා විසඳුමක් ලබාදෙන්න පුළුවන්. නැතිනම් එයට ඉල්ලා අස්වෙන්න යෝජනා කරන්නත් පුළුවන්.''

 

රෝහණ හෙට්ටිආරච්චි  විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන ආකාරයට මෙම බොහෝ තීන්දු පිටුපස ඇත්තේ දේශපාලන අවශ්‍යතාවයන්ය. දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙවන් තීන්දු ලබාගැනීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ආර්ථිකයටත් හානිකරලා සඳහන් කළ යුතුමය.

 

''අද අපේ රටේ ආර්ථිකය අර්බුදයකට ගිහිල්ලා තියෙන්නෙ අපි මුදල් ටික කළමනාකරණය කරන්න දීපු මහජන නියෝජිතයෝ, ඒ මුදල් ඵලදායීව කළමනාකරණය නොකිරීම නිසා. ඉතින් මේ වගේ වටපිටාවකවම රුපියල් ලක්ෂ දහදහසක් වියදම් කරපු මේ මැතිවරණ නතර කිරීමට කටයුතු කිරීම ජාතික අපරාධයක්.''

 

දේශපාලන වුවමනා එපාකම් බලපුළුවන්කාරකම් මත තීන්දු ගැනීමේ බරපතලකම තවමත් මෙරට බලධාරීන් තේරුම්ගෙන නොගැනීම ජාතියේ අවාසනාවකි. මෙම සිදුවීම හරහා මොනවට ප්‍රකට වන්නේ එයයි.

 

සංවාද සටහන
චමිඳු නිසල් ද සිල්වා

@Deshaya

නවතම ලිපි